• මුල් පිටුව
  • අප ගැන
ව්‍යවහාරික ඉතිහාසය යාල්පාන වෛපවමාලයෙන් හෙළිවන යාපා පටුනේ සිංහල බෞද්ධ උරුමය

යාල්පාන වෛපවමාලයෙන් හෙළිවන යාපා පටුනේ සිංහල බෞද්ධ උරුමය

-

සුමේධ වීරවර්ධන

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධන

යාල්පාන වෛපවමාලය යනු, යාපා පටුනේ ඉතිහාසය විධිමත් ලෙස සකසා ඉදිරිපත් කිරීමට ගත් පළමු ප‍්‍රයත්නය වේ. එහි කතුවරයා ම පවසන පරිදි වයිය නමැති කවියා විසින් රචනා කෙරුණු කයිලය මාල සහ වයිය පදාල් නම් කෘති දෙකත්, පරරාජශේඛරන් උලා සහ රාජ් මුරේ යන කෘති දෙකත් ඒ සඳහා පාදක කරගෙන ඇත.1 ද්‍රවිඩ භාෂාවෙන් යාපන ඉතිහාසය සංග‍්‍රහ කිරීම කතුවරයාගේ අරමුණ වුවත් ඔහුගේ ප‍්‍රවේශය සමස්ත දිවයිනේම ඉතිහාසය පිළිබඳ යොමුව ඇති බව පෙනේ. එහි කර්තෘ වන මයිල්වාගනම් කවියාට අනුව විජය රජු සහ ඔහුගේ පෙළපත හින්දු රජ පෙළපතකි. මේ ලිපියේ අරමුණ වන්නේ ද්‍රවිඩ බසින් යාපන ඉතිහාසය සංග‍්‍රහ කිරීමට මයිල්වාගනම් නම් සාහිත්‍යධරයා විසින් දරනු ලැබූ උත්සාහය තුළින් හෙළිවන යාපා පටුනේ සිංහල බෞද්ධ උරුමය පිළිබඳව සොයා බැලීම යි.

යාල්පාන වෛපවමාල කතුවරයා යාපනයේ පන්ඩතරිප්පු; කෝවිල් පට්ටුවෙහි මාදගල් නම් ගමේ උපන්නෙකි. ඔහුගේ පියා සුබ‍්‍රමනියම් නැමැත්තෙකු වන අතර මව සිදම්බරම් නම් කාන්තාවකි. එබැවින් ඔහුගේ නම සුබ‍්‍රමනියම් මයිල්වාගනම් විය යුතුය. එහෙත් ඔහු දෙමළ ජනතාව අතර ප‍්‍රකට වී ඇත්තේ මාතකල් මයිල්වාගනම් පුලවර් (=කවියා) යනුවෙනි.

ඔහුට පුලවර්වරයෙකු (කවියකු) බවට පත්වීම සඳහා අධ්‍යාපනය ලබා දී ඇත්තේ ඔහුගේ මවගේ සහෝදරයා විසිනි. එතුමා ද මාදගල් ගමේ ම විසූ අයකු වන අතර ඔහුගේ නම සිට්රම්පලම් පුලවර් බව කියැ වේ.2 මයිල්වාගනම් කවියා විසූ කාලය පිළිබඳ විවිධ මතවාද ඇත. ධර්මප‍්‍රභූ වන්නෙයි වෛතියලිංග චෙට්ටියාර්, නල්ලූර් සින්නතම්බි පුලවර්, වරද පණ්ඩිත වැනි අය ඔහුගේ සම කාලීනයන් බවත්, එතුමා භාරතයෙන් පැමිණි කුලන්ගෙයි තම්බිරාන් නම් පඬිවරයෙකුගෙන් උගත්තෙකු බවත් සැලකේ. මුදලිඳු කුලසභානාදන්ට අනුව ඔහු වාසය කර ඇත්තේ දහඅට වන සියවසේ අග භාගයත්, දහනව වන සියවසේ මුල් භාගයත් අතර කාලය තුළ ය.3 යාල්පාන වෛපවමාලයට අමතරව එතුමා විසින් පුලියුර් අන්තාදි, ඥානාලංකාර රූපනාඩගම්, කාසියාත‍්‍ර විලක්කම් සහ ක‍්‍රිස්තු වර්ෂ 1814 දී මාදගල් ප‍්‍රදේශයට බල පෑ විශාල ගංවතුරක් ගැන ලියවුණු අම්මානෙයි යන කෘති ද රචනා කර ඇති බව කියැ වේ.4

වෛපවමාල සංඥාපනයේ දී කතුවරයා ම දක්වා ඇති පරිදි එය රචනා කර ඇත්තේ මක්කාර් නම් ලන්දේසි ආණ්ඩුකාරවරයකුගේ ආරාධනාවෙනි. රාජ්‍ය ලේඛන වාර්තා අනුව ක‍්‍රිස්තු වර්ෂ 1706 දී යාපනයේ පීටර් මක්කාර් නම් නිලධාරියෙකු විසූ බව කියැ වේ. එහෙත් ඔහු ආණ්ඩුකාරවරයකු නො වේ. ගාල්ලේ විසූ ජාන් මක්කාර් නම් අණදෙන නිලධාරියා යාපනය සමඟ සබඳතා පැවැත් වූ බවක් දැනගන්නට නොමැත. එබැවින් ”යාපාපටුන සඳහා සම්පූර්ණ ඉතිහාස ග‍්‍රන්ථයක් නොමැති වීමේ පාඩුව තේරුම්ගත් ජාන් මක්කාර නම් යාපාපටුනේ ලන්දේසි ආණ්ඩුකාරයාණන් විසින් 1736 දී මයිල්වාගන පුලවර් ලවා ඉතිහාස ග‍්‍රන්ථයක් ලියවන ලදී” යන මුහන්දිරම් මුල්ලපිටියේ කේ.එච්. ද සිල්වා අභයසිංහ විජයශ‍්‍රීවර්ධනයන්ගේ ප‍්‍රකාශය සත්‍යයෙන් තොර ප‍්‍රකාශයක් ලෙස සැලකීමට සිදු වේ.5 මුදලිඳු කුලසභානාදන්ට අනුව යාල්පාන වෛපවමාලය ක‍්‍රිස්තු වර්ෂ 1736 දී ලියැවුණු බවට සී. බි‍්‍රටෝ විසින් කරනු ලබන ප‍්‍රකාශය පිළිගත නො හැකි ය.6 ඔහුට අනුව මයිල්වාගනම් කවියා කුලන්ගෙයි තම්බිරාන්ගෙන් ඉගෙන ගත් බව පිළිගනු ලබන්නේ නම් යාල්පාන වෛපවමාලය ලියැවිය යුත්තේ බි‍්‍රටෝ පවසන කාලයට වසර 50කට පමණ පසුව යි.

ශ‍්‍රී ලංකාවේ මුල් යුග පිළිබඳව විශ්වසනීයත්වයෙන් තොර තොරතුරු සහ පුරාවෘත්තවලින් සමන්විත වුවත් යාල්පාන වෛපවමාලය නො සලකා හැරිය යුතු කෘතියක් නො වේ. ආරම්භයේ සිටම ශ‍්‍රී ලංකාව පාලනය කළ රජවරු දෙමළ ජාතිකයන් බව පෙන්වා දීමට උනන්දු වන මයිල්වාගනම් කවියා රටක රජු අයත් වන ජන වර්ගය අනුව එහි අයිතිය තීරණය වේ යැයි සිතූ බව පෙනේ. ශ‍්‍රී ලංකාවේ මුල් ඉතිහාසය සම්බන්ධයෙන් කෙසේ වෙතත් දහතුන් වැනි සියවසින් පසු යාපාපටුනේ ඉතිහාසය සම්බන්ධයෙන් වත් සත්‍යය සහ සංගත තොරතුරු සපයන කෘතියක් ලෙස යාල්පාන වෛපවමාලය සැලකිය හැකි ය.

මහාවංසයේ සඳහන් වන විජය පුරාවෘත්තය වෛපවමාල කතුවරයා ද පිළිගත් බව පෙනේ. වසර දෙ දහස් හාරසියයකට පෙර ලාඩ දේශයෙහි රජ කළ සිංහබාහු නම් ක්ෂත‍්‍රියයෙකුගේ වැඩිමහල් පුතා වන විජය කුමරු තම අසත්පුරුෂ ක‍්‍රියා නිසා මහජනතාවගේ වෛරයට පාත‍්‍ර වූ බැවින් රටින් පිටුවහල් කළ බව යාල්පාන වෛපවමාලයේ ද සඳහන් වේ. වාසභූමියක් සොයා රටින්රට සැරිසරමින් සිටි කුමරු කාසි දේශයේ දී දුටු සිහිනයක් අනුව ලක්දිව තමාට පවරා ඇති බව දැනගෙන තවත් පිරිසක් සමඟ ලංකාවට පැමිණියේ ය. යාල්පාන වෛපමාලයට අනුව වැද්දන් සහ වන සතුන් පමණක් එකල මෙහි වාසය කොට ඇති අතර මෙහි ජනාවාස ඇති කිරීම සඳහා භාරතයෙන් ජනතාව ගෙන්වාගැනීමට විජය කුමරු ගත් උත්සාහය ව්‍යර්ථ විය. එහෙත් ‘රාක්ෂසයින්ගේ දේශය’ යැයි අවඥාවෙන් සැලකූ හෙයින් ලක්දිවට පැමිණීමට කිසිවෙකුත් කැමති නො වී ය. එහෙත් සියම්, බුරුම යන රටවල් ආශ‍්‍රිත ව අතරමං වී සිටි ජනයාගෙන් ඇතැමකු ලක්දිව ජනාවාස කිරීම සඳහා කැඳවාගෙන ඒමට හැකි විය. මයිල්වාගනම් කවියාගේ “ලක් දිවයිනෙහි විවිධ ප‍්‍රදේශයන්හි පදිංචිය සැලැස්වූ ඔවුනට ස්වකීය ආගම ඇදහීමේ සම්පූර්ණ නිදහස ද හෙතෙමේ දුන්නේ ය. මෙසේ කල් යත් යත් ඒ බෞද්ධ පිරිස සිංහල නමින් හැඳින්වුණු සිංහල නම් අලුත් නාමය ලැබීමට හේතුව වූයේ සිංහලෙහි වැසියන් වූ නිසාය. ලංකාවට ඇති තවත් නමක් නම් සිංහල යනු යි.”7 යන ප‍්‍රකාශයෙන් පැහැදිලි වන්නේ එසේ ලක්දිවට ගෙන්වා ගත් ජනතාව ගැන යි.

එහෙත් මයිල්වාගනම් කවියා දක්වා ඇති පරිදි විජය රජු අබෞද්ධයෙකු වුවත් තම විජිතය ජනාවාස කරගනු වස් ඒ බෞද්ධයින්ට කිසිදු අවහිරයක් නො කළේ ය.8 මේ අනුව පැහැදිලි වන්නේ ලක්දිව මුල් ම පාලකයා හින්දු රජ කෙනෙකු වුවත් වැද්දන් හැරුණු කොට මෙරට ජනාවාස වූයේ සිංහල බෞද්ධයන්ගෙන් බව මෙරට ප‍්‍රථම විධිමත් දෙමළ ඉතිහාස ග‍්‍රන්ථය වන යාල්පාන වෛපවමාලය රචනා කළ මයිල්වාගනම් කවීන්ද්‍රයා විසින් පිළිගෙන ඇති බව යි. එමෙන් ම වැදි ජනතාව මිනිසුන් ලෙස ඔහු නො සලකා ඇති බව ද පැහැදිලි ය.

වෛපවමාල කතුවරයා තම කෘතිය ආරම්භයේ දී මහාවංසයේ සඳහන් විජය පුරාවෘත්තය තමන්ට අවශ්‍ය පරිදි සකසා වුවත් ඒ පිළිබඳ සඳහන් කර ඇත. එහෙත් මහාවංශයේ සඳහන් නොවන වෙනස් ම පුරාවෘත්ත ද ඔහු සඳහන් කර ඇත. ශක වර්ෂ 358 වැන්නෙහි දකුණු ඉන්දියාවෙන් ලංකාවට පැමිණි බලවත් රජෙකු වන කුලක්කෝඞ්ඩන් රජු පිළිබඳ පුරාවෘත්තය ඊට නිදසුනකි. එම පුරාවෘත්තය වෙනත් සාහිත්‍ය, නාණක, අභිලේඛන ආදී කිසිදු මූලාශ‍්‍රයක් සමග සංගත නො වේ. කෙසේ වෙතත් එකල අනුරාධපුරය මුල් කරගෙන ලංකාව පාලනය කළ පණ්ඩු රජු වැලිගොඩ (මානන්තිඩල්) නම් ග‍්‍රාමයේ වාසය කළ බවත්, එහි සිංහලයන් විසූ බවත් මයිල්වාගනම් පුලවර් පවසයි. තව ද සිංහලයන් මසුන් මැරීමේ කර්මාන්තය නො දත් හෙයින් ඒ සඳහා මුක්කුවා ගෝත‍්‍රිකයන් යොදවා තිබූ බවත් ඔහු සදහන් කරයි. එමෙන් ම සිංහල යුද හමුදාව කුලක්කෝඩ්ඩන්ට මුහුණ දීම සඳහා තඹලගමට ගිය බව ද එහි සඳහන් වේ.

කුලක්කෝඩ්ඩන් විසින් ඉන්දියාවේ මුහුදුබඩ ප‍්‍රදේශවලින් වන්නියාවරුන් ගෙන්වූ බවත්, ක‍්‍රමයෙන් වන්නියාවරුන්ගේ සංඛ්‍යාව වැඩි වූ බවත් ඊට පාඬි දේශයෙන් පැමිණි හැටඑක් කුලයක ජනයා ද එක් වූ බවත් වෛපවමාලය සඳහන් කරයි.10 මේ අනුව පැහැදිලි වන්නේ වැද්දන් සමඟ සිංහල බෞද්ධයන් පමණක් විසූ ලක්දිවට පසුව දකුණු ඉන්දියාවෙන් විවිධ පිරිස් සංක‍්‍රමණය වූ බව යාල්පාන වෛපවමාල කතුවරයා ද පිළිගෙන ඇති බව යි. විජය රජුගේ පරපුරෙන් පැවත එන උග‍්‍රසිංහ නම් රජ කෙනෙකු පිළිබඳ සහ ඔහු සෙංකඩගලට රාජධානිය ගෙනගිය බව මෙන් ම ඔහුගෙන් පැවත එන ජයතුංග වරරාජසිංහ රජුගේ කාලයේ දී වීර රාඝවන් නම් කවියකු විසින් රජුගේ සිත පහදවන ලද හෙයින් ‘මානන්තිඩල්’ හෙවත් ‘වැලිගොඩ’ යනුවෙන් හැඳින් වූ සකල උතුරු පෙදෙස ම ඔහුට පිදූ බව යාල්පාන වෛපවමාලයේ සදහන් වේ.11

අන්ධ කවියා විසින් දකුණු ඉන්දියාවෙන් ද්‍රවිඩ පවුල් බොහෝ ගණනක් ගෙන්වා යාපා පටුනෙහි ඒ ඒ තැන පදිංචි කරවනු ලැබීය. පිටතින් පැමිණ අලුතෙන් ජනපද පිහිට වූ ද්‍රවිඩයන්ට මෙන්ම සිංහල ස්වදේශිකයන්ට ද එක සේ සංග‍්‍රහ කළ අධිපති තෙමේ සමෘද්ධිමත් දීර්ඝ පාලන කාලයක් අවසන් කොට ස්වර්ගරෝහණ වූයේය.12

මෙහි දී අවධානය යොමු විය යුතු වැදගත් කරුණක් වන්නේ සිංහලයන් ස්වදේශිකයන් ලෙසත්, ද්‍රවිඩයන් පිටතින් පැමිණි අය ලෙසත් යාල්පාන වෛපවමාල කතුවරයා විසින් සඳහන් කර තිබීම යි.

වීරරාඝවන් කවියා මියගිය පසු යාපනයේ විසූ සිංහල සහ ද්‍රවිඩ ජනයා අතර ආධිපත්‍යය සඳහා අරගල ඇති විය. රට හැර යාමට අදහස් කළ දෙමළ ජනයා ඉන් මුදවා ගන්නා ලද්දේ මාලවන් නමැති වෙල්ලාල වංශිකයෙකු බව කියැ වේ. ඔහු පඬි දේශයේ පොත්පට්ටියාරයෙන් පැමිණයෙකි. 13 මදුරාවට ගොස් සිංහ ආරියන් නම් කුමරකු මෙරට පාලනය කිරීමට කැඳවාගෙන එනු ලැබුවේ ද මාලවන් විසිනි. බුවනෙකබාහු ඇමතියා, ගංගාධර බ‍්‍රාහ්මණයා සහ විශාල පඬි හමුදාවක් ද සමඟ සිංහ ආරියන් යාපනයට පැමිණියේ ය. “ජනපද පිහිටුවීම සඳහා පිරිස් එවන මෙන් අමාත්‍යවරයාගේ අවවාදය පරිදි ද්‍රවිඩ දේශයන්හි නරපතීන්ට රජු විසින් හසුන්පත් යවනු ලැබීය. මේ ඉල්ලීම පරිදි තමන්ගෙන් යැපෙන සියල්ලන් සහ වහළුන් සහිත බොහෝ කුලයෝ මෙහි ආවෝ ය. ජනපද මූලිකයන් සඳහා පහත සඳහන් ප‍්‍රදේශ වෙන් කර දෙනු ලැබීය.”13

අංකය පැමිණි රට සහ ප‍්‍රදේශය නම පදිංචි වූ ස්ථානය
1 පඬි දේශයේ පොන්පත්නියුර්හි වේල්ලාල ගෝත‍්‍රිකයන් මාලවන් සන්නිගමාලවන් සහ තවත් ඥාති සහෝදරයෙක් තිරුනෙල්වේලි
2 කාවේරියුර්හි නාරසිංහ තේවර් මයිලිඩ්ඩි
3 මාවික්කිය
කායිල් නගරය
වේලාල වංශික සෙම්බග මාප්පනන් සහ චන්ද්‍රශේඛර මාප්පනන්; වෙල්ලාල වංශික පුප්පානන් සහ කනකරායන් සෙට්ටි තෙලිප්පලය
4 කෝවලූර්හි   වෙල්ලාල වංශික පෙරිය ඉරමු දෙයියෝ ඉනුවිල්
5 කච්චූර්හි වෙල්ලාල වංශික නීල කන්දන් සහ සහෝදරවරු සිව්දෙනා පච්චිලෙයිපල්ලි
6 සිකරාවනාකර් කණක භූවන් හෙවත් කණක මාලවන් සහ සහෝදරවරු සිව්දෙනා  පුල්ලෝලි
7 කූපනාඩු වෙල්ලාල වංශික කුපකරායෙන්දිරම් සහ පුණ්‍ය පුප්පලන්ට තෝලපුරම්
8 පුත්තුර්  දේවරායෙන්දිරම් කෝවිලක්කන්ඩි
9 කොන්ඩෙයි මණ්ඩලම් වෙල්ලාල වංශික මන්නාදු කොණ්ඩ මුදලි  ඉරුමනි හෙවත් ඉරුපලෙයි
10 සෙයියුර් ඉරුම්පුරම් තුයිය තතිනායක නෙඩුත්තිව්
11 වංචී නගරය කුල ශ්‍රේෂ්ඨයන් දෙදෙනෙක් පල්ලවරායන්කඩ්ඩු(වේලිනාඩු)

මේ අනුව යාපනය ප‍්‍රදේශයේ සිටි සිංහල බෞද්ධ ස්වදේශික ජනතාව අතරට වරින්වර ඉහත දක්වන ලද වෙල්ලාල සහ වෙනත් දකුණු ඉන්දීය ජන කොටස් එකතු වූ බව පැහැදිලි ය.15

වික‍්‍රමසිංහ ආරියන් නම් පාලකයාගේ සමයේ දී යාපනයේ වැසි සිංහල සහ ද්‍රවිඩ ජනයා අතර ගැටුමක් හට ගත්තේ ය. මේ ගැටුමට මූලික හේතුව ආගමික මතභේද බවත්, ඊට සිංහල පාර්ශ්වයෙන් නායකත්වය දෙන ලද්දේ පසුව මරණීය දණ්ඩනයට ලක් වූ පුංචි බණ්ඩා නමැත්තෙකු බවත්, මේ අරගලයෙන් පසු සිංහලයින් විශාල ප‍්‍රමාණයක් ප‍්‍රදේශය අත්හැර ගිය බවත්, ඉතිරි වූ අය කැරලි කෝලාහල ඇති කරමින් රජුට නිරන්තරයෙන් භීතියෙන් සිටීමට සැලසූ බවත් වෛපවමාලය පවසයි. එමෙන් ම වීරෝදය සිංහ ආරියන්ගේ පාලන සමයේ දී ද වන්නියාර්වරුන්ගේ පෙළඹවීම නිසා යාපන වැසි සිංහලයන් රජුට එරෙහිව සටන් කළ බව කියැවේ.17 එසේම වන්නියාර්වරුන් සමඟ එක් වූ යාපාපටුනේ වැසි සිංහලයෝ ගුණවීර සිංහ ආරියන්ට එරෙහි ව නැවතත් සටන් මෙහෙය වූ හෙයින් ඔහුට තම දිවි රැක ගැනීම සඳහා දකුණු ඉන්දියාවට පලා යාමට ද සිදු විය.18 ගුණවීර සිංහ ආරියන් වසර දා හතකට පසුව නැවත යාපනයට පැමිණෙන තෙක්ම යාපාපටුන පාලනය කරන ලද්දේ විජයබාහු නම් සිංහල නායකයා බව මයිල්වාගනම් කවියා සඳහන් කර ඇත. අනතුරුව බලය යළි පිහිටුවා ගත් ගුණවීර සිංහ ආරියන් විසින් සිංහලයන්ට සැලකූ ආකාරය යාල්පාන වෛපවමාලයේ සඳහන් වී ඇත්තේ මෙසේ ය. “සිංහලයන්ට විරුද්ධව කොතරම් දැඩි සෙයින් ක‍්‍රියා කරනු ලැබී ද යත් සිංහල පවුල් බොහෝ ගණනක් ම යාපාපටුන අතහැර මහනුවර රාජධානිය වෙත ගියෝ ය. යාපා පටුනෙහි රැඳී ගිය සිංහලයෝ ද්‍රවිඩ බලයට හිස නමා සුවච ව විසුවෝය.”19 මින්පසු ව බලයට පත් වූ පාලකයකු වන සංගිලිගේ සමයේ දී ද යාපන වැසි සිංහල බෞද්ධයන්ට බොහෝ හිරිහැර විඳීමට සිදුවිය. ඒ බව පහත දැක්වෙන වෛපවමාල ප‍්‍රකාශයෙන් සනාථ වේ.

“ඔහුගේ කෝපාග්නිය මෙහි දී යොමු වූයේ බෞද්ධ සමය ගතුවන් වෙතය. බෞද්ධාගම ඇදහූ සියල්ලෝම සිංහලයෝ වූහ. යාපන රාජධානියෙහි බෞද්ධ සිංහලයෝ බොහෝ ගණනක් විසුවෝය. රාජ අණින් ඔවුහු සියලු දෙනාම රාජ්‍ය සීමාවෙන් ඉවතට පිටුවහල් කොට එළවා දමනු ලැබූහ. මෙයින් ද නො නැවතුණු ඔහු බොහෝ වූ බෞද්ධ සිද්ධස්ථානයන් කඩා හෙළා විනාශකර දමන ලදී. අවිචාර සමයෙන් බේරීම සඳහා එකද සිංහලයෙකු නොහැර සියල්ලෝ ම වන්නිකරයට, උඩරට ප‍්‍රදේශයන්ට පැන ගත්තෝ ය. එපමණක් නොව යළි කිසිදු කලෙක කිසිවකු යාපා පටුනට පැමිණියේ නැත.”20

මෙලෙස ම ඡාවාකච්චේරියේ සහ ජාවන් කෝඩුවෙහි පදිංචි වී සිටි ජාවාවරුන්ට ද සැලකූ ඔහු කිතු සමය වැළඳගත් මන්නාරම ප‍්‍රදේශයේ දෙමළ හින්දුන්ව ද ඝාතනය කිරීමට කටයුතු කළ බව පෙනේ. මේ සමයේ දී ම දකුණු ඉන්දියාවෙන් වන්නියාර්වරු හතළිස් නව දෙනෙකු පැමිණි අතර ඔවුන් පැමිණි මුහුදු යාත‍්‍රාව අතරමඟ දී විනාශ වූ හෙයින් යාපනයට පැමිණීමට හැකි වූයේ ටික දෙනෙකුට පමණි.

වෙල්ලාල ජනයාට අමතර ව ‘සානාර’, ‘නලවාර’ මෙන්ම ‘රාමනාද පුරයෙන්’ ද පැමිණි ‘මරවාර’ යන විවිධ පිරිස් යාපා පටුනේ එකල වාසය කර ඇති බව පැහැදිලි වේ. සිංහල සහ ජාවක ජනයා යාපා පටුනෙන් පලවා හැරි පසු යාපනයේ ජනගහනය යළි වැඩි වූයේ දකුණු ඉන්දියාවේ සාගතයක් නිසා ලංකාවට පැමිණි පිරිස් නිසා බව මයිල්වාගනම් කවියාගේ පහත ප‍්‍රකාශයෙන් පැහැදිලි වේ. “බියකරු සාගතය විසින් සිය ගම් රටවලින් පලවා හරිනු ලැබූ නොයෙකුත් කුලයෝ යාපාපටුනේ නිවාස ගත්තු. රාජයාගේ කෲර භාවය නමැති ගින්නට බිලි වීම නිසා ක‍්‍රම ක‍්‍රමයෙන් තුනී වෙමින් පැවති ජනගහනය මේ ආගන්තුක පිරිසගේ ආගමනයෙන් දියුණු වී ගියේ ය.”21 යාල්පාන වෛපවමාලයට අනුව නල්ලූර්හි කතරගම දේවාලය කරවන ලද්දේ සිංහ ආරියයන් සමඟ මධුරාපුරයේ සිට යාපනයට පැමිණි භුවනෙකබාහු නම් අමාත්‍යවරයා විසිනි.22 එහෙත් පෝල් ඊ. පීරිස් සහ මුදලිඳු සී. රාසනායගම් වැනි වියතුන්ගේ මතය ගෙන හැර පාමින් මුහන්දිරම් මුල්ලපිටියේ කේ.එච්. ද සිල්වා අභයසිංහ විජයශ‍්‍රීවර්ධනයන් පවසන්නේ ඒ බුවනෙකබාහු ඇමතියා අන් කවරකුවත් නොව අභිෂේකයෙන් භුවනෙකබාහු යන නාමය ගත්තාවූ ද ශ‍්‍රී සංඝබෝධි යන විරුද නාමය ද දැරුවා වූ ද පසු කලෙක හය වන භුවනෙකබාහු යන නමින් ලක්දිවට ම රජ බවට පත් වූ සපුමල් කුමාරයා බවයි.23

නල්ලූර්හි පිහිටි සුප‍්‍රසිද්ධ කතරගම දේවාලයේ වාර්ෂික පූජාවේ දී පහත දැක්වෙන ස්තෝත‍්‍ර පාඨය ඊට සාක්ෂි වශයෙන් ඔහු විසින් දක්වනු ලැබ ඇත.

“ශ‍්‍රීමාන් මහාරාජාදිරාජාය අගන්ද භූමණ්ඩල ප‍්‍රතියති කාන්ත විස්වාන්ත කීර්ති ශ‍්‍රී ගජවල්ලි මහාවල්ලි සමේත ශ‍්‍රී සුබ‍්‍රමනිය පාදාරවින්ද ජනාතිරුද ශෝඩෂ මහාදාන සූර්ය කුල වංශෝත්භව ශ‍්‍රී ජගත් සංඝබෝධි භුවනෙකබාහු සමූහ ….”

යනාදි වශයෙන් එහි සඳහන් වේ.

යාපන ප‍්‍රදේශය පරංගි ග‍්‍රහණයට නතුවූ පසු එතෙක් ඉතිරි ව තිබූ සියලූ පූජනීය ස්ථාන ඔවුන් විසින් විනාශ කළ අතර නල්ලූර් කතරගම දේවාලයේ මෙහෙකරුවකු වූ සංගිලි නම් පණ්ඩාරමයා විසින් දේවාලයේ නීතිරීති ආරම්භය සහ උපදේශ අඩංගු තඹ සන්නස් රැුගෙන මඩකලපුවට පලා ගිය බව කියැවේ.24

වඩුක්කොඩෙයි, කාර දිවයින ඇතුළු වෙනත් දිවයින්වල පදිංචි වූ ජනතාව දකුණු ඉන්දියාවේ කාරික්කාලයෙන් සහ තවත් ප‍්‍රදේශ කිහිපයකින් පැමිණියේ පෘතුගීසීන් විසින් අල්ලා ගත් පසුව බව කියැ වේ.25 එමෙන් ම ඕලන්ද සමයේ දී දකුණු ඉන්දියාවේ කායිල් පට්ටනමෙන් සහ තවත් ප‍්‍රදේශ කිහිපයකින් ඉස්ලාම් ආගම වැළඳගත් මරක්කල පිරිසක් පැමිණි අතර ඔවුහු මිරුසුවිල්හි පදිංචි වී ඡාවකච්චේරිය, කොඩිගම, මුගවිල සහ එලතුමඩ්ඩුවාල් යන ප‍්‍රදේශවල වෙළෙඳාමෙහි යෙදුණහ. පසුව ඔවුන් නල්ලූර්වෙහි ද වාසය කර ඇත. මීට පසුව ද කොශවංගයෙන් පැමිණ බ‍්‍රාහ්මණ පිරිසක් කාර දිවයිනට පැමිණ පදිංචි වූ අතර චෝල දේශයේ සිට බොහෝ පල්ලර්වරු ද කෝවියර්වරු ද වාඩ දේශයෙන් පැමිණ වෙනත් වර්ගයක කෝවියර්වරු ද සිවියාර්වරුන් ද යාපනයේ විවිධ ප‍්‍රදේශවල පදිංචි වූහ. යාපන ප‍්‍රදේශයේ ජනාවාසකරණය මූලික යුග තුනක් යටතේ සාකච්ඡා කළ හැකි බව ඒ. ඩෙනිස් එන්. ප‍්‍රනාන්දු පවසයි. යාල්පාන වෛපවමාලය ද පිළිගෙන ඇති පරිදි යාපනයේ මුලින් ම සිංහල ජනාවාස පැවතී ඇත. යාපන ප‍්‍රදේශය ජනාවාස වීමේ දෙ වැනි අවස්ථාව කාලිංග මාඝ සහ චන්ද්‍රභානුගේ ආක‍්‍රමණික හමුදාවන්ගෙන් සිදු වූ බව ඔහු පවසයි. කාලිංග මාඝ සමග පැමිණි කාලිංග හා කේරළ හමුදා භටයන් මෙන් ම චන්ද්‍රභානු සමග පැමිණි චෝල, පාණ්ඩ්‍යය සහ ජාවක භටයන් යාපනය අර්ධද්වීපය තම වාසභූමිය කරගත් බව ඔහු සඳහන් කර ඇත. ඔහුට අනුව යාපන ප‍්‍රදේශය තෙවැනි වරට ජනාවාස වූයේ පෘතුගීසින් විසින් දුම්කොළ වැවීම සඳහා කොරමැන්ඩල් වෙරළ ආශ‍්‍රිත ප‍්‍රදේශයෙන් රැගෙන ආ දෙමළ ජනතාවගෙනි.26 දහතුන් වන සියවසේ ලංකාවේ සිදු වූ දෙමළ ජනාවාසකරණය ඒ පිළිබඳ ඉතිහාසයේ වැදගත් තැනක් ගන්නා බවත්, 13 වන සියවසට පෙර මෙරට දෙමළ ජනාවාසකරණය ගැන කතා කරන විට කුලී හමුදා වෙළෙඳ ප‍්‍රජාවන් වැදගත් භූමිකාවක් ඉටු කළ බවත් මහාචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාල පවසයි. ජනාවාස පිහිටුවීම සඳහා ම දෙමළ ජනතාව දකුණු ඉන්දියාවේ සිට මෙරට පැමිණි බවට සාධක ලැබෙන්නේ දහතුන් වන සියවසේ මැද භාගයෙන් පසුව බවත් මහාචාර්ය ඉන්ද්‍රපාල පෙන්වා දී ඇත. මින් පසුව දිවයිනේ වඩාත් උතුරු ප‍්‍රදේශය සහ නැඟෙනහිර පළාතේ දිස්ත‍්‍රික්ක දෙමළ ප‍්‍රදේශ ලෙස ඉස්මතු වූ බව මහාචාර්ය ඉන්ද්‍රපාල පවසයි.27 යාපනයේ ලන්දේසි පාලකයකු වූලීබ්‍රෙච්ට් හුඅර්මන්ග‍ෙ වාර්තාවකට අනුව දකුණු ඉන්දියාවේ කොරමැන්ඩල් වෙරළ තීරයෙන් ක‍්‍රිස්තු වර්ෂ 1694-1696 අතර කාලවකවානුවේ දී පමණක් වහලුන් 3,589 දෙනෙක් යාපනයට රැගෙන විත් ඇත.28

මේ අනුව, පැහැදිලි වන්නේ සමස්ත ශ‍්‍රී ලංකාවේ පමණක් නොව, යාපා පටුනේ ද මුල් වැසියන් සිංහල බෞද්ධයන් වූ බව ලක්දිව පළමු විධිමත් දෙමළ සාහිත්‍ය මූලාශ‍්‍රය වන යාල්පාන වෛපමාලය රචනා කළ මයිල්වාගනම් කවියා විසින් ද පිළිගෙන ඇති බව යි. එමෙන් ම සංගිලි හි සහ යාපන ප‍්‍රදේශයේ පෘතුගීසින් විසින් කඩා බිඳ විනාශ කර දමන තෙක් ම සිංහල බෞද්ධ සිද්ධස්ථාන විශාල ප‍්‍රමාණයක් පැවති බව ද වෛපමාලයේ සඳහන් වේ. මේ කෘතියෙන් හෙළිවන තවත් වැදගත් කරුණක් වන්නේ යාපනයේ වැසි සිංහල බෞද්ධ ජනතාව තම උරුමය උදෙසා වරින්වර පාලකයන්ට එරෙහි ව සටන් කර තිබෙන බව යි. විවිධ හිරිහැර සහ පලවා හැරීම් නිසා සිංහල බෞද්ධයින් යාපනයෙන් ඉවත් වීමත් සමඟ වෙල්ලාල, බ‍්‍රාහ්මණ, නලවර්, කොවියර්, පල්ලර්, මාරවර්, මරක්කල ආදී විවිධ කුලවලට අයත් ජනතාව විවිධ හේතු නිසා දකුණු ඉන්දියාවේ සිට යාපනයට පැමිණ පදිංචි වූ බව ද එයින් සනාථ වේ.

සංගිලි සහ පෘතුගීසීන් විසින් යාපනයේ බෞද්ධ සිද්ධස්ථාන විනාශ කර දමනු ලැබූව ද මහනුවර යුගය වන තෙක් ම ඒවා පිළිබඳ මතකය සිංහල බෞද්ධයන් තුළ පැවති බව නම් පොතෙන් පැහැදිලි වේ. පිරිවෙන් අධ්‍යාපනය සඳහා රචනා කරන ලද කෘතියක් වන එහි සමස්ත ශ‍්‍රී ලංකාවේ පැවති බෞද්ධ වෙහෙරවිහාර නාමාවලියක් සඳහන් වේ. ඊට අනුව දෙමළ පට්ටනමෙහි නාගකෝවිල, කදුරුගොඩ විහාරය, තෙලිපොල, මල්ලාගම, මිණිවන්ගොමු විහාරය, තන්නි දිවයින, අග්නි දිවයින, නාග දිවයින, පුවඟු දිවයින, කාර දිවයින, මොල්ලියාවල යන වෙහෙර විහාර පිහිටා තිබී ඇත.29

කාලයේ වැලිතලාවෙන් වැසී යාම මෙන් ම වියතුන්ගේ අධ්‍යනවලින් තොර වීම අදී හේතු නිසා අසිංහල අබෞද්ධයන්ට පමණක් නොව, සිංහල බෞද්ධයන්ට පවා නම්පොතේ එන මේ වෙහෙරවිහාර යාපාපටුනේ පැවති බව විශ්වාස කිරීමට අපහසු විය හැකි ය. එහෙත් මෙහි සඳහන් කදුරුගොඩ විහාරය විවිධ බාධක කම්කටොළු මැද වුව ද තවමත් යම් පමණකට හෝ ආරක්ෂා වී ඇත. තව ද නම් පොතේ කියැවෙන දිවයින් අතර ‘නාග දිවයිනේ’ වත්මන් ‘නාගදීප’ විහාරය පිහිටා ඇත. නෙඩුත්තිව් හෙවත් ඩෙල්ෆ්ට් නමින් හඳුන්වන දූපතේ ද දාගැබ් තුනක නටබුන් අදත් දක්නට ඇත. යාපනයේ පැවති බෞද්ධ වෙහෙරවිහාර ගැන ලන්දේසි මූලාශ‍්‍රයවල ද සඳහන් වේ. නම් පොතේ දැක්වෙන ‘නාග කෝවිල’ හෙවත් වත්මන් නාගර්කෝවිල් අසල විශාල දාගැබක් පැවති බව බැල්ඩියස් පියතුමා සඳහන් කර ඇත.30

“පෘතුගීසීන්ගේ ආධිපත්‍යය යටතේ වසර හතළිහකට වැඩි කාලයක් පැවති මෙම බලකොටුව, අච්චුවේලි හි මහ දාගැබ අසල දී පිලිප්පු ද ඔලිවේරා විසින් සිංහල සේනාව පරාජය කළ අවස්ථාවේ දී සිංහලේ මහා රජුගෙන් අත්පත් කරගත්තකි. තවම එහි දාගැබේ නටඹුන් ද විශ්මයජනක ලෙස විශාලවූත් ගැඹුරුවූත් පුළුල්වූත් වටකුරු ළිඳක් ද එහි ඇත.”31

‘අච්චුවේලි’ නම් ස්ථානයේ තවත් විශාල දාගැබක් පැවැති බව ද පැහැදිලි වන අතර ‘මානිප්පායි’ හා ‘නල්ලූර්’හි ද තවත් දාගැබ් දෙකක් පැවති බව ඔහු සඳහන් කර ඇත.

වඩා වැදගත් වන්නේ, “පෘතුගීසින් විසින් යාපනය කොටුව අත්පත් කරගනු ලැබුවේ සිංහලේ මහරජුගෙන් ය” යන සඳහන යි. පෘතුගීසි යුගයේ මතු නොව, ලන්දේසි යුගයේ පවා මහනුවර සිංහල රජු යාපනයට ඇති තම අයිතිවාසිකම් පෙන්වා දුන් අතර ලන්දේසීන් විසින් ද එය පිළිගත් බව පැහැදිලි වේ. 1766 දී කීර්ති ශ‍්‍රී රාජසිංහ රජු හා ලන්දේසීන් අතර ඇති වූ ගිවිසුමේ දෙ වැනි වගන්තිය දැක්වෙන පහත ප‍්‍රකාශයෙන් ඒ බව පැහැදිලි වේ.

“… යාපා පට්ටනම ද, ඊට අඩුත්තු රටවල් ද හෙට්ටිකුලප්පත්තුව ද මන්නාරම ද ඇතුළුව ඊට අඩුත්තු වූ ඉඩම් ද එතන හිට රට කලපිටිය ද ඊට අඩුක්කු වූ ඉඩම් ද කොළඹ දිශාව ද ගාලු කෝරළේ ද මාතර දිශාව හරිය ද පුළියන්දුව ත‍්‍රිකුණාමලය ද යන මේ ස්ථානවලට මීට ප‍්‍රථමයෙන් අඩුත්තු වූ ඉඩම් ද ….”32

මේ අනුව ලන්දේසීන් පවා සමස්ත ශ‍්‍රී ලංකාවම හිමිකරුවා ලෙස සලකා ඇත්තේ මහනුවර රජු බව පෙනේ.

යථොක්ත ව විග‍්‍රහ කෙරුණු කරුණු ඇසුරින් පැහැදිලි වන්නේ යාල්පාන වෛපවමාලයේ සඳහන් වන කරුණුවලින් දෙමළ ඊළාම් නිජභූමි සංකල්පය නිෂ්ප‍්‍රභා වන බවත් ඒ කෘතියෙන් පවා එහි සිංහල බෞද්ධ උරුමය සනාථ වන බවත් ය. මෙහි සාකච්ඡා කර ඇති සහ සාකච්ඡාවට ලක් ව නොමැති පෘතුගීසි, ලන්දේසි, ඉංග‍්‍රීසි ආදී වෙනත් මූලාශ‍්‍රයවලින් හා දේශීය මූලාශ‍්‍රයවලින් ද ඒ බව තහවුරු වන බව පැහැදිලි ය. එහෙත් විවිධ කාලීන හේතූන් නිසා යාපනය ප‍්‍රදේශයට පැමිණ වාසභූමි ඉදිකරගත් දෙමළ ජනතාව ද මේ රටේ ම පුරවැසියන් ලෙස අප පිළිගත යුතු ය. මේ මොහොතේ ඔවුන් විසින් සිදු කළ යුත්තේ පදනම් විරහිත නිජභූමි මිත්‍යාව වැනි මනස්ගාත අදහස් මත පදනම් ව අන්තවාදීන්ගේ පසුපස යමින් වෙනම රාජ්‍යයක් සඳහා අරගල කරමින් යාපනය වෙහෙර විහාර ඉදිකිරීමට හෝ උතුරු නැඟෙනහිර පවතින බෞද්ධ පුරාවිද්‍යා ස්ථාන සොයා ගැනීමට හා ගොඩනැංවීමට එරෙහිවීම නො වේ. මේ රටේ සංස්කෘතික මූලය වන සිංහල බෞද්ධ උරුමයට අභියෝග නොකොට නිදහසේ සිය ආගම ද අදහමින් බෞද්ධ සංස්කෘතියට ද ගරු කරමින් රටේ ඕනෑම පුරවැසියෙකුට ඕනෑම තැනක නිදහසේ ජීවත්වීමට හැකි වටපිටාවක් ඇති කිරීම වෙනුවෙන් කටයුතු කිරීම යි. ඒ තුළ සියල්ලන්ගේ ම අයිතිවාසිකම් සේ ම ජීවත් වීමේ නිදහස ද තහවුරු වනු ඇත.

පාදක සටහන්

  1. යාපා පටුනේ වංස කතාව, (පරි.) කේ. එච් ද සිල්වා (කොළඹ: රුහුණු පොත් ප‍්‍රකාශකයෝ, 1999), සංඥාපනය.
  2. යාපා පටුනේ වංස කථාව (1999), පෙරවදන.
  3. යාපා පටුනේ වංස කථාව (1999), 11 පි.
  4. යාපා පටුනේ වංස කථාව (1999), 11පි.
  5. එම, 15-17 පිටු.
  6. එම, 17,18 පිටු.
  7. එම, 19-27 පි.
  8. එම, 27 පි.
  9. යාපා පටුනේ වංස කථාව (1999), 27 පි.
  10. එම, 29 පි.
  11. යාපා පටුනේ වංස කථාව (1999), 29-30 පි.
  12. එම, 35 පි.
  13. එම, 36 පි.
  14. එම, 41 පි.
  15. එම, 44 පි.
  16. යාපා පටුනේ වංස කථාව (1999), 56 පි.
  17. එම, 59 පි.
  18. එම, 31 පි.
  19. එම, 100-101 පි.
  20. යාපා පටුනේ වංස කථාව (1999), 78 පි.
  21. එම, 79 පි.
  22. A. Denis N. Fernando, ‘Peninsular Jaffna from Ancient to Medieval Times; Its Significant Historical and    Settlement aspects’, in the Jounal of the Royal Asiatic Society of Sri Lanka; New Series; Vol- xxxii (Colombo: Royal Asiatic Society of Sri Lanka, 1989), 86-87 pp.
  23. K. Indrapala, ‘Early Tamil Settlements in Ceylon’, in the Jounal of the Ceylon Branch of the Royal Asiatic Society of Great Britain & Ireland; New Series” Vol- 13 (Colombo: Royal Asiatic Society of Sri Lanka” 1969), 63p.
  24. K. Indrapala, ‘Early Tamil Settlements in Ceylon’, in the Jounal of the Ceylon Branch of the Royal Asiatic Society of Great Britain & Ireland; New Series” Vol- 13 (Colombo: Royal Asiatic Society of Sri Lanka” 1969), 63p.
  25. නම්පොත (සංස්.) බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමි (කොළඹ: මොඩර්න් පොත් සමාගම, 2007), 03 පි.
  26. බැල්ඩියස්ගේ ලංකා පුරාවෘත්තය, (පරි.) බී.එබ්.ආර්. ජයවර්ධන (කොළඹ: සූරිය ප‍්‍රකාශකයෝ, 2007), 440පි.
    එම, 430 පි.
  27. ලීලානන්ද කල්දේරා, ‘සිංහල ඕලන්ද ගිවිසුම’, ඉතිහාස සඟරාව, (සංස්.) කහංගම මේධංකර හිමි. (නුගේගොඩ: ශ‍්‍රී ලංකා විද්‍යෝදය විශ්වවිද්‍යාලයීය ඉතිහාස සමිතිය, 1960), 28 පිට.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ හා ලේඛන නාමාවලිය

  • කල්දේරා, ලීලානන්ද. ‘සිංහල ඕලන්ද ගිවිසුම’, ඉතිහාස සඟරාව, (සංස්.) කහංගම මේධංකර හිමි. නුගේගොඩ: ශ‍්‍රී ලංකා විද්‍යෝදය විශ්වවිද්‍යාලයීය ඉතිහාස සමිතිය, 1960.
  • නම්පොත (සංස්.) බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමි. කොළඹ: මොඩර්න් පොත් සමාගම, 2007.
  • බැල්ඩියස්ගේ ලංකා පුරාවෘත්තය, (පරි.) බී. එබ්. ආර්. ජයවර්ධන. කොළඹ: සූරිය ප‍්‍රකාශකයෝ, 2007.
  • යාපා පටුනේ වංස කතාව, (පරි.) කේ. එච්. ද සිල්වා. කොළඹ: රුහුණු පොත් ප‍්‍රකාශකයෝ, 1999.
  • Indrapala, K. ‘Early Tamil Settlements in Ceylon’, in the Jounal of the Ceylon Branch of the Royal Asiatic Society of Great Britain & Ireland; New Series” Vol- 13. Colombo: Royal Asiatic Society of Sri Lanka” 1969.
  • Memoir Of Libercht Hooremain, (tr.) K.D.Paranavitana. Colombo: Department of National Archives, 2009.
  • N. Fernando, A. Denis. ‘Peninsular Jaffna from Ancient to Medieval Times; Its Significant Historical and    Settlement aspects’, in the Jounal of the Royal Asiatic Society of Sri Lanka; New Series; Vol- xxxii. Colombo: Royal Asiatic Society of Sri Lanka, 1989.
  • The Yalpana Vaipava Malai or the History of the Kingdom of Jaffna. (tr.) C. Brito. New Delhi: Asian Educational Service, 1999.
__________________________________________________________________________________
මෙම ලිපිය 2019.12.17 දින www.history.lk වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් විය.
__________________________________________________________________________________

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Latest news

වත්හිමි කතා පුවත ඔස්සේ ලක් ඉතිහාසය දෙස නැවත හැරී බැලීමක්

සමීර ප‍්‍රසංග වත්හිමි කතාව, කළුන්දෑ පුවත, වත්හිමි බණ්ඩාර කතාව යනුවෙන් කුරුණෑගල අවට ජනයා අතර ප‍්‍රචලිත ජනශ‍්‍රැතිගත කතා පුවතක් පිළිබඳ ව...

ජාතික ගීය, වෙල්ලාලයන් හා ඉතිහාසය

නලින් ද සිල්වා සුමන්තිරන් ජාතික ගීය කියන්නෙ නැත්නම් ඒකෙ ප්‍රශ්නයක් නැහැ. ජාතික ගීය සම්පූර්ණයෙන් ම දන්න සිංහලයන්ගෙ ප්‍රතිශතය කීයද කියල...

මහාවංසය බොරු එළාර දෙමළ නොවෙයි 

නලින් ද සිල්වා විග්නේෂ්වරන් ඇත්තක් කියලා. ඔහු කියල මහාවංසය බොරු කියල. මහාවංසයෙ බොරුත් තියෙනව තමයි. ඒත් ඒකෙ වෙනත් කරුණු සමග...

ඇස් මහින්ද හිමි හා ජාතික ව්‍යාපාරය

නලින් ද සිල්වා අප ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියන් නමින් හඳුන්වන්නේ සීකීමයේ උපත ලද මහින්ද හිමියන් ය. උන්වහන්සේ ඉපදෙන කාලයෙහි...

සිංහල බෞද්ධ සංස්කෘතිය

නලින් ද සිල්වා සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට ගොඩනැගීම ඇරඹුණේ අද වැනි පොසොන් පොහෝ දිනක ය. එහෙත් එය යම්කිසි ආකාරයක පරිපූර්ණත්වයකට...

සීගිරිය කුරුටු ගෑම

නලින් ද සිල්වා සීගිරි කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් කුරුටු ගෑ මඩකලපුවේ තරුණියක් ජනාධිපති සමාව යටතේ සිරගත කරන ලද කාලය කෙටිකර...

Must read

වත්හිමි කතා පුවත ඔස්සේ ලක් ඉතිහාසය දෙස නැවත හැරී බැලීමක්

සමීර ප‍්‍රසංග වත්හිමි කතාව, කළුන්දෑ පුවත, වත්හිමි බණ්ඩාර කතාව යනුවෙන්...

ජාතික ගීය, වෙල්ලාලයන් හා ඉතිහාසය

නලින් ද සිල්වා සුමන්තිරන් ජාතික ගීය කියන්නෙ නැත්නම් ඒකෙ ප්‍රශ්නයක්...

You might also likeRELATED
Recommended to you