කලා ඉතිහාසයශි‍්‍ර ලංකාවේ ප‍්‍රාථමික ලෙන් චිත‍්‍ර පිළිබඳ විමසුමක්

ශි‍්‍ර ලංකාවේ ප‍්‍රාථමික ලෙන් චිත‍්‍ර පිළිබඳ විමසුමක්

-

එච්.එම්. ඉසුරු හේරත්

හැඳින්වීම

ඉසුරු හේරත්

මිනිසා ප‍්‍රාග් ඓතිහාසික යුගයේ සිටම අද දක්වාම අඛන්ඩව සංවර්ධනය කරමින් ඉදිරියට ගෙන ගිය සංස්කෘතිකාංගයක් වශයෙන් චිත‍්‍ර කලාවට හිමිවන්නේ වැදගත් ස්ථානයකි. දැනට ලෝකයේ පැරණිතම මිනිස් සිතුවම් ලෙස පිළිගැනෙන්නේ කි‍්‍රස්තු පූර්ව 30,000-10,000 අතර ප‍්‍රාග් ඓතිහාසික යුගයට (Pre historical age) අයත් යැයි සැලකෙන නිරිතදිග ප‍්‍රංශයේ ලැස්කෝ (Lasxco) ගුහා චිත‍්‍ර හා ස්පාඤ්ඤයේ සුප‍්‍රකට අල්ටමීරා (Altemira) ගුහා චිත‍්‍ර ය. මේවායින් අල්ටමීරා ගුහා චිත‍්‍ර කි‍්‍රස්තු පූර්ව 12,000 හෝ කි‍්‍රස්තු පූර්ව 16,000 අයත් බව පැවසේ. මීට අමතරව මෑතක දී මධ්‍යම තුර්කියේ කි‍්‍රස්තු පූර්ව 10,000 පමණ නිර්මාණය කරන්නට ඇති බව සැකකෙරෙන ජ්‍යාමිතිකමය ගුහා චිත‍්‍ර සමූහයක් පුරාවිද්‍යඥයන් විසින් අනාවරණය කරගෙන ඇත. මෙම ප‍්‍රාථමික චිත‍්‍රවලින් ඒ ඒ ප‍්‍රදේශවල වාසය කළ ආදි කාලීන මානවයාගේ සිතුවිලි, දෛනික ජීවන කටයුතු හා වෙනත් සාමාජීය තොරතුරු අධ්‍යයනය කළ හැකි ය. ශ‍්‍රී ලංකාවෙන් ද කි‍්‍රස්තු පූර්ව 125,000 – කි‍්‍රස්තු පූර්ව 250 ප‍්‍රාග් හා ප්‍රොටෝ ඓතිහාසික යුගයට අයත් මානවයන් විසු බවට සාධක බූන්දල, බලංගොඩ, බෙල්ලන්බැඳිපැළැස්ස, දොරවකකන්ද, පොම්පරිප්පු යන ස්ථානවලින් හමු වී ඇති ශීලා මෙවලම්, මිනිස් ඇටසැකිලි, ශෛලමය සුසාන වැනි පුරාකෘති මඟින් විශද වේ. එසේ වුව ද මෙරටින් ප‍්‍රාග් ඓතිහාසික යුගයට අයත් බවට නිශ්චිතවම තහවුරු කළ හැකි චිත‍්‍ර තවමත් හඳුනාගෙන නැත.

කෑගල්ල, රත්නපුරය හා නැඟෙනහිර ප‍්‍රදේශවල පිහිටි ගල්ගුහාවලින් ලංකාවේ ප‍්‍රාග් මිනිසාගේ චිත‍්‍ර හමු වීමට ඉඩ ඇති බව ආචාර්ය නන්දදේව විජේසේකරයන් උපකල්පනය කරන අතර මෙරට ආදීතම මානවයා විසූ බවට තහවුරු වී ඇති බලංගොඩ ප‍්‍රදේශයේ පිහිටි ගල්ගුහා තුළින් එවැනි ඉපැරණි චිත‍්‍ර අනාවරණය කර ගැනීමට හැකි වෙතැයි මහැදුරු අනුරාධ සෙනවිරත්නයන් විශ්වාසය පළ කොට ඇත. නමුත් ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය පිළිබඳව අධ්‍යයනය කර ඇති පුරෝගාමි පුරාවිද්‍යාඥයන් දෙ දෙනෙකු වන ආචාර්ය සිරාන් දැරණියගල හා ආචාර්ය ඩබ්ලිව්. විජේපාල යන විද්වතුන්ගේ අදහස වන්නේ ප‍්‍රාග් මානව සිතුවම් ලෝකයේ බොහෝ ප‍්‍රදේශවලින් හමු වුව ද, ප‍්‍රාග් ඓතිහාසික යැයි තහවුරු කළ හැකි චිත‍්‍ර කිසිවක් හෝ මෙතෙක් ලංකාවෙන් හමු වී නොමැති බවයි. දිවයිනේ ප‍්‍රාග් ඓතිහාසික හෝ කිසියම් ආදිවාසි ජන සමූහයක් විසින් අඳින ලද චිත‍්‍ර සටහන් පිළිබඳ සාධක උතුරු මැද, ඌව, දකුණ, උතුරු නැඟෙනහිර හා සබරගමුව යන පළාත්වල ස්ථාන 34කින් පමණ දැනට හඳුනාගෙන තිබේ. ඒ අතර මොණරාගල දිස්ත‍්‍රික්කයේ මණ්ඩගල්ගේ, නාවාගල, අළුගල්ගේ දොඹගහවෙල, වැලඑලුගොඩ, උස්සාගල, යන ස්ථාන වලින් ද අම්පාර දිස්ත‍්‍රික්කයේ ගොනාගොල්ල, හුලංනුගේ, උඩගේකන්ද, ගනේගම, බඹරගස්තලාව, රජගල, පිහිල්ලේගොඩ, මලයඩි කන්ද යන ගුහා තුළින් ද මඩකලපුව දිස්ත‍්‍රික්කයේ කිරිපොකුණ, කදුරුපොකුණ, ගමකන්ද ගල්ගේ, ලෙනම, මහලේනම, කුඩුම්බිගල සහ කෑගල්ල දිස්ත‍්‍රික්කයේ ඌරාකන්ද, දොරවක් කන්ද යන ස්ථාන වලින් ද මීට අමතරව අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ අරන්ගොඩ, ආඬියාගල, කොමාරිකාගල, තන්තිරිමලේ බිල්ලෑවෙන් ද පොළොන්නරු දිස්ත‍්‍රීක්කයේ කෝනට්ටේගොඩගල, දිඹුලාගල යන ස්ථානවලින් ද වවුනියා දිස්ත‍්‍රීක්කයේ කොන්ගාරයක්කුලමින් ද හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ නුවරඑළිය සහ බදුල්ල දිස්ති‍්‍රක්කයේ පුංචි කිරි අම්මාගල්ගේ යන ගල් ගුහා ආශි‍්‍රත ස්ථානවලින් මෙවැනි ප‍්‍රාථමික චිත‍්‍ර හමු වි ඇත. දැනට මෙම සිතුවම් පිළිබඳව මහැදුරු එස්. පරණවිතාන, මහැදුරු සේනක බණ්ඩාරනායක, මහැදුරු එම්.ටි. බස්නායක, මහැදුරු, එම්. සෝමතිලක, ආචාර්ය නන්දදේව විජේසේකර, ආචාර්ය පීි.ඊ.පී. දැරණියගල, ආචාර්ය සිරාන් දැරණියගල, එච්.සි.පි. බෙල්, සෙලිග්මාන් සහෝදරවරු, ජොන් ස්ටිල්, ඇස්.ඒ. වික‍්‍රමසිංහ, ලාල් පෙරේරා හා ජේ.ආර්. සමන් මංජුල යනාදි දෙස්විදෙස් පඬිවරුන් රාශියක් විසින් විවිධ අදහස් ඉදිරිපත් කර ඇත. අභාග්‍යයකට මේ කිිසිම විද්වතෙකු පැහැදිලි නිගමනයකට එළැඹිමට අපොහොසත් වි ඇති බව කිව යුතුය. වැදි සමාජය ගැන ගැඔුරු ලෙස හදාරා ඇති සෙලිග්මාන් වරු පවසන්නේ ප‍්‍රාග් මනුෂ්‍යයන් හෝ වැද්දන් විසින් මෙම ගුහා චිත‍්‍ර අදින්නට ඇති බවයි. එවැනි මතයක් දරන මහැදුරු බණ්ඩාරනායකයන් ප‍්‍රකාශ කර සිටින්නේ මධ්‍යම ඉන්දියාවෙත් ලංකාවේ ගුහා චිත‍්‍රවලට සමාන එහෙත් වඩාත් සවිස්තර වු ප්‍රාග් සිතුවම් හමුවන බවත්, ඒවා මෙරට ප්‍රාථමික චිත‍්‍ර වලට සුදුසු කාලනිර්ණයක ලබා ගැනීමේදීත් නිර්මාතෘවරුන් හඳුනා ගැනිමේදිත් ප‍්‍ර‍්‍රයොජනවත් විය හැකි බවයි. ලාල් පෙරේරා මහතාගේ අදහස වන්නේ මෙම ගුහා චිත‍්‍ර ප‍්‍රාග් ඓතිහාසික මානවයා විසින් නිර්මාණය කරන්නට ඇති බවයි. බලංගොඩ පරපුරේ මුතුන් මිත්තන් කි‍්‍රස්තු පූර්ව 12,000 අතීතයක සිටම ස්වකිය සන්නිවේදන කර්තව්‍යන් සඳහා මෙම චිත‍්‍රාක්ෂර (pictographic) අඳින්නට ඇත් බව සමන් මංජුල මහතාගේ අදහසයි. මහැදුරු සෝමතිලකයන් පවසන්නේ නිශ්චිත කාල නී්ර්ණමය ප‍්‍රශ්න ඇතත් ලංකාවේ පැරණිතම සමයට අයත් සිතුවම් වශයෙන් ඉදිරිපත් කරන්නේ වැදි ගුහා චිත‍්‍ර (vâdda Rockart) රැස බවත්, ඒවා පසු කාලීන වැද්දන්ගේ කෘතීන් වශයෙන් සැක කළ හැකි බවයි. උක්ත ප‍්‍රාථමික ලෙන් චිත‍්‍ර ඓතිහාසික සමයට පුර්වයේ හෝ පශ්චාත් යුගයේ කළ ඒවා විය හැකි බවත්, මෙවා අඳිනවා දුටු බවත් හෝ තම මුතුන්මිත්තන් විසින් ඒවා අඳින ලදැයි ඇසු බවක් හෝ එම ගල් ගුහා ආශි‍්‍රකව වෙසෙන නුතන වැද්දො නොකියන බව ආචාර්ය නන්දදේව විජේසේකරයන් පෙන්වා දෙයි. මහැදුරු ඒච්.ටි. බස්නායකයන්ගේ මතය වන්නේ මෙම නිර්මාණ වැද්දන් මිනිසා හෝ මෙරට ආදීතම මනුෂ්‍යයන් විසින් හෝ ඇඳි ඇති සත්ව රූප හෝ ජ්‍යමිතික රූප බවත්, නමුත් මෙිවාට පැහැදිලි කාල නීර්ණයක් ලබා දීමට අපහසු වි ඇති බවයි. නමුත් බස්නායකයන් මෙම චිත‍්‍ර ප‍්‍රාග් ඓතිහාසික යුගය දක්වා ආපස්සට ගෙනයාමට අකමැත්තක් දක්වන බව පෙනේ. ඊට හේතු ශාස්ත‍්‍රානුකූලව දක්වන ඔහු සමස්තයක් ලෙස උක්ත ලෙන් බොහෝමයක් අතීතයේ සංඝාවාස වශයෙන් පවතින්න ඇති බවත්, එබැවින් භික්ෂු වාසයට පෙර සිතුවම් අඳින්නට ඇතැයි යන අදහස පිළිගත නොමැති බවත්, මක්නිසාද යත් මෙම ගල් ගුහා සංඝ ප‍්‍රයෝජනය සඳහා පුජා කොට ඇත්තේ ගිනි දමා එළිපෙහෙළි කිරීමෙන් පසුව බවත් එලෙස ශුද්ධ පවිත‍්‍ර කිරීමේ දී ඒවායේ මුළ දී අඳින ලැදැයි දැනට අනුමාන කරන කුරුටු චිත‍්‍ර ඉතිරි විය නොහැකි බවත් පවසයි.

ඒ වගේම ඒ ඒ ගල්ලෙන් පිහිිටි ස්ථාන වලින් බ‍්‍රාහ්මී ශිලාලේඛන තිබේ නම් එහි අන්තරගත පුරාක්ෂර අයත් දින වකවානුවටම මෙම සිතුවම් අයත්විය යැයි බස්නායක මහතා සිතයි. විශේෂයෙන්ම කෑගල්ල දොරවක ලෙනෙහි ඇති චිත‍්‍ර ආදීතම සමයට අයත් බවට නිගමනය කිරිම කෙරෙහි එතුළින් හමු වි ඇති ශෛලමය මෙවලම් උපස්ථම්භක වනවා සේම, මොණරාගල අළුගල්ගේ ලෙනෙහි ඇදි ඇති මොණරා මෙරට ඓතිහාසික යුගයට අයත් නොවන බවට බස්නායකයන් කළ විග‍්‍රහයෙන් අපට එකක් විශදෙවි. එනම් ප‍්‍රාථමික ගණයේ කුරුටු චිත‍්‍ර ලෙන් තුළ තිබු පමණින්ම ඒවා ප‍්‍රාග් ඓතිහාසික යුගයට අයිති යැයි සැලකිම අයෝග්‍ය බවත් නිශ්චිත කාල නිර්ණයක් ලබා ගැනිමට අවශ්‍ය නම් එකී චිත‍්‍ර වලින් නිරුපනය වන දේවල්, ගුහාව තුළ ඇති පෞරාණික මානව කෘති (artifact) හා ශිලා ලිපි (inscriptions) මනාව අධ්‍යනය කළ යුතු බවයි. මේ අනුව පෙනි යන්නේ මෙම චිත‍්‍ර වල නිර්මාතෘවරු සෙවීම හෝ ඒවාට සුදුසු කාල නිර්ණයක් සැපයිම දුෂ්කර බවයි. එම කාර්යය අනාගත ගවේෂකයන් අතට භාර කොට මීලඟට උක්ත ප‍්‍රාථමික සිතුවම් වලට වස්තූ බිජය වි ඇති දේවල්, ඒවායින් අනාවරණය වන මිනිස් යටගියාව හා ශිල්පීය තාක්ෂණය පිළිබඳව හැදෑරිම වඩාත් උචිතය.

උක්ත ප‍්‍රාථමික සිතුවම් වලට වස්තූ බිජය වි ඇති දෑ

පොදුවේ ගව, මොණර, දිවි, මුව, තලගොයි, කිිඹුල් වැනි සත්ව රූප ද, දුනු, ඊතල, හෙල්ල වැනි අවිආයුධ ගත් මනුෂ්‍ය රූප ද සුර්යයා, සඳු, තාරකා, ග‍්‍රහලෝක වැනි අජීවී රූප ද හා හඳුනාගත් නොහැකි අත්භූත ජ්‍යාමිතික වෘත්තාකාර, සෘජුකෝණාස‍්‍රාකාර, චතුරස‍්‍රාකාර සංකේත ද මෙම ගුහා චිත‍්‍රවල නිරූපිතය, විශේෂයෙන්ම මහැදුරු එස්. පරණවිතානයන්ගේ පවා නිරික්ෂණයට ලක්වුණු තන්තිරිමළේ ලෙනෙහි ඇති කළු පුල්ලි සහිත දිවිරුම වර්ණ සංයෝජනය කොට ඇඳ තිබේ. මීට අමතරව කඳුරුපොකුණ, කෝමාරිකා ගල්ගේ වැනි ස්ථානවල දඩයම්කරණයේ යෙදෙන දර්ශන, කිසියම් සංස්කෘතික ක‍්‍රියාකාරකමක නිරතවන දර්ශන, සතුන් හීලෑකරන දර්ශන අන්තර්ගතය. පොදුවෙි මහැදුරු සෝමතිලකයන් විසින් මෙම සිතුවම් දඩයම් පිළිබඳ දර්ශන, මනුෂ්‍ය රූප, සත්ව රූප හා නාදුනන සංකේත යනුවෙන් වර්ගිකරනු ලබයි.

මීලඟට පෙරකී ප‍්‍රාථමික චිත‍්‍ර නිර්මාණය කිරීම සඳහා ශිල්පිහු යොදාගත් ක‍්‍රමවේද සම්බන්ධව විමසා බලන කල්හී චිත‍්‍ර ඇඳීම සඳහා යෝග්‍ය සුමට පසුබිමක්, සොයාගැනීම, තමන් කරනු ලබන කල්පනාකාරී අවිවේකි වෘත්තිය නිසා ඔවුනට අපහසු වූ හෙයින් සිය වෙහෙස නිවාගැනීම සඳහා තාවකාලිකව පදිංචිවන ගුහාවෙහි ශෛලමය බිත්ති පෘෂ්ඨය ඒ සඳහා පාවිච්චි කළ බව පෙනේ. භාවිතයට ගැනීමේ දි කිසිදු මැදීමක් හෝ ඔපමට්ටම් කිරීමක් නොමැතිව ගුහා බිත්තිය් මතම චිත‍්‍ර ඇඳ ඇත. නොදියුණු රේඛා වලින් නිමවා ඇති මේවාට වනගත සතුන්, ගහකොළ, සුර්යයා, සාර්ථක දඩයම් දර්ශන හා නොදියුණු සන්නිවේදන කටයුතු සඳහා යොදාගත් බවට සැක කළ හැකි සංකේත වස්තු බීජය වී ඇත. නිර්මාණකරණයෙ දී පින්සල් භාවිත කළ බවට සාක්ෂි නොමැති අතර ප‍්‍රාථමික සිත්තරා විසින් ගුරු ගල් කැබැල්ළක් ගලක ගා අල්ලා සායම් සැකසීමේ භාජනයට (pallet) කොට ගෙන දකුණු දබරැගිල්ලෙන් චිත‍්‍ර අඳින්නට ඇතැයි දැරණියගල හා නන්දදේව විජේසේකරයන් සිතයි. දබරැගිල්ලට අමතරව ශිල්පිහූ කෝටුවලින් පදාස ක‍්‍රමයට මෙන්ම ගුහා පෘෂ්ඨය මත කෙටීමෙන්, සීරීමෙන් හා කුරුටු ගෑමෙන් ද චිත‍්‍ර නිර්මාණයකල බව පෙනේ. විශේෂයෙන්ම තන්තිරිමළේ ලෙනෙහි පසුපස ඇති එක, දෙක, තුන (i,ii,iii) යන රෝම ඉලක්කම්වලට සමාන ගුප්ත සංකේත කීපයක් කිසියම් සියුම් ශෛලමය පතුරකින් හෝ හී තුඩු වැනි ආයුධයකින් නිර්මාණය කර ඇති බව පෙනේ. වර්ණ නිෂ්පාදනය කිරීමේ දී ගුරුගල්වලට අමතරව පොළොවෙන් ලබාගත් පාට මැටි (colored clay) වර්ග (සුදු, අඳුරු, රතු, අළු, ලා දුඹුරු, රඹ), කිරිමැටි (Kaolin) භාවිතයට ගැනීන. සමහරක් විට මැටි සමඟ ලාටු හෝ සත්ව තෙල් මිශ‍්‍ර කර පැහැපත් වර්ණ සකසා ගන්නට ඇති බව ලාල් පෙරේරා මහතාගේ අදහසයි. එපමණක් නොව පරිසරයෙන් සොයාගත් කහ, වර්ණගල්, අළු (ash), අඟුරු, මඩ, ශාක කොළ සහ කොක්කුන්ගේ වසුරු ද මේ සඳහා භාවිතයට ගත් බව පෙනේ. වර්ණ සංයෝජනයේ දී ශිල්පියා තරමක පළපුරුද්දක් ලබා තිබුණු වගට සාධක තන්තිරිමළේ ඉදිරි ලෙනෙහි ඇති රතු කළු පුල්ලි සහිත දිවි රූපයෙන් මනාව පැහැදිළි වේ. කෙසේ හෝ වේවා ඉතා සරලව පැහැදිලි විෂයක් අරමුණු කොට ගෙන කලාත්මකව නිර්මාණය කර නොමැති නිසාත්, ශෛලියේ ඇති ඒකාකාරි ස්වරූපය නිසාත්, පසුබිම වෙනත් දර්ශනවලින් තොර වීම නිසාත් මෙවා ළදරුවන්ගේ සිතුවම්වලට වඩා උසස් කොට සැලකිය නොහැකි බව උගතුන්ගේ අදහසයි.

ප‍්‍රාථමික ලෙන් චිත‍්‍රවල ඓතිහාසික වටිනාකම්

එහෙත් මෙම කුරුටු චිත‍්‍ර ආශ‍්‍රයෙන් ප‍්‍රාග් මිනිසුන්ගේ හෝ වැදි ජනයාගේ සමාජ, සංස්කෘතික, ආර්ථික හා මානසික ජිවිතය අධ්‍යයනය කළ හැකි ය. එනම්, ඔවුන්ගේ හැඟීම්, ජීවනොපාය කටයුතු, වින්දන ක‍්‍රියාකාරකම්, ආගමික සංකල්පනා, අධ්‍යාපනික මට්ටම් තාක්ෂණය, දෘෂ්ටි සංවර්ධනය, පරික්ෂණයේ සමත්කම හා ප‍්‍රකාශන ශක්තිය වැනි විෂය ක්ෂේත‍්‍රයන්ය. ස්වකීය ජීවනොපාය කටයුතුවල දී දඩයම්කරණය (Hunting), ප‍්‍රාථමික සත්ව පාලනය (Gathering), ප‍්‍රාථමික කෘෂිකර්මය, වානිජමය පරමාර්ථ වශයෙන් වටිනා සිවුපාවුන් ඇල්ලීම වැනි, මී පැණි එකතු කිරීම වැනි රැකියාවල නිරත වූ බවටත්, ඊට අවැසි ආම්පන්න වශයෙන් දුනු, හීතල, හෙලි, නගුල්, හම්ගොටු යනාදිය පාවිච්චි කළ බවට සාධක මෙම සිතුවම් අනුසාරයෙන් තහවුරු කරගත හැකිය. නිදසුන් ලෙස කඳුරු පොකුණ ලෙනෙහි නගුල් සවි කරන ලද ගව රූප, හා අලිඇතුන් කිසියම් වෙළෙඳ පරමාර්ථයක් සඳහා හීලෑ කරන දර්ශන ඇත. ඒ වගේම බිල්ලෑව, කුඩුම්බිගල ඇතුළු ස්ථාන රැසකම ආයුධගත් දඩයම් කරුවන්ගේ සිතුවම් හා ඔවුහු හෙලි වැනි යමකින් සතුන්ට පහර දෙන දර්ශන අන්තර්ගතව ඇත. තවද ඇස්.ඒ. වික‍්‍රමසිංහයන් පෙන්වා දෙන ආකාරයට පිහිල්ලේගොඩ ගුහාවේ සිතුවම් අතර නූතන වැදි ජනයා මී පැණි එකතු කිරීමේ දි පාවිච්චි කරන හම්ගොටු වැනි රූප ද දක්නට ඇත. එකළ ඝණ වනාන්තර, ලඳු කැළෑ, විල්, ගංගා ආශ‍්‍රිතව වාසයකල දිවියා, තලගොයා, කිඹුලා, මුවා වැනි සත්ව විශේෂ පිළිබඳව ද, දඩයම් කරන ලද්දේ කුමනාකාරයේ සත්වයින් ද යන වග මේ ආශ‍්‍රයෙන් අනාවරණය කරගත හැකිය. විනෝදාස්වාදය වශයෙන් නර්තනය, සතුන් පිටයෑම, හා විසිතුරු සතුන් නරඹන ආකාරයක් පෙන්නුම් කරන ඉරියව් රැගත් චිත‍්‍ර උතුරු මැද පළාතේ ලෙන් තුළින් ලැබී ඇත. ඇතැම් චිත‍්‍ර අතර සෘජුකෝණාස‍්‍රයක් තුළ නිර්මිත මිථුන රූපයක් දක්නට ඇත. මෙමඟින් විවාහයක්, පේ‍්‍රම සම්බන්ධයක් හෝ අන්තර් ගෝත‍්‍රික එකමුතු වීමක් වැනි සංකීර්ණ සංස්කෘතික ලක්ෂණයක් පෙන්නුම් කරන බව කිව හැකිය. රාජගල් කන්ද ලෙනෙහි ඇති තවත් චිත‍්‍රයකින් දඩයක්කරුවෙකුට පහර දෙන විලාශයක් පෙන්වන අලියකු දැක් වේ. තම ජිවනොපාය කටයුතු සරිකර ගැනීමේ දී ආදිතම මානවයාට මුහුණ දීමට සිදු වුණු අභියෝගව පිළිබඳව දළ අදහසක් අපට එයින් ලබාගත හැකිය. ලබ්ධින් ලෙස සූර්යයා හෝ වෙනත් ග‍්‍රහලෝක වන්දනයේ යෙදුණු බවට සාධක තන්තිරිමළේ ගුහාව තුළ දක්නට ඇති සූර්ය රූපයෙන් හා සෙනසුරු වැනි ග‍්‍රහලෝකයක් රූපයෙන් පැහැදිලි වේ. රෝම ඉලක්කම් වැනි සංකේත, හා විවිධ ජ්‍යාමිතිකමය සංකේත (Symbols) මඟින් පිළිබුවන්නේ ප‍්‍රාථමික ඉලක්කම් ක‍්‍රමයක් ද නැතහොත් සන්නිවේදන ක‍්‍රමයක් ද යන්න අදටත් අභිරහසකි. ඇතැම් විට, උක්ත කුරුටු චිත‍්‍ර හෝ සංකේත මඟින් ශිල්පීහු ඉදිරිපත් කරන ලද්දේ සරල පින්තූරයක් හෝ පින්තූර කීපයක යොදාගනිමින් අදහස්, සංකල්ප ප‍්‍රකාශ කිරීමක් හෙවත් රූප අර්ථ විද්‍යාත්මක (Semisiography) ක‍්‍රමවේදයක් ද නැතහොත් සංකේත කීපයක් භාවිත කරමින් ශබ්ද නිරූපනය කොට අදහස් ප‍්‍රකාශ කිරීමක් හෙවත් ශබ්ද අර්ථ විද්‍යාත්මක (phorography) ක‍්‍රමවේදයක් ද යන්න පරික්‍ ෂාකළ යුතුය.

ප‍්‍රාථමික ලෙන් චිත‍්‍රවල නිරමාර්තෘවරුන් හඳුනා ගැනීම

මීලගට ඉතිරි වී ඇති ගැටලුව වන්නෙ උක්ත කුරුටු චිත‍්‍රවලට සුදුසු දින වකවානුවක් සැපයීම හා එහි නිර්මාතෘවරු හඳුනා ගැනීමය. මේ පිළිබඳව සාකච්ජා කර ඇති බොහෝ උගතුන්ගේ කල්පිතවල සාරය සමාලෝචනය කළහොත් පෙනී යන්නේ ඒවායේ නිර්මාතෘවරු ප‍්‍රාග් ඓතිහාසික මානවයන් විසින් හෝ වැදි ජනයා හෝ යනුවෙන් අවිනිශ්චිතව නිගමනය කර තිබීමය. ඇතැමුන් මේවා ඓතිහාසික සමයේ දී හෝ නූතන වැද්දන්ගේ පර්වත සිතුවම් වශයෙන් පෙන්වා දීමට ප‍්‍රයත්න දරන අතර සමහරකු මේවා මධ්‍ය ශිලා යුගයේ (Mesolithic age) විසු බලංගොඩ මානවයන් විසින් නිර්මාණය කරන්නට ඇති බවට විශ්වාස කරති. නමුත් මේ සමයට අයත් පැහැදිලි පුරා විද්‍යාත්මක සාධක හමුවන බුලත්සිංහල පාහියන්ලෙන, කුරුවිට බටදොඹලෙන, මානියංගමුව බෙලිලෙන වැනි ගල්ලෙන් තුලින් ප‍්‍රාථමික සිතුවම් හමු නොවේ. එසේම දොරවකලෙන හැර ප‍්‍රාථමික සිතුවම් හමුවන සෙසු ලෙන් තුළින් ශිලා යුගයට අයත් කිසිදු මානව කෘතියක් මේ දක්වා අනාවරණය නොවීම විමතියට කරුණක් බව කිව යුතුය. අනෙක එක් ස්ථානයකින් ශිලා මෙවලම් සමඟ කුරුටු චිත‍්‍ර අනාවරණය වූ පමණින්ම ඒව බලංගොඩ සමය දක්වා අතීතයකට ගෙනයාම අනුචිතය. මීලගට මේවා ඓතිහාසික සමයේ හෝ නූතන වැදි ජන ශීල්පීහූ විසින් අදින ලද්දේ ද යන්න විමසා බලමු. චිත‍්‍රවලට වස්තුබීජය වී ඇති සත්ව රූප, දඩයම් රූප වැනි දේවල් වලට අනුව ද, ඒවා ඇඳීම සදහා භාවිත කර ඇති සරල තාක්ෂණික විධික‍්‍රමවලට අනුව ද පෙනීයන්නේ වනය හා සම්බන්ධ ප‍්‍රාථමික රැකියාවල නියුතු අල්ප අධ්‍යාපනික මට්ටමක් සහිත ජන කොටසක් විසින් මේවා නිර්මාණය කරන්නට ඇති බවය. නමුත් නඟුලක් වැනි යමක් සවි කරන ලද ගව රූපයත්, ඇතුන් පිට නැඟගත් මිනිසුන්ගේ දර්ශනත්, ග‍්‍රහලෝක දර්ශන හා අත්භූත ජ්‍යමිතිකමය සංකේත මෙම චිත‍්‍රවලට අන්තර්ගත වීමෙන් ස්ඵුට වන්නේ කිසියම් දුරකට ශිෂ්ඨාචාරගත අයවලුන් විසින් අඳින්නට ඇති බවය. මක්නිසාද යත් ඔවුහු කෘෂිකර්මාන්තය, සත්ව පාලනය, වානිජමය වශයෙන් වැදගත් සතුන් හීලෑකර විකිනීම, වැනි දියුණු ජිවනෝපාය කටයුතුවල නිරත වූ බවටත්, සංවර්ධිත සන්නිවේදන ක‍්‍රමයක් භාවිත කළ බවට සාධක මේවායින් ඔප්පු වන බැවිනි. එසේ නම් ඒ කවරකුත් නොව අතීතයේ ශබර, ව්‍යාධ, යක්ෂ, මිලක්ඛ, පුලින්ද යනුවෙන් හඳුන්වා ඇති නූතන වැදිජනයාගේ මුතුන්මිත්තන් වීමට වැඩි ඉඩකඩ ඇත. මක්නිසාද යත් නූතන වැද්දන්ද ශිෂ්ඨාචාර යුගයත්, දඩයම් යුගයත් අතර සංක‍්‍රාන්ති අවදියක ජිවත්වන බැවිනි. ආචාර්ය සිරාන් දැරණියගලයන්ගේ පර්යේෂණවලට අනුව ජානමය වශයෙන් බලංගොඩ මානවයන්ගෙන් පැවත එන්නා වූ ද ලක්දිවිහී මුල් පදිංචි කරුවන් වූ (Aborgines) ඔවුහු අනතුරුව මෙරට පැමිණි ආර්යය සංක‍්‍රමනිකයන් සමඟ විවිධ සබඳතා පැවැත් වූ බව පෙනේ. නිදසුන් ලෙස පණ්ඩුකාභය විසින් අභිනවයෙන් ඉදි කළ අනුරාධපුර නගරයේ සැඩොල් සුසානයට උතුරින් පර්වත අතර ව්‍යාධයන් ගේ පැල්පත් පෙළක් තැනූ බවට ද සඳහන් මහාවංස ප‍්‍රවෘත්තියෙන් ද, ගරිල්ලා යුද්ධ සඳහා පළමු වැනි පරාක‍්‍රමබාහු රජු විසින් ව්‍යාධයන් යෙද වූ බවට කරන චූලවංශ ප‍්‍රවෘත්තියත්, මාතලේ කඩයිම් පොතහී සඳහන් මාතලේ විජයපාල රජුගේ පාලන ප‍්‍රදේශයේ මුරපලවල් පාලනය කල කනිනිල් වැද්දන්, කවුඩුල්ල වැද්දා, නාලන්දේ ඉමියා වැද්දා වැනි වැදි ආරක්‍ෂකයින් පිළිබඳ ඓතිහාසික මූලාශ‍්‍රයාගත තොරතුරුවලට අනුව පෙනීයයි. මොවුන්ගෙන් ඇතමෙකු හේරත් බණ්ඩා, ගමගේ වැනි වාසගම් ගෙන සිංහල සංස්කෘතිය පවා වැළඳ ගත් බව පෙනේ. එපමණක් නොව වැද්දා යන්නට සමානවාචිව යෙදෙන ශබර යන වැකිය අනුසාරයෙන් සබරගමුව යනුවෙන් මෙරට නිරිත දිග අඩතැනි කලාපය හඳුන්වා තිබීමෙන් පැහැදිළි වන්නේ අතීතයේ මෙහි ආදිවාසී හු ජීවත් වූ බවයි. තවද පෙර සඳහන් කළ මහාවංසාදි ලිඛිත මූලාශ‍්‍රයගත විස්තර වලට අනුව පෙනීයන්නේ මධ්‍යම, උතුරු මැද, ප‍්‍රදේශවලද අතීතයේ වැද්දන් ජීවත් වූ බවය.

පර්වත ආශ‍්‍රය කොට ගෙන ජීවත් වූ ආදීවාසිහු ආර්යයාගමනයෙන් පදනම් කොටගෙන ඇති වූ සමාජාර්තික විපර්යාස නිසා ක‍්‍රමක් ක‍්‍රමයෙන් ශිෂ්ඨාචාර ගතවූ බවත් සමහරෙකු තවදුරටත් ගල්ගුහා ආශ‍්‍රිතව ජීවත් වූ බව පෙනේ. විශේෂයෙන්ම අද වන විට ප‍්‍රාථමික චිත‍්‍ර හමුවන ලෙන් 33න් විසිදෙකක්කම පිහිටා ඇත්තේ වර්තමානයේ ඇතැම් වැදි කොටස් වෙසෙන ඌව හා නැඟෙනහිරය. එසේම, නූතනයේ ගල්ලෙන් තුළ වෙසෙන වැද්දන් සොයා ගැනීමට පවා අපහසු ය. නමුත් මෙම කුරුටු චිත‍්‍ර හා වර්තමාන ආදීවාසින් අතර සබඳතාවක් තිබේදැයි පරික්ෂා කළ ආචාර්ය විජේසේකරයන් පවසන්නේ තම මුතුන්මිත්තන් විසින් මෙවා අඳින ලද බවක් ඒ අසල වෙසෙන වැද්දන් සදිහන් නොකළ ද ඔවුහු උක්ත ලෙන් චිත‍්‍රවල ඇතුළත් දුනු, ඊතලවලට සමාන සංකේත මායිම් ලකුණු වශයෙන් භාවිත කරන බවයි. එසේම ඇස්.ඒ. වික‍්‍රමසිංහයන් පෙන්වා දෙන ආකාරයට ස්වකීය ජිවනෝපාය කටයුතුවල දී නුතන වැද්දන් භාවිත කරන හම් ගොටු, දුනු, ඊතල, හෙලි යනාදී මෙවලම්වලට සමාන රූප මෙම ගල්ගුහා බිත්ති මත ඇඳ ඇත. මේ නිසා නිසැකවම මේවා වැදි ජනතාව විසින් නිර්මාණය කරන්නට ඇති බව කිව හැකිය. සමහර දේශීය මුලාශ‍්‍රයවල පර්වත වැද්දන් යනුවෙන් හඳුන්වා ඇත්තේ ද මොවුන් වන්නට ඇත. තම ශෛලමය වාසභාවනයෙහි අලංකාරය සඳහා ඔවුන් විසින් මෙම ප‍්‍රාථමික සිතුවම් උපයෝගී කරගන්නට ඇත. වැදි චිත‍්‍රවලට සුදුසු කාලනීර්ණයක් ලබාදීමේ දී මහැදුරු බස්නායකයන් පෙන්වා දෙන අකාරය මෙම ලෙන් බොහෝමයක්ම කටාර කපා පවිත‍්‍ර කර සංඝයාවාස බවට පරිවර්තනය කර තිබිම නිසා භික්ෂු වාසයට පෙර ගල් පෘෂ්ඨය මත චිත‍්‍ර පැවතිය නොහැකිය. සාමාන්‍යයෙන් දේශගුණ වෙනස්විමක් හෝ වෙනත් බාහිර බලවේගයක ක‍්‍රියාකාරිත්වයක් හේතුකොට ගෙන සංඝයා ලෙන් අතහැර ගිය පසුව ඒවායේ පදිංචි වූ ආදිවාසිහු විසින් නිසැකවම මෙීවා අඳින්නට ඇති හෙයින් මෙම කුරුටු සිතුවමි ඓතිහාසික සමයට අයත් බව කිව හැකිය.

උක්ත අධ්‍යයන වලට අනුව පෙනීයන්නේ මෙවා චිත‍්‍ර ඓතිහාසික යුගයේ ජීවත් වූ වැදි ජනතාව විසින් අඳින ලද ප‍්‍රාථමික චිත‍්‍ර වශයෙන් සැලකිය හැකි බවයි. එසේම ප‍්‍රාග් ඓතිහාසික මානවයා අදින ලද බවට නිගමනය කිරිම සුදුසු නැති බව පෙනේ. එහෙත් අවසාන වශයෙන් නිගමනය කළ හැක්කේ සිංහපුර්, රෙයිගා, ජෝගිමාල වැනි ප‍්‍රාග් ඓතිහාසික යුගයට අයත් ඉන්දිය ගුහා චිත‍්‍ර හා ලෝකයේ අනෙකුත් ප‍්‍රාග් ඓහිතාහාසික ගුහා චිත‍්‍ර සමඟ සංසන්දනය කරමින් ලංකාවේ ප‍්‍රාථමික ලෙන් චිත‍්‍ර තවදුරටත් විචාරශිලීව අධ්‍යයනය කළ යුතු බවයි.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලිය

  • ශී‍්‍ර ලංකාවෙි චිත‍්‍ර කලා ඉතිහාසය, මහින්ද සෝමතිලක
  • හෙල කලා ඉතිහාසය, එස්.ඒ. වික‍්‍රමසිංහ
  • ශී‍්‍ර ලංකාවෙි ශීෂ්ටාචාරය, එචි.ටි. බස්නායක
  • හෙළයෝ, ජේ.ආර්. සමන් මංජුල
  • ලංකා ජනතාව, නන්දදේව විජේසේකර
  • Rock art sites of sri lanka, D. Nandedeva
  • The rock and wall paintings of sri lanka, Senaka Bandaranayaka
__________________________________________________________________________________
මෙම ලිපිය 2019.12.17 දින www.history.lk වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් විය
__________________________________________________________________________________

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Latest news

වත්හිමි කතා පුවත ඔස්සේ ලක් ඉතිහාසය දෙස නැවත හැරී බැලීමක්

සමීර ප‍්‍රසංග වත්හිමි කතාව, කළුන්දෑ පුවත, වත්හිමි බණ්ඩාර කතාව යනුවෙන් කුරුණෑගල අවට ජනයා අතර ප‍්‍රචලිත ජනශ‍්‍රැතිගත කතා පුවතක් පිළිබඳ ව...

ජාතික ගීය, වෙල්ලාලයන් හා ඉතිහාසය

නලින් ද සිල්වා සුමන්තිරන් ජාතික ගීය කියන්නෙ නැත්නම් ඒකෙ ප්‍රශ්නයක් නැහැ. ජාතික ගීය සම්පූර්ණයෙන් ම දන්න සිංහලයන්ගෙ ප්‍රතිශතය කීයද කියල...

මහාවංසය බොරු එළාර දෙමළ නොවෙයි 

නලින් ද සිල්වා විග්නේෂ්වරන් ඇත්තක් කියලා. ඔහු කියල මහාවංසය බොරු කියල. මහාවංසයෙ බොරුත් තියෙනව තමයි. ඒත් ඒකෙ වෙනත් කරුණු සමග...

ඇස් මහින්ද හිමි හා ජාතික ව්‍යාපාරය

නලින් ද සිල්වා අප ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියන් නමින් හඳුන්වන්නේ සීකීමයේ උපත ලද මහින්ද හිමියන් ය. උන්වහන්සේ ඉපදෙන කාලයෙහි...

සිංහල බෞද්ධ සංස්කෘතිය

නලින් ද සිල්වා සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට ගොඩනැගීම ඇරඹුණේ අද වැනි පොසොන් පොහෝ දිනක ය. එහෙත් එය යම්කිසි ආකාරයක පරිපූර්ණත්වයකට...

සීගිරිය කුරුටු ගෑම

නලින් ද සිල්වා සීගිරි කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් කුරුටු ගෑ මඩකලපුවේ තරුණියක් ජනාධිපති සමාව යටතේ සිරගත කරන ලද කාලය කෙටිකර...

Must read

වත්හිමි කතා පුවත ඔස්සේ ලක් ඉතිහාසය දෙස නැවත හැරී බැලීමක්

සමීර ප‍්‍රසංග වත්හිමි කතාව, කළුන්දෑ පුවත, වත්හිමි බණ්ඩාර කතාව යනුවෙන්...

ජාතික ගීය, වෙල්ලාලයන් හා ඉතිහාසය

නලින් ද සිල්වා සුමන්තිරන් ජාතික ගීය කියන්නෙ නැත්නම් ඒකෙ ප්‍රශ්නයක්...

You might also likeRELATED
Recommended to you