• මුල් පිටුව
  • අප ගැන
විශේෂාංග චේතියගිරි වන්දනා ගමන හෙවත් මිහින්තලා චාරිකාව

චේතියගිරි වන්දනා ගමන හෙවත් මිහින්තලා චාරිකාව

-

චන්දිම බණ්ඩාර අඹන්වල

චන්දිම බණ්ඩාර අඹන්වල

පැරණි පාලි වංසකතා පෙන්වා දෙන ආකාරයට ලක්දිවට බුදුදහම නිලවශයෙන් ලැබුණු පිංබිම මිහින්තලාවයි. අදින් සියවස් 23කට පෙර, එවකට ලක්දිව මිහිපති වූ දේවානම්පියතිස්ස රජ සමයේ දී මෙම උතුම් ධර්මය මිහින්තලා පුදබිමේ රෝපණය වී කෙටි කලක් තුළ දීම සකල ද්වීපය පුරාම පැතිර ගියේ එදා සිට අද දක්වාම හෙළ හැදියාවේ ප‍්‍රධාන සංරචකය බවට පත් වෙමිනි. එනිසාම මිහින්තලාව වූ කලි හෙළ හැදියාවේ උල්පත නොහොත් තොටිල්ල වශයෙන්ද සැලකේ. ධාතූන් වහන්සේලා තැම්පත් කරමින් ඉඳිකළ ස්තූප විශාල ප‍්‍රමාණයක් ඇති හෙයින් මිහින්තලාව පැරණි කාලයේ ‘චේතියගිරිය’ (ස්තූප කන්ද) වශයෙන්ද හඳුන්වා ඇත. එයින්ම මෙහි ඇති පූජනීය බව පැහැදිලි වේ. මෙම කෙටි ලිපියේ අරමුණ වන්නේ මිහින්තලාව වන්දනා කිරීමටත්, එහි ඇති පැරණි ස්ථාන දැකබලා ගැනීමටත් එන ඔබ වෙනුවෙන් මිහින්තලාවේ ඇති පැරණි හා වැදගත් ස්ථාන පිළිබඳව කෙටියෙන් හඳුන්වා දීමයි.

අඩතැනි කලාපයට නැතිනම් වියළි කලාපයට අයත් කැපී පෙනෙන ශේෂ කඳුවැටියක් වශයෙන් මිහින්තලාව, උතුරුමැද පළාතේ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ මිහින්තලා ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාසයට අයත් 577 තුලාන, මිහින්තලේ ග‍්‍රාම නිලධාරි වසම තුළ පිහිටා ඇත. සමහර වංසකතාගත සාධක මෙන් ම සමහර පුරාවිද්‍යාත්මක සාධක විමසා බැලීමේ දී මිහින්තලාව වූ කලි බුදුදහම ලක්දිවට පැමිණිමටත් පෙර සිටම මහජන ආකර්ශනයට ලක්ව පැවති ප‍්‍රාග් බෞද්ධ ආගමික මධ්‍යස්ථානයක් වශයෙන් ද ක‍්‍රියාත්මක වූ ස්ථානයක් බැව් පැහැදිලි වේ. මහින්දාගමනයෙන් පසු ලක්දිව බෞද්ධ ප‍්‍රජාවගේ පරම පූජනීය භූමියක් බවට පරිවර්තනය වූ මිහින්තලාව කදුගැට කීපයකින් සමන්විතය. මිහින්තලා කන්ද, ඇත්වෙහෙර කන්ද, ආනෙයිකුට්ටි කන්ද (අලි පැටියා කන්ද), රාජගිරි ලෙන කන්ද, කණ්ඨක සෑය හා අටසැටලෙන් පිහිටි කන්ද හා ගිරිභණ්ඩ සෑය කන්ද වශයෙනි. මෙම කඳුගැට හා තැනි භූමිය පුරා විසිරී ඇති විවිධ පැරණි ස්ථාන අතුරින් වඩා වැදගත් හා මිහින්තලා පුදබිමේ සරන ඔබ විසින් දැකබලා වැදපුදා ගතයුතු ස්ථාන පිළිබඳව මෙයින් මතු කරුණු දැක්වීමට අපේක්‍ෂා කරමු.

අනුරාධපුරය, දඹුල්ල, මැදවච්චිය හා හොරොව්පොතාන යන කුමන දෙසකින් හෝ මිහින්තලා නගරයට පැමිණෙන ඔබට එතැන් සිට මිහින්තලා සංචාරය ඇරඹිය හැකි වේ. නගර මධ්‍යයේ ඇති සිව් මංසන්දියේ සිට මීට වසර 25කට පමණ පෙර පැවති ගම්උදාවට සම කාලීනව නිමවා ඇති යති හා රජමැති පිළිරූ නරඹමින් ඉදිරියට පැමිණ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් මෑතක දී නිර්මාණය කරන ලද මනරම් වතුරමල ද පසුකර ඉදිරියට එන ඔබට පළමුවෙන්ම හමුවන්නේ පුරාවිද්‍යා කටුගෙයයි. මිහින්තලාව දැකබලා ගැනීමට අපේක්ෂා කරන අයෙක් තම ගමනින් කෙටි කාලයක් හෝ කැපකර මෙම කටුගෙය නරඹන්නේ නම් එය තම සංචාරය සාර්ථක කරගැනීමට මනා රුකුලකි. මිහින්තලාව පිළිබඳ තොරතුරු බොහෝ ප‍්‍රමාණයක් මෙන්ම මිහින්තලාවෙන් හමු වූ පුරාවස්තු රැසක් ඔබට එහි දී දැකගත හැකි වේ. කටුගෙය නැරඹිමෙන් අනතුරුව ඔබට කටුගෙය ඉදිරිපස, මීටර් 150ක් පමණ නුදුරින් පිහිටා ඇති පැරණි බෙහෙත් ගෙය නැරඹිමට අවස්ථාව උදා වේ. පවතින සාධක අනුව දෙ වැනි සේන රජතුමන්ගේ කාලයට (ක‍්‍රි.ව. 853 – 887) අයත් මෙම බෙහෙත් ගෙය එවකට භික්‍ෂූන් වහන්සේලාට මෙන්ම සාමාන්‍ය ජනයාට ද ගිලං උපකාර ලබාගත හැකි වූ බාහිර හා නේවාසික වශයෙන් සේවා අංශ දෙකක් පැවති බෙහෙත් ගෙයකි. මිහිතලය මත දැකිය හැකි පැරණිම හා විධිමත්ම රෝහළක් වන මෙය ආදී ලාංකිකයන් ශරීර සුවතාව සඳහා කෙතරම් උනන්දුවක් හා විශේෂඥතාවක් දැක් වූවා ද යන්න පසක් කොට දෙයි.

ගිලං හළ නරඹා මිහින්තලා කන්ද බලා ගමන් කරන ඔබගේ නෙත ගැටෙන්නේ සුප‍්‍රසිද්ධ මිහින්තලාවේ මහ පියගැටපෙළයි. එය ආරම්භයේ වම්පස ඇති තහවුරු කරන ලද පංචාවාස ගොඩනැගිලි සංකීර්ණය නරඹා පියගැටපෙළ තරණය ඇරඹිම වඩා සුදුසුය. පළමු පියගැට 220 නැගීමෙන් පසු කුඩා ස්තූප තුනක් පිහිටි මළුවක් හමුවන අතර එතැන දි මදක් ගිමං නිවාගෙන අනතුරුව, දකුණු පසට දිවෙන පියගැට පෙළේ පියගැට 193ක් තරණය කිරීමෙන් පසු දකින්නේ මිහින්තලේ ඇති, ඉහළම කලාත්මක අගයක් සහිත ස්ථානයයි. එනම් කණ්ඨක සෑයයි. මේ වනාහි ගල් කැටයම්, සිතුවම් හා වාස්තුවිද්‍යාව ආදි කලා අංග එක්තැන් කර නිමවා ඇති ජීවමාන කෞතුකාගාරයකි. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා පවසන ආකාරයට ඉතාමත් පැරණි කාලයට අයත් ස්තූපයක් වන මෙය ගරාවැටි, කන්දේම කොටසක් බවට පත්ව තිබිය දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තහවුරු කොට ඇත. දැනට ලක්දිව දැකිය හැකි පැරණිම සිතුවම් පිළිබඳ ව නිදසුන් මෙන්ම ගල් කැටයම් පිළිබඳ පැරණි කදිම සාධක ද මෙහි දී ඔබට දැකබලා ගැනීමට පුළුවන. ඒ ආසන්නයේ ඇති සෙල්ලිපි අනුව ‘කටක චෙත’ යනුවෙන් හැඳින් වූ ස්තූපය මෙය වශයෙන් තහවුරු කොටගෙන ඇත.

නැවතත් ප‍්‍රධාන පියගැට පෙළට පැමිණ ඉහළට ගමන්ගන්නා ඔබට තවත් පියගැට කීපයක් ඉදිරියට ගමන් කොට වම් පසට දිවෙන පටු අඩිපාරේ ගමන් කිරීමෙන් තිඹිරි පොකුණ නම් පටබැඳි පොකුණත්, කන්ද මුදුනේ පිහිටා ඇති මේ වනතෙක් නම නිශ්චිතව හඳුනාගෙන නොමැති පැරණි ස්තූපයක් දැකගත හැකි වේ. ගරාවැටී පවතින ලදුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කැනීම් කර තහවුරු කරන ලද කිතුවසින් අට වැනි ශතකයට අයත් මෙම ස්තුපය සාමාන්‍ය ජනයා විසින් ගිරිභණ්ඩ සෑය ලෙස හඳුන්වනු ලබන අතර මෙය කැනීමේදි හමු වූ පැරණි ධාතු ගර්භය මිහින්තලා පුරාවිද්‍යා කටුගෙයි තබා ඇති අයුරු දැකගත හැකිය.

මෙය නරඹා නැවතත් ප‍්‍රධාන පියගැට පෙළට පැමිණ ගමන්කරන ඔබට මුළ සිට පියගැට 423ක් තරණය කිරීමෙන් පසු මිහින්තලා මැද මළුවට පිවිසිය හැකි වේ. සාරවත්ව වැවුණු අඹ වගාවකින් හෙඹි මැද මළුවේ දී මුළින්ම දැකගත හැක්කේ මිහින්තලාවේ වැඩවාසය කළ යතිවරයන් වහන්සේලාගේ පරිහරණයේ පැවැති ‘දන්සැල’ යි (දානශාලාව). අනුරපුරයේ අභයගිරි විහාරයේ ඇති දානශාලාව හා බෙහෙවින් සමාන මෙහි දී ද ඔබට බත් හා කැද තැබීම සඳහා භාවිත කළ ගල් ඔරු දැකගත හැකි වේ. එයින් අනතුරුව ඊට යාබදව ඇති ‘දාගෙය’ (ධාතු මන්දිරය දැකබලා ගත හැකිය. ඒ ඉදිරිපස පිහිටි කදිම නිමාවකින් යුතු පුවරු ලිපි දෙක හතර වැනි මිහිඳු රජු (ක‍්‍රි.ව. 956-972) විසින් කරවන ලද අතර භික්‍ෂූන් වහන්සේලා පැවතිය යුතු ආකාරය හා මෙම ආරාමයේ පාලන විධික‍්‍රම පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු දක්වා ඇත. එයින් පසු භික්ෂුන් වහන්සේලාගේ රැුස් වූ ‘සන්නිපාත ශාලාව’ (රැස්වීම් ශාලාව) දැකබලා ගෙන උඩමළුව බලා ගමන් ආරම්භ කළ හැකිය. මැද මළුවේ සිට ගල්පඩි 222ක් නැඟීමෙන් පසු ‘නාගපොකුණ’ (නාගසොණ්ඩි) දැකගැනීමට යා හැකි මාවත දකුණු පසින් හමු වේ. ස්වාභාවික පර්වතය සකසා ඉදිරිපස බැම්මක් බැද පෙණ 5ක් සහිත විශාල නාග රුවක් සහිතව සකස් කළ මෙම පොකුණ මිහිඳු හිමියන් විසින් පරිහරණය කරන ලදුව, පසුව භික්‍ෂුන් වහන්සේලාගේ භාවිතය සඳහා වැඩිවර්ධනය කර ඇත. නැවතත් ප‍්‍රධාන පියගැට පෙළට පිවිස ඒ ආසන්නයේ ගලේ සටහන් කර ඇති මහාදාඨික මහානාග රජු (ක‍්‍රි.ව. 9-21) විසින් ලියවා ඇති විශාල සෙල්ලිපිය දැකබලා ගනිමින් ඉදිරියට ගමන් ගන්නා ඔබ මැද මළුවේ සිට ගල්පඩි 337ක් ද සම්පූර්ණ වශයෙන් ගල්පඩි 760ක් තරණය කරමින් පසු මිහින්තලා උඩ මළුවට පිවිසේ.

උඩමළුව මධ්‍යයේ දී ඔබට ‘සේලචේතිය’ දැකබලා ගැනීමටත් වැඳපුදා ගැනීමටත් අවස්ථාව ඇත. බුදුහිමියන් වහන්සේ මිහින්තලාවට වැඩම කොට සමවත් සුවයෙන් වැඩසිටි තැන නිමවා ඇති මෙම ස්තූපය සහිත බිම මිහිදුහිමියන් හා දේවානම්පිය තිස්ස රජු අතර පළමු සාකච්ඡුාව සිදු වූ ස්ථානයක් වශයෙන් ද සැලකේ. පසුකාලීනව මෙම ස්තූපයේ ආරක්‍ෂාව සඳහා වටදාගෙයක් ද සකස් කොට තිබූ බවට සාධක පවති. මෙහි එක් අන්තය ‘ආරාධනා ගල’ උත්තුංගව නැඟී සිටින අතර අනෙක් පස බෝධින් වහන්සේ වැඩසිටි. මැද මළුවේ තවත් පසෙක ඇති පර්වතය මත වැඩසිටින සමාධි බුදුපිළිම වහන්සේ ද වැදපුදා ගැනීම උචිතය. ඉන් අනතුරුව, අලංකාරවත්ව සකසා ඇති අභිනව ධාතු මන්දිරය වැදපුදා ගනිමින් භික්‍ෂූ නේවාසිකාගාරය හා පොය ගෙය අතරින් දිවෙන මඟෙහි ගමන් කොට මිහිඳු හිමියන් වැඩසිටි මිහිඳු ගුහාව දැකබලා ධර්ම සංවේග උපදවා ගැනීම උචිතය.

නැවතත් මැදමළුවට පිවිස අසල පර්වතය මත වූ මහාදාඨික මහානාග රජු විසින් කළා යැයි සලකනු ලබන ‘අම්බස්තල මහාසෑය’ වැදපුදාගත හැකි වේ. රුවන්වැලි මහාසෑය, ජේතවන මහාසෑය තරම් විශාල මහා සෑයක් නුවුව ද සෙනරත් පරණවිතාන පඬිදුන් පවසන ආකාරයට මෙම ස්තූපය එකී මහාසෑයන්ට නොදෙවෙනි වියදමක් හා පරිශ‍්‍රමයක් දරා නිමවන ලද ස්තූපයකි. ස්තූප කර්මය සඳහා ඇවැසි කළමනා මෙම ස්ථානය දක්වා ගෙනඒම ආදිය පිළිබඳව සිතාබලන කළ මහැඳුරු පරණවිතානයන්ගේ අදහස කෙතරම් සත්‍යයට සමීපදැයි ඔබටම සිතාගත හැකි වේ.

මහාතූප සළපතල මළුවේ පිහිටි අභිනව බුදුමැදුර ඉදිරියේ පිහිටි ගරාවැටුණු පැරණි මධ්‍යයම පමණේ කුඩා ස්තූපයක් දැකගත හැකි අතර එය මිහිඳු හිමියන්ගේ ධාතූන් වහන්සේලා තැම්පත් කරමින් කරන ලද ‘මිහිඳු සෑය’ වශයෙන් හඳුනාගෙන ඇත. විධිමත් මඟක් නොමැති නමුත් එතැනින් ඉදිරියට අඩිපාර ඔස්සේ ගමන් කරන ඔබට කුඩා ස්තූප කීපයක නටඹුන් දැකගත හැකි වේ. එවා මිහිඳු හිමියන් සමඟ ලක්දිවට වැඩම කළ සෙසු භික්‍ෂූන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා තැම්පත් කොට සැකසූ ස්තූප බව සැදැහැත් බොදුණුවන්ගේ ඇදහීමයි.

එ තැනින් පල්ලම බැස ඉදිරියට ගමන් කරන ඔබ ඇත්වෙහෙර කන්දේ මැද මළුව වෙත පිවිසෙන අතර එහි ඇති පැරණි ‘පෝයගෙය’ (උපෝසථඝරය) ලෙස විශ්වාස කරනු ලබන ගොඩනැඟිල්ල නරඹමින් ඇත් වෙහෙර බලා ගමන ආරම්භ කළ හැකිය. පියගැට 593ක් තරණය කරමින් මිහින්තලයේ පිහිටි උසම ස්ථානය වන ඇත්වෙහෙර කන්දට යන ඔබට අනුරපුරයේ දි දැකගත හැකි චමත්කාර ජනක ම දර්ශනයක් දැකගත හැකි වනු නො අනුමාණය. නාගිරිකන්ද, මහකණදරාව වැව, යාන්ඔය නිම්ණය, කටුපොත කන්ද, තලගුරුවිහාර කන්ද, නාච්චදූව වැව, කළුදියපොකුණ, ආනෙයිකුට්ටි කන්ද, අනුරාධපුර පූජා නගරය, රාජගිරිලෙන කන්ද, කටුසෑය පරිශ‍්‍රය, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය හා බුලංකුලම (මිහින්තලා වැව) වැව යන ඒවා උතුරු දිශාවේ සිට පිළිවෙළින් ඔබට දැකබලාගත හැකි වේ. එයින් පසු නැවතත් පඩිපෙළ බැස පැරණි ගොඩනැඟිලි නරඹමින් එන ඔබට මිහින්තලා මැද මළුවට පිවිසිය හැකි ය.

මැදමළුවේ සිට දකුණු දෙසට ඇති නව මාවත ඔස්සේ ගමන් කරමින් ඒ ආසන්නයේම ඇති සුප‍්‍රසිද්ධ ‘සිංහ පොකුණ’ දැකගන්නා ඔබට ඒ හා බැඳි අර්ධ පංචාවාස ගොඩනැඟිල්ල ද නැරඹිය හැකිය. දේවානම්පිය තිස්ස රජු විසින් මිහිඳු හිමියන් ප‍්‍රමුඛ සංඝයා වහන්සේලා වෙනුවෙන් පූජා කරන ලද ගල්ගුහා වශයෙන් වංශකතා පවසන ඒ ඔබ්බෙහි ඇති අටසැට ලෙන් ද නරඹා මේ මඟ දිගේ ගමන්කර ඉදිරියට ගොස් මහනුවර – යාපනය මඟට (A 9) පිවිසිය යුතුය.

ඒ ආසන්නයේ දි කටුසෑය හා ඉදිකටු සෑය පරිශ‍්‍ර දැකගත හැකි වනු අතර කටුසෑය අද දිනයේත් බාරහාර වීම් ප‍්‍රමුඛ විවිධ පුදපූජා සඳහා භාවිත වන අයුරු දැකගත හැකිය. මහනුවර දෙසට හැරී ගමන්ගන්නා ඔබට, ඒ ආසන්නයේදීම හමුවන පටු මාවතේ වම් දෙසට ගමන් කිරීමෙන් ‘කළුදිය පොකුණ’ පරිශ‍්‍රයට පිවිසිය හැකි ය. ඇත්වෙහෙර කන්ද හා ආනෛයිකුට්ටි කන්ද අතර පිහිටා ඇති කළුදිය පොකුණ වූ කලි පරිසර සුන්දරත්වය අතින් මිහින්තලාවේ ඇති උසස්ම තැන වශයෙන් හඳුනා ගත්තද වරදක් නැත. එහි දි ලක්දිව පුරාණ වාස්තුකර්ම පිළිබඳ කදිම නිදසුන් රැසක්ම දැකබලා ගැනීමට ඉඩ ලැබෙන අතර පරිසර චමත්කාරය ද නොඅඩුව අත් විදීමට හැකි වේ. මේ ආසන්නයේ ඇති ආනෛයිකුට්ටි කන්ද වනාහි පැරණි සම්ප‍්‍රදාය අනුව යමින් අදට ද පිරිය යුතු බවුන් වඩන යතිවරයන් වහන්සේලා වැඩසිටින ක්‍ෂේම භූමියකි.

නැවතත් මහනුවර – යාපනය මඟට පැමිණ කළුදිය පොකුණ පටුමාවතට ඉදිරිපසින් දකුණු පසට ගමන් කරමින් රජගිරි ලෙන කන්ද කරා ලඟා විය හැකිය. සද්ධාතිස්ස රජු පෙහෙවස් සමාදන් වී මෙම කන්දේ සිටි බැවින් මේ නම මෙම කන්දට ලැබුණු බව බොහෝ දෙනාගේ ඇදහීමයි. කන්ද පුරා විසිරී ඇති ගල්ලෙන් ප‍්‍රමුඛ පුරාකෘති දැකබලා ගැනීමෙන් පසු කන්ද පාමුල පවතින විහාර අංග ද නරඹා අධ්‍යයනය කොට මිහින්තලා සංචාරය අවසානය සනිටුහන් කළ හැකි වේ.

මිහින්තලේ පුරාවිද්‍යා කටුගෙය

කටුගෙඩි ඇති ගිරිබණ්ඩ සෑයේ ධාතු ගර්භය

මහ පියගැටපෙළ ආරම්භයේ ඇති පංචාවාසය

මිහින්තලා මහ පියගැටපෙළ

කණ්ඨක සෑය

දන් සැල

දා ගෙය, මිහින්තලා පුවරු ලිපි හා මහ සෑය

රැස්වීම් ශාලාව

සේල චේතිය හා ආරාධනා ගල

අභිනව ධාතු මන්දිරය

මිහිඳු ගුහාව

මිහිඳු සෑය

සිංහ පොකුණ

කළුදිය පොකුණ

කළුදිය පොකුණේ ඇති ගල් ගෙයක්

කළුදිය පොකුණේ ඇති ගොඩනැගිල්ලක්

රාජගිරිලෙන කන්දේ ඇති ගල් ගෙයක්

__________________________________________________________________________________
මෙම ලිපිය 2019.12.19 දින www.history.lk වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් විය
__________________________________________________________________________________

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Latest news

වත්හිමි කතා පුවත ඔස්සේ ලක් ඉතිහාසය දෙස නැවත හැරී බැලීමක්

සමීර ප‍්‍රසංග වත්හිමි කතාව, කළුන්දෑ පුවත, වත්හිමි බණ්ඩාර කතාව යනුවෙන් කුරුණෑගල අවට ජනයා අතර ප‍්‍රචලිත ජනශ‍්‍රැතිගත කතා පුවතක් පිළිබඳ ව...

ජාතික ගීය, වෙල්ලාලයන් හා ඉතිහාසය

නලින් ද සිල්වා සුමන්තිරන් ජාතික ගීය කියන්නෙ නැත්නම් ඒකෙ ප්‍රශ්නයක් නැහැ. ජාතික ගීය සම්පූර්ණයෙන් ම දන්න සිංහලයන්ගෙ ප්‍රතිශතය කීයද කියල...

මහාවංසය බොරු එළාර දෙමළ නොවෙයි 

නලින් ද සිල්වා විග්නේෂ්වරන් ඇත්තක් කියලා. ඔහු කියල මහාවංසය බොරු කියල. මහාවංසයෙ බොරුත් තියෙනව තමයි. ඒත් ඒකෙ වෙනත් කරුණු සමග...

ඇස් මහින්ද හිමි හා ජාතික ව්‍යාපාරය

නලින් ද සිල්වා අප ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියන් නමින් හඳුන්වන්නේ සීකීමයේ උපත ලද මහින්ද හිමියන් ය. උන්වහන්සේ ඉපදෙන කාලයෙහි...

සිංහල බෞද්ධ සංස්කෘතිය

නලින් ද සිල්වා සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට ගොඩනැගීම ඇරඹුණේ අද වැනි පොසොන් පොහෝ දිනක ය. එහෙත් එය යම්කිසි ආකාරයක පරිපූර්ණත්වයකට...

සීගිරිය කුරුටු ගෑම

නලින් ද සිල්වා සීගිරි කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් කුරුටු ගෑ මඩකලපුවේ තරුණියක් ජනාධිපති සමාව යටතේ සිරගත කරන ලද කාලය කෙටිකර...

Must read

වත්හිමි කතා පුවත ඔස්සේ ලක් ඉතිහාසය දෙස නැවත හැරී බැලීමක්

සමීර ප‍්‍රසංග වත්හිමි කතාව, කළුන්දෑ පුවත, වත්හිමි බණ්ඩාර කතාව යනුවෙන්...

ජාතික ගීය, වෙල්ලාලයන් හා ඉතිහාසය

නලින් ද සිල්වා සුමන්තිරන් ජාතික ගීය කියන්නෙ නැත්නම් ඒකෙ ප්‍රශ්නයක්...

You might also likeRELATED
Recommended to you