• මුල් පිටුව
  • අප ගැන
මහනුවර යුගය පළමු වැනි විමලධර්මසූරිය රජ දවස සතර කෝරළේ සටන් ව්‍යාපාර

පළමු වැනි විමලධර්මසූරිය රජ දවස සතර කෝරළේ සටන් ව්‍යාපාර

-

හසිත චාමිකර ගුණසිංහ

කථිකාචාර්ය, ඉතිහාස අධ්‍යයන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය, කැලණිය

කථිකාචාර්ය හසිත චාමිකර ගුණසිංහ

හැඳින්වීම

බෙලිගල්, කිණිගොඩ, ගල්බොඩ සහ පරණකුරු යන කෝරළවලින් සමන්විත වූ සතර කෝරළය කන්ද උඩරට රාජධානියේ මහදිසා සතරින් පළමු තැනෙහි ලා සැලකිණි. උඩරට රාජධානිය ආරම්භවීමටත් පෙරාතුව සිට සතර කෝරළයට විශාල වැදගත්කමක් හිමිව තිබුණේ පහතරට සහ උඩරට සම්බන්ධ කරන කෙටිම හා පහසුම මාර්ගය ඒ හරහා වැටී තිබීම හේතුවෙනි. එම පසුබිම තුළ කන්ද උඩරට රාජධානියේ ආරක්ෂාව මෙන්ම බාහිර සබඳතා පැවැත්වීම පිළිබඳ වැඩි වගකීමක් සතර කෝරළ මහ දිසාවේ වෙත පැවරුණු හෙයින් බොහෝ විට එකී තනතුර හිමි වූයේ අතිශය විශ්වාසී රාජපාක්ෂික රදල ප‍්‍රධානියකු වෙත ය.

අනුරාධපුර රාජධානි සමය තෙක් දිවෙන සතර කෝරළයේ ඓතිහාසිකත්වය පිළිබඳ සාහිත්‍ය සහ පුරාවිද්‍යාත්මක සාධක බහුල ය. දුටුගැමුණු (කි‍්‍ර.පූ. 161-137), වළගම්බා (කි‍්‍ර.පූ. 89-76), මහා විජයබාහු (කි‍්‍ර.ව. 1056-1111), මහා පරාක‍්‍රමබාහු (1153-1186) හා හයවන පරාක‍්‍රමබාහු (1412-1467) ආදී රජදරුවන්ට රැකවරණය මෙන්ම සේනා බලය ද සපයා දෙමින් සතර කෝරළවාසීන් විසින් සිදුකර ඇති සේවාව විශේෂ එකකි.

වර්ෂ 1590 දී පමණ පළමු වන විමලධර්මසූරිය (1590-1604) නමින් රජ පැමිණි කොනප්පු බණ්ඩාර කන්ද උඩරට රාජධානිය ස්ථාපනය කිරීමෙන් අනතුරුව උඩරටට එරෙහිව පෘතුගීසීන් විසින් දියත් කරනු ලැබූ ආක‍්‍රමණ මාලාව හමුවේ රාජධානිය සුරක්ෂිත කිරීමේ විශාල වගකීමක් සතර කෝරළයට ද හිමිවිය. කන්ද උඩරට අල්ලා ගැනීමට නම් සතර කෝරළය අත්පත් කොටගැනීමේ අවශ්‍යතාව වටහා ගෙන සිටි පෘතුගීසීන් නිරතුරුවම සතර කෝරළයේ ආදිපත්‍ය තහවුරු කරගැනීම උත්සුක වූ හෙයින් එවකට සිංහල-පෘතුගීසී ප‍්‍රධාන රණබිමක් වශයෙන් පැවතියේ ද සතර කෝරළයයි. ආරම්භයේ පටන් කන්ද උඩරට රාජධානියේ ආරක්ෂාව මුල්තැනෙහි ලා සලකමින් විදෙස් ජාතීන්ගේ ආක‍්‍රමණවලින් රාජධානිය සුරක්ෂිත කිරීම සඳහා සතර කෝරළය ලබාදුන් දායකත්වය උඩරට රජදරුවන් විසින් අගය කරන ලද්දේ විශිෂ්ටතම දිසාවට පිරිනමනු ලබන ඉරහඳ මහ කොඩිය සතර කෝරළයට පිරිනැමීමෙනි.

සතර කෝරළය කේන්ද්‍ර කරගනිමින් සිංහල-පෘතුගීසී සටන් වැඩි වශයෙන්ම පැවති පළමු වන විමලධර්මසූරිය රාජ සමය පිළිබඳ මෙම අධ්‍යයනයෙන් අවධානය යොමු කර තිබෙන අතර ඉන් සතර කෝරළයේ තිබූ භූගෝලීය වැදගත්කම සේම එහි වැසියන්ගේ නිර්භීත භාවය පිළිබඳ මනාව පැහැදිලි වේ.

පූර්ව කන්ද උඩරට සමයේ සතර කෝරළය

කෝට්ටේ රාජධානියේ දිසාවනියක්ව පැවති සතර කෝරළය, රාජධානියේ අවසන් වකවානුවේ පැවති අර්බුද හේතුවෙන් සීතාවක, කන්ද උඩරට සහ කෝට්ටේ අතර හුවමාරු වන තත්ත්වයකට පත්ව තිබුණි. වර්ෂ 1476 දී කන්ද උඩරට සේනා සම්මත වික‍්‍රමබාහු රජු විසින් සතර කෝරළය අත්පත් කරගනු ලැබුව ද, නැවතත් කෝට්ටේ හයවන බුවනෙකබාහු රජු (1472-1480) සතර කෝරළය අත්පත් කරගැනීමට සමත්විය. එහෙත් වැඩිකල් නොගොස් සතර කෝරළය බලය උඩරට සතු වූ අතර වර්ෂ 1521 දී විජයබා කොල්ලයෙන් අනතුරුව කෝට්ටේ සිහසුනට පැමිණි හත්වන බුවනෙකබාහු රජුට (1521-1551) එය ඉවසුම් නොදෙන්නක් වී තිබිණි. එවකට උඩරට පාලක ජයවීර බණ්ඩාර සෙබලුන් කණ්ඩායමක් පවා සතර කෝරළයේ රඳවා තිබුණේ එහි ආරක්ෂාව වෙනුවෙනි. කෙසේ වෙතත් සතර කෝරළය ආක‍්‍රමණය කිරීම සඳහා බුවනෙකබාහු රජුට අවස්ථාව උදා වූයේ ජයවීර පෘතුගීසීන් සමග සබඳතා ආරම්භ කිරීමත් සමග ය. ඒ පිළිබඳ තම අසතුට පළ කළ බුවනෙකබාහු රජු සීතාවක මායාදුන්නේගේ (1521-1581) ද සහය ඇතිව සතර කෝරළය අල්ලා ගැනීමට කටයුතු කළේ ය.

එහෙත් ටික කලකින් කෝට්ටේ රාජධානියේ පැවති අභ්‍යන්තර අර්බුද හේතුවෙන් උපක‍්‍රමශීලීව සතර කෝරළයේ බලය හිමිකරගැනීමට සීතාවක මායාදුන්නේ රජු (1581-1593) සමත් විය. එතැන් පටන් පළමු වන රාජසිංහ රජුගේ අභාවය තෙක් සීතාවක රාජධානියේ ප‍්‍රධාන බල ප‍්‍රදේශයක් බවට පත්ව තිබුණේ සතර කෝරළයයි. වර්ෂ 1565 දී උඩරට පාලක කරලියැද්දේ බණ්ඩාර විසින් සතර කෝරළය හරහා හලාවතට ප‍්‍රහාරයක් එල්ල කිරීමට කටයුතු කළ හෙයින් සීතාවක දේශ සීමාව උල්ලංඝනය කළ කරලියැද්දේට එරෙහිව සීතාවක රාජසිංහ රජු උඩරට ආක‍්‍රමණයක් දියත් කිරීමට තීරණය කළේ ය. මුල් අවස්ථාවේදී එය සාර්ථක නොවුණ ද වර්ෂ 1578 දී බලන දක්වා ආක‍්‍රමණය කළ සීතාවක රාජසිංහ රජු වර්ෂ 1582 දී උඩරට අල්ලා ගැනීමට සමත් විය.

කන්ද උඩරට ආක‍්‍රමණය සඳහා සීතාවක රාජසිංහ රජුට සහය වූ වීරසුන්දර බණ්ඩාර මරා දැමීමට රජු කටයුතු කළ හෙයින් වීරසුන්දරගේ පුත් කොනප්පු බණ්ඩාර පෘතුගීසීන්ගේ රැකවරණ පතා පලා ගියේ ය. එලෙස පලා ගිය කොනප්පු බණ්ඩාර පෘතුගීසීන් යටතේ යුද ශිල්ප හදාරා අවසානයේ දී පෘතුගීසී හමුදා සමග උඩරටට පැමිණියේ පෘතුගීසී හිතැති පාලනයක් එහි ස්ථාපනය කිරීමේ අරමුණෙනි. එහෙත් සිංහල රාජධානියක් ස්ථාපනය කිරීමේ සැඟවුණු අරමුණින් කටයුතු කළ කොනප්පු බණ්ඩාර වර්ෂ 1590 දී පමණ කන්ද උඩරට සිහසුන අත්පත් කරගැනීම ලක් ඉතිහාසයේ විශේෂ සන්ධිස්ථානයක් විය. ඊට එරෙහිව සටන් වැදි සීතාවක රාජසිංහ රජු පළමු වන විමලධර්මසූරිය අතින් පරාජයට පත් වූ අතර ආපසු සීතාවක බලා ඒමේ දී උණ කටුවක් ඇනී රාජසිංහ රජු අභාවයට පත්විය.

පළමු වන විමලධර්මසූරිය සමයේ සතර කෝරළය

තමන්ට සහ කි‍්‍රස්තියානියට ද්‍රෝහීවෙමින් කන්ද උඩරට කොල්ල කෑ දාමරිකයකු ලෙස විමලධර්මසූරිය හැඳින් වූ පෘතුගීසීහු කන්ද උඩරට අත්පත් කරගැනීමේ දැඩි අරමුණින් යුදමය කි‍්‍රයාදාමයකට අවතීර්ණ වෙමින් සිටියහ. එහි පළමු පියවර වූයේ විමලධර්මසූරිය රජු පරාජය පත්කොට උඩරට නීත්‍යානුකූල උරුමකාරිය වූ කුසුමාසන දේවිය උඩරට සිහසුනට පත්කිරීම සඳහා පෘතුගීසී කපිතාන් ජෙනරාල් පේරෝ ලෝපේස් ද සූසා (Pedro Lopes de Souza) සමග සේනාවක් වර්ෂ 1594 දී පිටත් කරනු ලැබීමයි. මැණික්කඩවර ආදී ප‍්‍රදේශ පසුකරමින් උඩරටට ඔවුන් පැමිණෙන විට උපායශීලී විමලධර්මසූරිය රජු පසු බැසීමට තීරණය කළේ ය. සෙංකඩගල අගනුවරට පැමිණි පෘතුගීසීන්ට ටික දිනකින්ම එහි දේශගුණය අහිතකර වූ අතර ජනතා සහයෝගය ද නොලද හෙයින් සිදු වූයේ ආපසු කොළඹ බලා පසුබැසීමට ය. පසුබසින පෘතුගීසී සේනාව දන්තුරේ දී පරාජයට පත්කිරීමට විමලධර්මසූරිය රජු සමත් වූ අතර පෘතුගීසී කපිතාන් ජෙනරාල් සූසා මරුමුවට පත්විය. එහි දී පෘතුගීසීන් ලත් පරාජයත් සමග පහතරට ප‍්‍රදේශවල ඇතිවුණු පෘතුගීසී විරෝධී කැරැල්ලේ විශේෂ කාර්යයභාරයක් ඉටුකරන ලද්දේ සතර කෝරළයයි. එහෙත් කෙටි කලකින් සතර කෝරළයේ හා සත් කෝරළයේ කැරලිකරුවන් මර්දනය කිරීමට පෘතුගීසී ලැස්කරින් හමුදා ප‍්‍රධානී එදිරිල්ලේ රාල සමත්විය.

මේ වන විට කන්ද උඩරට ස්වාධීන රාජධානියක් වශයෙන් පැවතිය ද, රාජධානිය අභ්‍යන්තරයේ පැවති දුර්වලතා හමුවේ සෘජුවම පෘතුගීසීන්ට එරෙහිව සටනකට එළඹීමට විමලධර්මසූරිය රජු අපේක්ෂා නොකළේ ය. එහෙත් පහතරට ප‍්‍රදේශවල පෘතුගීසීන්ගේ කි‍්‍රයාකාරකම් පිළිබඳ රජු දැඩි විමසිල්ලෙන් පසුවූයේ ඕනෑම අවස්ථාවක කන්ද උඩරටට පෘතුගීසීගෙන් ප‍්‍රහාරයක් එල්ල විය හැකි හෙයිනි. රජු මේ අවස්ථාවේ දී සටන් පිටියට නොබැස එහි වන දෑ මහත් ඕනෑකමින් බලා සිටීමේ පේ‍්‍රක්ෂක ප‍්‍රතිපත්තියක් අනුගමනය කළේ උඩරටට උවදුරක් නොවන තාක් බව ඒ පිළිබඳ අදහස් දක්වන මහාචාර්ය ටිකිරි අබේසිංහ සඳහන් කරයි. එහෙත් රට මැද ස්වාධීන රාජ්‍යයක් පැවතීම නොඉවසූ පෘතුගීසීන් උඩරට රාජධානිය යටත් කොටගැනීම ස්වකීය මුඛ්‍ය පරමාර්ථය කරගත් හෙයින් ඒ සඳහා ගත් මූලික පියවර වූයේ සතර කෝරළයේ හා සත් කෝරළයේ බලය සම්පූර්ණයෙන් තහවුරු කරගැනීමයි.

සතර කෝරළයේ සහ සත් කෝරළයේ පිහිටීම පිළිබඳ සලකා බැලීමේ දී කන්ද උඩරට රාජධානියට වැටී තිබුණු පහසුම සහ කෙටිම මාර්ගය වැටී තිබුණේ මේ ප‍්‍රදේශ හරහා ය. මෙනිසා කන්ද උඩරට ආක‍්‍රමණයක් සාර්ථක කරගැනීමට නම් සතර කෝරළය අත්පත් කරගැනීම අනිවාර්යය වී තිබිණි. එකී පසුබිම තුළ කන්ද උඩරට රාජධානියේ අවසානය දක්වාම සතර කෝරළය පිළිබඳ උඩරට රජවරුන්ගේ විශේෂ අවධානය යොමුව තිබූ අතර එහි පාලනය භාර දෙනු ලැබුවේ අතිශය රාජපාක්ෂික නිලධාරියකුට ය. මුල් කාලීනව සියනෑ, හාපිටිගම, බෙලිගල්, හඳපාන්දුනු, කිණිගොඩ, පරණකුරු, ගල්බොඩ යන කෝරළවලින් සතර කෝරළ දිසාවනිය සමන්විත වූ අතර ඒ ප‍්‍රදේශයේ වාසය කළ ජනතාව ලංකාවේ සමස්ත ජනගහනයෙන් උතුම් පිරිසක් බව පෘතුගීසී ජාතික පූජක ෆර්නා ඕ ද ක්වේරෝස් (Fernao de Queiroz) ස්වකීය The Temporal and Spiritual Conquest of Ceylon කෘතියේ සඳහන් කරයි. අනුරාධපුර රාජධානි සමයේ ශී‍්‍ර මහා බෝධිය වැඩම කර වූ සුමිත්ත රජ පෙළපතින් සහ දළදාව වැඩම කර වූ හේමමාලා දන්ත රජ පෙළපතින් පැවැත එන රාජකීයයන් සතර කෝරළයේ විසූ හෙයින් විදෙස් පාලකයන්ට එරෙහිව ඔවුන් නිරතුරුවම කටයුතු කර තිබිණි. එපමණක් නොව කොළඹට ආසන්නයේ සතර කෝරළය පිහිටි හෙයින් එහි බලය අත්පත් කරගැනීම සෑම අතකින්ම පෘතුගීසීන්ට වාසිදායක විය.

සතර කෝරළය හෝ සත් කෝරළය හෝ මේ වන විට කන්ද උඩරට පාලනයට නතුව නොතිබුණු හෙයින් විමලධර්මසූරිය රජු පෘතුගීසීන් සමග සටනට එළඹියේ ඒ ප‍්‍රදේශ අත්පත් කරගැනීමට නොව එහි පෘතුගීසි බලය ස්ථාපනය වීමට වැළැක්වීමේ අපේක්ෂාවෙනි. එයට හේතුව වූයේ එකී ප‍්‍රදේශවල පෘතුගීසී බලය ස්ථාපිත වුවහොත් තවදුරටත් කන්ද උඩරට සුරක්ෂිත නොවන බව රජු හොඳාකාරවම දත් හෙයිනි.

මෙ නිසා දක්ෂ පෘතුගීසී සෙන්පතියෙකු වූ ගැස්පාර් කොරෙයාගේ (Gaspar Correa) ආධාර ඇතිව සතර කෝරළය අත්පත් කරගැනීමේ කාර්යය පෘතුගීසී බලධාරීන් විසින් පවරනු ලැබුවේ එදිරිල්ලේ රාලගේ ඥාතියකු වූ සැල්වදෝර් පෙරෙයිරාට (Salvador Pereira) ය. ආරම්භයේ දී මැණික්කඩවර ඇතුළු ප‍්‍රදේශ කීපයක පෘතුගීසී බලය ස්ථාපනය කිරීමට කොරෙයා සමත් විය. පෘතුගීසීන්ගේ හමුදා බලය ශක්තිමත්ම පැවති හෙයින් ඊට සෘජුවම මුහුණ දීමට අපොහොසත් වූ විමලධර්මසූරිය රජු උපායශීලී වෙමින් සබරගමුව හා මාතර ප‍්‍රදේශවල පෘතුගීසී විරෝධී අරගල ඇතිකරවන්නට සමත් විය. රජුගේ උපදෙස් පරිදි ඌවේ කුමරු මාතර දිසාවනියටත්, සිමන් කොරෙයා (Simao Correa) දෙනවක කුමාරවරුන් ඇතුළු පිරිසක් සමග සබරගමුවටත් ඒ සඳහා පිටත් කෙරිණි. ඉන් රජු අපේක්ෂා කළේ පෘතුගීසීන්ගේ අවධානය සබරගමුව හා මාතර වෙත යොමු කොට ඔවුන්ගේ සමස්ත හමුදා බලය සතර කෝරළය හා සත් කෝරළය අල්ලා ගැනීමට යෙදවීම වැළැක්වීමයි.

එහෙත් රජුගේ උපාය වටහාගත් පෘතුගීසී කපිතාන් ජෙනරාල් දොන් ජෙරනිමෝද අසවේදු (Dom Jeranimo de Azavedo) හලාවත ඉදිකරමින් සිටි බලකොටුවේ වැඩකටයුතු පවා තාවකාලිකව නවතා දමමින් වහාම අතිරේක බලසේනා සතර කෝරළයට සහ සත් කෝරළයට පිටත් කිරීමට කටයුතු කළේ ය. මේ වන විට රජු අපේක්ෂා කළ පරිදි මාතර හා සබරගමු ප‍්‍රදේශවල පෘතුගීසි විරෝධි අරගලය එතරම් සාර්ථක නොවූ හෙයින් කෙටි කලකින්ම ඒ ප‍්‍රදේශවල ස්වකීය ආදිපත්‍ය නැවතත් තහවුරු කිරීමට පෘතුගීසීහු සමත් වූහ. ඒ අතර පෘතුගීසී ලැස්කරින් හමුදාව සමග සැල්වදෝර් පෙරෙයිරාගේ සහයට පැමිණි එදිරිල්ලේ රාල සබරගමුව, සතර කෝරළය හා සත් කෝරළයේ රැඳී සිටි උඩරට හමුදා පලවා හැරීමට සමත් විය. මෙම අවස්ථාවේ දී දැරණියගල සිට මැණික්කඩවරට පහර දීමට රජු උත්සහ කළ ද, පෙරෙයිරාගේ උපායශීලී පහරදීම් හමුවේ රජුට සිදු වූයේ උඩරට බලා පසුබැසීමට ය. රජුගේ පසුබැසීමත් සමග සතර කෝරළය සහ සත් කෝරළය තම බලය පිහිටු වීමට පෘතුගීසීන්ට හැකිවූ අතර උඩරටට පිවිසිය හැකි දුර්ග මාර්ග සියල්ලේම රැකවල් තරකිරීමට රජු කටයුතු කළේ හදිසි පෘතුගීසී ප‍්‍රහාරයකට මුහුණ දීමේ අපේක්ෂාවෙනි. පෘතුගීසීන් ද කන්ද උඩරට අල්ලාගැනීමේ අපේක්ෂාව පෙරදැරිව සතර කෝරළයේ ආරක්ෂාව තහවුරු කිරීමට බලකොටු රාශියක් ඉදි කළ අතර ඒවා බොහොමයක් පිහිටා තිබුණේ භූගෝලීය වශයෙන් ආරක්ෂිත පිහිටීමක් තිබූ ස්ථානවල ය. මැණික්කඩවර, දමුණුගස්හින්න, මොට්ටප්පුලිය, දියසුන්නත, අට්ටාපිටිය සහ දීවල එකී බලකොටු පිහිටි ස්ථාන අතුරින් කීපයකි.

පෘතුගීසීන් සතර කෝරළයේ නීත්‍යානුකූල පාලකයන් බවට පත්වීම

අනුප‍්‍රාප්තිකයෙකු නොමැති කෝට්ටේ ධර්මපාල රජු (1551-1597) තමාගේ ඇවෑමෙන් කෝට්ටේ රාජධානියේ අයිතිය පෘතුගාල රජුට හිමිවන පරිද්දෙන් තෑගි ඔප්පුවකට වර්ෂ 1580 අගෝස්තු 12 වනදා අත්සන් තබා තිබිණි. වර්ෂ 1597 මැයි 27 වනදා ධර්මපාල රජුගේ අභාවයත් සමග තෑගි ඔප්පු ප‍්‍රකාරව කෝට්ටේ රාජධානියේ බලය නීත්‍යානුකූලව භාරගත් පෘතුගීසීහු මැයි 29 වනදා මල්වානේදී ප‍්‍රසිද්ධ රැස්වීමක දී ඒ බව ප‍්‍රසිද්ධියට පත් කළහ. ඒ අවස්ථාවට සහභාගි වූ කෝට්ටේ රාජ සභා ප‍්‍රධානීන් ඉදිරියේ ධර්මපාල රජුගේ තෑගි ඔප්පුව කියවනු ලැබූ අතර අනතුරුව බයිබලයේ අත තබා දිවුරුම් දුන් රාජ සභා ප‍්‍රධානීහු ස්වකීය පක්ෂපාතීත්වය පෘතුගාල රජුට පළ කළහ. එතැන් පටන් කි‍්‍රයාත්මක වූ පෘතුගීසී පාලනය යටතේ කෝට්ටේ රාජධානිය ප‍්‍රධාන දිසාවනි හතරකට බෙදනු ලැබූ අතර ඉන් එකක් වූයේ සතර කෝරළ දිසාවනියයි. කන්ද උඩරට මායිම් කරගත් එම දිසාවනිය කඩුගන්නා කඳුවැටිය දක්වා විහි දී තිබිණි. සතර කෝරළය පෘතුගීසීන්ට කෙතරම් වැදගත් වූයේ ද යත්, ඔවුන්ගේ ලැස්කරින් හමුදාවට ස්වදේශිකයන් බඳවා ගැනීමේ දී 1,200ක පමණ විශාල සෙබළ පිරිසක් සතර කෝරළයෙන් එක්ව සිටි බව සඳහන් වේ. මෙනිසාම සතර කෝරළයේ තම බලය වඩාත් හොඳින් තහවුරු කරනු පිණිස කතෝලික ආගම එහි පැතිරවීමට පෘතුගීසීන් කටයුතු කළ අතර ඒ කටයුතු පැවරී තිබුණේ ෆ‍්‍රැන්සිස්කානු සහ ඩොමිනිකානු නිකායික පූජකවරුන්ට ය. ඔවුන්ගේ ආගමික ව්‍යාපාරය කෙතරම් සාර්ථක වූයේ ද යත් වර්ෂ 1634 වන විට සතර කෝරළයේ කතෝලික පල්ලි සහ ආගමික මධ්‍යස්ථාන රාශියක් ඉදිව තිබූ බව කියැ වේ. අලිඇතුන්ගේ ප‍්‍රධාන වාසභූමියක් වූ සතර කෝරළයෙන් පෘතුගීසීන්ගේ අලි ඇතුන් වෙළෙඳාම සඳහා අලිඇතුන් අල්ලා ගැනුණු හෙයින් ආර්ථික වශයෙන් ද සතර කෝරළයට හිමි වූයේ අතිශය වැදගත් තත්ත්වයකි.

සතර කෝරළය සහ සත් කෝරළයේ පෘතුගීසී බලය තහවුරුව පැවතිය ද කෙටි කලකින්ම පෘතුගීසී විරෝධී අරගල යළිත් ඒ ප‍්‍රදේශවල ඇතිවුණි. මෙම ප‍්‍රදේශ විශාලත්වයෙන් වැඩිවීම සහ කඳු මූකලාන්වලින් ගහණව පැවතීම හේතුවෙන් භූමියේ පිහිටීම පෘතුගීසීන්ට ගෙනදුන්නේ බලවත් අවාසි සහගත තත්ත්වයකි. පෘතුගීසී සෙබළුන් වරින්වර පැතිර ගිය රෝගවලට ගොදුරු වීමත් හේතුවෙන් පෘතුගීසී බලය ක‍්‍රමයෙන් අස්ථාවර තත්ත්වයකට පත්වෙමින් පැවතිය ද, වර්ෂ 1,600 වන විට නැවතත් සතර කෝරළය සහ සත් කෝරළයේ පෘතුගීසී බලය යළිත් ස්ථාපනය කිරීමට අසවේදු කි‍්‍රයාකළ හෙයින් පෘතුගාල රජුගේ පැසසුම ද ඔහුට හිමි විය.

එහෙත් කෝට්ටේ ධර්මපාල රජුගේ අභාවයත් සමග සිංහල රාජධානිය අඛණ්ඩව පවත්වාගෙන යාමේ වගකීම උරමත දරාගත් විමලධර්මසූරිය රජුගේ අභිප‍්‍රාය වූයේ කන්ද උඩරටට තර්ජනයක්ව පවතින සතර කෝරළය හා සත් කෝරළයේ පෘතුගීසී පාලනය නිමාවට පත්කිරීමයි. එහි මූලික පියවරක් වශයෙන් සිමොන් කොරෙයාගේ නායකත්වයෙන් මාතර දිසාවනියට පහර දීමට සේනාවක් පිටත් කිරීමට රජු කටයුතු කළ ද, එය ව්‍යර්ථ කිරීමට මාතර දිසාවනියේ සමරකෝන්ට මුදලිට හැකිවිය. පෘතුගාල රජුට මේ පිළිබඳ වාර්තා වීමත් සමග රජුගේ ප‍්‍රසාදය ද සමරකෝන් මුදලිට හිමිවිය. සතර කෝරළයේ පෘතුගීසී පාලනය පවත්වාගෙන ගිය ගැස්පාර් කොරෙයාට මේ පිළිබඳ ඊර්ෂ්‍යාවක් පහළ වූ හෙයින් පෘතුගාල රජුගේ ප‍්‍රසාදයට පාත‍්‍රවීමේ අරමුණින් සතර කෝරළයේ ඉද්දමල්පානේ තිබූ විමලධර්මසූරිය රජුගේ බලකොටුවට පහර දීමට තීරණය කළේ ය. එහි රැඳී සිටි සතර කෝරළයේ නිර්භීත සෙබළ පිරිසට මුහුණ දුන් කොරෙයා ඇතුළු පෘතුගීසී සේනාවට අත්වූයේ ඛේදනීය මරණයකි.

කොරෙයාගේ මරණයත් සමග සතර කෝරළය පුරා විමලධර්මසූරිය රජුට පක්ෂපාතීත්වය පළ කරමින් පැතිර ගිය පෘතුගීසී විරෝධී අරගලය කෙතෙක් ප‍්‍රබල වීද යත් අසවේදු විසූ මල්වානට ලීගයක් පමණ ආසන්න වන තෙක් එය පැතිර ගියේ ය. මෙම කාලවකවානුවේ දී විමලධර්මසූරිය රජු යටතේ සිටි සිමන් කොරෙයා පෘතුගීසීන්ගේ පක්ෂයට එක් වූ අතර දක්ෂ පෘතුගීසී සෙන්පතියකු වූ සිමන් පිඤ්ඤෝගේ (Simao Pinhao) නායකත්වයෙන් හමුදා කණ්ඩායමක් සතර කෝරළයේ කැරලිකරුවන් අල්ලා ගැනීමට පිටත් කිරීමට අසවේදු කටයුතු කළේ ය. ඔවුන් යන මාර්ගය අවහිර කරමින් ඊට බාධා පැමිණවීමට සතර කෝරළ ජනතාව කටයුතු කළ නමුත් එකී බාධාක පසෙක ලා නැවත වරක් සතර කෝරළය, සත් කෝරළය ඇතුළු ප‍්‍රදේශවල බලය තහවුරු කිරීමට පෘතුගීසීහු සමත් වූහ. ඒ සමගම සතර කෝරළයේ හා සත් කෝරළයේ ඇති වූයේ අතිශය පීඩාකාරී පාලනයකි. වරින්වර සිදු වූ සටන් හේතුවෙන් සතර කෝරළයේ සහ සත් කෝරළයේ ප‍්‍රදේශ බොහොමයක වගාබිම් වැනසී ජනශූන්‍යව පැවති අතර ඒ තත්ත්වයට වැඩි වශයෙන් මුහුණ දීමට සිදු වූයේ සත් කෝරළයට ය. සත් කෝරළයේ පැවති වියළි හා ශුෂ්ක දේශගුණය හේතුවෙන් එකී ප‍්‍රදේශ යථා තත්ත්වයට පත්වීමට වසර පහළොවක් පමණ ගත වූ බව කියැ වේ. එහෙත් සතර කෝරළයේ විනාශයට පත් වූ වගාබිම් කෙටි කලකින් නැවත යථා තත්ත්වයට පත්ව තිබුණේ සතර කෝරළය ජල පහසුව සපිරි තෙත් කලාපයේ පිහිටා තිබීම හේතුවෙනි. කෙසේ වෙතත් දිගින්දිගටම පෘතුගීසීන්ගෙන් එල්ල වූ තාඩනපීඩන ඉවසා ගත නොහැකි වූ සතර කෝරළයේ සහ සත් කෝරළයේ ජනතාව ඔවුන්ගේ එකම ගැලවුම්කරුවා වශයෙන් සලකන ලද කන්ද උඩරට විමලධර්මසූරිය රජු වෙත පහත ඉල්ලීම ඉදිරිපත් කළ බව කියැ වේ.

“පෘතුගීසීන්ගේ පාලන ප‍්‍රදේශයේ මායිම් ගම්වල ජීවත් වන අපි ලංකාවේ විජයග‍්‍රාහී රජ්ජුරුවන් වහන්සේ වූ ඔබවහන්සේට මෙසේ අපගේ දුක්ගැනවිල්ල ප‍්‍රකාශ කොට සිටිමු. අපි සෑම පැත්තකින්ම පෘතුගීසීන්ගේ දැඩි පීඩනයට හසුවී සිටිමු. අපගේ හරකාබාන කිසිම පැකිලීමකින් තොරව ඔවුන් විසින් පැහැර ගෙන යනු ලැබේ. අපගේ වී හාල් ටික පවා එසේ පැහැර ගෙන යනු ලැබේ. එම මැරකම්වලට විරුද්ධවන්නෝ කපාකොටා මරා දමන්නේ කිසිදු පැකිලීමකින් තොරව ය. අපට සිදු වී ඇත්තේ අපගේ හිතට විරුද්ධව අපගේ වස්තුව උන්ට දී, උන්ට සේවය කිරීමටයි. මෙසේ අනාථ බවට පත් වී සිටින ඔබ වහන්සේගේ යටත් වැසියන් වන අප කෙරෙහි අනුකම්පා කොට අප ගලවා ගන්නා මෙන් ආයාචනා කරමු. එසේ නැතිනම් සිදුවන්නේ ඔබ වහන්සේගේ භාරකාරත්වය හා ආරක්ෂාව ඇති සමස්ත සිංහල ජාතියම නැත්තටම නැති වී යාමයි.”

එවන් පසුබිමක් තුළ නැවත වරක් විමලධර්මසූරිය රජු සතර කෝරළයේ සෙබළ කණ්ඩායමක් සමග පෘතුගීසීන්ට එරෙහිව යුධ බිමට පිවිස මොට්ටප්පුලියේ සහ කිරිවල්ලාපිටියේ බලකොටු දෙකක් ඉදිකොට ප‍්‍රධාන යුධ කඳවුර තලම්පිටියේ ස්ථාපනය කළේ ය. එහි රැඳී සිටිමින් යුද්ධය සඳහා සේනා රැස්කිරීමට කටයුතු කළ රජතුමාට සහය වීමට පැන්තැනිගොඩ තිබූ පෘතුගීසී කඳවුර විනාශ කළ සතර කෝරළයේ නිර්භීත පිරිස ද එක්ව තිබිණි. පසුව ඇරඹුණු සටන් මාලාව පෘතුගීසීන්ට බලවත් අවාසි සහගත තත්ත්වයක් උදා කළ අතර පෘතුගීසී සෙන්පතියෙකු වූ අෆොන්සෝ මොරෝ මරුමුවට පත්විය.

මෙම කාල සීමාවේ දී උඩරට හමුදාවේ සේවය කළ පුස්ඇල්ලේ මුදලි නම් නිලධාරියා තමාගේ සේවය රජු නිසි ලෙස අගය නොකළ බව දක්වමින් පෘතුගීසීන්ගේ පාර්ශවයට එක්ව සතර කෝරළයේ කිණිගොඩ ප‍්‍රදේශයේ භීෂණකාරී වාතාවරණයක් ඇති කිරීමට කටයුතු කළේ ය. එහි දී ඔහු ඇත්ගාලේතොට ප‍්‍රදේශයේ කණුවලින් කොටුවක් ඉදිකොට එය සිංහලයන්ගේ හිස්වලින් පුරවන්නේ යැයි වහසි බස් දොඩමින් සිංහලයන් ඝාතනය කොට හිස ගොඩගසන්නට පටන් ගත් බව කියැ වේ. මෙනිසා මෘත දේහවල හිස් කුණුවෙමින් ප‍්‍රදේශය පුරා පැතිර ගිය දුර්ගන්ධයෙන් රෝගී වූ පුස්ඇල්ලේ මුදලි ගන්දොළහ ප‍්‍රදේශයේ තිබූ නිවෙසකට පිටත්විය. පුස්ඇල්ලේ අනුගමනය කළ කි‍්‍රයාපිළිවෙත පිළිබඳ කෝපයට පත්ව සතර කෝරළයේ නිර්භීත පිරිසක් ඒ අසළ පෘතුගීසී කඳවුරක් පිහිටා තිබුණ ද එය බාධාවක් කොට නොගෙන ඔහුව ඝාතනය කිරීමට කටයුතු කළේ ස්වකීය ජනතාවට ඔහු ද්‍රෝහී වූ හෙයිනි.

ඒ අතරවාරයේ ඇත්ගාලේතොට ප‍්‍රදේශයේ පැතිර ගිය වසංගත රෝගයකින් පෘතුගීසී සෙබලුන් විශාල පිරිසක් රෝගීව ජීවිතක්ෂයට පත්ව තිබූ අතර යුද්ධයෙන් හෙම්බත්ව සිටි දෙපාර්ශවයම තාවකාලික සටන් විරාමයකට එළඹුණි. එහෙත් පෘතුගීසීන් සටන් විරාමය කඩකිරීම හේතුවෙන් මැණික්කඩවර පෘතුගීසී බලකොටුවට පහර දීමට ඌවේ කුමරයාගේ නායකත්වයෙන් සේනාවක් පිටත් වුව ද එය සාර්ථක නොවී ය. මෙනිසා නැවත වරක් උපායශීලී වූ විමලධර්මසූරිය රජු සතර කෝරළයේ හා සත් කෝරළයේ පෘතුගීසීන් විරෝධී අරගල සංවිධානය කරන්නට යුහුසුළු විය. මේ අවස්ථාවේදී රජුට සහය පළ කළ පෘතුගීසී ලැස්කරින් හමුදාව පෘතුගීසීන්ගේ බටුගෙදර හා කුරුවිට බලකොටුවලට පහර දී විනාශ කිරීමට කටයුතු කර තිබිණි.

එහෙත් වර්ෂ 1600 මැයි මාසය වන විට පතරොම් මූනිස්සම් සහිත යුධ අවි නෞකාවක් සහ ආධාරක සේනා හිමි වීමත් සමග නැවත වරක් ශක්තිමත් වූ පෘතුගීසී හමුදාව සතර කෝරළයේ හා සත් කෝරළයේ රැඳී සිටි උඩරට හමුදා පලවා හැරීමට සමත්විය. අනතුරුව දමුණුගස්හින්නේ බලකොටුවක් ඉදිකළ පෘතුගීසීහු සිමන් පිඤ්ඤෝගේ නායකත්වයෙන් මුල් අවස්ථාවේ දී අට්ටාපිටිය දක්වා ද පසුව සිංහල සෙබළුන් දෙ සීයයක් පමණ ඝාතනය කොට බලන කොටුව අල්ලාගැනීමට සමත්වූහ. බලන සටනේ දී සිංහල සෙබළුන් දෙ සීයයක් පමණ ඝාතනය ලක් වූ බව කියැ වේ. පෘතුගීසීන් කන්ද උඩරටට පිවිසෙන ප‍්‍රධාන කපොල්ල වූ බලන අල්ලා ගැනීමත් සමග කි‍්‍රයාත්මක වූ රජු තමන්ගේ පාර්ශවයට සිමන් පිඤ්ඤෝ දිනාගැනීමට උපායක් දියත් කළ අතර එයට පිඤ්ඤෝ හසු වූ බව කියැ වේ. ඒ සමගම පෘතුගීසීන්ට අනපේක්ෂිත පහරක් එල්ල කිරීමට රජු කටයුතු කළ හෙයින් ප‍්‍රතිප‍්‍රහාර එල්ල කිරීමට අපොහොසත් වූ පෘතුගීසීන්ට බලනින් පසුබැසීමට සිදු විය. එහෙත් පරණකුරු කෝරළය අත් නොහළ පිඤ්ඤෝ එහි ආරක්ෂාවට බලකොටු දෙකක් ඉදිකිරීමට ද කටයුතු කළේ ය.

අනතුරුව මඳ කලකට සටන් විරාමයක් ඇති වූ බව පෙනෙන අතර විමලධර්මසූරිය රජුගේ අවධානය යොමුව තිබුණේ ලන්දේසීන් සමග සබඳතා ඇතිකර ගැනීම කෙරෙහි ය. ඒ යටතේ ලන්දේසි සහයෙන් වෙරළබඩ ප‍්‍රදේශවල පෘතුගීසී බලය බිඳ දැමීම කෙරෙහි රජුගේ අවධානය යොමුව තිබිණි. මෙනිසා නැවත වරක් සතර කෝරළය ආශි‍්‍රත ප‍්‍රදේශවල සටන් ඇතිවන්නේ වර්ෂ 1603 දී පමණ ය. එකී වර්ෂයේ දී බලන බලකොටුව අල්ලා ගැනීමට අවධානය යොමුකළ අසවේදු විසින් සිමන් පිඤ්ඤෝගේ නායකත්වයෙන් පෘතුගීසි සේනාවක් මැණික්කඩවර, අට්ටාපිටිය හරහා බලන බලකොටුව වෙත පිටත් කර හරින ලදී. ස්වභාවික දුෂ්කරතා ජයගනිමින් බලන බලකොටුවට පැමිණි පෘතුගීසීන් විස්මයට පත්වූයේ සිංහල හමුදාව බලකොටුව ගිනිබත් කොට අත්හැර ගොස් සිටීම හේතුවෙනි. මෙය සිංහලයන්ගේ උපායක් ද නොඑසේ නම් පසුබැසීමක් ද යන්න නිශ්චිතව වටහා ගැනීමට පෘතුගීසීන් අපොහොසත් වූ අතර එම අවස්ථාවේ දී පෘතුගීසී හමුදාවේ සිටි ලැස්කරින් සෙබල පිරිස උඩරට හමුදාව සමග එක්විය. තමන් පත්ව සිටින බලවත් අසීරුතාව පිළිබඳ වටහාගත් පෘතුගීසීහු උඩරට හමුදාවෙන් එල්ලවීමට නියමිත දැඩි ප‍්‍රහාරයට මුහුණ දීම සූදානම් වූහ. ඒ යටතේ අට්ටාපිටිය හා මැණික්කඩවර බලකොටු වෙත පෘතුගීසී භට පිරිසක් පිටත් කළ අසවේදු යම් හෙයකින් පසුබැසීමට සිදුවුවහොත් එකී බලකොටු ආරක්ෂා කරගැනීමට කටයුතු සැලැස්වීය. පසුදා උදෑසන විමලධර්මසූරිය රජු උඩරට සේනා සමග පැමිණ එල්ල කළ දැඩි ප‍්‍රහාරය හමුවේ පෘතුගීසීන්ට සිදුවූයේ දිවි ගලවා ගැනීමට වහාම පසුබැසීමට ය. ආරක්ෂාව පතා පසුබසින පෘතුගීසීන් හමුදාව මාකඩවර හරහා අලුත් නුවර දේවාලය පසුකර අට්ටාපිටියට පැමිණි අවස්ථාවේදී එහි රැඳී සිටි සතර කෝරළයේ සෙබල පිරිසකට මුහුණ දීමට සිදුවිය. ඉන් පරාජය ලැබූ පෘතුගීසීහු සටන් කිරීම පසෙක ලා තාලම්පිටියේ පිහිටි පෘතුගීසී බලකොටුවට පසුබැසීමට තීරණය කළහ.

එහෙත් එහි ආරක්ෂාව ප‍්‍රමාණවත් නොවන හෙයින් පෘතුගීසීන්ගේ අදහස වූයේ කොළඹ බලා පසු බැසිය යුතු බවයි. ඒ අනුව පසුබසින පෘතුගීසී හමුදාව සතර කෝරළයේ දීවල ප‍්‍රදේශය පසුකරන විට ගල් ගුහාවක රැඳී සිටි සතර කෝරළ සෙබල පිරිසකට අනපේක්ෂිතව මැදි විය. ඉන් පෘතුගීසීන් වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වූ අතර ඉතිරි පිරිස දිවි ගලවාගැනීමට පලා යෑමේ දී ගුරුගොඩ ඔය දක්වා සතර කෝරළ සෙබලුන් හඹා ආ බව කියැ වේ. අවසානයේ දී නිරුපද්‍රිතව මල්වානට පැමිණීමට හැකි වූයේ පෘතුගීසී කපිතාන් ජෙනරාල් අසවේදු ඇතුළු සුළු පිරිසකි. උඩරට හමුදාවෙන් පෘතුගීසීන්ට එල්ල වූ මෙම දරුණු ප‍්‍රහාරය හමුවේ වුව ද, හානිය අවම කරගැනීමට අසවේදු සමත් වූ නිසා පෘතුගීසී ලේඛකයන් විසින් මෙම පසුබැසීම හඳුන්වනු ලැබුවේ ‘විශිෂ්ට පසුබැසීම’ හෙවත් Famosa Retirada යනුවෙනි.

ඒ වන විට අට්ටාපිටිය, මැණික්කඩවර ආදී ප‍්‍රදේශවල තිබූ පෘතුගීසී බලකොටුවල තත්ත්වය පිළිබඳ සොයාබැලූ අසවේදුට දැනගැනීමට හැකි වූයේ එම බලකොටු උඩරට හමුදාව අත්පත් කොටගෙන ඇති බවයි. එහි දී තාලම්පිටිය බලකොටුව අල්ලා ගැනීමේ කාර්යයේ පුරෝගාමී මෙහෙවර ඉටුකරනු ලැබුවේ සතර කෝරළයේ සෙබළුන් විසිනි.

මේ පරාජය නොඉවසූ අසවේදු විසින් වර්ෂ 1603 අගභාගයේ දී ඔවුන් යටතේ සතර කෝරළයේ දිසාවේ තනතුර නාමිකව උසුලමින් සිටි ලූවී ගෝමස් පින්ටෝ (Luiz Gomes Pinto) සහ සයිමන් කොරෙයා යටතේ උඩරටට එරෙහිව බලඇණියක් පිටත් කිරීමට කටයුතු කරන ලදී. එහෙත් උඩරට ආක‍්‍රමණය අතහැර දමා ඔවුන්ට පසුබැසීමට සිදු වූයේ කන්ද උඩරට හමුදාව එල්ල කළ දැඩි පහරදීම්වලට මුහුණ දීමට අපහසු වීමෙනි. මෙකී අසාර්ථක උඩරට ආක‍්‍රමණයත් සමග වර්ෂ 1611 දක්වා උඩරටට එරෙහි ආක‍්‍රමණයක් දියත් නොකිරීමට පෘතුගීසීන් කටයුතු කළ අතර වර්ෂ 1604 දී පෘතුගීසීන් දැඩි අභියෝගයක් වූ පළමු වන විමලධර්මසූරිය රජු අභාවයට පත්විය.

ඉන් පසුව ද කන්ද උඩරට රාජධානියට එල්ල වුණු පෘතුගීසී ආක‍්‍රමණවලට අභීතව මුහුණ දෙමින් රාජධානියේ ආරක්ෂාව උදෙසා උපරිම කැපවීමක් සතර කෝරළවාසීන් විසින් ලබාදෙන ලදී. උඩරට රජෙකුගෙන් දිසාවකට හිමිකරගත හැකි උසස්ම ගෞරවය වූ ඉරහඳ මහ කොඩිය දෙ වන රාජසිංහ රජුගෙන් (1635-1687) සතර කෝරළයට හිමි වූයේ එකී රාජපාක්ෂික සේවය අගය කරමිනි. ඊට පෙර පළමු වන විමලධර්මසූරිය රජ දවස මාතලේ දිසාවටත්, සෙනරත් රජ දවස (1604-1635) සත් කෝරළයටත් ඉරහඳ මහ කොඩිය හිමිව තිබිණි. දෙවන රාජසිංහ රජු සතර කෝරළයට ඉරහඳ මහ කොඩිය පැවරීමෙන් අනතුරුව කිසිදු රජකු එය වෙනත් දිසාවකට නොපැවරූ හෙයින් පසු කලෙක සතර කෝරළය නිරූපණය කරන ප‍්‍රධාන සංකේතය බවට පත්වූයේ ඉරහඳ මහ කොඩියයි. ලොවට ආලෝකය සපයන ඉරහඳ ඇතුළත් කොඩිය, කන්ද උඩරට රාජධානියට ආලෝකය සපයන සතර කෝරළයට ආභරණයක් බව සතර කෝරළ ජනතාවගේ විශ්වාසයයි.

කොඩියකුත් රතු බැඳපු සවරන් සදන යුදයට පෙරමුණේ
කොතවියත් සහ පච්ච ලන්සේ දවුන්ඩයකුත් සමගිනේ
කොඩියකුත් තව පිහිටි ඉර හඳ මාන පස මේ සමගිනේ
මෙම සිරිත් ඇති සතර කෝරළේ දිසාවේ යති පෙරමුණේ

ආශි‍්‍රත ග‍්‍රන්ථ හා ලේඛන නාමාවලිය

  • අබයසිංහ, ටිකිරි (1966), පරංගි කෝට්ටේ, සී/ස එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම, කොළඹ.
  • අබයසිංහ, ටිකිරි, ශී‍්‍රමතී දේවරාජ හා ජී.පී.වී. සෝමරත්න (1977), උඩරට රාජධානිය, ලේක් හවුස් ඉන්වෙස්ට්මන්ට් සමාගම, කොළඹ.
  • ගුණවර්ධන බණ්ඩා, ජී.ආර්. (1999), සතර කෝරළයේ ඓතිහාසික හා සාහිත්‍ය විමර්ශනය, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
  • දේවරාජ, ලෝනා ශී‍්‍රමතී (1997), උඩරට රාජධානිය, පරි. කුසුම් දිසානායක, රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව, පාදුක්ක.
  • පීරිස්, පෝල් ඊ. (2008), ලංකාව පෘතුගීසී යුගය – පළමුවන කාණ්ඩය, පරි. අභය හේවාවසම්, සූරිය ප‍්‍රකාශකයෝ, කොළඹ.
  • පෙරේරා පියතුමා, එස්.ජී. (1963), ලංකා ඉතිහාසය : පෘතුගීසී යුගය, අනු. පී.බී.ජේ. හේවාවසම්, සී/ස එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම, කොළඹ.
  • බණ්ඩාර, ආර්.ඩබ්ලිව්. පි‍්‍රයදර්ශන (2014), සැලව රජමහ විහාරය, කර්තෘ ප‍්‍රකාශන, හෙම්මාතගම.
  • බණ්ඩාර, දම්මි (2003), ‘සතර කෝරළයේ ඉර හඳ කොඩිය’, Essays in Archaeolgy මහාචාර්ය සේනක බණ්ඩාරනායක උපහාර ග‍්‍රන්ථය, පි‍්‍රශාන්ත ගුණවර්ධන  සහ තවත් අය, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
  • බෙල්, එච්.සී.පී. (2005), කෑගල්ල දිස්ති‍්‍රක්කය පිළිබඳ වාර්තාව, පරි. කොත්මලේ කේ.බී.ඒ. එඩ්මන්ඞ්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ.
  • විමලානන්ද, තෙන්නකෝන් (2010), උඩරට මහ කැරැල්ල, ඇම්.ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ.
  • ශී‍්‍ර ලංකාවේ ඉතිහාසය – තුන්වන කොටස (2007), අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව, කොළඹ.

[මේ ලිපිය සමඟ දක්වා ඇති ප්‍රධාන ඡායාරූපය https://www.dailynews.lk වෙබ් අඩවියෙන් උපුටා ගෙන සංස්කරණය කර ඇති බව කාරුණිකව සලකන්න.]

__________________________________________________________________________________
මෙම ලිපිය 2019.12.19 දින www.history.lk වෙබ් අඩවියේ පළ විය.
__________________________________________________________________________________

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Latest news

වත්හිමි කතා පුවත ඔස්සේ ලක් ඉතිහාසය දෙස නැවත හැරී බැලීමක්

සමීර ප‍්‍රසංග වත්හිමි කතාව, කළුන්දෑ පුවත, වත්හිමි බණ්ඩාර කතාව යනුවෙන් කුරුණෑගල අවට ජනයා අතර ප‍්‍රචලිත ජනශ‍්‍රැතිගත කතා පුවතක් පිළිබඳ ව...

ජාතික ගීය, වෙල්ලාලයන් හා ඉතිහාසය

නලින් ද සිල්වා සුමන්තිරන් ජාතික ගීය කියන්නෙ නැත්නම් ඒකෙ ප්‍රශ්නයක් නැහැ. ජාතික ගීය සම්පූර්ණයෙන් ම දන්න සිංහලයන්ගෙ ප්‍රතිශතය කීයද කියල...

මහාවංසය බොරු එළාර දෙමළ නොවෙයි 

නලින් ද සිල්වා විග්නේෂ්වරන් ඇත්තක් කියලා. ඔහු කියල මහාවංසය බොරු කියල. මහාවංසයෙ බොරුත් තියෙනව තමයි. ඒත් ඒකෙ වෙනත් කරුණු සමග...

ඇස් මහින්ද හිමි හා ජාතික ව්‍යාපාරය

නලින් ද සිල්වා අප ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියන් නමින් හඳුන්වන්නේ සීකීමයේ උපත ලද මහින්ද හිමියන් ය. උන්වහන්සේ ඉපදෙන කාලයෙහි...

සිංහල බෞද්ධ සංස්කෘතිය

නලින් ද සිල්වා සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට ගොඩනැගීම ඇරඹුණේ අද වැනි පොසොන් පොහෝ දිනක ය. එහෙත් එය යම්කිසි ආකාරයක පරිපූර්ණත්වයකට...

සීගිරිය කුරුටු ගෑම

නලින් ද සිල්වා සීගිරි කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් කුරුටු ගෑ මඩකලපුවේ තරුණියක් ජනාධිපති සමාව යටතේ සිරගත කරන ලද කාලය කෙටිකර...

Must read

වත්හිමි කතා පුවත ඔස්සේ ලක් ඉතිහාසය දෙස නැවත හැරී බැලීමක්

සමීර ප‍්‍රසංග වත්හිමි කතාව, කළුන්දෑ පුවත, වත්හිමි බණ්ඩාර කතාව යනුවෙන්...

ජාතික ගීය, වෙල්ලාලයන් හා ඉතිහාසය

නලින් ද සිල්වා සුමන්තිරන් ජාතික ගීය කියන්නෙ නැත්නම් ඒකෙ ප්‍රශ්නයක්...

You might also likeRELATED
Recommended to you