චන්දිම බණ්ඩාර අඹන්වල
සාරාංශය
ක‍්‍රිස්තූදයෙන් 1187-1196 කාලයේ ලක්දිව කිරුළ දැරූ නරපතියා, කාලිඬ්ග වංශික නිශ්ශංකමල්ල බව වංශකතා මෙන් ම පුරාවිද්‍යා මූලාශ‍්‍රය මගින් ද පැහැදිළි කර දී ඇත. ලංකා ඉතිහාසයේ අනන්‍ය ලක්‍ෂණ රැුසක් ප‍්‍රකට කරන පාලකයෙක් වශයෙන් නිශ්ශංකමල්ල රජු හඳුනාගෙන ඇත. ඔහුගේ ක‍්‍රියා අතුරින් දුර නිරූපණය කිරීම සඳහා පිහිටුවනු ලැබූ ගල්කණු හා ඒවායේ සඳහන් කරන ලද උපදේශාත්මක පණිවිඩ විශේෂ දේශපාලන හා සමාජ කාරණාවන් ගෙනහැර දක්වයි. මෙවැනි දුර මිනුම් නොහොත් ගාවුත කණු 15කට වැඩි සංඛ්‍යාවක් ශ‍්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හා අභිලේඛනඥයින්ගේ උත්සාහය හේතුවෙන් අනාවරණය කොටගෙන අර්ථ දක්වා ඇත. 2010 වර්ෂයේ දෙ වැනි අර්ධයේ දී වෙනත් පුරාවිද්‍යා පර්යේෂණ අරමුණක් මුල් කොටගනිමින් කන්තලේ ප‍්‍රදේශයේ සිදුකරන ලද කඩිනම් පුරාවිද්‍යා ගවේෂණයක දී මෙවැනි ගාවුත කණුවක් අනාවරණය කර ගැනීමට හැකි විය. එකී ලේඛනය හඳුන්වා දීම මෙම පත‍්‍රිකාවේ අරමුණයි. නැගෙනහිර පළාතේ කන්තලේ ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ මුස්ලිම් වාර්ගික ජනාවාසයක් වී ඇති තිස්සපුර ග‍්‍රාමය මධ්‍යයේ මෙම ලිපිය අන්තර්ගත කුළුණ ස්ථානගත වී ඇත. මධ්‍ය කාලීන සිංහල අක්‍ෂරයන්ගෙන් හා සිංහල බසින් ලියැවුණු පේළි ත‍්‍රිත්වයකට සීමා වී ඇති මෙම ලිපියේ අන්තර්ගතය ඔස්සේ නිශ්චිත වශයෙන් ම මෙම ලිපිය කාලිංග චක‍්‍රවර්තීන් විසින් ස්ථාපනය කරන ලද ගාවුත කණුවක් බව තහවුරු වේ. කන්තලේ මුල්ලිපොතානෙන් අනාවරණය වී ඇති මෙම වර්ගයේ ලිපිය හා තිස්සපුරයෙන් අනාවරණය වූ මෙම ලිපිය අතර බොහෝ සාදෘෂ්‍යතා පවතින බව ද හඳුනාගත හැකි ය.
ප‍්‍රමුඛ පද : කාලිංග චක‍්‍රවතර්තී, නිශ්ශංකමල්ල, ගාවුත කණු, මුල්ලිපොතාන, කන්තලේ, තිස්සපුර
හැඳින්වීම
ශ‍්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ සාක්‍ෂි සපයන අභිලේඛන මූලාශ‍්‍රය දහස් සංඛ්‍යාවක් පවතින බව අභිලේඛනඥයින් හා පුරාවිද්‍යාඥයින් විසින් අනාවරණය කරගෙන ඇත. මෙම අභිලේඛන ක‍්‍රිස්තු පූර්ව පස් වැනි ශතවර්ශයේ සිට මෑතක් දක්වා ම විවිධ මාධ්‍ය හා විවිධ අක්‍ෂර පද්ධති ඔස්සේ ලේඛනගත වෙමින් පවතී. ලංකාවේ අභිලේඛන භාවිතය තුළ කාලිඬ්ග වාංශික නිශ්ශංකමල්ල රජු විසින් පිහිටුවන ලද අභිලේඛන අනන්‍ය ලක්‍ෂණ රැසක් පෙන්නුම් කරන බව පෙනී ගොස් ඇත. නිශ්ශංකමල්ල රජුගේ අභිලේඛන අතුරින් දුර මැනීමේ ඒකකයක් වන ගවු සටහන් කිරීම සඳහා ස්ථාපනය කරන ලද ගාවුත කණු විශේෂත්වයක් අත්කර ගනී (Ranawella 2005:125-143). නිශ්ශංකමල්ල රජුගේ ගාවුත කණු පිළිබඳ ව එඞ්වඞ් මුලර්, සෙනරත් පරණවිතාන හා සිරිමල් රණවැල්ල වැනි අභිලේඛනඥයින්ගේ අවධානය යොමු වී ඇත. නිශ්ශංකමල්ල රජුගේ ලිපි සහිත ගාවුත කණු වැලිගත්ත, කටුගහගල්ගේ, ඉලුක්කාපුදෙන, යුධගනාව, තිඹිරිගස්ආර, අතලේ, බකිණිගහවෙළ වීදිය, තිඹිරිය විහාරය, පොතුබන්ධන විහාරය, බඩල්කුඹුර, කණිච්චිගල, වේරගොඩගල, මැඬිල්ල, අග්බෝපුර හා මුල්ලිපොතාන යන ස්ථානවලින් වාර්තා වී ඇත (Id. 2005:125-126, 2008:369-370). ඒවායේ අන්තර්ගත ලිපි සංක්‍ෂිප්ත සටහනක සිට උපදෙස් සහිත විස්තරාත්මක ප‍්‍රකාශ දක්වා පරාසයක පැතිරී ඇත.
2011 වර්ෂයේ දෙ වැනි භාගයේ දී පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පර්යේෂණ අරමුදල් අනුග‍්‍රහය මත ශ‍්‍රී ලංකාවේ පැරණි මාර්ග පද්ධතිය පිළිබඳ ව සිදුකරන ලද අධ්‍යයනයක (Vidanapathirana 2011) ක්‍ෂේත‍්‍ර අධ්‍යයන කටයුතු අතරතුර කන්තලේ ප‍්‍රදේශයේ පදිංචි ග‍්‍රාමාරක්‍ෂක බලකායේ සාමාජිකයෙකු වූ අරුණසිරි මහතා විසින් කන්තලේ තිස්සපුර ප‍්‍රදේශයේ ඇති ශිලාලේඛනයක් පිළිබඳ තොරතුරු ලබාදෙන ලදු ව ඒ පිළිබඳ ව, 2011 දෙසැම්බර් මස 24 වැනි දින සිදුකරන ලද සොයා බැලීමේ දී එම ලිපිය නිශ්ශංකමල්ල රජු විසින් ස්ථාපනය කරන ලද ගාවුත කණුවක් බව අනාවරණය කරගැනීමට හැකි විය. මෙම ලිපිය හා එය පවත්නා අවිනිශ්චිත ආරක්‍ෂිත තත්ත්වය පිළිබඳ ව ශ‍්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන හා නානක විද්‍යා අධ්‍යක්‍ෂ (වැඩ බලන) නාමල් කොඩිතුවක්කු මහතා දුරකතන මාර්ග ඔස්සේ ඒ සමඟ ම දැනුවත් කරන ලදී. අදාළ ලිපිය හා එය වර්තමානයේ පවතින තත්ත්වය පිළිබඳ සංවේදී වෙමින් ඒ මහතා විසින් ලබාදෙන ලද උපදෙස් හා කාරුණික අනුග‍්‍රහය මත විධිමත් ක‍්‍රමවේද අනුව මෙම ලිපියේ පිටපතක් මෙම කතුවරයා විසින් සකස් කරන ලදී.
වර්තමානයේ මහමදික බැතිමතුනගේ වාසභූමියක් වී ඇති තිස්සපුර ග‍්‍රාමයේ මොල්ලිපොතාන කලාප අංක 8හි අංක 158 දරන නිවසේ පදිංචි ඒ. ජරීනා මහත්මිය නිවැසි ඉඩමේ සීමාවේ මෙම ලිපිය අන්තර්ගත ගල්කුළුණ දැකිය හැකි වේ. මෙම ස්ථානය තඹලගමුව ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අංක 228, මොල්ලිපොතාන ග‍්‍රාම නිලධාරී වසමේ ස්ථානගත වී ඇත. සෙන්ටිමීටර් 190ක් දිග හා පළල සෙන්ටිමීටර් 60ක් වන කුළුනෙන් වැඩි ප‍්‍රමාණයක් පසින් යට වී ඇති අතර ලිපිය සහිත කුළුනේ ඉහළ ප‍්‍රදේශයෙන් කොටසක් පමණක් පොළොව මට්ටමින් ඉහළට එසැ වී ඇත. මෙකී ස්ථානය මෙම කුළුණ පිහිටි මුල් ස්ථානය වීමට ඉහළ ඉඩක් ඇත. ප‍්‍රස්තුත ලිපිය කණුවේ ඉහළ භාගයේ සිරස් අතට සටහන් කර ඇත. සෙන්ටිමීටර් 6ක පරතරය සහිත ව සෙන්ටිමීටර් 48ක පමණ දිගකින් යුතු ව සටහන් කර ඇති රේඛා 4ක් මධ්‍යයේ පේළි 3කින් යුතු ව මෙම ලිපිය සටහන් කර ඇත. නිශ්ශංකමල්ල රජුගේ වෙනත් ලිපිවල දැක්වෙන මධ්‍ය කාලීන සිංහල (12 වැනි සියවසට අයත්) අක්‍ෂරයෙන් සටහන් කර ඇති මෙම ලිපියේ ද බස සංස්කෘත බසට ආසන්න නෑකමක් සහිත මධ්‍ය කාලීන සිංහල බසයි. මෙම ලිපියේ දැක්වෙන අක්‍ෂරයක සාමාන්‍ය උස සෙන්ටිමීටර් 3-5ත් අතර වන අතර පළල සෙන්ටිමීටර් 2.5-5ත් අතර පරාසයක පැතිර ඇත. අකුරු රේඛාවේ පළල මිලිමීටර් 3-5ත් අතර වේ. ගැඹුර මිලිමීටර් 1-2ක් පමන වේ. මෙම ලිපියේ පළමු වැනි හා දෙ වැනි පේළි තරමක් හායනයට පත් වී ඇතත් කියවාගත හැකි තරම් සතුටුදායක මට්ටමක පවතී. එහෙත්, තෙ වැනි පේළියේ දැක්වෙන අකුරු සාපේක්‍ෂ ව, සැලකිය යුතු තරමින් ගෙවී ගොස් හායනයට ලක් වී ඇත. තෙ වැනි පේළියේ දැක්වෙන අක්‍ෂර 9 අතුරින් වමේ සිට 1, 5, 8 හා 9 යන අකුරු තදබල ලෙස හායනයට පත් ව ඇත.
මෙම ලිපියේ අන්තර්ගතය, ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයේ කන්තලේ මුල්ලිපොතානෙන් අනාවරණය වී ඇති නිශ්ශංක ගාවුත කණු ලිපිය සමඟ සාකල්‍යයෙන් ම සමානුපාත බැව් නිරීක්‍ෂණය කළ හැකි වේ. මෙම ලිපිය මීට ඉහත දී මුද්‍රණ අච්චු, අනුසාරයෙන් ලිපි ලියූ ක‍්‍රමය අනුගමනය කරමින් සටහන් කරන ලද ලිපියක් දැයි සලකා බැලිය යුතු ය. (ඒ සඳහා මුල්ලිපොතාන ලිපියේ ස්පර්ශ ලාංඡුනයේ පිටපතක් සපයාගැනීමට නොහැකි වූ බැවින් එය පරික්‍ෂා කිරීමට අවස්ථාව උදා වූයේ නැත.) ඒ අනුව, රුහුණු රාජ්‍යයේ අගනගරය වූ මහානාගහුල හා ත‍්‍රිකුණාමලය අතර පැවති මාර්ගයේ (Ranawella 2005:126-127,2008:370) ස්ථාපනය කරන ලද තවත් ලිපියක් ලෙස පහත දැක්වෙන පෙළ සහිත කන්තලේ තිස්සපුර ගාවුත කණුව නම්කළ හැකි වේ.
පෙළ
1. ශ‍්‍රී කාලිඟ චක‍්‍රවර්ත්තී
2. න් වහන්සෙ නියත ක
3. [ළ] නිශ්ශංක ගවු[වයි]
සිංහල අර්ථය
සිරි කාලිංග චක‍්‍රවර්තීන් වහන්සේ [විසින්] නියම කරන ලද නිශ්ශංක ගවු [කණුවයි]
ආශ‍්‍රිත ග‍්‍රන්ථ හා ලේඛන
- පොන්සේකා, පී. (2008), දකුණේ සිට වමට ලිවූ බ‍්‍රාහ්මී ලෙන් ලිපි උඩු යටිකුරු වූ අක්‍ෂර වැනි දෝෂ ඇති වූයේ කෙසේ ද? ජාතික පුරාවිද්‍යා සමුළුව, 2008 ජූලි 7 හා 8, ශ‍්‍රි ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ 7. 404-408
- Ranawella, S. (2005), The Gavuta Pillar Inscriptions of King Nissankamalla, Ancient Ceylon, N0.18, Director General of Archaeology, Department of Archaeology, Colombo 7. 125-143
- Ranawella, S. (2008), The Gavuta Pillar Inscriptions, National Archaeological Symposium 7th & 8th July, 2008, Department of Archaeology, Colombo 7. 369-374
- Vidanapathirana, P. (2011), Road Network in Northern Province of Ancient Sri Lanka, Preliminary Report – 2011, Postgraduate Institute of Archaeology, Colombo 7. (Unpublished).
පළමු ප්‍රකාශනය : C.B. Ambanwala (2016), ශ්‍රී කාලිංග චක්රවර්තීන් වහන්සේගේ තවත් ගව්වක් : කන්තලේ තිස්සපුර ගාවුත කණුව, Samprasadana : Essays in Honour of Professor K.M.P. Kulasekara, Chief Editor, J.M. Sudharmawathi & D.T. Kogalage, Department of History, Universit of Kelaniya, Kelaniya. 277 – 280 pp.
__________________________________________________________________________________
මෙම ලිපිය 2019.12.19 දින www.history.lk වෙබ් අඩවියේ නැවත පළ විය.
__________________________________________________________________________________