විවිධ ලිපි 1972 සිට 2006 දක්වා ඉතිහාසය විෂයේ ගමන්මඟ හා එහි...

1972 සිට 2006 දක්වා ඉතිහාසය විෂයේ ගමන්මඟ හා එහි සමාජ බලපෑම

-

එම්.ඒ. ප‍්‍රසාද් කුමාර

එම්.ඒ. ප්‍රසාද් කුමාර

හැඳින්වීම

ලංකාවේ පාසල්වල ඉතිහාසය විෂය ඉගැන්වීමේ අතීතය 19 වන සියවසේ මුල් භාගය තෙක් දිවයයි. එතැන් සිට ආරම්භ වූ ඉතිහාසය විෂය ඉගැන්වීමේ සම්ප‍්‍රදාය කාලීන වශයෙන් වෙනස් වෙමින් වර්තමානය දක්වා පැමිණ තිබේ. වර්තමානයේ මෙරට පාසල් පද්ධතිය තුළ ඉතිහාසය විෂය අනිවාර්ය හැදෑරීමක් සිදුකෙරුණත්, ඉතිහාසය විෂය ඉගැන්වීමේ ඉතිහාසය හා එහි කාලීන වෙනස්වීම් සම්බන්ධව සමාජය තුළ පවතින දැනුම ඉතාමත් සීමිත ය. මේ නිසා වර්ෂ 1972 සිට 2006 දක්වා ශී‍්‍ර ලංකාවේ ඉතිහාසය විෂය ආ ගමන් මග පිළිබඳව විමර්ශනාත්මක අධ්‍යයනයක් මෙමඟින් සිදු කෙරේ.

ක‍්‍රමවේදය

මෙම අධ්‍යයනය සඳහා තොරතුරු රැස්කිරීමේ දී අතීතයේ භාවිත කළ විෂය නිර්දේශ, පෙළපොත්, ඉගැන්නුම් ක‍්‍රම පිරික්සීම සිදුකෙරුණි. එසේම පාසල් පිළිබඳ මිෂනාරී වාර්තා, රජයේ ආධාරගත පාසල් පිළිබඳ පැරණි පාලන රාජ්‍ය ලේඛනාගාරයේ තැන්පත්ව ඇති තොරතුරු, ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපන දෙපාර්තමේන්තුව වැනි ආයතනවල තැන්පත්ව ඇති ලේඛන, චක‍්‍රලේඛ, අධ්‍යාපන අණ පනත් ආදී ප‍්‍රාථමික මූලාශ‍්‍රය කෙරෙහි ද අවධානය යොමු විය. ලංකාවේ විවිධ විද්වතුන් මෙරට අධ්‍යාපන ඉතිහාසයේ ස්වභාවය අළලා සිදුකළ පර්යේෂණ ග‍්‍රන්ථ හා ශාස්ත‍්‍රීය කෘති දෙ වන මූලාශ‍්‍රය වශයෙන් පරිශීලනය කෙරුණි.

විමර්ශනය

1972 වර්ෂය මෑත කාලීන දේශපාලන ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකි. එම වර්ෂයේ දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා මෙරට ප‍්‍රධාන වාමාංශික පක්ෂ 2ක් වන ලංකා සමසමාජ පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂය එක්සත්ව පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ආණ්ඩුවක් පිහිටුවනු ලැබීය. වාමාංශික එක්සත් පෙරමුණේ ආණ්ඩුව ලෙස හැඳින් වූ එම සන්ධාන රජය යටතේ මෙරට දේශපාලන, ආර්ථික ක්ෂේත‍්‍රයේ වෙනස්කම් රැසක් සිදු වූ අතර පාසල් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ද ප‍්‍රබල වෙනසක් සිදු කෙරිණි. එවකට පැවති පාසල් අධ්‍යාපනය පුද්ගලයකුට සමාජයේ ජීවත්වීමට අවශ්‍ය මූලික දැනුම, කුසලතා, ආකල්ප වර්ධනය කිරීමට අපොහොසත් වූ එකකැයි චෝදනා එල්ල විය. එසේම විශ්වවිද්‍යාල කලා උපාධිධාරීන්ට රැකියා අඩුවීම ආදිය ගැන ද ගැටලු මතු විය. මෙම තත්ත්වය යටතේ වර්ෂ 1971 අපේ‍්‍රල් 5 වන දින පොලිස් ස්ථාන කිහිපයකට පහර දෙමින් කැරලිකාර තත්ත්වයක් රටේ උද්ගත වූ අතර විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු තරුණ පිරිස් රැසක් මේ කැරැල්ලට සම්බන්ධව සිටි බව පෙනී ගියේය.1 තරුණ පිරිස් මෙබඳු අරගලවල යොමු වීමට බල පෑ හේතු සැලකිල්ලට ගැනීමේ දී එතෙක් පැවති අධ්‍යාපන ක‍්‍රමයේ දුර්වලතා ද එයට හේතු විනැයි අදහස් මතුවිය. මේ නිසා රටේ ජාතික අවශ්‍යතා සමග ගැළපුණු අධ්‍යාපන ක‍්‍රමයක් ද, ඊට සාපේක්ෂව පාසල් විෂය මාලාවේ වෙනසක් අවශ්‍යයයි ද රට තුළ අපේක්ෂා පැවතුණු බව පෙනේ. ඒ අනුව 1971 ඔක්තෝබර් 29 වන දිනැති අංක 230 දරන චක‍්‍රලේඛය මගින් පාසල් විෂයමාලාවේ නව වෙනසකට අවශ්‍ය පසුබිම සැකසිණි. එතෙක් පාසල්වල වෙන් වෙන් වශයෙන් ඉගැන් වූ ඉතිහාසය, භූගෝල විද්‍යාව, ප‍්‍රජාචාරය වැනි විෂය සමාජ අධ්‍යයනය නමින් එක් සමෝධානික විෂයක් ලෙස හඳුන්වා දෙනු ලැබීය.

මෙම වෙනස්කම් හඳුන්වා දෙමින් ‘සමාජ අධ්‍යයනය ඉගැන්වීම පිළියෙල වීම’ නමින් විදුහල්පතිවරුන් වෙත යවන ලද 1971.09.23 දරන චක‍්‍රලේඛ අංක 223 හි මෙසේ සඳහන් වේ.

“1972 වර්ෂයේ සිට ක‍්‍රියාත්මක වන නව අධ්‍යාපන සැලැස්ම අනුව හයවන ශ්‍රේණියේ සිට දැනට උගන්වන ඉතිහාසය, භුගෝල විද්‍යාව යන විෂය වෙනුවට ‘සමාජ අධ්‍යයනය’ යනුවෙන් නව විෂයක් අධ්‍යාපන පටිපාටියට ඇතුළත් කරනු ලැබේ.”

මේ අනුව එතෙක් පාසල් විෂය මාලාව තුළ පැවති විෂය කිහිපයක් එක් විෂයක් තුළට ගොනු කෙරුණු අතර එය මෙරට පාසල් පද්ධතියට අලුත් අත්දැකීමක් විය. සමාජ අධ්‍යයනය විෂය තුළම අන්තර්ගත වූ විෂයන්වල ස්වභාවය පහත සඳහන් සටහනින් පෙන්නුම් කෙරේ.

සමාජ අධ්‍යයනය විෂයෙහි සංයුතිය හා සමෝධානිතභාවය

වර්ෂ 1972 අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ මගින් ‘සමාජ අධ්‍යයනය’ විෂය හඳුන්වාදීමේ මූලික අරමුණ වූයේ මිනිසා හා පරිසරය අතර මෙන්ම මිනිසා මිනිසා අතර සිදුවන සබඳතා හදාරමින් යුතුකම් ඉටුකරන පුරවැසියකු නිර්මාණය කිරීමයි.4 සමාජ අධ්‍යයනය විෂය පාසල් පද්ධතියට හඳුන්වා දීම වෙනුවෙන් පිළියෙළ කෙරුණු ‘අධ්‍යාපනයේ නවමඟ’ නම් ප‍්‍රකාශනයේ දැක්වෙන ආකාරයට අත්දැකීමෙන් අධ්‍යාපනය ලබාදීම හා දන්නා දෙයින් නොදන්නා දෙයට යාම යන අධ්‍යාපන න්‍යායයන් අනුව සමාජ අධ්‍යයනය විෂය නිර්මාණය වී තිබේ.5 සමාජ අධ්‍යයනය විෂය ආරම්භ කිරීමේ අපේක්ෂිත අරමුණු පහත සටහනින් පෙන්නුම් කෙරේ.

සමාජ අධ්‍යයනය විෂය ආරම්භ කිරීමේ අපේක්ෂිත අරමුණු

නව අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ අනුව 10 වන වසරට නියමිතව තිබූ අ.පො.ස. සාමාන්‍ය පෙළ පරීක්ෂණය වෙනුවට ජාතික පොදු අධ්‍යාපන සහතික පත‍්‍ර පරීක්ෂණය නමින් නව පරීක්ෂණ ක‍්‍රමයක් හඳුන්වා දුන් අතර එම පරීක්ෂණය පාසලේ 9 වන වසරේ අවසානයේ දී පැවැත්වීමට අවශ්‍ය විධිවිධාන යොදා තිබිණි. එබැවින් සමාජ අධ්‍යයනය නමින් සමෝධානගත වූ විෂය හය වසරේ සිට නවය වසර දක්වා සිව්වසරක කාලයක් සඳහා පිළියෙළ කර තිබේ. වර්ෂ 1967 දී කොළඹ පිහිටු වන ලද විෂයමාලා සංවර්ධන මධ්‍යස්ථානය මගින් එකී ශ්‍රේණිවලට අදාළ විෂය නිර්දේශ හා පෙළපොත් නිර්මාණය කර බෙදාහරින ලදි. පෙළපොත් සැකසීමේ දී විවිධ තේමා පදනම් කරගනිමින් සැකසී තිබිණි. සමාජ අධ්‍යයනය විෂය නිර්දේශය ඉගැන්වීම සඳහා එක් ශ්‍රේණියකට සතියකට කාලච්ඡේද 4ක් පාසල් කාල සටහන තුළ වෙන්විය.6 ජාතික පොදු අධ්‍යාපන සහතික පත‍්‍ර පරීක්ෂණය යටතේ පැවති සමාජ අධ්‍යයනය විෂය සඳහා වූ ප‍්‍රථම පරීක්ෂණය වර්ෂ 1975 දී රටපුරා පවත්වනු ලැබීය. එම පරීක්ෂණයේ දී සමාජ අධ්‍යයනය විෂය වෙනුවෙන් බහුවරණ ප‍්‍රශ්න 40කින් යුත් පළමු වන ප‍්‍රශ්න පත‍්‍රයක් හා පැය දෙකකට පමණ ව්‍යුහගත ප‍්‍රශ්න පත‍්‍රයකට පිළිතුරු සැපයීමට ශිෂ්‍යයාට සිදුවිය.7 කෙසේ හෝ 9 වන ශ්‍රේණියේ දී පවත්වන ලද ජාතික පොදු අධ්‍යාපන සහතික පත‍්‍ර විභාගය පැවැත්වීම වර්ෂ 1975 හා 1976 වසරවලට පමණක් සීමා වී ඇත.

මහමැතිවරණයක් පැවැත්වීමත්, එම මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ විශාල බහුතර ආසන සංඛ්‍යාවක් සහිතව එක්සත් ජාතික පක්ෂය බලයට පත්වීමත්, ජේ.ආර්. ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් යුතු එම රජයේ අධ්‍යාපන ප‍්‍රතිපත්තිය රජයට වඩා වෙනස්වීමත් ජාතික පොදු අධ්‍යාපන සහතික පත‍්‍ර පරීක්ෂණයේ අනාගතය කෙරෙහි ප‍්‍රබල බලපෑමක් ඇති කළේය. ජාතික පොදු අධ්‍යාපන සහතික පත‍්‍ර විභාගය වසර 2ක් පැවැත්වීමත් සමග මෙම පරීක්ෂණ ක‍්‍රමයේ අසාර්ථක භාවය පිළිබඳව සමාජයේ විවිධ අදහස් මතුවන්නට විය. මෙම පරීක්ෂණය යටතේ ශිෂ්‍යයෙකුට විෂය නමයකට පෙනීසිටීමට සිදු වූ අතර අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස්පෙළ හැදෑරීම සඳහා විෂයක් තෝරාගැනීමේ දී ද යම් යම් ගැටලු මතුව තිබිණි. මේ නිසා සමාජය තුළින් ඇති වූ විවේචන ද ජාතික පොදු සහතික පත‍්‍ර විභාගයේ ඉරණම කෙරේ බලපෑවේය. මෙම තත්ත්වය හමුවේ නව රජය දහවන ශ්‍රේණියේ දී අධ්‍යාපන පොදු සහතික පත‍්‍ර විභාගය පැවැත්විය යුතු යැයි තීරණය කළේ ය. එකී දීර්ඝ කිරිම මත 10 වන ශ්‍රේණිය දක්වා විෂය මාලාව පුළුල් කිරීමේ අවශ්‍යතාව පැනනැගුණි. විෂයමාලා සංවර්ධන මධ්‍යස්ථානය මගින් මෙතෙක් 9 වන ශ්‍රේණිය දක්වා ක‍්‍රියාත්මක සමාජ අධ්‍යයනය විෂයට අතුරු විෂය නිර්දේශයක් සකස් කරමින් එම විෂය 10 වන ශ්‍රේණියට හඳුන්වා දීම සිදු කළේ ය.8

නව වන ශ්‍රේණියේ දී පැවැත් වූ ජාතික පොදු අධ්‍යාපන සහතික පත‍්‍ර විභාගය 10 වන ශ්‍රේණිය අවසානයේ දී පැවැත්වීමට ගත් තීරණය කෙරෙහි ද වර්ෂ 1986 වන විට විවිධ විවේචන එල්ල වී තිබේ. මෙරට උගත් බුද්ධිමත් කණ්ඩායම් කියා සිටියේ සමාජ අධ්‍යයනය විෂය තුළින් උසස් පෙළ ඇතැම් විෂය හැදෑරිමට අවශ්‍ය මූලික දැනුම තවමත් ප‍්‍රමාණාත්මකව ශිෂ්‍යයා සතු නොවන බවය. සමාජ අධ්‍යයනය විෂය තුළින් උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රයට යොමුවීමට අවශ්‍ය දැනුම මීටත් වඩා හොඳින් සපුරාලිය යුතු බව කාගේත් අදහස විය. වර්ෂ 1980 වන විට පවත්නා අධ්‍යාපන ක‍්‍රමයේ වෙනසක අවශ්‍යතාව දැනෙන්නට පටන් ගත් අතර අධ්‍යාපන අමාත්‍යාංශය ජාතික පොදු අධ්‍යාපන සහතික පත‍්‍ර විභාගය 11 වසර අවසානයේ දී පැවැත්වීම සුදුසු යයි තීරණය කළේය. නව ක‍්‍රමවේදය මත සමාජ අධ්‍යයනය විෂය 11 වසර දක්වා හඳුන්වා දීම සිදු වූ අතර හය වසරේ සිට 11 වසර දක්වාම සමාජ අධ්‍යයනය විෂය නිර්දේශය ද සංශෝධනයකට ලක්විය.9

ඉතිහාසය විෂය සමාජ අධ්‍යයනය තුළට සමෝධානගත වීම නිසා ඇතිවූ ගැටලු

විෂයන් අටකින් සමෝධානගත වූ සමාජ අධ්‍යයනය නමැති විෂය පාසල් පද්ධතියට හඳුන්වා දීම නිසා නව ගැටලු කිහිපයක් පැනනැඟුණු බව පෙනේ. සමාජ අධ්‍යයනය විෂයට විෂය අටක කරුණු එක්කර තිබීම තුළ ඉතිහාසය විෂය කරුණු ගිලීයාමක් සිදු වූ අතර අධ්‍යයන පොදු සහතික පත‍්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයේ දී සමාජ අධ්‍යයනය විෂය අසමත්වන ප‍්‍රතිශතය සෙසු විෂයයන්ට සාපේක්ෂව වැඩි වී යාම ගැටලුවක් ලෙස හඳුනාගත හැකි බව පහත සටහනින් පෙන්නුම් කෙරේ.

1985 – 1986 වර්ෂවල අ.පො.ස. (සා.පෙළ) විභාග ප‍්‍රතිඵල අනුව ශිෂ්‍යයන් ලබා ඇති ශ්‍රේණිවල ප‍්‍රතිශත

විෂය ඒකකයේ නම ලබාගත් ශ්‍රේණි ප‍්‍රතිශතයක් වශයෙන්
විශිෂ්ඨ සම්මාන D සම්මාන C සාමාන්‍යය S අසමත් F
බුද්ධ ධර්මය 11.20% 38.89% 26.46% 23.46%
සිංහල භාෂාව 4.78% 35.35% 34.91% 24.95%
දෙමළ භාෂාව 5.86% 38.19% 34.45% 21.54%
සමාජ අධ්‍යයනය 3.24% 24.49% 36.41% 35.85%
ව්‍යාපාර අධ්‍යයනය 10.43% 33.19% 30.27% 26.11%

 (Source : Maheshwarans, 1995)

ඉහත වගුවේ සඳහන් ප‍්‍රතිශතවලට අනුව බුද්ධ ධර්මය විෂයට 11.20%ක් විශිෂ්ඨ සම්මාන ලබන විට සිංහල භාෂාව සඳහා විශිෂ්ඨ සම්මාන ලබාගත් ශිෂ්‍ය ප‍්‍රතිශතය 4.78%කි. දෙමළ භාෂාව ඉතා හොඳින් සමත් වූ ප‍්‍රතිශතය 5.86%ක් වන විට 10.43%ක ඉහළ ප‍්‍රතිශතයක් ව්‍යාපාර අධ්‍යයනය ඉතා හොඳින් සමත් පිරිස නියෝජනය කරයි. සමාජ අධ්‍යයනය විෂය විශිෂ්ට සම්මාන සහිතව සමත් වූ පිරිස 3.24% අගයක් ගන්නා නිසා සෙසු විෂයන් හා සසඳන විට සමාජ අධ්‍යයනය විෂය සඳහා සිසුන් දැක් වූ කුසලතාව අවම මට්ටමක පැවති ආකාරය හඳුනාගත හැකිය. සමාජ අධ්‍යයනය විෂය අසමත් වන පිරිස ද 35.85% අගයක් පෙන්නුම් කළ නිසා එම ප‍්‍රතිශතය සෙසු විෂයන් අසමත්වීම හා සසඳන විට වැඩි අගයක් ගෙන ඇති බැවින් සමාජ අධ්‍යයනය විෂය හඳුන්වා දීමෙන් පසු ශිෂ්‍යයන් පැහැදිලි ගැටලුවකට මුහුණ දී ඇති බව පෙනේ. සමාජ අධ්‍යයනය විෂය තුළින් ඉතිහාසය කරුණු ගිලිහී ගොස් ආර්ථික විද්‍යාව හා භූගෝල විද්‍යාව විෂයන්වලට අදාළ කරුණු ඉදිරියට පැමිණිම මෙයට හේතු වන්නට ඇතැයි සිතිය හැකිය.10

වර්ෂ 1972 සිට සමාජ අධ්‍යයනය විෂය තුළ ඉතිහාසය නමැති විෂය ගිලීයාමේ අනිටු ඵලවිපාක පිළිබඳව වැඩිකල් නොගොස් සමාජය දැනුවත් වන්නට විය. අඛණ්ඩ දීර්ඝ ඉතිහාසයක් හා අතිවිශාල පුරාවස්තු සම්භාරයක් ඇති සම්ප‍්‍රදාය ගරු කරන සමාජයක් පවතින රටක් වශයෙන් ඉතිහාසය විෂයට පාසල් විෂය මාලාව තුළ නිසිතැන් නොලැබී යාම ගැන රටේ බොහෝ පිරිස් ප‍්‍රශ්න කරන්නට පටන් ගත්හ. භික්ෂූන් වහන්සේලා, විශ්වවිද්‍යාල ආචාර්යවරු, ඇතැම් අධ්‍යාපනලාභීන් හා පාසල් ගුරුවරුන් මෙන්ම වෙනත් උගතුන් විසින් ඉතිහාසය පාසල් විෂයෙන් ඉවත් කිරීමේ අනිටු ඵලවිපාක පැහැදිලි කරමින් ලියන ලද ලිපි සිංහල පුවත්පත්වල පළවන්නට විය.

ත‍්‍රිපිටක වාගීශ්වරාචාර්ය රාජකීය පණ්ඩිත බද්දේගම විමලවංශ නාහිමියෝ වර්ෂ 1984 දී කල්පනා නම් සඟරාවට ලිපියක් යවමින් “තමන් උපන් රටේ ඉතිහාසය ගැන නොදන්නා පුද්ගලයා එරට තුළ සිටින ආගන්තුකයකු වන බව” පැහැදිලි කළ අතර එනිසා ලංකා ඉතිහාසය පාසල් විෂයක් වශයෙන් ඉගැන්වීම නැවත ආරම්භ කළ යුතු බව තරයේ කියා සිටියහ.11 සම කාලීන ලංකාවේ සංස්කෘතික ඇමති ධුරය හෙබවූ වි.ජ.මු. ලොකුබණ්ඩාර වර්ෂ 1989 දී රාවය පුවත්පතට ලිපියක් සපයමින් ඉතිහාසය විෂය අතීතය දකින ඇසක් පමණක් නොව හෙට දවසට මංපාදන විෂයක් වන බව පැහැදිලි කළේය.12 ඉතිහාසය විෂයෙන් තොර විෂය මාලාවකින් සිංහල ශිෂ්‍යයන්ට කවර නම් ප‍්‍රයෝජනයක්දැයි එම ලිපියේ දී එතුමා ප‍්‍රශ්න කර ඇත. වර්ෂ 1978 දී ශ‍්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීමක් සමඟ එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ වෙනස්කම් ඇති කිරීමට ප‍්‍රබල උනන්දුවක් දැක්වූවත් පාසල් අධ්‍යාපනය තුළ විශාල වෙනස්කම් ඇති කිරීමට ප‍්‍රමුඛතාවක් දී නොතිබිණි. මේ නිසා පාසල් විෂය මාලාව තුළ ඉතිහාසය විෂයට නිසි තැන ලබා දිය යුතු යයි ඉදිරිපත් කෙරුණු ඉල්ලීම් කෙරෙහි වුව ද රජයේ ඉක්මන් අවධානයක් යොමු නොවීය.

පාසල් විෂය මාලාවෙන් ඉතිහාසය ඈත්කොට තිබූ මෙම කාල පරිච්ඡේදය තුළ දේශීය හා ජාත්‍යන්තර වශයෙන් රටේ ඉතිහාසය විකෘති කිරීමේ යම් යම් උත්සාහයන් පැවති බව ද වාර්තා විය. මෙබඳු ක‍්‍රියාමාර්ගවලට පනපොවන ලද්දේ වෙනම රාජ්‍යයක් වෙනුවෙන් සටන් වැදුණු දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය හා ඔවුන්ට හිතවත් පිරිස් විසිනි. වර්ෂ 1976 මැයි මස 14 වන දින වඩුක්කොඩෙහි දී පැවති ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ වාර්ෂික සම්මේලනයේ දී දෙමළ නිජබිම් සංකල්පයක් පිළිබඳ අදහසක් ද පක්ෂය විසින් මුල්වරට ඉදිරිපත් කරන ලදි.13 අනුරාධපුර රාජධානි සමය මුල් භාගයේ සිට දෙමළ ජනතාව දකුණු හා නැඟෙනහිර ප‍්‍රදේශවල වාසය කළ බව මෙම සංකල්පයෙන් පැවසුණු අතර එකී භූමිය දෙමළ ජනයාගේ පාරම්පරික බිම් ලෙස අර්ථ දැක්විණි. මෙම සංකල්පය ගොඩනැගීමේ දී එවකට පිළිගත් ඉතිහාසය පිළිබඳ සැලකිල්ලක් දක්නට නොලැබිණි. මෙම කාලය තුළ මෙරට දෙමළ ජනයාගේ අතීතය පිළිබඳ ඉතිහාසය විකෘති කෙරුණු පොත්පත් හා ලිපිලේඛන රැසක් ද ඇතැම් දෙමළ උගත්තු සම්පාදනය කළහ. දකුණු ඉන්දියානු ඊළාම් වාදීන් ලියූ Why Tamils need a Nation වැනි පොත්වලින් දමිළයන් යනු විජයගේ පැමිණීමටත් පෙර මෙරට සිටි නාග ගෝත‍්‍රිකයන්ගෙන් පැවත එන්නන් බව සඳහන් කර තිබේ.14 දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය විසින් නොබැඳි ජාතීන්ගේ සංවිධානය ඇතුළු විවිධ සංවිධානවලට යවන ලද ද්‍රවිඩ ඊළාම් ප‍්‍රඥප්තිය මගින් ද ප‍්‍රාග් ඓතිහාසික යුගයේ සිට මේ රට දමිළයන්ගේ වාසභූමිය වන බව කියා ඇත.15 මේ ආකාරයෙන් එවකට පිළිගෙන තිබූ ඉතිහාසය සැලසුම් සහගත ලෙස විකෘති කරන්නට දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය විවිධ උත්සාහයන් ගෙන තිබේ. දේශීය හා ජාත්‍යන්තර වශයෙන් සිදු වූ මෙම ප‍්‍රචාරාත්මක ව්‍යාපාරයට ප‍්‍රතිඋත්තර දීමට අවශ්‍ය ශාස්ත‍්‍රීය විවාදයක් සිංහල උගතුන් තුළින් ඉක්මනින් මතු නොවීය. පාසල් විෂයමාලාව තුළ නිවැරදි ඉතිහාසය ඉගැන්වීම ද නිසිපරිදි සිදු නොවූ හෙයින් ඇතැම් දෙමළ තරුණයන්ගේ හිස්තුළට ව්‍යාජ ඉතිහාසයක් ඇතුළු කිරීම ද පහසු කටයුත්තක් විය. වර්ෂ 1985 පමණ වන විට ඉතිහාසය විෂය පාසල්වල වෙනම විෂයක් බවට පත්කළ යුතු යයි ඉදිරිපත් කළ ඉල්ලීම් තරමක් ප‍්‍රබලව මතුවන්නට විය. 1987 වර්ෂය පමණ වන විට රජයේ අවධානය මේ කෙරෙහි යොමු වූ බව දක්නට ලැබේ.

1989 දී සමාජ අධ්‍යයනය තුළ ඉතිහාසය විෂයට වෙනම විෂය නිර්දේශයක් හඳුන්වාදීම

1989 වර්ෂය මෙරට අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මෙන්ම පාසල් ඉතිහාසය විෂයේ අනාගත හැඩරුව වෙනස්වීම කෙරෙහි පදනම් සැකසුණු සංධිස්ථානයක් වශයෙන් සැලකිය හැකිය. මේ වන විට පාසල් පද්ධතිය තුළට සමාජ අධ්‍යයනය විෂය හඳුන්වා දී වසර 17ක් පමණ ගතවී තිබුණු නිසා එකී විෂයෙහි අන්තර්ගතය සම්බන්ධව සමාජය තුළ සංවාදයක් ගොඩනැඟී තිබුණි. අනාදිමත් කාලයක සිට අතීත මුතුන්මිත්තන් සුරක්ෂිතව පවත්වාගෙන ආ පිළිගත් ඉතිහාසය අනාගත පරපුරට නොලැබී යාම ගැන නොයෙකුත් විවේචන එල්ල විය. මේ නිසා මෙරට අධ්‍යාපන බලධාරීන් ද, සමාජ අධ්‍යයනය විෂය හා එහි අන්තර්ගතය තුළ ප‍්‍රබල වෙනසක් ඉක්මනින් ඇතිකළ යුතු යයි කල්පනා කරන්නට පටන් ගත්හ. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 1989.7.6 දින දරන 1989/3B චක‍්‍රලේඛය නිකුත් කරමින් සමාජ අධ්‍යයනය විෂයේ සංයුතිය පිළිබඳ ප‍්‍රබල වෙනසක් හඳුන්වාදෙනු ලැබීය.16 ඉතිහාසය විෂය කොටස් සමාජ අධ්‍යයනය විෂය නිර්දේශයෙන් ඉවත් කොට වැඩි අවධානයකින් යුක්තව ඉගැන්වීමට එමගින් පදනම සැකසිණි. මෙම චක‍්‍රලේඛය අනුව මෙතෙක් සමාජ අධ්‍යයනය ලෙස හැඳින්වුණු විෂය ‘ඉතිහාසය හා සමාජ අධ්‍යයනය’ වශයෙන් නම් කෙරිණ. මෙම සංශෝධනය යටතේ ඉතිහාසය විෂය පාසල්වල ඉගැන්වීමේ දී වුව ද 1972ට කලින් පැවති තත්ත්වය නැවත ඇති නොවුවත්, ඉතිහාසය විෂයේ වැදගත්කමත්, පාසල් තුළට එය වෙනම බර තැබීමකින් යුක්තව හඳුන්වා දිය යුතු බවත් මෙරට අධ්‍යාපනඥයින් ප‍්‍රතිපත්තියක් වශයෙන් පිළිගත් බවක් දක්නට ලැබේ.

ඉතිහාසය හා සමාජ අධ්‍යයනය හඳුන්වාදීමෙන් පසුව අලුත් තත්වයට ගැළපෙන විෂය නිර්දේශ සැකසීමේ අවශ්‍යතාවක් ද මතු විය. නව ප‍්‍රතිසංස්කරණ මෙරට පාසල් පද්ධතිය තුළ කඩිනමින් ක‍්‍රියාත්මක කිරීම සඳහා ඉතා ඉක්මනින් පෙළ පොත් නිකුත් කිරීම අවශ්‍ය විය. ඒ අනුව 1991 වර්ෂයේ දී හය වසර හා නවය වසර සඳහා ද, වර්ෂ 1992 දී හත වසර හා දහය වසර සඳහා ද, නව විෂය නිර්දේශ සම්පාදනය කෙරිණි. 1993 වර්ෂයේ දී අට වසර හා එකොළොස්වන වසර සඳහා විෂය නිර්දේශ සකස් කරමින් ඊට අදාළ පෙළපොත් නිකුත් කිරීම ද සිදුවිය. මෙතෙක් සමාජ අධ්‍යයනය පෙළපොත තුළ අඩංගුව තිබුණු ඉතිහාසය විෂය කොටස් ඉවත් කර නව සමාජ අධ්‍යයනය පෙළ පොත් නිකුත් කිරීම ද සිදු කෙරිණි. ඉතිහාසය හා සමාජ අධ්‍යයනය විෂය ඉගැන්වීම සඳහා පාසල් කාල සටහන තුළ සතියකට කාල පරිච්ඡේද 5ක් වෙන්කෙරුණු අතර ඉන් කාල පරිච්ඡේද දෙකක් ඉතිහාසය සඳහා ද ඉතිරි කාල පරිච්ඡේද 3 සමාජ අධ්‍යයනය විෂය වෙනුවෙන් ද වෙන්කෙරිණි.17 ඉතිහාසය විෂය වෙන් කිරීමෙන් පසුව වුව ද සමාජ අධ්‍යයනය විෂය තුළ භූගෝල විද්‍යාව, දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව හා ප‍්‍රජාචාරය වැනි විෂය කිහිපයකට අයත් කරුණු ඇතුළත් වූ බැවින් 1989 සංශෝධනයෙන් බැලූබැල්මට සමාජ අධ්‍යයනය විෂය තුළම ඉතිහාසය විෂයට ප‍්‍රමුඛ තැනක් ලැබුණු බව පෙනේ.

1998 වර්ෂයේ දී ඉතිහාසය විෂය නැවත සමාජ අධ්‍යයනය විෂය තුළට සමෝධානගත කිරීම

වර්ෂ 1990 දශකය ශ‍්‍රී ලාංකේය ඉතිහාසයේ දේශපාලන කටයුතු සම්බන්ධයෙන් මෙන්ම අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ද වෙනස්කම් රැසක් නිර්මාණය වූ කාලවකවානුවකි. සම කාලීන සමය වන විට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනිය ජනාධිපති ධුරය හොබවීමත්, අධ්‍යාපන අමාත්‍ය ධුරය ඇය භාරයේ ක‍්‍රියාත්මක වීමත් නිසා අධ්‍යාපනය සම්බන්ධයෙන් රජයේ විශේෂ අවධානය යොමුවනු දැකිය හැකිය. එහෙත් මෙම ජනාධිපතිනියගේ කාල පරිච්ඡේදය වුව ද මුල් කොටස වැඩි වශයෙන් යොමු වූයේ ගුරු වැටුප්, උසස්වීම් ආදී ගුරු ගැටලු විසඳීම, පාසල් නවීකරණය, විෂය නවීකරණය, අධ්‍යාපන යටිතල පහසුකම් දියුණු කිරිම වැනි ක්ෂේත‍්‍රයන් කෙරෙහිය. එබැවින් 1989 දී සමාජ අධ්‍යයනය තුළ ඉතිහාසය වෙනම විෂයක් වශයෙන් ඉගැන්වීමේ ක‍්‍රියාවලියේ වර්ෂ 1998 දක්වාම දශකයක් තරම් කාලයක් පැවතුණි. මෙම කාලය තුළ පාසල්වල ඉතිහාසය ඉගැන්වීමේ දී විෂය නිර්දේශය. පෙළ පොත්වල අන්තර්ගතය ආශ‍්‍රිතව යම් යම් ගැටලු පැනනැඟෙමින් පැවතුණි. රටේ සාමාන්‍ය පෙළ විභගායට පෙනී සිටින සියලු දූදරුවන් සමාජ අධ්‍යයනය හා ඉතිහාසය විෂයේ දී පරිශීලනය කළ යුතු පොත් සංඛ්‍යාවේ ඉහළ යාම මත විශේෂ අපහසුතාවකට ලක්වීම පිළිබඳව සමාජය දැනුවත් වන්නට විය. පාසල් ගුරුවරුන්, අධ්‍යාපනඥයින් ඇතුළු සෙසු උගතුන් මේ පිළිබඳව ප‍්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ හඬනගන්නට මෙන්ම අදාළ බලධාරීන් දැනුවත් කිරීමට පටන් ගත්තේය. වර්ෂ 1997 වන විට රජයේ අවධානය මේ කෙරෙහි යොමු වූ අතර ඒ සඳහා ජනතාව ඉල්ලා සිටින අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණය කුමක්දැයි සොයා බැලීමට කාර්ය සාධක බලකායක් පත්කරන ලදි.18 තත්ත්වය පිළිබඳ හොඳින් සොයාබැලූ බලකාය ඒ සම්බන්ධව සිය වාර්තාව ගෙන එමින් පූර්ව ළමාවිය අධ්‍යාපනයේ සිට වැඩිහිටි අධ්‍යාපනය දක්වාම අධ්‍යාපන ක‍්‍රමයේ වෙනසක අවශ්‍යතාව දන්වා සිටියේය. එකී නිර්දේශය පිළිගත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 1998 දෙසැම්බර් 4 වන දින චක‍්‍රලේඛයක් නිකුත් කරමින් පූර්ව ළමාවිය සිට සියලුම ශ්‍රේණිවල විෂය මාලාව සංශෝධනයකට ලක් කළේය.19 ඒ අනුව නව සංශෝධනය වර්ෂ 1999 ජනවාරි මාසයේ සිට ක‍්‍රියාත්මක වන බව ද දන්වා සිටියේය.

නව සංශෝධනය අනුව මෙතෙක් හය වසර සඳහා ක‍්‍රියාත්මකව පැවති සමාජ අධ්‍යයනය විෂය වෙනුවට ‘පරිසර අධ්‍යයනය’ යනුවෙන් නව විෂයක් හඳුන්වා දෙනු ලැබීය. පරිසරය පිළිබඳ මූලික අවබෝධය සමඟින් ඉතිහාසය පිළිබඳ දැනුම දරුවා සතු කිරීම අපේක්ෂාව විය. සමාජ අධ්‍යයනය විෂය තුළ වෙනම කොටසක් වශයෙන් පවත්වා ගෙන ආ ඉතිහාස විෂය 1998 සිට සමාජ අධ්‍යයනය විෂය තුළම සමෝධානගත කෙරිණ.20 එතෙක් ‘ඉතිහාසය හා සමාජ අධ්‍යයනය’ නමින් පැවති විෂය මෙම වර්ෂයේ සිට ‘සමාජ අධ්‍යයනය හා ඉතිහාසය’ යනුවෙන් නම් කෙරිණි. නව සංශෝධනයට අනුව අනිවාර්ය විෂය හා අතිරේක විෂය යනුවෙන් වර්ග දෙකක විෂය වලින් යුතු විෂය මාලාවක් හඳුන්වා දෙනු ලැබීය.21 ඒ යටතේ අනිවාර්ය විෂය මාලාව තුළට ආගම, පළමු වන භාෂාව, ඉංග‍්‍රීසි, ගණිතය, සෞන්දර්ය අධ්‍යයනය, විද්‍යාව හා තාක්ෂණවේදය, සමාජ අධ්‍යයනය හා ඉතිහාසය යන විෂයන් ඇතුළත් විය. අතිරේක විෂය මාලාව තුළට ඉතිහාසය, භූගෝල විද්‍යාව, සංවර්ධන අධ්‍යයනය, දෙ වන භාෂාවක් ලෙස සිංහල හා දෙමළ, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය, සාහිත්‍ය යන විෂයන් ඇතුළත්ව තිබුණි. සෑම ශිෂ්‍යයෙකුම අනිවාර්ය විෂය අටට අමතරව අතිරේක විෂය දෙකක් තෝරා ගත යුතුව තිබිණි. අනිවාර්ය විෂය මාලාව තුළට ඇතුළත්ව තිබූ සමාජ අධ්‍යයනය හා ඉතිහාසය විෂය සඳහා සතියකට කාලච්ඡේද 5ක් හිමි වූ අතර අතිරේක විෂයක් ලෙස ඉතිහාසය හදාරන්නෙකුට සතියකට කාලච්ජේද 2ක් යටතේ විෂය කරුණු හැදෑරීමට අවස්ථාව උදාකර දී තිබුණි.22 මේ අනුව සමාජ අධ්‍යයනය හා ඉතිහාසය විෂයට අමතරව අතිරේක විෂයක් වශයෙන් ඉතිහාසය විෂය පාසල් පද්ධතිය තුළ හැදෑරීමේ ඉඩප‍්‍රස්තා පුළුල්වීමක් දක්නට ලැබේ. එහෙත් එහි ගුණාත්මක වටිනාකම තීරණය වනුයේ පාසල් පද්ධතිය තුළ ශිෂ්‍යශිෂ්‍යාවන් අතිරේක විෂයක් වශයෙන් ඉතිහාසය විෂය තෝරා ගැනීමේ ප‍්‍රමාණය මතය. මේ තත්ත්වය පිළිබඳව ඊළඟ පරිච්ඡේදයේ දී පුළුල් ලෙස සාකච්ඡා කෙරේ.

මෙරට පාසල් පද්ධතිය තුළට ඉතිහාසය වෙනම විෂයක් ලෙස හඳුන්වා දීම

21 වන සියවසේ නව උදාව මෙරට සමාජ, ආර්ථික, දේශපාලන හා අධ්‍යාපන ක්ෂේත‍්‍රයන්ගේ නව විපර්යාසයන්ට තුඩුදුන් කාලවකවානුවක් වූවා සේම ඉතිහාසය විෂය සම්බන්ධයෙන් මේ දක්වා පැනනැඟි ගැටලුකාරී තත්ත්වයන් රැසක ඉරණම විසඳීම කෙරෙහි ඉවහල් වූ කාල පරාසයකි. සම කාලීන සමය වන විට මෙරට පාසල් පද්ධතිය තුළින් ඉතිහාසය විෂය ගිලිහී යන්නට පටන්ගෙන තිබූ අතර එකී විෂයට අදාළ විෂය කරුණු යම් ප‍්‍රමාණයක් සමාජ අධ්‍යයනය විෂය තුළට සමෝධානගතව තිබිණි. වසර ගණනාවක් පුරාවට රැකගනිමින් ආ දේශීය ඉතිහාසය පිළිබඳ අවබෝධය දරුවා තුළින් එන්න එන්නම ගිලිහෙන්නට පටන්ගෙන තිබිණි. රටේ ඉතිහාසයවත් හරිහැටි නොදත් දරු පිරිසක් සමාජය තුළ වැඩෙමින් සිටියේය. විකෘති ඉතිහාසයක් මවා පාමින් ලංකාවේ අයිතිය වෙනුවෙන් සටන් වැදුණු දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ ම්ලේච්ඡ අරමුණ දිනා ගැනීම සඳහා බිල්ලට ගන්නා අහිංසක සිවිල් ජනයාගේ සංඛ්‍යාව එන්න එන්නම ඉහළ ගිය අතර ජනතාවගේ සිත් තුළින් සහජීවනය දුරස් වී තිබිණි. අධ්‍යාපනය තුළින් දරුවන්ගේ මනස තුළට සාමය, සහජීවනය පිළිබඳ වූ ධනාත්මක චින්තනය දියුණු කිරීමේ අවශ්‍යතාව සමාජය තුළින්ම මතුවන්නට විය. උගත් බුද්ධිමත් නායකයන්ගේ අවධානය මේ කෙරෙහි යොමුවන්නට පටන් ගත් අතර සම කාලීන ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනිය නිවැරදි ඉතිහාසය තුළින් සහජීවනය ඇති කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේ මෙසේය.

“අනිත් පැත්තෙන් ආකල්ප පෙරළියක් ඇතිකිරීමට අවශ්‍යයි. ටිකක් හිතල බලන්න. පාසල්වල ඉතිහාසය ඉගැන්නූ හැටි. මේ ළඟක් වෙනකල් එළාර දුටුගැමුණු යුද්ධය ඉදිරිපත් කරල තිබුණු විදියට ඇත්ත වශයෙන්ම සිංහල දරුවන්ට දෙමළ අය සමග මහා ක්‍රෝධයක් ඇති වන විදියටයි ඒක ඉදිරිපත් කරල තිබුණේ.”23

යථොක්ත ප‍්‍රකාශය අනුව සමාජය තුළ වැඩෙමින් ආ ජාතිවාදි අරගල සංසිඳුවා ශිෂ්‍යයන්ගේ සිත් තුළ සහජිවනය ගොඩනැඟීම උදෙසා ඉතිහාසය විෂය දැනුම නිවැරදිව ශිෂ්‍යයා සතු කිරීම කාලීන අවශ්‍යතාවකැයි අවධාරණය විය. මේ සඳහා මෙරට පාසල් පද්ධතිය තුළ ඉතිහාසය වෙනම බර තැබීමකින් යුක්තව ඉගැන්වීම ඇරඹිය යුතුය යන අදහසක් උගත් බුද්ධිමත් කොයි කා අතරත් වේගයෙන් වර්ධනය විය.

ශ‍්‍රී ලාංකාවේ පාසල් පද්ධතිය තුළ ඉතිහාසය වෙනම බර තැබීමකින් යුතුව ඉගැන්විය යුතුය යන අදහස වේගයෙන් සමාජගත වීම කෙරෙහි සම කාලීනව විෂයමාලා සංවර්ධනය සම්බන්ධව ඇතිකරනු ලැබූ ප‍්‍රතිසංස්කරණය ද ඉවහල් විය. ශ‍්‍රී ලංකාවේ මුල්වරට විෂයමාලා සංවර්ධන කටයුතු විධිමත්ව ආරම්භ කරනු ලැබුවේ 1960 දශකය අගභාගයේ දී විෂයමාලා සංවර්ධන මධයස්ථානය ස්ථාපිත කිරීමත් සමඟය. වර්ෂ 1985 දී ජාතික අධ්‍යාපන ආයතනය පිහිටුවීමත් සමග විෂයමාලා සංවර්ධනයේ සම්පූර්ණ හිමිකම එම ආයතනය සතු විය.24 ඉන්පසුව ජාතික අධ්‍යාපන ආයතනය මඟින් වසර ගණනාවක් තිස්සේ විෂයමාලා සංවර්ධනය සිදු කර තිබුණත් ඒ සඳහා නිසි මග පෙන්වීමක් සිදුකරන රටට ආවේණික පිළිගත් ප‍්‍රතිපත්තියක් හඳුන්වා දී තිබුණේ නැත. මේ වන විට අධ්‍යාපනය තුළ පැනනැගිී තිබුණු ගැටලුකාරී තත්වයට විසඳුම් සොයන ප‍්‍රයත්නයේ දී තම රටට අනන්‍ය වූ විෂයමාලා ප‍්‍රතිපත්තියක අවශ්‍යතාව පිළිබඳව රජයේ අවධානය යොමු වන්නට විය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ජාතික විෂයමාලා ප‍්‍රතිපත්තියක් වර්ෂ 2000 දී පමණ මෙරට අධ්‍යාපන ක්ෂේත‍්‍රයට හඳුන්වා දීම සිදු කෙරිණ.25 (National Curriculum Policy and Curriculum Process Plan – Sri Lanka National Institute of Education and Ministry of Education and Higher Education of Sri Lanka, 15th June 2000) නව හඳුන්වා දීම අනුව සෑම වසර අටකට වරක්ම පාසල් විෂයමාලාව සංශෝධනය විය යුතු බව පිළිගෙන තිබුණි.26 එකී පිළිගැනීම අනුව වර්ෂ 1997 දී හඳුන්වා දුන් විෂයමාලාව සංශෝධනයකට ලක්කිරීමේ කාලය උදා වී ඇති බව අධ්‍යාපන කොමිෂන් සභාවේ අදහස විය. පවත්නා විෂය මාලාව සංශෝධනයකට ලක් කිරීමේ දී මෙරට උගත් බුද්ධිමතුන්ගේ මෙන්ම සාමාන්‍ය ජනතාවගේ අදහස් විමසා බලා ඒ අනුව කටයුතු කිරීමට කොමිසම මගින් කටයුතු යෙදිණි. පුවත්පත් දැන්වීමක් මගින් අදහස රටේ ජනයා අතරට ගෙනයෑමට කොමිසම පියවර ගත්තේය. ඒ සම්බන්ධව සිය අදහස පළ කළ රටේ බහුතරය වර්ෂ 1972 සිට පාසල් විෂය මාලාව තුළ ක‍්‍රියාත්මක වන සමාජ අධ්‍යයනය විෂය අහෝසි කර ඉතිහාසය, භූගෝල විද්‍යාව, ප‍්‍රජාචාරය හා පුරවැසි අධ්‍යාපනය නැවත වෙන් වෙන් විෂයන් වශයෙන් හඳුන්වා දිය යුතු බව කියා සිටියේය.27 කොමිෂන් සභාවේ අවධානය මේ කෙරෙහි යොමුවූ අතර 2003 වර්ෂයේ දී ‘ශ‍්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය සඳහා ජාතික අධ්‍යාපනය පිළිබඳ ජාතික ප‍්‍රතිපත්ති රාමුවක්’ යනුවෙන් ප‍්‍රකාශනයක් එළිදක්වමින් පවත්නා විෂය මාලාව සංශෝධනයකට ලක්කර තිබේ. අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ලේකම්ගේ වර්ෂ 2004/09/13 දාතමින් යුත් චක‍්‍රලේඛ අංක 2004/17 මගින් සමාජ අධ්‍යයනය විෂය වෙනුවට භූගෝල විද්‍යාව, ඉතිහාසය හා පුරවැසි අධ්‍යාපනය යන විෂය වෙන් වෙන් වූ විෂය වශයෙන් මෙරට පාසල් පද්ධතියට හඳුන්වා දෙනු ලැබීය.28 නව ප‍්‍රතිසංස්කරණ මත සමාජ අධ්‍යයනය විෂය මෙරට පාසල් පද්ධතිය තුළින් ඉවත්වීම සිදු වී ඇති අතර වර්තමානයේ සමාජ අධ්‍යයනය නමින් විෂයක් පාසල් පද්ධතිය තුළ ක‍්‍රියාත්මක වනු දැකිය නොහැකි ය. ඒ වෙනුවට එකී විෂය තුළ සමෝධානගත ව තිබූ ඉතිහාසය, පුරවැසි අධ්‍යාපනය හා භූගෝල විද්‍යාව යන විෂයන් වෙන් වෙන් වූ විෂයන් වශයෙන් මෙරට පාසල් පද්ධතිය තුළ ක‍්‍රියාත්මක වනු දැකිය හැකි ය.

වර්ෂ 1972 දී සිදු කළ අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ අනුව ඉතිහාසය විෂය සමාජ අධ්‍යයනය තුළ ගිලී යාමක් සිදු වූ අතර ඉන් අනතුරුව ඉතිහාසය විෂය එළඹෙන්නේ සුභදායී පරිසරයකට නොවේ. නව හඳුන්වා දීමත් සමඟ ඉතිහාසය යනුවෙන් වෙනම විෂයක් පැවති කාලයේ සිසුන්ගේ අවධානයට ලක්කළ විෂය කරුණු රැසක් සමාජ අධ්‍යයනය තුළින් ගිලිහී යාම සැළකිය යුතු ගැටලුවකි. පාසල් විෂය මාලාවෙන් ඉතිහාසය ඈත් කොට තැබූ මෙම කාලය තුළ දේශීය හා ජාත්‍යන්තර වශයෙන් රටේ ඉතිහාසය විකෘති කිරීමට දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය වැනි සංවිධාන යම් යම් උත්සාහයන් ද ගත් බවක් දැකිය හැකි ය. ඉතිහාසය විෂය සමාජ අධ්‍යයනය විෂය තුළ ගිලීයාම සම්බන්ධව නිරන්තරයෙන් එල්ල වූ විවේචන හා ජනමාධ්‍ය ප‍්‍රචාර නිසා වර්ෂ 1989 දී සමාජ අධ්‍යයනය විෂය ‘ඉතිහාසය හා සමාජ අධ්‍යයනය’ යනුවෙන් වෙනම බර තැබීමකින් යුක්තව ඉගැන්වීම අරඹා ඇතත් එමඟින් ද අපේක්ෂිත අරමුණු ඉටු නොවිණි. ඉතිහාස හා සමාජ අධ්‍යනය යනුවෙන් පෙළ පොත් දෙකක් හඳුන්වා දීම නිසා ශිෂ්‍යයන්ට අමතර ගැටළුවකට මුහුණ දීමට සිදුවීම සම්බන්ධව, සමාජය දැනුවත් වන්නට විය. මෙහි දී එම ගැටලුවට විසඳුම් සෙවීමට රජය ගත් එකම ක‍්‍රියාමාර්ගය ඉතිහාසය හා සමාජ අධ්‍යයනය වෙනුවෙන් නැවත එක් පෙළ පොතක් හඳුන්වා දීමය. 1972 ප‍්‍රතිසංස්කරණයත් සමග ඇරඹි විවේචනය 2005 දක්වාම වසර 35ක් ආසන්න කාලයක් තුළ නොකඩවා පැවතිනි. අවසානයේ දී වර්ෂ 1972 දී මෙරට පාසල් පද්ධතියෙන් ඉවත්ව ගිය ඉතිහාසය විෂය නැවත වෙනම විෂයක් ලෙසින් පාසල් පද්ධතියට හඳුන්වා දීම සිදු වූ අතර එය මෙරට උගත් බුද්ධිමත් නායකත්වය දරන ලද උත්සාහයේ ජයග‍්‍රහණය වශයෙන්ද සැලකිය හැකිය.

සමාලෝචනය

වර්ෂ 1972 දී සිදුකළ අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ අනුව ඉතිහාසය විෂය සමාජ අධ්‍යයනය තුළ ගිලී යාමක් සිදු වූ අතර ඉන් අනතුරුව ඉතිහාසය විෂය එළඹෙන්නේ සුභදායී පරිසරයකට නොවේ. නව හඳුන්වා දීමත් සමග ඉතිහාසය යනුවෙන් වෙනම විෂයක් පැවති කාලයේ සිසුන්ගේ අවධානයට ලක්කළ විෂය කරුණු රැසක් සමාජ අධ්‍යයනය තුළින් ගිලිහී යාම සැළකිය යුතු ගැටලුවකි. පාසල් විෂය මාලාවෙන් ඉතිහාසය ඈත් කොට තැබූ මෙම කාලය තුළ දේශීය හා ජාත්‍යන්තර වශයෙන් රටේ ඉතිහාසය විකෘති කිරීමට දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය වැනි සංවිධාන යම් යම් උත්සාහයන් ද ගත් බවක් දැකිය හැකි ය. ඉතිහාසය විෂය සමාජ අධ්‍යයනය විෂය තුළ ගිලීයාම සම්බන්ධව නිරන්තරයෙන් එල්ල වූ විවේචන හා ජනමාධ්‍ය ප‍්‍රචාර නිසා වර්ෂ 1989 දී සමාජ අධ්‍යයනය විෂය ‘ඉතිහාසය හා සමාජ අධ්‍යයනය’ යනුවෙන් වෙනම බරතැබීමකින් යුක්තව ඉගැන්වීම අරඹා ඇතත් එමඟින් ද අපේක්ෂිත අරමුණු ඉටු නොවිණි. ඉතිහාස හා සමාජ අධ්‍යනය යනුවෙන් පෙළපොත් දෙකක් හඳුන්වා දීම නිසා ශිෂ්‍යයන්ට අමතර ගැටළුවකට මුහුණ දීමට සිදුවීම සම්බන්ධව, සමාජය දැනුවත් වන්නට විය. මෙහිදී එම ගැටලුවට විසඳුම් සෙවීමට රජය ගත් එකම ක‍්‍රියාමාර්ගය ඉතිහාසය හා සමාජ අධ්‍යයනය වෙනුවෙන් නැවත එක් පෙළපොතක් හඳුන්වා දීමය. 1972 ප‍්‍රතිසංස්කරණයත් සමග ඇරඹි විවේචනය 2005 දක්වාම වසර 35ක් ආසන්න කාලයක් තුළ නොකඩවා පැවතිනි. අවසානයේ දී වර්ෂ 1972 දී මෙරට පාසල් පද්ධතියෙන් ඉවත්ව ගිය ඉතිහාසය විෂය නැවත වෙනම විෂයක් ලෙසින් පාසල් පද්ධතියට හඳුන්වා දීම සිදු වූ අතර එය මෙරට උගත් බුද්ධිමත් නායකත්වය දරන ලද උත්සාහයේ ජයග‍්‍රහණය වශයෙන් ද සැලකිය හැකි ය.

පාදක සටහන්

  1. 1992 මාර්තු 29 වන දින ද සන්ඩේ අයිලන්ඩ් පුවත්පතේ පළ වූ සම්මුඛ සාකච්ඡාව.
  2. 1971.10.29 චක‍්‍රලේඛ අංක 230, නව අධ්‍යාපන යෝජනා, අධ්‍යාපන අමාත්‍යාංශය, 1972.
  3. 1971.09.23 දින දරන චක‍්‍රලේඛ අංක 223, සමාජ අධ්‍යයනය ඉගැන්වීම පිළියෙල වීම, අධ්‍යාපන අමාත්‍යාංශය.
  4. අධ්‍යාපනයේ නවමඟ, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ‍්‍රී ලංකා රජයේ මුද්‍රණාලය, 1972.
  5. අධ්‍යාපනයේ නවමඟ, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ‍්‍රී ලංකා රජයේ මුද්‍රණාලය, 1972.
  6. 1970.09.03 චක‍්‍රලේඛ අංක 178, 1 සිට 8 දක්වා ශ්‍රේණිවල විෂය මාලාව, අධ්‍යාපන අමාත්‍යාංශය.
  7. ශ‍්‍රී ලංකා අධ්‍යාපනයේ දශක හතරක විකාශනය, 1969 – 2009, පර්යේෂණ හා සංවර්ධන දෙපාර්තමේන්තුව ජාතික අධ්‍යාපන ආයතනය, මහරගම, 2013, 369 පිට.
  8. එම, 371 පිට බලන්න.
  9. ශ‍්‍රී ලංකා අධ්‍යාපනයේ දශක හතරක විකාශනය, 1969 – 2009, පර්යේෂණ හා සංවර්ධන දෙපාර්තමේන්තුව ජාතික අධ්‍යාපන ආයතනය, මහරගම, 2013, 371 පිට.
  10. දෙවන පරිච්ඡේදය, ‘සමාජ අධ්‍යයනය විෂය හඳුන්වාදීමෙන් පසු ඉතිහාස විෂය නිර්දේශ හා පෙළපොත්වල ස්වභාවය’, 36-45 පිටු.
  11. කල්පනා සඟරාව, 40 වන වෙළුම, කලාපය, සුමති ප‍්‍රකාශකයෝ, කොළඹ, 1984 නොවැම්බර්, 27 පිට.
  12. රාවය පුවත්පත, 1989 පෙබරවාරි, 17 පිට.
  13. විතානගේ, තුෂාල්, ශ‍්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුව, ඊයේ, අද සහ හෙට, 1815-2009, ජාතික සාම මණ්ඩලය, 2010, 95 පිට.
  14. ධර්මසිරි සතිශ්චන්ද්‍ර, පැකේජයෙන් තමිල් ඊළමට, ශ‍්‍රී ලංකා දහම් දැනුම පදනම, 1999, 207 පිට. (පඤ්ඤාසීහ හිමි මඩිහේ, හැබෑ ඊළාම් රාජ්‍යය, සංසෝමි කොමිසම වෙත ඉදිරිපත් කරනු ලැබූ සන්දේශය, 1999 ජූනි, 21-25 පිටු.
  15. එම, 220-221 පිටු බලන්න.
  16. 1989.07.06 චක‍්‍රලේඛ අංක 1989/1B ඉතිහාසය හා සමාජ අධ්‍යයනය සංශෝධිත විෂයමාලා ක‍්‍රියාත්මක කිරීම, අධ්‍යාපන සංස්කෘතික කටයුතු සහ ප‍්‍රවෘත්ති අමාත්‍යාංශය.
  17. සංස්කෘති, 20 කලාපය, සංස්කෘති ප‍්‍රකාශනය, බොරලැස්ගමුව, 2009 ජුනි, 22-23 පිටු.
  18. ශ‍්‍රී ලංකා අධ්‍යාපනයේ දශක හතරක විකාශනය, 1969 – 2009, පර්යේෂණ හා සංවර්ධන දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන ආයතනය, මහරගම, 2013, 376 පිට.
  19. 1999.11.30 චක‍්‍රලේඛ අංක 99/45 අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ යටතේ අනුමත විෂයමාලා ක‍්‍රියාත්මක කිරීම, කණිෂ්ඨ ද්විතීයික (6-9) සහ ජ්‍යෙෂ්ඨ ද්විතීයික (10 – 11) ශ්‍රේණි අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමා්‍යාංශය,
  20. 1999.11.30 චක‍්‍රලේඛ අංක 99/45 – අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ යටතේ අනුමත විෂයමාලා ක‍්‍රියාත්මක කිරීම, කණිෂ්ඨ ද්විතීයික (6-9) සහ ජ්‍යෙෂ්ඨ ද්විතීයික (10-11) ශ්‍රේණි – අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය.
  21. එම.
  22. ශ‍්‍රී ලංකා අධ්‍යාපනයේ දශක හතරක විකාශනය, 1969-2009, ජාතික අධ්‍යාපන ආයතනය, මහරගම, 2013, 58-59 පිටු.
  23. බලය බෙදාහැරීම, රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, 60-61 පිටු.
  24. ශ‍්‍රී ලංකා අධ්‍යාපනයේ දශක හතරක විකාශනය, 1969-2009, ජාතික අධ්‍යාපන ආයතනය, 2013, 359 පිට.
  25. එම, 67 පිට බලන්න.
  26. එම, 377 පිට බලන්න.
  27. ශ‍්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප‍්‍රතිපත්ති රාමුවක් සඳහා යෝජනා ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව, කොළඹ, 2003, 64-65 පිටු.
  28. 2014.09.13 චක‍්‍රලේඛ අංක 2004/17, සමාජ අධ්‍යයනයේ විෂය වෙනුවට භූගෝල විද්‍යාව, ඉතිහාසය, පුරවැසි අධ්‍යාපනය විෂය හඳුන්වා දීම, අධ්‍යාපන අමාත්‍යාංශය.

[මෙම ලිපිය සමඟ දන්වා ඇති පැරණි ඡායාරූපය http://www.centralpedu.sch.lk වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලද බව කාරුණිකව සලකන්න.]

__________________________________________________________________________________
මෙම ලිපිය 2019.12.19 දින www.history.lk වෙබ් අඩවියේ පළ විය.
__________________________________________________________________________________

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Latest news

වත්හිමි කතා පුවත ඔස්සේ ලක් ඉතිහාසය දෙස නැවත හැරී බැලීමක්

සමීර ප‍්‍රසංග වත්හිමි කතාව, කළුන්දෑ පුවත, වත්හිමි බණ්ඩාර කතාව යනුවෙන් කුරුණෑගල අවට ජනයා අතර ප‍්‍රචලිත ජනශ‍්‍රැතිගත කතා පුවතක් පිළිබඳ ව...

ජාතික ගීය, වෙල්ලාලයන් හා ඉතිහාසය

නලින් ද සිල්වා සුමන්තිරන් ජාතික ගීය කියන්නෙ නැත්නම් ඒකෙ ප්‍රශ්නයක් නැහැ. ජාතික ගීය සම්පූර්ණයෙන් ම දන්න සිංහලයන්ගෙ ප්‍රතිශතය කීයද කියල...

මහාවංසය බොරු එළාර දෙමළ නොවෙයි 

නලින් ද සිල්වා විග්නේෂ්වරන් ඇත්තක් කියලා. ඔහු කියල මහාවංසය බොරු කියල. මහාවංසයෙ බොරුත් තියෙනව තමයි. ඒත් ඒකෙ වෙනත් කරුණු සමග...

ඇස් මහින්ද හිමි හා ජාතික ව්‍යාපාරය

නලින් ද සිල්වා අප ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියන් නමින් හඳුන්වන්නේ සීකීමයේ උපත ලද මහින්ද හිමියන් ය. උන්වහන්සේ ඉපදෙන කාලයෙහි...

සිංහල බෞද්ධ සංස්කෘතිය

නලින් ද සිල්වා සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට ගොඩනැගීම ඇරඹුණේ අද වැනි පොසොන් පොහෝ දිනක ය. එහෙත් එය යම්කිසි ආකාරයක පරිපූර්ණත්වයකට...

සීගිරිය කුරුටු ගෑම

නලින් ද සිල්වා සීගිරි කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් කුරුටු ගෑ මඩකලපුවේ තරුණියක් ජනාධිපති සමාව යටතේ සිරගත කරන ලද කාලය කෙටිකර...

Must read

වත්හිමි කතා පුවත ඔස්සේ ලක් ඉතිහාසය දෙස නැවත හැරී බැලීමක්

සමීර ප‍්‍රසංග වත්හිමි කතාව, කළුන්දෑ පුවත, වත්හිමි බණ්ඩාර කතාව යනුවෙන්...

ජාතික ගීය, වෙල්ලාලයන් හා ඉතිහාසය

නලින් ද සිල්වා සුමන්තිරන් ජාතික ගීය කියන්නෙ නැත්නම් ඒකෙ ප්‍රශ්නයක්...

You might also likeRELATED
Recommended to you