• මුල් පිටුව
  • අප ගැන
අභිලේඛන හා වෙනත් මූලාශ්‍රය අනුරපුර, ජේතවනයේ බෞද්ධ ගරාදි වැට පුවරු ලිපියෙන් හෙළිවන පුරාණ...

අනුරපුර, ජේතවනයේ බෞද්ධ ගරාදි වැට පුවරු ලිපියෙන් හෙළිවන පුරාණ දොරටු පැන් මණ්ඩපයක පරිපාලනය

-

එම්.ඒ. ප‍්‍රසාද් කුමාර

එම්.ඒ. ප‍්‍රසාද් කුමාර

අනුරාධපුර දේශපාලන ඉතිහාසය තුළ කි‍්‍රස්තු වර්ෂ 276-303 අතර කාලය තුළ රාජ්‍ය විචාරන ලද මහසෙන් රජු විසින් මහාවිහාරයට විරුද්ධ වෙමින් එකී විහාර සීමාවට අයත්ව ජේතවන විහාර සංකීර්ණය ඉදිකරන ලද බව මහාවංසයේ සඳහන් වේ (මහාවංශය 2007:37,32). ජෝතිය වන උද්‍යානය ආශ‍්‍රිතව නිර්මාණය කරන ලද එකී විහාර පරිශ‍්‍රය පිළිබඳ ව මහාවංශය සඳහන් කළත් එය වඩා අවතක්සේරුවෙන් ප‍්‍රකාශ කිරීමට පරිච්ඡේද දෙකක් පමණක් වෙන්කර තිබෙනු හඳුනාගත හැකි ය. මහසෙන් රජු විසින් සාගලික නිකායිකයින්ට පක්ෂපාතී වෙමින් ඉදිකරන ලද ජේතවන විහාර පරිශ‍්‍රය තුළ ම ජේතවන ස්තූපය ඉදි කළ අතර එය ශ‍්‍රී ලංකාවේ ඉදි වූ විශාලම ස්තූපය බවට ද පත්ව තිබේ. මෙතැන් සිට සාගලික භික්ෂූන්ගේ ප‍්‍රධාන මධ්‍යස්ථානය බවට පත් වූ ජේතවන විහාර සංකීර්ණය තුළින් පසු කාලීන අභිලේඛන විශාල සංඛ්‍යාවක් සොයාගෙන ඇති අතර එම අභිලේඛන විහාර ඉතිහාසය පමණක් නොව ලක්දිව ඉතිහාසයට ද නව ආලෝකයක් ගෙන දිමට සමත් වී ඇත. මෙසේ ජේතවන භූමියෙන් හමු වූ අභිලේඛන අතර රන්පත් ඉරු 7ක් ද වන අතර මහායාන බුද්ධාගමේ පූජනීයත්වයට පත් වූ ප‍්‍රඥා පාරමිතා සූත‍්‍රයේ කොටසක් එම රන්පත් ඉරු මත ලියැ වී ඇත (ජේතවානාරාම රන්බණ පොත 1930:169-171). මෙම අභිලේඛන අතරින් කි‍්‍රස්තු වර්ෂ 3 වන ශත වර්ෂයට අයත් සෙල්ලිපියක් ද හමු වන අතර එය බෞද්ධ ගරාදි වැට පුවරු ලිපිය (Buddhist Railing slab Inscription) නමින් හැඳින් වේ. මෙම ලිපිය පළමුවෙන් ම මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් කියවා අර්ථකථනය කොට පළකර ඇත (Paranavitana 1932:226-229). එහි නව සංස්කරණයක් මහාචාර්ය සිරිමල් රණවැල්ල මහතා විසින් ඉදිරිපත් කොට තිබේ (Ranavella 2004:238-241). මැදඋයන්ගොඩ විමලකිත්ති හිමියන් ද මෙම ලිපිය කියවා අර්ථකථනය කොට ඇත (විමලකිත්ති හිමි 1957:140-145). මේ ආකාරයෙන් අවධි කිහිපයක දි වූව ද විද්වතුන්ගේ අවධානයට ලක්වූ බෞද්ධ වැට පුවරු ලිපිය පිහිටුවා තිබෙන්නේ දොරටු පැන් මණ්ඩපයක පාලනය පිළිබඳව පැන වූ ව්‍යවස්ථාවක් වශයෙන් අතීත ලංකාවේ දොරටු පැන් මණ්ඩපයක පරිපාලන ක‍්‍රමවේදය කෙසේ වූයේ ද යන්න පිළිබඳව විමර්ශනාත්මක අධ්‍යයනයක් මෙම ලිපියෙන් සිදු කෙරේ.

දැනට අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයේ තැන්පත් කොට ඇති බෞද්ධ ගරාදි වැට පුවරු ලිපිය ජේතවන ස්තූපයට දකුණු දෙසින් පිහිටි බෞද්ධ ගරාදි වැට වශයෙන් හැඳින්වෙන ගොඩනැඟිල්ල එනම් බෝධිඝර ආශ‍්‍රිත ගොඩනැඟිල්ල ඇසුරින් සොයාගත් එකකි. දැනට ඉතිරි වී ඇති පුවරු ලිපියේ ඉහළ කොටස දිගින් අඩි දෙකයි අඟල් එකක් ද, පහළින් අඩි එකයි අඟල් එකොළහක් ද වේ. පුවරුවේ ඉහළ කෙළවර දෙක හානියට පත් වී ඇත. එහෙත් කියවාගත හැකි ලෙස ලිපියේ මුල් කොටස් දහ නවය සුරක්ෂිතව ඇත. ලිපියේ අක්ෂර ගැඹුරින් හාරා තිබෙන අතර එම අක්ෂ 10 වන සියවසට අයත් වේ. බෞද්ධ ගරාදි වැට පුවරු ලිපියේ පෙළ සහ අන්තර්ගතය පහත දැක් වේ.

අනුරාධපුර, ජේතවන විහාර බෞද්ධ ගරාදි වැට පුවරු ලිපිය

පෙළ

    1. සිරිබර් සැහැකුල කොත් ඔකාවස් (පරපුරේ)
    2. න් බට් සුදොවුන් මහරජ්හු අන්වයෙ
    3. න් ආ පඬුවස්දෙව් අභා මහරජ්හු පරපු
    4. රෙන් බට් සිරිසගබෝ මිහින්ද් මහරජ්හු ස
    5. ත් ලැගු සත්වන හවුරුදුයෙහි සාගලි ම
    6. හ හිමියන් නමින් පාළ වූ අපිස් සතොස්
    7. තිස් මහ තෙරනට් පිහිටි දෙනා රජ් මහ වෙහෙ
    8. ර්හි රත්නමා පිරිවෙන්හි වසන සඟමොක් කැ
    9. මි උවසුවන් විසින් කැරු මෙ දොරටු පැන්මඩි
    10. යෙහි නවාතැන් නොදෙනු ඉසා සෙනෙවි ර
    11. ද් මුළැ වසන සඟමහලු සඟුන් විසින්
    12. මෙ දොරටු පැන් මඬියෙහි උඩුමහල් යටි ම
    13. හාල්හිද් පැන්කළ තබන හාරයෙහිද් කිසි
    14. කවරු පරියායෙකිනු ද් නවාතැන් නොදෙනු ඉ
    15. සා මේ පැන්මඩු කුසලාන පිළිබඳ උපකරණ
    16. යෙන් වැඩි අනුන් පිළිබඳ උප(ක)රණ නොතබ
    17. වනු ඉසා මෙහෙකරුවන්ගේ වරයාලෙන් වැ
    18. ඩි උපකරණයක් තැබුව ඇතැ දිවෙල් ගෙන නෙර්නා
    19. ඉසා නකයැ වුවන සඟනුද් සඟුන් කෙරෙබා
    20. ….. නවාතැන් නොගන්
    21. (නා ඉසා) …. නොදෙනු
    22. (ඉසා) ………….

අර්ථ: සිරිබර්, ඉසුරින් බර : සැහැකුල කොත්, ශාක්‍ය කුලයට කොතක් වැනි : ඔකාවස් පරපුරෙන් බට්, ඔක්කාක රාජවංශයෙන් පැමිණි හෙවත් බැසගත් : සුදොවුන් මහරජ්හු අන්වයෙන් ආ, සුද්ධෝන මහරජතුමාගේ පරම්පරාවෙන් පැවත එන : පඬුවස්දෙව් අභා මහරජ්හු පරපුරෙන් බට්, පඬුවස්දෙව් අභය මහරජතුමාගේ පරම්පරාවෙන් පැවත එන : සිරිසඟබෝ මිහින්ද මහරජ්හු , සිරිසඟබෝ මහින්ද මහරජතුමා : සත්ලැඟු, සේසත් එස වූ හෙවත් අභිෂේක ලැබූ : හත්වන අවුරුදුයෙහි, සත්වන අවුරුද්දේ : සාඟුලි මහ හිමියන් නමින්, සාගල මහහිමියන්ගේ නාමයෙන් : පාළවූ, ප‍්‍රකට වූ හෙවත් ප‍්‍රසිද්ධියට පත් : තිස් මහ තෙරනට් පිහිටි, තිස්ස තෙරණුවන් විසින් පිහිට වූ : දෙනා රජ්මහ වෙහෙර්හි, ජේතවන රජ මහා විහාරයේ : රත්නමා පිරිවෙන්හි වසන, රත්නමා ආවාසයෙහි වාසය කරන : සඟමොක් කෑමි, ස්වර්ග මෝක්ෂ සම්පත්තිය අපේක්ෂා කළ : උවසුවන් විසින් කැරු, උපාසකයින් විසින් කරවන ලද : මේ දොරටු පැන් මඩියෙහි, මෙම දොරටු පැන් මණ්ඩපයේ : නවාතැන් නොදෙනු ඉසා, නවාතැන් ලබා නොදීම ද : සෙනෙවිරද් මුළැ වසන, සේනාපති මූලයේ වාසය කරන : සඟ මහලූ, බාල මහලු : සඟුන් විසින්, සංඝයා විසින් : මේ දොරටුපැන් මඩියෙහි, මේ දොරටුපැන් මණ්ඩපයේ : උඩුමහල් යටිමහල්හිද්, උඩුමහලේ සහ පහත මාලයේත් : පැන් කල තබන හාරයෙහිද්, පැන් කල තබන ආධාරකයේත් : කිසි කවුරු පරියායෙකිනුත්, කවර ආකාරයකින්වත් : නවාතැන් නොදෙනු ඉසා, නවාතැන් නොදිම ද: මේ පැන් මඩු කුසලාන පිළිබඳ, කුසල් පිණිස ප‍්‍රධානය කළ මෙම පැන් මඩුවට සම්බන්ධ : උපකරණයෙන් වැඩි, උපකරණවලට අමතරව : අනුන් පිළිබඳව උපකරණ නොතබනු ඉසා, අන් අයට උපකරණ හෙවත් මෙවලම් නොතැබීම ද : මෙහෙකරුවන්ගේ වරයාලෙන් වැඩි, සේවකයන් ජලය ගෙන යන්නට යන බඳුන වලට අමතරව : උපකරණ තැබුව ඇතැ. උපකරණ තබා තිබුවහොත් : දිවෙල් ගෙනැ, දිවිරැකීම සඳහා දුන් ඉඩකඩම් ගෙන : නෙර්නා ඉසා, (ඔවුන්) නෙරපා හැරීම ද: නකයැ වුවන සඟුනු දේ, ජේතවන විහාරයේ වාසය කරන සංඝයා විසින් ද : සඟුන් කෙරේ, සංඝයා වෙත ………………..

අනුරාධපුර ජේතවන විහාර බෞද්ධ ගරාදි වැට පුවරු ලිපිය

බෞද්ධවැට පුවරු ලිපිය තුළින් හෙළිවන ආරාමික පරිපාලන නීතිරීති කවරේ ද යන්න විමසීමට පෙර මෙහි එන පඬුවස්දෙව් අබා මහරජ්හු යනු කවුරුන් ද යන්න පිළිබඳව විමසා බැලිය යුතුය. මෙම ලිපියේ සඳහන් වී ඇති පඬුවස්දෙව් අබා මහරජ්හු යනු අනුරාධපුර නගරය ගොඩනැඟූ පණ්ඩුකාභය රජු ද නැතිනම් විජයගේ සහෝදර සුමිත්තගේ පුත් පඬුවස්දෙව් රජු ද යන්න ගැටලුවකි. පඬුවස්දෙව් අබා මහරජු සුද්ධෝන රජුගේ පරම්පරාවෙන් පැවත එන බවත් මෙසේ සුද්ධෝධන රජුගේ පරම්පරාවෙන් පැවත එන සිංහල රජු පණ්ඩුකාභය වන නිසාත්, පඬුවස්දෙව් අබා මහරජ්හු යනු පණ්ඩුකාභය බව පැහැදිලි ය. මෙම ලිපියේ එන තවත් රාජ්‍ය නාමයකි, සිරිසඟබෝ මිහින්ද් මහරජ්හු ඉතිහාසයේ සිවුවන මහින්ද නමින් (කි‍්‍ර.ව. 956-972) හැඳින්වෙන්නේ මේ රජතුමා ය. මොහුගේ රාජ්‍ය කාලය විස්තර කිරීමට මහාවංශය ගාථා 50ක් පමණ වෙන් කර තිබුණත් ඔහුගේ පෙළපත එහි සඳහන් වී නොතිබීම ගැටලුවකි. සුද්ධෝධන රජුගේ පරපුරෙන් පැවත එන පණ්ඩුකාභය රජුගේ පරපුරට සිව්වැනි මහින්ද රජු සම්බන්ධ කර තිබීම ද ගැටලුවක් වන අතර පණ්ඩුකාභය හා සිව්වැනි මහින්ද අතර පවතින සම්බන්ධතාව එතරම් පැහැදිලි එකක් නොවේ. බුදුන්ගේ පරම්පරාවට සිවු වැනි මහින්ද රජු සම්බන්ධ කිරීම තුළ ගැබ්වුණු දේශපාලන යථාර්ථය වූයේ පාලකයා වෙත මෙරට වාසය කළ බහුතර බෞද්ධ ජනයාගේ පක්ෂපාතීත්වය දිනා දීමයි. මෙය අනුරාධපුර අගභාගයේ දේශපාලන උපාය මාර්ගයක් වශයෙන් භාවිත කළ බැව් හමු වී ඇති වෙනත් ශිලා ලේඛනයන්ගෙන් ද අනාවරණය වී ඇති නිසා මෙහි දී සිව් වැනි මහින්ද රජු සුද්ධෝදන රජ පරම්පරාවට සම්බන්ධ කිරීම දේශපාලන උපක‍්‍රමයක් වශයෙන් භාවිත වූවාට සැක නැත.

මෙම අභිලේඛන තුළ සඳහන් වන සාගුලික මහ හිමියන් පිළිබඳව එන සඳහන ද වැදගත් එකකි. ලක්දිව ශාසනික ඉතිහාසයේ විශේෂ සිදුවිමක් වූ සාගලික නිකාය ආරම්භ කිරීමට මුල් වූ සාගල මහ තෙරුන් වහන්සේ මින් අදහස් වේ. වංසකතා සාධක අනුව ගෝඨාභය රජ දවස (කි‍්‍ර.ව. 269-291) සාගලික නිකාය ආරම්භ වූ බව විශ්වාස කරයි (නිකාය සංග‍්‍රහය, 1984,13). දක්ඛිණගිරි විහාරයේ ආරම්භය පිළිබඳව මහාවංශයේ හා වෙනත් වංසකතාවල සඳහන් වන්නේ වෝහාරික තිස්ස රජ දවස (කි‍්‍ර.ව. 214-236) එය ආරම්භ වූ බව ය. අභයගිරියේ වාසය කරන ලද උස්සිලියා තිස්ස නම් හිමි නමක් තවත් භික්ෂූන් 300ක් අභයගිරි විහාරයෙන් වෙන්ව දක්ඛිනගිරි විහාරයට වාසයට යන අතර මේ භික්ෂූන් අතර සිටි ඥානවන්ත භික්ෂූවක් ලෙස සාගුලික හිමියන් හඳුනා ගැනේ. මහායාන ආගම ගරු කළ ඒ හිමි තමාගේ මූලිකත්වයෙන් සාගලික නිකාය ආරම්භ වූ අතර එසේ සාගුලික නිකාය පිහිටුවන ලද හිමිගේ නම් සාගුලික හිමියන් ලෙස අභිලේඛනයේ දක්වා ඇත.

අභිලේඛනය තුළ සඳහන් වන තිස්ස තෙරුන්ගේ නාමය ද වැදගත් එකකි. අභිලේඛනය තුළ සඳහන් වන ආකාරයට තිස්ස තෙරුන් ලද දෙයින් සතුටුවන පින්වන්ත භික්ෂුවකි. එහෙත් මහාවංසයේ මෙම භික්ෂුව පිළිබඳව දක්වා ඇත්තේ කුහක වූ වංක වූ සිත් ඇති පාපමිත‍්‍රයින් සේවනය කරන නොසන්සුන් භික්ෂුවක වශයෙනි.

“දක්ඛිනාරාමවාසිමහි කුහකෙ ජිමහමානසෙ
පසීදිත්වා පාපමිතෙ තිස්සන්ථෙරෙ අසඤ්ඤතේ්” (මහාවංසො 1959:37:32:35)

මහාවිහාර භික්ෂූන්ගේ චෝදනාවට ලක්ව අධිකරණ අමාත්‍යවරුන්ගේ විනිශ්චය මත රජතුමාගේ අකමැත්තෙන්ම තිස්ස තෙරුන් සිව්රු හරවා පලවා හැරිය බව මහාවංසය, නිකාය සංග‍්‍රහය තවදුරටත් මහසෙන් රජු ජේතවන විහාර ඉදි කර පූජා කළේ මේ තිස්ස තෙරුන්ට ය.

මෙම ලිපිය පිහිටුවීමේ මුඛ්‍ය පරමාර්ථය වූයේ දොරටු පැන් මඩුව ක‍්‍රමවත් පරිපාලනයකට නතු කිරීමට අවශ්‍ය ව්‍යවස්ථාවක් ප‍්‍රකාශයට පත් කිරීම ය. මෙහි දොරටු පැන් මඩිය යනුවෙන් අදහස් කළේ ජේතවන විහාරයේ තිබූ ජලය එක්රැස් කළ පැන් මණ්ඩයකි. ලිපියේ ව්‍යවහාර වන අයුරින් පූජනීය ස්ථානයකට ප‍්‍රවේශ වන දොරටුවේ එය ඉදිකොට තිබූ ආකාරයක් හඳුනාගත හැකි ය. අභිලේඛනයේ සඳහන් අකාරයට දොරටු පැන් මණ්ඩපයේ කටයුතු පැන වූ ව්‍යවස්ථාවක් මගින් ක‍්‍රමවත්ව සංවිධානය කොට තිබී ඇත. එම දොරටු පැන් මණ්ඩපයේ කටයුතු වෙනුවෙන් වෙනම සේවක මණ්ඩලයක් ද පත්කොට සිටි ආකාරයෙන් හඳුනාගත හැකිය. දොරටු පැන් මණ්ඩපයේ රැස්කළ ජලය සිද්ධස්ථානය වන්දනා මාන කිරීමට පැමිණි ජනතාවගේ පැන් පවස නිවීමටයි. දැත් සහ මල් දෝවනයට ඇතුළුව විහාරස්ථානයේ ආගමික කාර්යයන්ට උපයෝගී කරගන්නට ඇත.

අනුරාධපුර බෞද්ධ වැට පුවරු ලිපියේ සඳහන් වන ජේතවන විහාරය අසල ඇති දොරටු පැන් මණ්ඩපය නිර්මාණය කරන්නේ ස්වර්ගමෝක්ෂ අපේක්ෂා කරන උපාසක උපාසිකාවන් විසින් විහාරය වන්දනා කරන බොදුනුවන් උදෙසා ය. එය භික්ෂූන් සඳහා තැනවූවක් නොවේ. එනිසා මෙම දොරටු පැන් මණ්ඩපයේ නවාතැන් නොදෙනු යන්න අවධාරණය කිරීමක් මෙම ලිපිය පුරාවටම දැකිය හැකි ය. මෙම ලිපිය පිහිටුවීමේ මුඛ්‍ය පරමාර්ථය වූයේ ද මෙලෙස දොරටුපැන් මඩුවේ නවාතැන් ලබා දීම ව්‍යවස්ථාවක් මගින් තහනමකට ලක්කිරීමයි. දොරටු පැන් මණ්ඩපයේ රැස් කළ ජලයේ සුපිරිසිඳු බව ආරක්ෂා කර ගැනීම සහ එහි කටයුතු ක‍්‍රමවත්ව පවත්වා ගැනීම ඉන් අපේක්ෂා කරන්නට ඇත.

“ර්‍මේ දොරටු පැන් මඩියෙහි නවාතැන් නොදෙනු ඉසා…..”

“සෙනෙවිරද් මුල වසන සඟමහලු සඟුන් විසින් මේ දොරටු පැන් මඩියෙහි උඩුමහල්හිද්, යටිමහල්හිද් පැන්කල තබන හාරයෙහිද් කිසි කවරු පරියායෙකින් මුද් නවාතැන් නොදෙනු ඉසා….”

මෙම අභිලේඛනය තුළ සෙනෙවිරද්මුල වසන භික්ෂුන් විසින් දොරටු පැන් මණ්ඩපයේ නවාතැන් නොදිය යුතු බවට අවධාරණයෙන් ප‍්‍රකාශ කිරීමක් දැකිය හැකි ය. ජේතවන විහාරය තුළ මුල දෙකක් දැකිය හැකි අතර සෙනෙවිරද් මූලය ඉන් එකකි. මෙම සෙනෙවිරද් මූලය පොත්ථසාන නම් ඇමතියකු විසින් කරවන ලද බව මහාවංශයේ දක්වා ඇත (මහාවංසෝ 1959:44,22,23). සෙනෙවිරද් මුල වසන භික්ෂූන් විසින් දොරටු පැන් මඩියේ නවාතැන් නොදිය යුතු බව අවධාරණයෙන් ප‍්‍රකාශ කිරීමක් සිදු කරන්නේ මෙම මූලයේ භික්ෂූන්ගෙන් දොරටුපැන් මඩුවේ නවාතැන් ලබා දීමට යම් අනුබලයක් ලැබුණු නිසා විය යුතුය. බාලමහලු සංඝයාට වුව ව්‍යවස්ථාමය වශයෙන් නීති පනවන්නට සිදු වුයේ නොකළ යුතු යැයි අවධාරණය වන වැරදි රැසක් එම භික්ෂූන් අතින් සිදුවන බව රජුට හැඟී ගිය නිසා ය. දොරටු පැන් මණ්ඩපයේ උඩු මහල්හිද්, යටිමහල් හිද් පැන් කල තබන හාරයෙහිද් විටින් විට භික්ෂූන් උදෙසා නවාතැන් ලබා දීම සෙනෙවිරද් මුල වසන භික්ෂූන් විසින් සිදු කර ඇති අතර ඒ තුළින් දොරටු පැන් මණ්ඩපයේ තැන්පත් කර තිබූ ජලයේ පිරිසිදුභාවයට අභියෝග ඵල්ලවන්නට ඇත. අපිරිසිදු ජලය භාවිත කිරීම තුළින් ශරීර සෞඛ්‍යයට පවා අභියෝග එල්ල වන්නට ඇති අතර ඒ පිළිබඳ කල්පනාකාරී වූ රජ ඊට පිළියමක් ලෙස ව්‍යවස්ථාමය පියවරක් ගන්නට ඇත. සෞඛ්‍යමත් ජීවිතයක් පිළිබඳව රජු තුළ වූ අවබෝධයත්, රජු හා විහාරස්ථානය අතර පැවති ආගමික සබැඳියාවන් ඔහුගේ දූරදර්ශී පරිපාලන ක‍්‍රමයන් ද මින් හඳුනාගත හැකිය.

බෞද්ධ ගරාදි වැට පුවරු ලිපිය සම කාලීන සමාජගත වැසියාගේ ආධ්‍යාත්මීය සංවර්ධනය පෙන්නුම් කරන කැඩපතකි. මෙහි එන දොරටු පැන් මණ්ඩපය නිර්මාණය කරන්නේ ස්වර්ග මෝක්ෂ අපේක්ෂා කරන උවැසි උවැසියන් විසින් චෛත්‍ය වන්දනා කරන බොදුනුවන් උදෙසා ය. කි‍්‍රස්තු පූර්ව යුගයේ බ‍්‍රාහ්මීය සෙල්ලිපි හා අනුගත වූ කල එකල සියලු පූජාවන් එනම් ලෙන් පූජා කිරීම් ඇතුළු පූජාවන් පෞද්ගලික වශයෙන් සිදු වී ඇති ආකාරයක් හඳුනාගත හැකිය. එහෙත් මෙම පෞද්ගලික පූජා ක‍්‍රමවේදය ක‍්‍රමයෙන් වෙනස් වී බෞද්ධාකාමී බැතිමතුන්ගේ සමුහගතවීමක් ලිපිය තුළින් හඳුනාගත හැකි ය. දොරටුපැන් මණ්ඩපය තැනවීමේ ඒකායන අපේක්ෂාව මෝක්ෂය සාක්ෂාත් කර ගැනීම ය. එනිසාවෙන් ආධ්‍යාත්මීය දියුණුව උදෙසා මිනිසුන් තුළ වූ සංවිධාන ගත වීමේ හැකියාව මෙම ලිපිය තුළින් මනාව පෙන්නුම් කෙරේ.

දොරටු පැන් මණ්ඩපයේ එක් රැස් කළ ජලය සුපිරිසිදුව පවත්වා ගෙනයාම කෙරෙහි වැඩි වශයෙන් කල්පනා කළ රජු නවාතැන් දීමෙන් පමණක් නොව වෙනත් කාරණා නිසාවෙන් ද, ජලය අපිරිසිදුභාවයට පත්විය හැකි බව හඳුනාගෙන තිබේ. පැන් මඩුවේ රැස්කළ ජලයේ පිරිසිදු භාවය ආරක්ෂා කර ගැනීම සම්බන්ධ ව ඔවුන් කෙතරම් සැළකිලිමත් වූවා ද කිවහොත් එහි කටයුතු වලට අදාළ උපකරණ මිස වෙනත් උපකරණ නොතැබිය යුතු බව අවධාරණයෙන් දක්වා තිබුණි.

“මේ පැන්මඩු කුසලාන පිළිබඳ උපකරණයෙන් වැඩි අනුන් පිළිබඳ උපකරණ නොතබවනු ඉසා ….”

මෙමඟින් අපේක්ෂා කරන්නට ඇත්තේ මණ්ඩපයට අදාළව තබන ලද උපකරණවල සෞඛ්‍ය ආරක්ෂිත භාවය පිළිබඳව විශ්වාසය ගොඩනැඟීම ය. වෙනත් බාහිර උපකරණවල සෞඛ්‍ය ආරක්ෂිතභාවය පිළිබඳව 100%ක් ම නිවැරදි විශ්වාසයක් තැබිය නොහැකි හෙයින් මෙවැනි පියවරක් අනුගමනය කරන්නට ඇත. කම්කරුවන්ගේ ජලය ගෙන ඒමට අදාළ උපකරණ පමණක් භාවිත කළ යුතු බවත්, ඊට වැඩි උපකරණයක් තැබුවහොත් දිවෙල් ගෙන නෙරපා දැමිය යුතු බවත් ව්‍යවස්ථාව තුළ තදින්ම නීතිගත කොට තිබේ.

“මෙහෙකරුවන්ගේ වරයාලෙන් වැඩි උපකරණයක් තැබුව ඇතැ දිවෙල් ගෙන නෙර්නා ඉසා….”

මෙහි දී වරයාලෙන් වැඩි යනුවෙන් අදහස් කරන ලද්දේ කුමක් ද යන්න නිශ්චිත නැත. එහෙත් පුරාණයේ වරයාල යනුවෙන් අදහස් වූයේ දොරටු පැන් මඩියට ඈතින් කරත්ත වලින් ජලය ගෙන ඒම සඳහා භාවිත කළ සමින් තැනූ බඳුන් විශේෂයකි. මෙහි දී ද කම්කරුවන් විසින් ජලය ගෙන ඒම සඳහා භාවිත කළ බඳුන් වරයාල යනුවෙන් සඳහන් කරන්නට ඇත. අභිලේඛනයේ දක්වන ආකාරයට දොරටු පැන් මණ්ඩපය තුළ මෙහෙකරුවන්ගේ වරයාලෙන් වැඩි උපකරණ තැබුවහොත් ඔවුන් දිවෙල් ගෙන නෙරපිය යුතු බව දක්වයි. දිවෙල් යනුවෙන් මෙහි අදහස් වූයේ ජිවිතය පවත්වාගෙන යාමට උපකාරී වන ඉඩකඩම් ය. එනිසා දොරටු පැන් මණ්ඩපයේ මෙහෙකරුවන්ට තම ජීවිකාව ගෙනයාම සඳහා තම මෙහෙය වෙනුවෙන් පවරා දෙනු ලැබූ ඉඩකඩම් දිවෙල් යනුවෙන් අදහස් වී ඇත. මෙහෙකරුවන් විසින් තමන් දිය ගෙන ඒමට තැබූ බඳුන් මිස වෙනත් කිසියම් හෝ උපකරණයක් දොරටු පැන් මණ්ඩපය තුළ තැබුවහොත් ඔවුන්ට හිමි වූ දඬුවම ඔවුන්ගේ ඉඩකඩම් පවරා ගෙන නෙරපා හැරීමය. එවැනි ප‍්‍රබල දඬුවම් ලබාදීම තුළින් අපේක්ෂා කරන්නට ඇත්තේ දොරටු පැන් මණ්ඩපයේ සෞඛ්‍ය ආරක්ෂිත භාවය ක‍්‍රමවත්ව පවත්වාගෙන යාම බව ඉතාමත් පැහැදිලි කරුණකි.

පූර්වෝක්තියෙන් සඳහන් කළ බෞද්ධ ගරාදී වැට පුවරු ලිපිය නමින් හැඳින්වෙන ජේතවන විහාර පුවරු ලිපිය වෙනත් කිසිදු මූලාශ‍්‍රයකින් අනාවරණය නොවන ඓතිහාසික වශයෙන් වැදගත් තොරතුරු සමුදායක් හෙළි කරන අභිලේඛනයකි. අනුරාධපුර බෞද්ධ ගරාදි වැට පුවරු ලිපිය හුදෙක් ආගමික නිතිරීති හා දොරටු පැන් මණ්ඩපයක ක‍්‍රමානුකූල හා විනයානුකූල පැවැත්ම උදෙසා නිර්මාණය කරන ලද හුදු ව්‍යවස්ථාවක් පමණක් ම නොව සම කාලීන සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රමවේද, රජු හා බුදුදහම අතර පැවති සබැඳියාව, සෞඛ්‍ය හා සනීපාරක්‍ෂාව පිළිබඳව රජය දක්වන අවධානය, සම කාලීන ජනයාගේ සමඟි සම්මුතින් හා පොදු දෙයක් වෙනුවෙන් වූ පෙළ ගැස්ම හා එකල වාස්තු විද්‍යාත්මක නිර්මාණ ආදී කරුණු රැසක් ගෙන එන අභිලේඛනයක් වශයෙන් හඳුන්වා දිය හැකිය

ආශ‍්‍රිත ග‍්‍රන්ථ හා ලේඛන නාමාවලිය

  • කුලතුංග, ටී.ජී. (2001), අනුරපුර ජේතවන විහාර, තරංජි පි‍්‍රන්ටර්ස්, මහරගම.
  • ඤාණවිමල හිමි, බෙල්ලන (2000), අශෝක ශිලා ලේඛන, සමයවර්ධන පොත්හල, කොළඹ.
  • තිස්ස කුමාර, ආනන්ද (1990), පැරණි ලක්දිව අත්තානි ප‍්‍රධාන විධි, විද්‍යාලංකාර මුද්‍රණාලය.
  • නිකාය සංග‍්‍රහය (1994), බන්දුසේන ගුණසේකර සංස්කරණය, ගොඩගේ සහෝදරයෝ, කොළඹ.
  • මහාවංසය (2003) (සංස්. සුමංගල හිමි හා බටුවන්තුඩාව, ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
  • මහාවංසො, ඌණ පූර්ණ සහිතො, (1959), සංස්. පොල්වත්තේ බුද්ධදත්ත හිමි, ඇම්.ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ.
  • විමලකිත්ති හිමි, මැද උයන්ගොඩ, (1954), විමලකීර්ති ග‍්‍රන්ථ මාලා 08, සීමාසහිත මාතර වෙළෙන්දො, මාතර.
  • විමලකිත්ති හිමි, මැද උයන්ගොඩ, (1957), ශිලා ලේඛන සංග‍්‍රහය, 4 වන කාණ්ඩය, මාතර.
  • Ranawella G.S. (2004), Inscriptions of Ceylon, Vol. v Part 2, Archaeological surrey of Ceylon, Department of Archaeological Sri Lanka.
  • Paranavitana, S. (1932), Epigraphia Zeylanica, vol II, Archaeological surrey of Ceylon, Oxford universiti press.

[මෙම ලිපිය සමඟ දක්වා ඇති ගරාදි වැටේ ඡායාරූපය http://ttnotes.com වෙබ් අඩවියෙන් උපුටා ගෙන සංස්කරණය කරන ලද බව කාරුණිකව සලකන්න.]

__________________________________________________________________________________
මෙම ලිපිය 2019.12.19 දින www.history.lk වෙබ් අඩවියේ පළ විය
__________________________________________________________________________________

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Latest news

වත්හිමි කතා පුවත ඔස්සේ ලක් ඉතිහාසය දෙස නැවත හැරී බැලීමක්

සමීර ප‍්‍රසංග වත්හිමි කතාව, කළුන්දෑ පුවත, වත්හිමි බණ්ඩාර කතාව යනුවෙන් කුරුණෑගල අවට ජනයා අතර ප‍්‍රචලිත ජනශ‍්‍රැතිගත කතා පුවතක් පිළිබඳ ව...

ජාතික ගීය, වෙල්ලාලයන් හා ඉතිහාසය

නලින් ද සිල්වා සුමන්තිරන් ජාතික ගීය කියන්නෙ නැත්නම් ඒකෙ ප්‍රශ්නයක් නැහැ. ජාතික ගීය සම්පූර්ණයෙන් ම දන්න සිංහලයන්ගෙ ප්‍රතිශතය කීයද කියල...

මහාවංසය බොරු එළාර දෙමළ නොවෙයි 

නලින් ද සිල්වා විග්නේෂ්වරන් ඇත්තක් කියලා. ඔහු කියල මහාවංසය බොරු කියල. මහාවංසයෙ බොරුත් තියෙනව තමයි. ඒත් ඒකෙ වෙනත් කරුණු සමග...

ඇස් මහින්ද හිමි හා ජාතික ව්‍යාපාරය

නලින් ද සිල්වා අප ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියන් නමින් හඳුන්වන්නේ සීකීමයේ උපත ලද මහින්ද හිමියන් ය. උන්වහන්සේ ඉපදෙන කාලයෙහි...

සිංහල බෞද්ධ සංස්කෘතිය

නලින් ද සිල්වා සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට ගොඩනැගීම ඇරඹුණේ අද වැනි පොසොන් පොහෝ දිනක ය. එහෙත් එය යම්කිසි ආකාරයක පරිපූර්ණත්වයකට...

සීගිරිය කුරුටු ගෑම

නලින් ද සිල්වා සීගිරි කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් කුරුටු ගෑ මඩකලපුවේ තරුණියක් ජනාධිපති සමාව යටතේ සිරගත කරන ලද කාලය කෙටිකර...

Must read

වත්හිමි කතා පුවත ඔස්සේ ලක් ඉතිහාසය දෙස නැවත හැරී බැලීමක්

සමීර ප‍්‍රසංග වත්හිමි කතාව, කළුන්දෑ පුවත, වත්හිමි බණ්ඩාර කතාව යනුවෙන්...

ජාතික ගීය, වෙල්ලාලයන් හා ඉතිහාසය

නලින් ද සිල්වා සුමන්තිරන් ජාතික ගීය කියන්නෙ නැත්නම් ඒකෙ ප්‍රශ්නයක්...

You might also likeRELATED
Recommended to you