• මුල් පිටුව
  • අප ගැන
අභිලේඛන හා වෙනත් මූලාශ්‍රය උතුරේ බෞද්ධ උරුමය හා වල්ලිපුරම් රන්පතින් නිෂ්ප‍්‍රභා වන ඊළාම්...

උතුරේ බෞද්ධ උරුමය හා වල්ලිපුරම් රන්පතින් නිෂ්ප‍්‍රභා වන ඊළාම් නිජබිම්වාදය

-

එච්.එම්. ඉසුරු හේරත්

ඉසුරු හේරත්

මනුෂ්‍යය ඉතිහාසය අධ්‍යනය කිරීමේ දී විද්‍යාර්ථීන්ට සාහිත්‍ය මුලාශ‍්‍රය පමණක් නොව පුරාවිද්‍යාත්මක මුලාශ‍්‍රය ද එක සේ වැදගත් වේ. ශිලාලේඛන, ලෝහ සන්නස්, කාසි, ගොඩනැඟිලි ස්මාරක, මෙවලම් හා ආභරණ වර්ග යනාදි වශයෙන් විවිධාකාරයෙන් හමුවන පුරාවස්තු මඟින් රටක ඉතිහාසය දුරව්බෝධය නිදොස් කරමින්, අඩුපාඩු ඉවත් කරමින්, නවතම සාධක ඉදිරිපත් කරමින් ක‍්‍රමාණුකුලව ගොඩනැඟිය හැකි ය. මේ හා සාම්‍යය තත්වයක් ක‍්‍රිස්තු වර්ෂ 1936 යාපනය දිස්ත‍්‍රික්කයේ වඩමාරච්චි ප‍්‍රාදේශිකයට අයත් වල්ලිපුරම් ග‍්‍රාමයෙන් හමු වු සුප‍්‍රකට වල්ලිපුරම් රන් සන්නස පදනම් කොටගෙන ශ‍්‍රි ලාංකේය ඓතිහාසික වංශකතාව තුළ සිදු වූ බව පැවසීම තර්කානුකුල ය. මක්නිසාද යත් යාපනය අර්ධද්විපය ඇතුළු උතුරු-නැඟෙනහිර ප‍්‍රදේශවල ඓතිහාසික දෙමළ නිජභූමිය පැවති බවට මුදලිඳු සී. රාසනායගම්, සයිමන් කාසිචෙට්ටි, සචී පොන්නම්බලම්, වී. සදාසිවපිල්ලේ වැනි දෙමළ ජාතිවාදි උගතුන් විසින් ශතවර්ෂ එකහමාරක් සිට ගෙනයන අශාස්ත‍්‍රිය මතවාදය නිෂ්ප‍්‍රභා කළ හැකි ශක්තිමත් ඓතිහාසික සාධකයන් වශයෙන් මෙය පෙන්වා දිය හැකි බැවිනි.

වල්ලිපුරම් ග‍්‍රාමයේ පිහිටි විෂ්ණු දේවාලයකට අයත් ඉඩමක පැවති ගොඩනැඟිල්ලක අත්තිවාරමක් තුළ තිබි ගම්වැසියෙකුට ලැබුණු මෙම පුරාවස්තුව අනතුරුව මහාචාර්ය වල්පොල රාහුල හිමියන්ගේ මැදිහත්වීම මත ලෝකයාට එළි දැක්වින. සියුම්ව නිමවා ඇති මෙහි එක් පැත්තක පමණක් අක්ෂර කොට ඇත. අඟල් 34/16 අතර පළල අඟල් 1කි. බර ගේ‍්‍රනස් 64.5කි. වම් පසෙහි අඟල් 5/8 පමණ තීරුවක් හැර සෙසු කොටස්වල ප‍්‍රථම හා දෙ වන පේළි අතර මැදින් සිධ යන මඟුල් වචනය කොටවා ඇත. තෙ වන පෙළ හා පහන් තිරුව අතර අකුරු හයක් සහිත සිව් වන පෙල ලඝු කොට ලියා ඇත. රචිත කාලය දැක්වීම සදහා කෙටි හරස් ඉරක් අන්තර්ගතය. සෙනරත් පරණවිතානයන් හා නන්දසේන මුදියන්සේ යන උගතුන්ට අනුව ක‍්‍රිස්තු වර්ෂ 2 ශතවර්ෂයට අයත් අපර බ්‍රාහ්මී අක්ෂරයෙන් මෙම රන්පත රචනා කර ඇත. එහෙත් රචනයට උපයෝගි කොට ගෙන ඇති ලෝහ පෘෂ්ඨය නිසා සම කාලීන සෙල්ලිපි වල රච්ත අක්ෂර තරම් විධිමත් නොවන බවත් වැල් අකුරු වැනි ස්වරූපයක් ගන්නා බවත් පරණවිතානයන් වැඩි දුරටත් ප‍්‍රකාශ කරයි. ඔහු විසින් මෙම ලිපිය කියවා ලංකා ශිලාලේඛන සංග‍්‍රහයේ හතරවන කලාපයේ (E.Z. vol.4. p.229) පලකර ඇත.

1. සිධ මහරජ වහයහ රජෙහි අමෙතේ
2. ඉසිගිරයේ නකදිව බුජමෙනි
3. බදකර අතනෙහි පියගුක-තිස
4. විහර කරිතේ

අර්ථය : යහපතක් වේවා. වසභ මහ රජු රජයන කාලයෙහි ඉසිගිරය ඇමතියා නාගදීපය පාලනය කරමින් බදකර අතනයෙහි පියගුකතිස විහාරය කරවන ලදී.

රන්පතෙහි වහයහ රජ යනුවෙන් හැඳින්වෙන්නේ මිට වසර 1931 පෙර අනුරාධපුරයෙහි රජ කල වසභ රජතුමාය (ක‍්‍රි.ව. 65-109). රජුගේ නාමය රැගත් ගොඩවාය, පෙරුමියන්කුලම වැනි ශිලාලිපි වල මොහුව හඳුන්වා දී ඇත්තේ වහබ මහරජි යන නාමයෙනි. නමුත් රන්පතෙහි ‘වහබයහ’ හනුවෙන් සඳහන් වය යුතු තැන ‘බ’ ඉවත් කර වහයභ යනුවෙන් දක්වා ඇත. මේ පිළිබඳව අදහස් දක්වන කොත්මලේ අමරවංශ හිමියන් පෙන්වා දෙන්නේ වෘෂභ ශබ්දයට පර්යාය වන ‘වෘෂ’ අනුසාරයෙන් ‘වහ’ යන්න යොදන්නට ඇති බවය. එසේනම් වහයහ යනුවෙන් හඳුන්වා දී ඇත්තේ වසභ රජුම බව කිසිදු සැකයක් නැත. මීළඟට මෙමඟින් ඉදිරිපත් කරන ඓතිහාසික කරුණු කාරණා වඩාත් ගැඹුරින් අධ්‍යයනය කරමු. ප‍්‍රථමයෙන් රන්පතෙහි නකදිව් හෙවත් නාගදිප යනුවෙන් හදුන්වා ඇත්තේ වර්තමානයේ අප නාගදිපය (දෙමළ-නයිනතිවු) යනුවෙන් වරහන කුඩා දුපත ද නැතහොත් එයටත් වඩා විශාල ප‍්‍රදේශයක් ද යන්න විමසා බැලිය යුතුය. දැනට මේ පිළිබඳව සෙනරත් පරණවිතාන, ඩී.බී. ජයතිලක, මුදලිඳු ඒ.එම්. ගුණසේකර, පෝල් ඊ. පිරිස්, පි. වීරසිංහ, කොත්මලේ අමරවංශ හිමි වැනි දේශිය උගතුන් මෙන්ම විල්හෙලම් ගයිගර්, මජුම්ඩාර්, ජයස්වාල්, අග‍්‍රවාල් වැනි විදේශිය උගතුන් ද අදහස් දක්වා ඇත. ඉන්දීය වියතුන් ඓතිහාසික නාගදීපය පුරාණ භාරතයට අයත් ප‍්‍රදේශයක් වශයෙන් හුවා දැක්විමට මහත් පරිශ‍්‍රමයක් ගෙන ඇත. කේ.පී. ජයස්වාල්, වි.ඇස්. අග‍්‍රවාල් නම් ඉන්දීය ඉතිහාසඥයන් දෙ දෙනාට අනුව පුරාණ නාගදීපය යනු නුතන අන්දමන් දුපත අසල පිහිටි නිකෝබාර් දුපත්ය. මහැදුරු ඇස්.ඇන් මජුම්දාර්ට අනුව එය ඩ‍ෙකානයේ එල්ෆන්ටා ප‍්‍රදේශයේ පිහිටියේය. නමුත් මහාවංසාදි වංශකතා, දේශිය අට්ඨකථා සහ පුරාණ නම් කෘති, සංගම් යුගයේ කෘති, ටොලම්ගේ සිතියම් යනාදී දෙස්විදෙස් ලිඛිත මුලාශ‍්‍රයාගත තොරතුරු හා ඇතැම් පුරාවිද්‍යාත්මක සාධක මෙන්ම ගයිගර්, පරණවිතාන, ගුණසේකර ඇතුළු වියතුන් රැසකගේ පර්යේෂණවලට අනුව පැහැදිලිවම පෙනී යන්නේ නාගදීපය පිහිටියේ ලක්දිව බවත්, එලෙස නම් කර ඇත්තේ කුඩා දුපතකට නොව විශාල භූමි ස්කන්ධයකට බවයි. පුරාණ නම් ඉපැරණි ග‍්‍රන්ථවල ඇති භූගෝල විස්තර සහිත පරිච්ජේදවල පැරණි හින්දුස්ථානයේ භූමි 9ට නාගදීපය හා තම්බපණ්ණිය හෙවත් ලංකාව ඇතුළු කර ඇත. එසේම මණිමේකලය නම් දෙමළ සංගම් ග‍්‍රන්ථයෙහි නාගදිපය මණිපල්ලවම් යන අමුතුම නාමයකින් හඳුන්වා ඇති අතර ඒ අසල රත්න දීපය (ලංකාව) නම් දුපත පිහිටා තිබු බවට පැහැදිලිවම සඳහන්කර ඇත. මේ පිළිබඳව තවදුරටත් අදහස් දක්වන අමරවංශ හිමියන් පවසන්නේ හින්දු සංගම් සාහිත්‍ය කෘතිවල යාපනය අර්ධද්විපය මණිපල්ලවම් යනුවෙන් හදුන්වා තිබීමෙන් ලක්දිව වංශකතාවල සඳහන් බුදුරදුන්ගේ දෙ වන ලංකාගමනය හා සබැඳි චුලෝදර, මහෝදර නා රජවරුන්ගේ සංග‍්‍රාමයට ප‍්‍රස්තුතවුණු මිණිපළඟ සිහිකැඳවන බවයි. එපමණක් නොව ක‍්‍රිස්තු වර්ෂ 2 රෝම අධිරාජ්‍යයට නතුව පැවති ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩි‍්‍රයා නුවර විසු ක්ලෝඩියස් නම් භූගෝල ශාස්ත‍්‍රඥයා විසින් රචිත ජියෝග‍්‍රැෆි නැමැති කෘතිය අනුසාරයෙන් නිර්මාණය කරන ලද ලංකා සිතියමෙන් ද මේ සම්බන්ධව යම් යම් හෝඩුවාවක් හමු වේ. එහි අනුරාධපුරයට උතුරින් සහ නැඟෙනහිරින් සියලුම ප‍්‍රදේශ නාගදීපය (ග‍්‍රීක-Nagadibi) යනුවෙන් නම්කර ඇත. වසභ රජුත් ටොලමින් ජිවත් වූ කාලය සම කාලීනය. ලංකාවට නොපැමිණිය ද හෙතෙම එවකට පෙර අපර දෙදිග වාණිජ ක‍්‍රියාකාරකම්හි යෙදුණු වෙළෙඳුන්ගෙන් හා නාවිකයන්ගෙන් සපයාගත් දත්ත අනුසාරයෙන් ඉහත කී කෘතිය රචනා කළ බව විද්වත් මතයයි. ගයිගර් අනුව නාගදීපය යනු ලංකාවේ වයඹදිග කලාපයයි. පුරාණ නාගදීපය නුතන පුත්තලම, හලාවත ඇතුළත් මුහුදු බඩ කලාපයේ පවතින්නට ඇති බව මුදලිඳු ඒ.එම්. ගුණසේකර මහතාගේ අදහසයි. එහෙත් මීට විපක්ෂව කරුණු දක්වන පරණවිතානයන් තර්කානුකූලව පෙන්වා දෙන්නේ නාගදීපය නම් පාලන ප‍්‍රදේශයක් තුළ විහාරය පිහිටා නොතිබුණේ නම් එය ගොඩනැඟීමේ කාලය ගැන රන්පත පෙන්වා දෙන සඳහන නොවැදගත්වන බවත් රන්පතට ලැබුණු සිද්ධස්ථානයේ පාදම පිහිටි භූමිය යාපනය තුළම පැවති හෙයින් අතිත නාගදීපය හා යාපන අර්ධද්වීපය එකක් බව තහවුරුවන බවයි. අනෙක සිහිකැඳවිය යුතු තවත් කරුණක් වන්නේ ලිපියෙහි පියඟුකතිස හි පියඟුක නම් වචනය ලාංකේය වංසකතාවල නිරතුරුව සඳහන් පුවඟු දිවයින, පියඟුදීප නමින් හැඳින්වෙන දුපත් නාමය හා සමාන වීමය. මෙය නුතන යාපනයට බටහිරින් පිහිටි පුංකුඩුතිවු දිවයින බව තහවුරුකර ඇත. නුතන නාගදීප දුපතක් පුංකුඩතිවු දුපතක් එකක් නොව දෙකක් බව යාපනය සිතියම විමර්ශනය කිරිමෙන් පැහැදිලි වේ. එසේ නම් නාගදිපය යනු අතීතයේ සමස්ත යාපනය අර්ධද්වීපය හැඳින්වීමට යෙදුන නාමයක් බව නිගමනය කල හැකි ය.

රන්පතෙන් අනාවරණය වන අනෙක් වැදගත් කරුණ වන්නේ ක‍්‍රිස්තු වර්ෂ 2 සියවසේ දී යාපනය අර්ධද්වීපයට අනුරාධපුර රජතුමාගේ නියමය පිට පරිපාලන බලතල සහිත ඇමතිවරයෙකු විසින් පාලනය ගෙන ගොස් ඇති බවට සනාථ වීමය. ඇතැම් විට මෙහි දෙමළ ජනතාව සැලකිය යුතු යම් ප‍්‍රමාණයක් ජීවත් වන්නට ඇති බව උපකල්පනය කල හැකි වුව ද බහුතරය සිංහල බෞද්ධයන් වන්නට ඇත. ඒ බව වඩාත් තහවුරු වන්නේ ලිපිය, ප‍්‍රදේශයේ ප‍්‍රමුඛතම ව්‍යවහාර භාෂාව වන සිාංහලෙන් රචනාකර තිබීමත්, පියගුකතිස නම් විහාරයක් ගොඩනැගීමක් පිළිබඳව සඳහන් කර තිබීම නිසාවෙනි. නමුත් මෙම විහාරයෙහි ඉතිහාසය වසභ සමයටත් වබා පැරණි බව ලක්දිව වංස කතා අධ්‍යයනය කිරීමෙන් අනාවරණය වේ. දේවානම්පියතිස්ස රජු (ක‍්‍රී.පූ. 250-210) විසින් නාගදීපයේ දඹකොල වෙහෙර ද එම පටුනෙහි (දුපතෙහි) තිස්ස මහා විහාරය ,පාවීනාරාමය කරවූ බවට සඳහන් මහාවංසයෙහි 20 පරිච්ඡේදයේ 25-26 යන ගාථා වල අන්තර්ගත වේ. මෙහි සඳහන් තිස්සමහා විහාරය වල්ලිපුරම් ලිපියෙහි සඳහන් පියගුකතිස්ස විහාරය විය හැකි ය. මී ලඟට මෙම විහාරස්ථානය හා එහි භික්ෂූන් වහන්සේගේ ආගමික කටයුතු පිළිබදව විස්තර මහාවංශයේ දුටුගැමුණු රාජ චරිතය හා සබැදි කථාපුවත් වලින්ද සොයා ගත හැකිය. එහි සිය මලනුවන් විරුද්ධව චූලංගනිය පිටියේ පැවති සංග‍්‍රාමයෙන් පැරද ජවමාලි තොටට පළා ආ දුටු ගැමුණු කුමරු ලබා දුන් දානය පිළිගත්තේ පුවඟු දිවයින් වාසී තිස්ස නම් ස්ථිවිරයන් වහන්සේ නමකි. එසේම රජරට දෙමළ ආක‍්‍රමණිකයන්ගෙන් මුදා ගැනීමෙන් පසුව දුටුගැමුණු රජුට ශයනාගාරයේ දී ඇතිවුණු පශ්චාත්තාපය දුරුකරවනු වස් චිත්ත යමකය දේශනා කිරීම සඳහා රහතන් වහන්සේලා පැමිණියේ ද පුවඟු දිවයිනේ සිටය. නියත වශයෙන්ම මෙම භික්ෂුන් වඩින්නට ඇත්තේ ක‍්‍රිස්තු පූර්ව 3 වන සිය වසේ දේවානම් පියතිස්ස රජු විසින් කරවන ලද තිස්ස විහාරයෙන් බව සැකයක් නැත. එහි වැදගත්කම නිසාම පශ්චාත් කාලයේ රජ පැමිණි වසභ, කණිට්ඨතිස්ස, වොහාරතිස්ස වැනි පාලකවරුන් විසින් මෙම විහාරය ප‍්‍රතිසංස්කරණය කල බව පෙනේ. මහා වංශයේ පමණක් නොව බුද්ධඝෝෂ හිමියන් විසින් රචිත විසුද්ධමග්ගයේ පඤ්ඤාභාවනානිසංස නිද්දේශයේ පුවඟු දිවයිනේ වැඩ වාසය කළ මහානාම නමි තෙර නමකගේ විශ්මිත ක‍්‍රියාවක් පිළිබඳව පුවතක් ඇතුළත් කර ඇත. එය මෙසේය.

මහනාග නම් පුවගු දිවයින් වාසි මහ තෙරනමක් සිය මෑණියන් ජිවත්වන ගමට පිණ්ඩපාතයේ වැඩි සේක. මව් උපාසිකාව උනවහන්සේ ආසන ගැන්වුවාය. දානය පිළියෙල කරන තෙක් මහ තෙරුන් නිරෝධයට සම වැදුනි. එහෙත් සුළු වේලාවකින් දාන ශාලාව ගිනිගන්නට විය. සෙසු අය ආසන රැගෙන ගින්නෙන් ගැලවීම සඳහා ශාලාවෙන් පිටතට පැමිණියහ. නමුත් ගිනිගත් ශාලාවෙන් පිටතට නොවැඩි භික්ෂුව දැක මිනිසුන් කම්මැලි භික්ෂුවකැයි තෙපලූහ. ගින්න නිවා බැලූ විට තෙරුන් වහන්සේ නොමළ බව දැන ඔවුහු අවට කසල ශුද්ධ කොට මල් විසුරුවා වදිමින් සිටියහ. අනතුරුව තෙරුන් සමාධියෙන් ඉවත්ව නැඟිට පිරිස දැක තමන් වහන්සේ රහත් බව හෙළිවුයේ යැයි නොසතුටට පත්ව ආකාශයට නැඟී ආපසු පුවඟු දිවයිනට වැඩියේය.”

මීට අමතරව ක‍්‍රිස්තු වර්ස 9 රට්ඨපාල නම් හිමිනමක විසින් රචිත සහස්සවත්ථුපකරණය ඒ අනුසාරයෙන් ලියන ලද පාලි රසවාහිනියේ මෙන්ම සද්ධර්මාලංකාරයෙහි ද පුවඟු දිවයින්හි බෞද්ධ භික්ෂුන් සම්බන්ධව විස්තර අන්තර්ගතය. නිදසුන් ලෙස පුවඟු දිවයින් වාසි ගෝතම නම් 1008 භික්ෂු පිරිසකට නායකත්වය දුන් ස්ථිවිර නමක් දුටුගැමුණු කුමරුගේ නම් තබන උත්සවයට සහභාගි වු බවට පුවතක් රසවාහිනියේ ඇතුළත් වන අතර සද්මාලංකාරයෙහි පුවඟු දිවයින්හි භික්ෂුන් වහන්සේලා 12,000ක් වැඩ වාසය කළ බවට වාර්තාකර ඇත (එහෙත් මහාවංශයේ මේ බවක් සඳහන්ව නැත). මෙම බණකථා පුවත්වල කියවෙන භික්ෂුන් වැඩවාසය කරන්නට ඇත්තේ රන්පතෙහි සඳහන් පියගුකතිස විහාරය හෝ පශ්වාත් කාලයේ දුපත අවට ඉදිවුණු වෙනත් විහාරස්ථානවල බව පැවසීම තර්කාණුකූලය. වල්ලිපුරම් රන්පත හමුවීමට පෙර ක‍්‍රිස්තු වර්ෂ 1906 ගවේෂකයින් පිරිසට එම ස්ථානයෙන්ම අමරාවතී සම්ප‍්‍රදායට අනුව නිර්මාණය කල බුද්ධ ප‍්‍රතිමාවක් හමු වී ඇත. පසුව එය හෙන්රි බ්ලේක් නම් ලකිසුරුවරයා විසින් තායිලන්ත රජුට ප‍්‍රදානය කර ඇත.

පුංකුඩුතිව් දිවයින්හි පමණක් නොව යාපනයේ සෙසු ප‍්‍රදේශ වලද ක‍්‍රිස්තු පූර්ව 3 වන සියවසේ සිට වෙහෙර විහාර රැසක් ගොඩනැංවී තිබූ බවට සාධක විවිධ මූලාශ‍්‍රය වලින් හමු වේ. ප‍්‍රධාන වශයෙන් මෙම බෞද්ධ ප‍්‍රබෝධයට හේතු වන්නට ඇත්තේ සංඝමිත්තා තෙරණිය ජය ශ‍්‍රී මහා බෝධිය රැගෙන දඹකොල පටුනට වැඩම කිරීම අරඹයා පැණ නැගුනු බෞද්ධ ප‍්‍රබෝධය බව කිව හැකි ය. එය සිහිකරනු වස් දෙවන පෑතිස් රජු විසින් ජම්බුකෝල විහාරය කරවූ අතර ඉහත සඳහන් කළ තිස්සමහා විහාරයට අමතරව හෙතෙම පාචීනාරාමය කරවූ බව මහාවංශයේ සඳහන්ය. මහනුවර සමයේ රච්ත නම්පොත අනුව එය නුතනයේ කන්දරොඩය ප‍්‍රදේශයේ පිහිටි කදුරුගොඩ විහාරය බවට හදුනාගෙන ඇත. පොල් ඊ. පිරිස් මහතා විසින් ක‍්‍රිස්තු වර්ෂ 1917-1919 යන වර්ෂවල දි ද ආචාර්ය සී.ඊ. ගොඩකුඹුර මහතා විසින් ක‍්‍රිස්තු වර්ෂ 1965- 1968 යන කාල පරාසය තුළ සිදු කරන කැනීම් වලට අනුව අක්කර 3.0338 පුරා පැතිර තිබූ බවට සිතිය හැකි මෙම විහාරස්ථානයෙන් දැනට කුඩා චෛත්‍යය 50ක් පමණ හමු වී ඇත. එයින් විශාලම ස්තූපයේ වට ප‍්‍රමාණය අඩි 23කි. කුඩාම චෛත්‍යයේ වට ප‍්‍රමාණය අඩි 6කි. මීට අමතරව සිරි පතුල් ගලක්, කවන්ධ බුද්ධ පිළිමයක්, කොරවක්ගල් කැබලි, ගඩොල් කැබලි, හුණු ගල්, අනුරපුර සමයට අයත් ග්ලේස් කරන ලද උළු කැබලි, දාගැබ් කොත් අවශේෂ, සුදු වර්ණාපිත දරුවෙකු වඩා ගත් මවකගේ ප‍්‍රතිමාවක්, කුඩා ගෙජ්ජි, තඹ කූරු, ඇණ වර්ග, ඊයම් කැබලි, ආභරණ අවශේෂ, වීදුරු, වලංකැබලි, කාසි මෙන්ම පබළු 26,000ක් ද හමු වී ඇත. කදුරුගොඩ විහාරයට අමතරව ලාංකික පුරාවිද්‍යාඥයින්ට ඩෙල්ෆ් දූපතේ තිබූ පුරාණ බෞද්ධ සිද්ධස්ථාන හතරක නෂ්ඨාවශේෂ අනාවරණය කරගෙන ඇත.

එපමණත් නොව විහංග අටුවාවේ ගලම්බුතිත්ථ නම් විහාරයක් පිළිබඳව ද, විභංග අභිසම්භිදා නිද්දේශයේ මහ වාලික නම් විහාරයක් පිළිබඳව තොරතුරුද (මෙය වසභ රජු විසින් කරවන ලද වල්ලිගෝත‍්‍ර විහාරය විය හැක) සහස්සවත්ථුපකරණයේ නාගදීපයේ පිහිටි රාජායතන නම් විහාරයක් සමබන්ධව මෙන්ම පරිභෝග සාටක නම් දාගැබක් පිළිබඳව ද කථා පුවත් අන්තර්ගතය. මහාවංශයට අනුව මහාදාඨික මහානාග (ක‍්‍රි.ව.9-21) රජතුමා විසින් ඉදිකරවන ලද පාසානදීපක නම් විහාරය පිහිටියේ ද යාපනයේය. ධාතුසේන රජතුමා (ක‍්‍රි.ව.455-473) විසින් ද නාගදීපයේ මාංගන, ථූපවෙට්ඨි, ධාතුසේන යන නමින් ආරාම ත‍්‍රිත්වයක් ගොඩනංවා ඇත. අඩසියවසකට අධික කාලයක් පැවති චෝල ආධිපත්‍යයෙන් ලංකාව මුදාගත් පළමු වැනි විජයබාහු රජු (ක‍්‍රි.ව. 1055-1110) දඹකොළ විහාරය ඇතුළු යාපනයේ බෞද්ධ සිද්ධස්ථාන රැසක් ප‍්‍රතිසංස්කරණය කළ බවට චුලවංශය වාර්තා කර ඇත. ලිඛිත හා වල්ලිපුරම් රන්පත වැනි පුරාවිද්‍යාත්මක මුලාශ‍්‍රයවලට අනුව මෙතරම් බෞද්ධ සිද්ධස්ථාන ප‍්‍රමාණයක් යාපනයේ ස්ථාපිතව පැවතියේ නම් අනිවාර්යයෙන්ම ක‍්‍රිස්තු පූර්ව 3 සියවසේ සිට අවම වශයෙන් ක‍්‍රිස්තු වර්ෂ 13 සියවස දක්වා කාලය තුළ අඛණ්ඩ සිංහල බෞද්ධ ජනකායක් ප‍්‍රදේශයේ පදිංචිව සිටිබව නියතය.

මෙම යෝධ සිංහල බෞද්ධ ජනගහනය ආරක්ෂාකරමින් රටේ පාලනය ක‍්‍රමාණුකූලව පවත්වාගෙන යෑමේ භාරදුර වගකීම ක‍්‍රිස්තු පූර්ව 3 සියවසේ සිට දේවානම් පියතිස්ස, දුටුගැමුණු, සද්ධාතිස්ස, වලගම්බා, මහාචුලිමහාතිස්ස, කුටකන්නතිස්ස සිට ආමන්ඩගාමිණි දක්වා වු සියලුම රජවරු වසභ, ගජබාහු සිට දෙ වන අග්ගබෝධි දක්වා වු සියලුම පාලකවරු මානවම්ම, දෙ වන සේන, හතර වන කාශ්‍යප, පස් වන කාශ්‍යප, හතර වන මහින්ද යන අනුරපුර රජදරුවන් විසින්ද පළමු වැනි විජයබාහු, පළමු වැනි පරාක‍්‍රමබාහු, නිශ්ශංකමල්ල, ලීලාවති යන පොළොන්නරු යුගයේ රජදරුවන්ගේ නියමය පිට දීපරාජ, අමාත්‍ය, සේනාපති වැනි නිලතල දැරුවන් විසින් උපද්‍රව මධ්‍යයයේ සිදුකරන්නට ඇත. මොවුන් විසින් දාගැබ් ඇතුළු විහාරරාමවලට අමතරව ආරෝග්‍යශාලා, වාණිජ මධ්‍යස්ථාන, කෘත‍්‍රිම තොටුපලවල් වැනි වැඩදායි මහජන ව්‍යාපෘති ගොඩනඟන්නට ඇත. මේ බව වඩාත් තහවුරු වන්නේ වල්ලිපුරම් රන්පතට අමතරව හතර වන වන කාශ්‍යප රජුගේ (ක‍්‍රි.ව. 898-914) කන්දරොඩේ, අත්තානි කණුව ලිපියත්, පස් වන කාශ්‍යප රජුගේ (ක‍්‍රි.ව. 1153-1186) නයිනතිව් සෙල්ලිපියත්, කීර්ති ශ‍්‍රී නිශ්ශංකමල්ල රජතුමා (ක‍්‍රි.ව.1187-1196) විසින් දකුණු ඉන්දියාවේ රාමේෂ්වරම් පලකර ඇති ලිපිය ඇතුළු යාපනයේ සිංහල ශිලාලේඛන පරීක්ෂා කිරීමෙනි. පෙර සඳහන් කලාක්මෙන් මෙම ලිපි බොහෝමයක් පලකර ඇත්තේ සිංහලෙන් වන අතර (නයිනතිවු ලිපිය හැර) ක‍්‍රිස්තු වර්ෂ 13 සියවසට පෙර ප‍්‍රදේශයේ ප‍්‍රමුඛතම ව්‍යවහාර සහ පරිපාලන භාෂාව වන්නට ඇත්තේ සිංහලය බවට කිසිදු සැකයක් නැත. තවද සමස්ත යාපනය ප‍්‍රදේශයේම අතීතයේ ව්‍යවහාර කර ඇති කාසි වන්නේ සිංහල රජ දරුවන් විසින් නිකුත් කල කාසි බව පෙනේ. නිදසුන් ලෙස කන්දරොඩය, වල්ලිපුරම්, තෙලිප්පලෙයි, තෙන්නමාරච්චි, මඞ්ඩුවිල් යනාදී ස්ථානවල සිදුකරන ලද කැනීම් වලින් මහා පරාක‍්‍රමබාහු, සහස්සමල්ල, ලීලාවතී, ශ‍්‍රී ධර්මාශෝක, බුවනෙකබාහු වැනි පාලක පාලිකාවන් විසින් නිකුත් කරන ලද කාසි හමු වී ඇත.

ඉහත කී කරුණු කාරණා සමාලෝචනය කිරීමෙන් පෙනී යන්නේ දෙමළ නිජබිම්වාදීන්ගේ ව්‍යාජ ඉතිහාසය කියැවීම් නිෂ්ප‍්‍රභා කරමින් මෙරට ඉතිහාසය නියමාකාරව හැදෑරීමේ දී වල්ලිපුරම් රන්පත මහෝපකාරී වන බවයි. විශේෂයෙන්ම අතීත නාගදීපය හෙවත් නූතන යාපනය අර්ධද්වීපය යනු සිංහල රජ දරුවන්ගේ සෘජු පාලනයට නතුව පැවති දිගු කලක් බුදු දහම සුරක්ෂිතව පැවති හා විහාරාරාම රැසකින් හෙබි ප‍්‍රදේශයක් බව සාහිත්‍යයික හා පුරා විද්‍යාත්මක මූලාශ‍්‍රය විමර්ශනය කිරීමෙන් පෙනේ. එසේම ක‍්‍රිස්තු පූර්ව 3 වන සියවසේ සිටම මෙහි විශාල සිංහල බෞද්ධ ජනගහනයක් විසූ ප‍්‍රදේ්ශයක් බවට පැහැදිලි සාධක රන්පත අනුසාරයෙන් අනාවරණය කර ගත හැකි ය.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ හා ලේඛන නාමාවලිය

  • මහාවංසය, පූජ්‍ය හික්කඩුවේ සුමංගල හිමි. දේවරක්ෂිත පඬිතුමා
  • යාපනය, පී. වීරසිංහ
  • ලක්දිව සෙලිලිපි, කොත්මලේ අමරවංශ හිමි
  • වල්ලිපුරමි රන් සන්නස සහ හෙල උරුමය, සිරිසමන් විජේතුංග
__________________________________________________________________________________
මෙම ලිපිය 2019.12.17 දින www.history.lk වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් විය
__________________________________________________________________________________

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Latest news

වත්හිමි කතා පුවත ඔස්සේ ලක් ඉතිහාසය දෙස නැවත හැරී බැලීමක්

සමීර ප‍්‍රසංග වත්හිමි කතාව, කළුන්දෑ පුවත, වත්හිමි බණ්ඩාර කතාව යනුවෙන් කුරුණෑගල අවට ජනයා අතර ප‍්‍රචලිත ජනශ‍්‍රැතිගත කතා පුවතක් පිළිබඳ ව...

ජාතික ගීය, වෙල්ලාලයන් හා ඉතිහාසය

නලින් ද සිල්වා සුමන්තිරන් ජාතික ගීය කියන්නෙ නැත්නම් ඒකෙ ප්‍රශ්නයක් නැහැ. ජාතික ගීය සම්පූර්ණයෙන් ම දන්න සිංහලයන්ගෙ ප්‍රතිශතය කීයද කියල...

මහාවංසය බොරු එළාර දෙමළ නොවෙයි 

නලින් ද සිල්වා විග්නේෂ්වරන් ඇත්තක් කියලා. ඔහු කියල මහාවංසය බොරු කියල. මහාවංසයෙ බොරුත් තියෙනව තමයි. ඒත් ඒකෙ වෙනත් කරුණු සමග...

ඇස් මහින්ද හිමි හා ජාතික ව්‍යාපාරය

නලින් ද සිල්වා අප ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියන් නමින් හඳුන්වන්නේ සීකීමයේ උපත ලද මහින්ද හිමියන් ය. උන්වහන්සේ ඉපදෙන කාලයෙහි...

සිංහල බෞද්ධ සංස්කෘතිය

නලින් ද සිල්වා සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට ගොඩනැගීම ඇරඹුණේ අද වැනි පොසොන් පොහෝ දිනක ය. එහෙත් එය යම්කිසි ආකාරයක පරිපූර්ණත්වයකට...

සීගිරිය කුරුටු ගෑම

නලින් ද සිල්වා සීගිරි කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් කුරුටු ගෑ මඩකලපුවේ තරුණියක් ජනාධිපති සමාව යටතේ සිරගත කරන ලද කාලය කෙටිකර...

Must read

වත්හිමි කතා පුවත ඔස්සේ ලක් ඉතිහාසය දෙස නැවත හැරී බැලීමක්

සමීර ප‍්‍රසංග වත්හිමි කතාව, කළුන්දෑ පුවත, වත්හිමි බණ්ඩාර කතාව යනුවෙන්...

ජාතික ගීය, වෙල්ලාලයන් හා ඉතිහාසය

නලින් ද සිල්වා සුමන්තිරන් ජාතික ගීය කියන්නෙ නැත්නම් ඒකෙ ප්‍රශ්නයක්...

You might also likeRELATED
Recommended to you