• මුල් පිටුව
  • අප ගැන
දේශන ශී‍්‍රමත් අනගාරික ධර්මපාලතුමාගේ යුගකාරක මෙහෙවර

ශී‍්‍රමත් අනගාරික ධර්මපාලතුමාගේ යුගකාරක මෙහෙවර

-

සුමේධ වීරවර්ධන

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධන

අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ලංකාගමනයත් සමඟම අපට ලැබුණේ බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රී සද්ධර්මය අඩංගු ථෙරවාද බුදුසමය පමණක් නොවේ. මහාචාර්ය ටෙ‍්‍රවෝර් ලින් පවසන පරිදි සාධක තුනකින් සමන්විත රාජ්‍යතන්ත‍්‍රයක් ද මෙරටට ලැබිණි. ‘භික්ෂූන් වහන්සේ’, ‘බොධිසත්ත්ව රජු’ සහ ‘සිංහල බෞද්ධ ජනතාව’ යනු ඒ බෞද්ධ රාජතන්ත‍්‍රයේ ත‍්‍රිකොණාකාර සාධක තුන වූ අතර ඒවා ඉතිහාසයේ සිට ම අන්‍යෝන්‍ය සාපේක්ෂක වශයෙන් ක‍්‍රියාත්මක වී ඇත. මහින්දාගමනයට පෙර මෙරට සිංහල රාජ්‍යයක්ව පැවති අතර එය ඊට පසුව සිංහල බෞද්ධ රාජ්‍යක් බවට පත් විය. එතැන් සිට ක‍්‍රිස්තු වර්ෂ 1815 දක්වාම මෙරට ක‍්‍රියාත්මක වූ මේ රාජ තන්ත‍්‍රයේ මූලික සාධක අතර සබඳතාව වරින්වර බිඳ වැටිණි. එවැනි අවස්ථාවල දී එය නැවත ප‍්‍රකෘතිමත් කිරීම සඳහා සවිඥානිකව හෝ අවිඥානික ව සිදු කෙරුණු අරගලවලින් අපගේ දේශිය වංශ කතා පිරී තිබේ. මේ කෙටි ලිපියේ අරමුණ වන්නේ සිංහලයන් සේ ම බුදු සසුන ද විදේශිකයින්ගේ යකඩ සපත්තුව හමුවේ අසාධාරණ අන්දමින් මර්දනයට පත් ව තිබූ අවධියක සිංහලයන්ගේත් බෞද්ධයන්ගේත් අයිතිවාසිකම් රැක දෙමින්, සිංහලයින් හට අහිමි කොට තිබූ උරුමය පිළිබඳ නැවත නැවත සිහි ගන්වමින් ජීවිත කාලය ම රට, දැය, සමය වෙනුවෙන් කප කළ ශ‍්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ ජාතික විමුකති අරගලයේ වැදගත්කම පිළිබඳව කරණු විමසා බැලීමයි.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය පසු කාලයේ දී විවිධ රටවලට ව්‍යාප්ත විය. ඒ විශේෂයෙන් ම තෙවැනි ධර්ම සංගායනාවෙන් පසු ව ධර්මාශෝක අධිරාජයා විසින් දියත් කෙරුණු ධර්මදූත මෙහෙවර කරණ කොට ගෙන ය. එසේ පැතිර යාමේ දී මුල් බුදුසමය විවිධ වෙනස්කම්වලට බඳුන් විය. ඒ ඒ රටවල්වල පැවැති ආගමික හා සංස්කෘතික තත්ත්වයන්ට ගැලපෙන පරිදි බුදු දහම සකසා ගැනීම නිසා විවිධ බෞද්ධ සම්ප‍්‍රදායයෝ බිහි වූහ. මේ අනුව අද ලෝකයේ කිසි දු රටක, හුදු මුල් බුදුසමය පමණක් දක්නට නොමැත. ජපානයේ ඇති බුදුසමය ජපන් බුදුසමය වන අතර චීනයේ පවතින බුදු සමය චීන බුදුසමය යි. ඒ නයින් බලන කල මෙරට පවතින්නේ සිංහල බුදුසමය යි. එය ‘මහා විහාරයීය ථෙරවාද බුදුසමය’ යනුවෙන් ද හැඳින්විය හැකි ය.

මෙහි දී සිංහල බෞද්ධ යන්නෙන් අදහස් වන්නේ එනමින් හැඳින්වෙන සංස්කෘතික ව්‍යූහය මිස හුදු ජීව විද්‍යාත්මකව නිර්ණය කළ හැකි යමක් ම නො වේ. සිංහල බෞද්ධ භික්‍ෂූන් වහන්සේ යනු, මහා විහාරයීය ථෙරවාද සම්ප‍්‍රදායය පිළිගනු ලබන සහ පිළිගනු ලැබූ හිමිවරුන් වන අතර සිංහල බෞද්ධ රජෙකු යනු එම සංස්කෘතික සම්ප‍්‍රදාය පිළිගනිමින් ඊට අනුව රට පාලනය කරනු ලබන පාලකයා වේ. ශ‍්‍රීමත් අනගාරික ධර්මපාලතුමා යනු යථෝක්ත සාධක තුනෙන් යුතු රාජතන්ත‍්‍රය යලි ස්ථාපිත කොට සිංහල බෞද්ධයාත් සිංහල බුදුසමයත් වැටී තිබූ අගාධයෙන් ගොඩ ගැනීමට ඉදිරිපත් වූ ජාතික වීරයෙකි. භික්ෂුවක් හා රජෙකු නොවන බැවින් ඉහත කී සාධක තුන අතුරින් බෞද්ධ පොදු ජනතාව අතරින් බිහිවුණ එතුමාගේ මූලික අරමුණ වූයේ මහා විහාරීය ථේරවාද සභ්‍යත්වය ආරක්ෂා කර ගනිමින් බුදුරජාණන් වහනසේගේ දහම් පණිවිඩය ලොව පුරා ප‍්‍රචලිත කිරීමට ය. එසේ ම යුරෝපීයයන්ගේ යටත් විජිත ප‍්‍රතිපත්තියෙහි ව්‍යාජ අරමුණ වූ ශිෂ්ටාචාරගත නො වූ දේශ යුරෝපීය ක‍්‍රමයට ශිෂ්ටාචාර ගත කරමින්, ඔවුන් නො දියුණු යැයි හිතා මතා ම බැහැර කළ, සිංහලයන් හට අනන්‍ය ව තිබූ දේශජ ශිෂ්ටාචාරය, ස්වාධීනත්වය නැවතත් සිංහලයන්ට සේ ම එවකට මෙරට ඉංගිරිසි උගත් මධ්‍යම පාන්තිකයින්ට ද සිහි කැඳවූයේ අනගාරික ධර්මපාල ශ‍්‍රීමතාණන් විසිනි. එතුමන්ගේ මෙකී දේශානුරාගී ව්‍යාපාරය පසු කාලීන ව බොහෝ ද්වීභාෂික උගතුන් ජාතික නිදහස් අරගලයට එක් ඇදී ඒමට හේතු විය. ඒ සියල්ලටමත් වඩා ධර්මපාල යන භූමිකාව ද මතු ව එන්නේ මෙරට ඉංගිරිසි උගත් මධ්‍යම පාන්තික පවුලකින් වීම කැපී පෙනෙයි.

දොන් කරෝලිස් හේවාවිතාරණ සහ මල්ලිකා පෙරේරා ධර්ම ගුණවර්ධන යන මාපියන්ට දාව ‘දොන් ඩේවිඩ් හේවාවිතරණ’ කුලකුමරුවා කොළඹ දී උපත ලද්දේ ශ‍්‍රී බුද්ධ වර්ෂ 2408 හෙවත් ව්‍යවහාර වර්ෂ 1864 සැප්තැම්බර් 17 වැනිදා ය. පිටකොටුවේ බර්ගර් ලදරු පාසල, පිටකොටුවේ ශාන්ත මේරි කතොලික පාසල, මරදානේ සිංහල පාසල, කොටහේනේ ශාන්ත බෙනඩික් විදුහල, කෝට්ටේ ක‍්‍රිස්තියානි පාසල, කොටහේන ශාන්ත තෝමස් විදුහල සහ කොළඹ රාජකීය විදුහල යන පාසැල්වලින් හෙතෙම ස්වකීය මූලික අධ්‍යාපනය ලබා ගත්තේය. එතුමා කතෝලික හා ක‍්‍රිස්තියානි මිෂනාරි පාසල්වලින් අධ්‍යාපනය ලැබූව ද ඔහුගේ සිංහල බෞද්ධක සේ ම දේශානුරාගී හැඟීම් එයින් යටපත් නො වුණි. හෙළ බොදු සිරිත් අනුගමනය කළ සිය පවුලේ ආභාසය මෙන්ම හික්කඩුවේ ශ‍්‍රී සුමංගල, මිගෙට්ටුවත්තේ ශ‍්‍රී ගුණානන්ද, හෙයියන්තුඩුවේ ශ‍්‍රි දේවමිත්ත වැනි මහ තෙරවරුන්ගේ ඇසුර ද ඊට බලපෑවේය. මේ වන විට මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමිපාණන් සහ එංගලන්ත සභා පූජකයන් අතර 1873 දී සිදු වූ පානදුරා වාදයේ කීර්ති ඝෝෂාව ලොව පුරා පැතිර ගොස් තිබිණි. ආචාර්ය ජේ.එම්. ෆීබල් විසින් රචිත බුදු සමය සහ කිතු සමය මුහුණට මුහුණලා (Buddhism and Christianity face to face – 1878) කෘතිය මඟින් ඒ පිළිබඳ තොරතුරු අනාවරණය කොට ගත් කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් මහතා සහ එච්.පී. බ්ලැවට්ස්කි මැතිණිය යන දෙපළ 1880 දී මෙරටට පැමිණියහ. ඔවුන්ගේ දෙසුම් ඇසීමට ගිය කුඩා ඩේවිඩ්ගේ ජීවිතයේ අනාගත වෙස්කම්වලට මෙම සංසිද්ධිය තදින් බලපෑවේ ය.

1886 දී ගිහි ජීවිතයට සමු දී තම විදේශිය නාමයද අත් හැර ‘අනගාරික ධර්මපාල’ නමින් තමාන් හඳුන්වාගත් මෙතුමා තම ජීවිතය බුදුසසුනේ චිරස්ථිතිය වෙනුවෙන් කැප කිරීමට අධිෂ්ඨාන කොට ගත්තේ ය. තමා නියැලී සිටි රැකියාවෙන් ද අස් වූ එතුමා පරම විඥානාර්ථ බෞද්ධ සමාගමේ විවිධ තනතුරු හොබවමින් තම අරමුණ වෙනුවෙන් කැප විය. ඕල්කට්තුමා සහ ලෙඩ්බීටර් මහතා සමඟ ලක්දිව නොයෙක් පළාත්වල ධර්ම ප‍්‍රචාරයේ යෙදුණ ධර්මපාලතුමා එහි දී භාෂා පරිවර්තකයෙකු ලෙස කටයුතු කළේ ය. 1888 දී The Buddhist සඟරාව ඇරඹීමට මූලිකත්වය ගත් ධර්මපාලතුමා 1890 දී ‘අද්යාර්හි’ සම්මේලනයට සහභාගී වීමෙන් අනතුරුව 1891 දී බුද්ධගයාව වන්දනා කිරීමට ද ගියේ ය. ජපන් ජාතික කොජෙන් ගුණරතන හිමියන් ද එතුමා සමඟ එම ගමනට එක් වූ බව සඳහන් වේ.

බුදුරජාණන් වහන්සේ උපන් ස්ථානය වූ බුද්ධගයා පින් බිමේ තත්ත්වය පිළිබඳ සියැසින් දැක සංවේගයට පත් ශ‍්‍රීමත් ධර්මපාලතුමා ඒ ශුද්ධ භූමිය හින්දු භක්තික මහන්තාගෙන් බේරාගෙන බෞද්ධයින් සතු කිරීමට මහත් වෙහෙසක් ගත්තේ ය. ඒ සඳහා ලංකා, ජපන්, බුරුම, සියම් ආදී රටවල බෞද්ධ ජනතාව දැනුම්වත් කරමින් ඔවුන්ගේ සහයෝගය ලබා ගැනීමට ද එතුමා කටයුතු කළේ ය. බුද්ධගයා භූමිය නිදහස් කර ගැනීම සඳහා මහන්තා සමඟ නඩු මගට පිවිසියත් ඉන් ජයග‍්‍රහණය ලබා ගැනීමට එතුමාට නොහැකි විය. ධර්මපාලතුමා විසින් 1891 ඔක්තෝබර් මාසයේ දී බුද්ධගයාවේ දී ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයක් පවත්වන ලදී. ඉන්දියාව, චීනය, ලංකාව, චිතගොන් සහ බුරුමයේ නියෝජිතයෝ ඊට සහභාගී වූහ. ඉතිහාසයේ පළමු වරට එවන් සමුළුවක් පැවැත් වූ අවස්ථාව එය විය. බුද්ධගයා පුණ්‍යභූමිය යළි බෞද්ධයින්ට ලබා ගත නොහැකි වුවද ක‍්‍රිස්තු වර්ෂ 1908 දී මහාබෝධි සමාගමේ කටයුතු සඳහා කල්කටාවෙන් නිවසක් මිළට ගැනීමටත්, 1916 දී ධර්මරාජික විහාරය උදෙසා මිළට ගත් ඉඩමක 1920 වන විට අංගසම්පූර්ණ විහාරයක් ඉදිකිරීමටත් එතුමාට හැකි විය. එමෙන් ම වර්ෂ 1928 දී වැඩ අරඹා 1930 දී නිම වූ බරණැස මූලගන්ධකුටි විහාරය ද එතුමාගේ අප‍්‍රතිහත ධෛර්යයේ තවත් ප‍්‍රතිඵලයකි. ධර්මාශෝක මහ අධිරාජයාගෙන් පසු බුදුන් උපන් දේශයට උන්වහන්සේගේ දහම් පණිවිඩය ලබා දීම සඳහා අවශ්‍ය පදනම දමන ලද්දේ ධර්මපාලතුමන් විසිනි.

වර්ෂ 1892 දී එතුමා විසින් කල්කටාවේ දී අරඹන ලද මහාබෝධි නම් සඟරාව පළකෙරුණේ ඉංග‍්‍රීසි භාෂාවෙනි. එහි පළමු කලාපයේ පිටපත් කිහිපයක් එවකට යුරෝපයේ සහ ඇමරිකාවේ විසූ පෙරදිග භාෂා පිළිබඳ පඬිවරුන්ට එතුමා විසින් යවන ලදී. මහාබෝධි සමාගමේ වැඩකටයුතු පිළිබඳ එම සඟරාව මඟින් ජාත්‍යන්තර ප‍්‍රජාව හට දැනගන්නට ලැබිණි. එහි එක් ප‍්‍රතිඵලයක් ලෙස 1893 දී ඇමරිකාවේ චිකාගෝහි දී පතවත්වන ලද ලෝක ආගමික සමුළුවට සහභාගි වීමේ භාග්‍යය එතුමාට ද ලැබිණි. ශ‍්‍රීමත් ධර්මපාලතුමා ඊට සහභාගි වූයේ දකුණු බුදු දහම හෙවත් මහා විහාරීය ථෙරවාද බුදුසමයේ නියෝජිතයා වශයෙනි. එහි දී එතුමා කළ දේශනයට සවන් දුන් ඇමරිකානුවෙකු එදිනම බුදුදහම වැළඳගත් අතර නැවත එන ගමනේ දී එතුමාගේ අනාගත කාර්යයන් සඳහා නොමසුරුව මුදල් පරිත්‍යාග කළ ‘මේරි ෆෝස්ටර් රොබින්සන්’ මැතිණිය ‘හොනළුලූ’ හෙවත් ‘හවායිහි’ දී හමුවීම ද දෛවෝපගත සිදුවීමකි.

වසර විස්සක කාලයක් පුරාවට ඕල්කට්තුමා සමඟ ධර්මපාලතුමා අතර තිබූ මිතුදම ක‍්‍රිස්තු වර්ෂ 1904 දී අවසන් විය. ඉන් පසුව එතුමා 1906 දී සිංහල බෞද්ධයා පත‍්‍රය ආරම්භ කළේය. අනතුරුව හිනිදුම බෞද්ධ පාසලක් ද අරඹන ලදී. ඉංග‍්‍රීසි පාලකයින් විසින් රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමේ අරමුණින් මුළු දිවයින පුරාම සුරාසැල් බිහි කිරීමට කටයුතු යොදන ලදී. 1912 දී නව සුරා බදු පනතක් ද ඉදිරිපත් කිරීමට ද ඉංග‍්‍රීසි ආණ්ඩුව කටයුතු කළේය. ඉංග‍්‍රීසි ආණ්ඩුවේ මෙකී අත්තනෝමතික ක‍්‍රියාකලාපයට එරෙහි ව බෞද්ධ පුනරුද ව්‍යාපාරය තුළින් අමද්‍යප ව්‍යාපාරයක් පැනනැඟුණු අතර ඒ සඳහා සිංහල බෞද්ධයා පත‍්‍රය මූලිකත්වයක් ගත් බව පැහැදිලි ය. 1912 දී කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙණේ දී රජයේ සුරාබදු පණතට එරෙහිව මහ සභාවක් පවත්වන ලද අතර, ශ‍්‍රීමත් අනගාරික ධර්මපාලතුමා විසින් එහි දී දෙසුමක් ද කර ඇත. අනතුරුව එතුමා ‘සෝබන මාලිගාව’ නමින් ජනතාව අතර ප‍්‍රචලිත වූ රථයක නැඟි රට පුරා සංචාරය කරමින් සිංහලයන් අතර පැතිර යමින් තිබූ සුරාපානය ආදී දුරාචාරවල ආදීනව ගැන දේශනා කරන්නට විය. 1915 සිංහල – මුස්ලිම් කෝලාහලය මුවාවෙන් ඉංග‍්‍රීසින් විසින් අමද්‍යප ව්‍යාපාරය සහ බෞද්ධ පුනරුද ව්‍යාපාරය තහනම් කරන ලදී.

රටවැසියන් දුරාචාරයෙන් මුදවාගෙන පන්සිල් රකින ප‍්‍රතිපත්තිගරුක බෞද්ධයින් බවට පත්කර ගැනීම පමණක් එතුමාගේ පරමාර්ථය නො වී ය. අලස නොවී ආදායම ඉපදවීම කෙරෙහි ජනතාව උනන්දු කළ ධර්මපාලතුමා නොයෙක් ශිල්ප හැදෑරීම මඟින් දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැදගත්කම ද අවධාරණය කළේය.

1904 දී ඕලන්දය, ඩෙන්මාර්කය, එංගලන්තය ආදී රටවල කර්මාන්තශාලා සියැසින් බලාගත් ධර්මපාලතුමා ඒ වසරේ ම ජූලි මාසයේ දී සාරානාත්හි කර්මාන්ත ශාලාවක් ඇරඹීය. එමෙන් ම ඇමරිකාව, ජපානය සහ ඉන්දියාව වැනි රටවල කර්මාන්ත ශාලා ගැන අවබෝධයක් ලබා ගත් ධර්මපාලතුමා තම මව්බිමේ ජනතාව කර්මාන්ත කෙරෙහි උනන්දු කළේය. සිය පියතුමා විසින් පරිත්‍යාග කරන ලද පවුම් 2,000ක මුදලක් යොදවා කර්මාන්ත හා ශිල්ප ශාස්ත‍්‍ර පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා සිංහල තරුණයින් පිරිසක් ජපානයට යවන ලදී. සිංහල බෞද්ධයා පුවත්පත මඟින් අරමුදලක් තනා ඒ මඟින් එක් තරුණයෙක් ගිනිකූරු කර්මාන්තය හැදෑරීම සඳහා ජපානයට යවන ලදී. ෆෝස්ටර් මැතිණිය ලබා දුන් මුදලකින් 1906 දී රාජගිරියේ ඉඩමක් මිල දී ගත් ශ‍්‍රීමත් ධර්මපාලතුමා විසින් එහි ‘හේවාවිතාරණ කාර්මික විද්‍යාලය’ සහ ‘පේෂකර්මාන්ත මධ්‍යස්ථානය’ පිහිටුවන ලදී. පසුව මෙම පේෂකර්මාන්ත ශාලා කොළඹින් පිට පළාත්වල ද පිහිටුවන ලදී.

සරසවි සඳරැස, The Buddhist, මහාබෝධි සහ සිංහල බෞද්ධයා යන පුවත්පත් මඟින් සිංහල බෞද්ධ පුනරුදය සහ ලෝක බෞද්ධ පුනරුදයක් වෙනුවෙන් වෙහෙස වී වැඩ කළ ධර්මපාලතුමා ඉන්දියාව, ඇමරිකාව, එංගලන්තය වැනි රටවල ධර්මදූත ව්‍යාපාර ඇරඹීය. බුද්ධගයාව බේරාගැනීම පිනිස එතුමා චීනය, ජපානය, බුරුමය, සියම වැනි ථෙරවාද මහායාන රටවලට ගොස් තම සහෝදර බෞද්ධ ජනතාවගේ සහයෝගය ලබා ගත්තේ ය. එහෙත් එතුමාගේසත් කාර්යයන් උදෙසා එතුමාට වැඩිම මුදලක් පරිත්‍යාග කරන්නට යෙදුණේ උපතින් බෞද්ධ කාන්තාවක් නොවූ ‘මේරි ෆෝස්ටර් රුබින්සන්’ මැතිණියයි. මීට අමතරව එතුමාගේ පියතුමා මෙන්ම ලංකාවාසී සිංහල බෞද්ධ ජනතාව ද එතුමාගේ සත් ව්‍යාපාරයට මුදල් පරිත්‍යාග කර ඇත.

එතුමාගෙන් ඉටු වූ වැදගත්ම මෙහෙවරක් වන්නේ තම අරමුණ වෙනුවෙන් කැප වූ තමා වැනිම උදාර සිසු පරපුරක් නිර්මාණය කිරීමයි. ‘බ‍්‍රහ්මචාරී වලිසිංහ හරිස්චන්ද්‍රතුමා, පියදාස සිරිසේන මහතා, බ‍්‍රහ්මචාරී දේවප‍්‍රිය වලිසිංහතුමා, මහාචාර්ය ගුණපාල මලලසේකර, මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද’ යන අය ඒඅතර වෙති. පූජ්‍ය හීනටියන ධම්මාලෝක සහ පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත‍්‍රීය යන මහනාහිමිවරුන් දෙපළ බ‍්‍රහ්මචාරී වලිසිංහ හරිස්චන්ද්‍රතුමාගේ දෙසුම්වලට සවන් දීමෙන් පැහැදී පැවදි වූ උතුමන් වහන්සේලා දෙනමකි. වර්තමාන ලෝකයට දකුණු බුදු දහමේ පණිවිඩය බෙදා දෙන පූජ්‍ය බෝධි හිමිපාණෝ බලංගොඩ ආනන්ද මෛත‍්‍රීය හිමියන්ගේ ශිෂ්‍යවරයන් වහන්සේ නමකි. ශී‍්‍රමත් අනගාරික ධර්මපාලතුමා ජාතියෙන් සමුගත්ත ද එතුමා විසින් ඉටු කළ ජාතික මෙහෙවරෙහි ප‍්‍රතිඵල අපි අද ද භුක්ති විඳින්නෙමු. එතුමාට ගරු බුහුමන් කළ හැකි හොඳම ක‍්‍රමය වන්නේ එතුමා පැතූ ලෝකය ගොඩනැඟීමට හැකි උපරිමයෙන් කටයුතු කිරීමයි.

කොළඹ මාළිගාකන්දේ මෙන්ම මහනුවර ද භික්ෂු පුහුණු මධ්‍යස්ථාන දෙකක් ඇරඹීමට එතුමා විසින් කටයුතු යොදන ලද්දේ රට රටවල ධර්මය ප‍්‍රචාරය කිරීම පිණිස වියත් භික්ෂූන් වහන්සේලා පිරිසක් නිර්මාණය කර ගැනීම සඳහා ය. 1915 සිට 1920 දක්වා වසර පහක් ඉන්දියාවේ දී සිරගත වීමට සිදු වුව ද එතුමා විසින් තම අරගලය අතරමැද නවතා නො දැමී ය.නැගී එන කම්කරු ව්‍යාපාරවල නායකයින් සහ ලේක්හවුස් ආයතනයට අයත් සිළුමිණ, දිනමිණ සහ ඩේලි නිවුස් වැනි පුවත්පත් මඟින් එතුමාට පහර දෙන ලදී. ඒ පිළිබඳ එතුමාට බරපතළ කළකිරීමක් තිබිණි. ස්වකීය ජීවිතයේ අවසන් භාගය තමන් උපන් රටින් ඈත් ව ගෙවීමට තීරණය එතුමන් තීරණය කරනුයේ එබැවිනි. වර්ෂ 1931 ජූලි 13 වන දින දී සිරි දේවමිත්ත ධර්මපාල නමින් දඹදිව මූලගන්ධකුටි විහාරයේ දී පැවිදි දිවියට එළැඹුණු ශ‍්‍රීමත් අනගාරික ධර්මපාලතුමා 1933 දී උපසම්පදා භූමියට ඇතුළු වී 1933.04.29 වැනි දින අපවත් වී වදාළ සේක.

යුරෝ කේන්‍ද්‍රීය යටත් විජිත දෘෂ්ටියෙන් මෙරට වැසියන්ගේ ස්වාධීනත්වය, අනන්‍යතාව, නිදහස අහිමි ව මෙරට ස්වාභාවික සම්පත් සේ ම මිනිස් ශ‍්‍රමය ද සූරා කමින් ආසියාකරයේ මෙන් ම මෙරට ද සාරය යුරෝපයට පැහැරගෙන යමින් තිබූ යුගයක සිංහලයන්ගේ අනන්‍යතාව ඉස්මතු කරමින් දේශජ ප‍්‍රතිපත්තියක් ගොඩනැඟීමට ස්වෝත්සාහයෙන් නැඟී සිටි තමන්ගේ මිනිසෙකුට යටත් විජිත දෘෂ්ටියෙන් බෙලහීන වූවන්ගේ කෙනෙහිළිකම් එල්ල වූයේ ඒ අයුරිනි. අද ද එම කුප‍්‍රකට පිරිස නියෝජනය කරමින් යුරෝපයට ආවඩන ඇතැම්හු ධර්මපාල චින්තනය මහත් වෛරී සහගත ලෙසින් හෙළා දකිති. එසේ වුව ද ධර්මපාල චින්තනය මෙරට ස්ථාපිත කළ දේශජත්වය, ස්වාධීනත්වය අගය කිරීමට සේ ම ඒ ඔස්සේ සිංහල බෞද්ධයාගේ අනන්‍යතාව ආරක්ෂා කොට ගැනීමට එතුමන්ට කෘතගුණ දක්වන දේශ හිතෛශී පිරිස් මේ මොහොතේ ඒකරාශී විය යුතු ය.

(155 වැනි ශ‍්‍රීමත් අනගාරික ධර්මපාල ගුණානුස්මරණ උත්සවය නිමිත්තෙන් 2019.09.17 වන දින සෙංකඩගල එක්සත් බෞද්ධ මණ්ඩලයේ සංවිධානයෙන් පවත්වන ලද ගුණානුස්මරණ උත්සවයේ දී පවත්වන ලද ප්‍රධාන දේශනය).

__________________________________________________________________________________
මෙම දේශන සාරාංශය 2019.12.17 දින www.history.lk වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් විය.
__________________________________________________________________________________

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Latest news

වත්හිමි කතා පුවත ඔස්සේ ලක් ඉතිහාසය දෙස නැවත හැරී බැලීමක්

සමීර ප‍්‍රසංග වත්හිමි කතාව, කළුන්දෑ පුවත, වත්හිමි බණ්ඩාර කතාව යනුවෙන් කුරුණෑගල අවට ජනයා අතර ප‍්‍රචලිත ජනශ‍්‍රැතිගත කතා පුවතක් පිළිබඳ ව...

ජාතික ගීය, වෙල්ලාලයන් හා ඉතිහාසය

නලින් ද සිල්වා සුමන්තිරන් ජාතික ගීය කියන්නෙ නැත්නම් ඒකෙ ප්‍රශ්නයක් නැහැ. ජාතික ගීය සම්පූර්ණයෙන් ම දන්න සිංහලයන්ගෙ ප්‍රතිශතය කීයද කියල...

මහාවංසය බොරු එළාර දෙමළ නොවෙයි 

නලින් ද සිල්වා විග්නේෂ්වරන් ඇත්තක් කියලා. ඔහු කියල මහාවංසය බොරු කියල. මහාවංසයෙ බොරුත් තියෙනව තමයි. ඒත් ඒකෙ වෙනත් කරුණු සමග...

ඇස් මහින්ද හිමි හා ජාතික ව්‍යාපාරය

නලින් ද සිල්වා අප ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියන් නමින් හඳුන්වන්නේ සීකීමයේ උපත ලද මහින්ද හිමියන් ය. උන්වහන්සේ ඉපදෙන කාලයෙහි...

සිංහල බෞද්ධ සංස්කෘතිය

නලින් ද සිල්වා සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට ගොඩනැගීම ඇරඹුණේ අද වැනි පොසොන් පොහෝ දිනක ය. එහෙත් එය යම්කිසි ආකාරයක පරිපූර්ණත්වයකට...

සීගිරිය කුරුටු ගෑම

නලින් ද සිල්වා සීගිරි කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් කුරුටු ගෑ මඩකලපුවේ තරුණියක් ජනාධිපති සමාව යටතේ සිරගත කරන ලද කාලය කෙටිකර...

Must read

වත්හිමි කතා පුවත ඔස්සේ ලක් ඉතිහාසය දෙස නැවත හැරී බැලීමක්

සමීර ප‍්‍රසංග වත්හිමි කතාව, කළුන්දෑ පුවත, වත්හිමි බණ්ඩාර කතාව යනුවෙන්...

ජාතික ගීය, වෙල්ලාලයන් හා ඉතිහාසය

නලින් ද සිල්වා සුමන්තිරන් ජාතික ගීය කියන්නෙ නැත්නම් ඒකෙ ප්‍රශ්නයක්...

You might also likeRELATED
Recommended to you