පෙරදිගට ගමනක් පෙරදිගට ගමනක් : 5. බුදුන් ගේ කුලය සහ මොංගොලොයිඩ්...

පෙරදිගට ගමනක් : 5. බුදුන් ගේ කුලය සහ මොංගොලොයිඩ් සාධකය

-

වරුණ චන්ද්‍රකීර්ති

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

ඉන්දියාව කියන්නේ අලුත් රටක් කියන එක පැහැදිළියි. ඒ වගේ ම දැන් අපි දන්නවා, මේ අලුත් රටේ තියෙනවා කියලා කියන පොදු සංස්කෘතික ඇවැතුම් පැවැතුම්වලින් බොහෝමයක් දිල්ලි සුල්තාන්, මූගල් ආභාෂයෙන් ගොඩනඟාගත් දේ බව. පර්සියානු, අරාබි සහ තුර්කි දායාද පැරැණි බ‍්‍රාහ්මණ ආගමේ අලුත් අර්ථදැක්වීම් එක්ක මිශ‍්‍ර කරලා තමන්ට ම අනන්‍ය වූ සංස්කෘතික ලෝකයක් ගොඩනඟාගන්න මේ ඉන්දියානුවෝ සමත්වෙලා තියෙනවා. ඒක අපි අගය කළ යුතුයි. මේ සංස්කෘතික ගොඩනැඟීම්වලට අලුතින් හදපු රාජ්‍යයේ ධන බලය, පිරිස් බලය උපකාර වුනු බව අමුතුවෙන් පෙන්වා දිය යුතු නෑ. විශාල ධනයකින්, අති දැවැන්ත පිරිස් බලයකින් මහා පරිමාණ නිෂ්පාදන කරන්න පුළුවන්. ඒ වගේ දේකට වැඩි කාලයක් ගතවෙන්නේ නෑ.

මේ ගොඩනැඟීම් ඇතුළේ අපේ නෑදෑකම් හොයන්න හදන එකේ තේරුමක් නෑ. අපේ සංස්කෘතියටත් යම් පමණකින් පර්සියානු, අරාබි, තුර්කි ආභාෂයන් ලැබෙන්න ඇති. ඉපැරැණි මුහුදු සේද මාර්ගයේ හරි මැද පිහිටි රටකට ඒ වගේ සංස්කෘතික ප‍්‍රවාහවලින් ඈත් වෙලා ඉන්න පුළුවන්කමක් නෑ. ප‍්‍රබල පොදු සංස්කෘතියකින් බැඳිලා හිටියාට මේ රටේ ඉන්න අපි එකිනෙකා ගේ මුහුණුවර එක එක විදිහ. අපේ මුතුන් මිත්තෝ ලෝකයේ විවිධ පැතිවලින් මේ රටට එන්න ඇති. ඒත් අපිට පොදු – අපේ ම කියලා; සංස්කෘතියක් තියෙනවා. මේ සංස්කෘතිය නෑදෑකම් කියන්නේ කාට ද – කාගේ සංස්කෘතියට ද? මෙන්න මේ කාරණය අපි විමසා බැලිය යුතුයි. අපේ නෑදෑකම් හොයාගන්න පුළුවන්වෙන්නේ ඒ විදිහේ විමසීමකින්.

අපේ ප‍්‍රධානතම සංස්කෘතික අනන්‍යතා හඳුනාගැනීමෙන් මේ කටයුත්ත ආරම්භ කරන්න පුළුවන්. අපි බහුතරයක් බෞද්ධ. මේ බෞද්ධකම අපිට අද ඊයේ ලැබිච්ච එකකුත් නෙවෙයි. අපේ වංශකතා කියන විදිහට නම් අපි බුද්ධාගම වැළැඳ ගත්තේ මීට අවුරුදු 2270කට කලින්. අශෝක අධිරාජ්‍යයා ගේ 13 වැනි පර්වත ලිපියෙන් කියැවෙන විදිහට, ඒ, මීට අවුරුදු 2275කට කලින්. ඒ වගේ ම අපේ වංශකතා සහ බෞද්ධ සාහිත්‍යය අපිට කියනවා බුදුන්වහන්සේ මේ රටට තුන් වතාවක් වැඩිය බව. ඒ අවස්ථාවල දී පවා අපි යම් ප‍්‍රමාණයකට බෞද්ධ වෙන්න ඇති. මිහිඳු හාමුදුරුවෝ කළා කියන හපන්කම බුදු හාමුදුරුවන්ට කරන්න බැරිවුනා කියන්න පුළුවන්කමක් නෑනේ. ඒ මාර්ගයෙන් මේ රටේ යම් ආකාරයක බෞද්ධ ශාසනයකුත් පිහිටුවා ගන්නත් අපිට පුළුවන් වෙන්න ඇති. එහෙම නම්, අපි බෞද්ධ වෙලා මේ වෙනකොට අවුරුදු 2500කටත් වැඩියි. ඒ අපැහැදිළි ඉතිහාසය පැත්තකින් තියලා අපි වංශකතාව කියන දේ දැනට පිළිගනිමු. මොකද ඒ කතාවෙයි අශෝක අධිරාජ්‍යයා ගේ පර්වත ලිපියෙන් කියැවෙන කතාවෙයි වැඩි වෙනසකුත් නැහැනේ. අනිත් කාරණේ මේ කියන කාරණය තේරුම් ගන්න අවුරුදු 2270ක ඉතිහාසයක් ගැන කතාකිරීම ඕනවාටත් වඩා ප‍්‍රමාණවත්.

මේ කාරණයෙන් තහවුරු වෙන දේ තමයි ලෝකයේ දීර්ඝතම අඛණ්ඩ බෞද්ධ ඉතිහාසයකට උරුමකම් කියන ජාතිය අපි කියන එක. මේ තරම් දීර්ඝ කාලයක් අඛණ්ඩව බුද්ධාගම අදහපු, පිළිපැදපු ජාතියක් මේ ලෝකයේ වෙන කිසිම රටක, කිසිම ප‍්‍රදේශයක නෑ. ඒ වුනාට පාරම්පරිකව බෞද්ධයන් බවට පත්වෙච්ච ජනයා සිටින රටවල් තව සෑහෙන ප‍්‍රමාණයක් තියෙනවා. මෙතෙන් දී කියන්නේ පොත් කියවලා හරි බණ අහලා හරි බෞද්ධ වෙච්ච අය ගැන නෙවෙයි. අත්තා, මුත්තා, නත්තා, පනත්තා බෞද්ධ වෙච්ච හින්දා උපතින්ම ලැබිච්ච උරුමයක් විදිහට බෞද්ධ වෙච්ච අය ගැන. මේ විදිහට පාරම්පරික උරුමයක් මත බෞද්ධ වෙච්ච අය සියල්ල ම – මේ රටේ ඉන්න අපි හැරෙන්න; මොංගොලොයිඩ් වර්ගයට අයිති මිනිස්සු. මියන්මාරය, තායිලන්තය, කාම්බෝජය, ලා ඕසය, වියට්නාමය, චීනය, කොරියාව, ජපානය, මොංගෝලියාව, මැලේසියාව, භූතානය වගේ රටවල් උදාහරණ විදිහට පෙන්නන්න පුළුවන්. මොංගොලොයිඩ් නොවී පාරම්පරිකව බෞද්ධ වෙච්ච එක ම මානව කොට්ඨාසය අපි. මේ ගැන හිතලා බලන්න. මෙහෙම වුනේ ඇයි?

අපේ බෞද්ධ සාහිත්‍යය විස්තර කරන විදිහට බෝධිසත්වයන් වහන්සේ තුසිත දෙව් ලොවින් චුත ව මේ ලොවට එන්න තීරණය කරද්දී කාරණා පහක් සළකලා බැලූවා. අපි ඒ කරුණුවලට කියන්නේ පස් මහ බැලුම් කියලා. ඒවා තමයි – කාලය, දීපය, දේශය, කුලය සහ මව. සිද්ධාර්ථ කුමාරයා උපන්නේ කිනම් කාලයක ද කියන එක අපි දන්නවා. ඒ වගේ ම, උන්වහන්සේ උපන් ද්වීපයත් අපි දන්නවා. මේ ද්වීපය දඹදිව විය නොහැකි බවත් එය ලංකාද්වීපය විය යුතු බවත් මෑත කාලයක සිට යම් පිරිසක් පවසන බව ඇත්ත. මේ වගේ අදහස් පළකිරීම දුටුගැමුණු වගේ මහා රජවරුන්ට කරන අවමානයක්. මේ කතාව ඇත්තක් නම්, ඇයි අපේ මහා රජවරු ඒ සම්බන්ධයෙන් යමක් නො කළේ? සිදුහත් කුමරුන් උපන් බිම, බුදු වූ ස්ථානය, උන්වහන්සේ වැඩවිසූ තැන්, පිරිනිවන් පෑ තැන් මේ රටේ වූයේ නම් ඒ තැන් මුල් කරගෙන ස්මාරක ඉදිකිරීමේ හැකියාවක් ඒ මහා රජවරුන්ට තිබුණා. නමුත් එහෙම දෙයක් වෙලා නෑ. මේ බිමට අත්විය යුතු ව තිබුණු ගෞරවයක් වෙන කොහෙටවත් ලබාදෙන්න ඒ අය කටයුතු කළා කියලා හිතන්න බෑ. ඒ කොහොම වුනත් ඒ වාදයට සම්බන්ධ වීමේ අදහසක් මේ ලියුම්කරුට නෑ. මේ ලිපියෙන් කියන අදහස අපේ මූලාශ‍්‍රයත්, චීන මූලාශ‍්‍රයත් පදනම් කරගෙන කියන එකක්. ෆා-ෂියැන් (අපිට පුරුදු විදිහට, පාහියන්) හාමුදුරුවෝ පවා බුද්ධෝත්පාද භූමිය විදිහට ලුම්බිණිය හඳුනාගෙන තියෙනවා.

ලුම්බිණිය තියෙන්නේ දඹදිව. හැබැයි අපි එකක් මතක තියාගන්න  ඕන. ඒ තමයි, දඹදිව කියන්නේ මේ දැන් හදලා තියෙන ඉන්දියාව කියන ‘රට’ නෙවෙයි කියන එක. දඹදිව කියන්නේ ඉන්දියානු උප මහාද්වීපයේ ඊසාන දිගට බර ව තියෙන, මධ්‍ය මණ්ඩලය කියලා හඳුන්වපු භූමිය. බුදුන් වැඩවිසූ කාලයේ දී රාජ්‍යයන් දහසයක් ඒ දඹදිව තිබුණු බවත් අපි බෞද්ධ සාහිත්‍යයෙන් ඉගෙනගෙන තියෙනවා. අපි ඒවාට කියන්නේ සොළොස් මහා ජනපද කියලා. ඒවා අතරින් බුද්ධභූමිය විදිහට සළකන්න පුළුවන් කෝසල සහ මගධ රාජ්‍යයන්. බුද්ධ චර්යාව බොහෝ දුරට කිඹුල්වත්නුවර සහ බුද්ධගයාව අතර ප‍්‍රදේශයට සීමාවුනා. ඒ අතරිනුත් උන්වහන්සේ බොහෝ දුරට වැඩවාසය කළේ කෝසලයට අයිති සැවැත්නුවර සහ මගධයට අයිති රජගහනුවර. කිඹුල්වතින් එන සුළඟත් සැපයි කියා වසර 45ක් වූ බුද්ධ ජීවිතයෙන් වසර 25ක් ම උන්වහන්සේ වස් විසූයේ සැවැත්නුවර. මොකද සැවැත්නුවර තියෙන්නේ කිඹුල්වත්නුවර පේන මානයේ.

කිඹුල්වත්නුවර සිටි ශාක්‍යයෝ බමුණන්ට සැළකුවේ නෑ. බමුණන්ව ගණන් ගත්තෙත් නෑ. මේ ගැන හොඳින් ම හෙළිවෙන තැනක් තමයි දීඝ නිකායේ එන අම්බට්ඨ සූත‍්‍රය. එය අපි බොහෝ දෙනෙක් දන්නා කාරණයක් වුනත් ඒ ගැන නැවතත් කියන එක ප‍්‍රයෝජනවත්.

එක් වතාවක් අම්බට්ඨ බමුණා තම ගුරුවරයා ගේ – ඒ කියන්නේ, පොක්ඛරසාති බමුණා ගේ, කිසියම් කටයුත්තකට කිඹුල්වත්නුවර තිබුණු සන්ථාගාරයට ගියා. ඒත් එහි හිටිය ශාක්‍යයෝ අම්බට්ඨ බමුණාව ගණන්ගත්තේ නෑ. අඩු ගණනේ ඔහුට උස් අසුනක්වත් දුන්නේ නෑ. තමන් වාඩි වී සිටි උස් අසුන්වලින් නැගිට්ටෙත් නෑ. ඒ මදිවාට ඒ අය අම්බට්ඨ බමුණාට කොලොප්පම් කරන්න පටන්ගත්තා. මේ ගැන කෝප වී හිටිය අම්බට්ඨ බමුණා ඒ ගැන බුදුහාමුදුරුවන්ට මෙහෙම කියලා තියෙනවා. “ශාක්‍ය ජාතිය චණ්ඩයි; ශාක්‍ය ජාතිය පරුෂයි; ශාක්‍ය ජාතිය හෑල්ලුයි; ශාක්‍ය ජාතිය දොඩමලුයි; බමුණන්ට සත්කාරකරන්නේ නෑ; බමුණන්ට පුදන්නේ නෑ; බමුණන්ට හිස නමන්නේ නෑ.” ඒත් බුදු හාමුදුරුවෝ ඒ ප‍්‍රකාශයට පිළිතුරු දීලා තියෙන්නේ මෙහෙම. “අම්බට්ඨය කැට කිරිල්ලට පවා ඇගේ කැදැල්ලෙහි දී කැමති විදිහට අඬන්න නිදහසක් තියෙනවා. කිඹුල්වත්පුරය කියන්නේ ශාක්‍යයන්ගේ නගරය. ඒ නිසා තොප ඒ සුළු කාරණය හින්දා ශාක්‍යයන් කෙරෙහි වෛර බඳින එකේ කිසි ම තේරුමක් නෑ.”

මේ සිද්ධියෙන් පැහැදිළි වෙන දේ තමයි බුද්ධෝත්පාදය වෙනුවෙන් තෝරාගත් දේශය බමුණු සංස්කෘතියට මුල් තැනක් දුන් බිමක් නොවුනු බව. ඒ වෙනුවෙන් තෝරාගත් කුලයේ පිරිස් බමුණන් කෙරෙහි ගරු සම්මාන දැක් වූ අය නොවන බව. බුදුදහමේ ප‍්‍රචාරයත් මේ සංස්කෘතික වෙනස හා බැඳුණු එකක්. බමුණන් රජකළ සමාජවල බුදුදහම මුල් අල්ලාගත්තේ නෑ. බුද්ධ පර්නිර්වාණයෙන් ටික කාලයකට පස්සේ බුදුදහම ඉන්දියානු උප මහාද්වීපයේ වයඹ පැත්තටත් පැතිරීගිය එක ඇත්ත. ඒත් ඒ කාලයේ ඒ ප‍්‍රදේශවල ව්‍යාප්ත වෙලා තිබුණේ යෝනක (ග‍්‍රීක) බලය. මේ යෝනක පාලනය නිසා බමුණු බලය යටපත්වෙන්න ඇති. යෝනක දේශයට ධර්මදූත කණ්ඩායමක් යවන ලද බව මහාවංශයත් අශෝක රජු ගේ 13 වැනි පර්වත ලිපියත් කියනවා. බොහෝ දෙනෙක් හිතන්නේ මේ යෝනක දේශය කියලා කියන්නේ ග‍්‍රීසියට කියලා. ඒත් තමන් ධර්මදූත කණ්ඩායමක් යවපු ඈත ම ස්ථානය විදිහට අශෝක රජ්ජුරුවෝ සඳහන් කරන්නේ තම්බපන්නිය. ඒ නිසා, ඔහු ගේ දහතුන්වැනි පර්වත ලිපියේ සහ මහා වංශයේ යෝනකය කියලා සඳහන් කරලා තියෙන්නේ ග‍්‍රීසිය කියලා සැළකිය යුතු නෑ. ඒ කියලා තියෙන්නේ ඉන්දියානු උප මහාද්වීපයේ වයඹ ප‍්‍රදේශයේ පැතිරිලා තිබිච්ච යෝනක පාලනය ගැන. අපි කවුරුත් දන්න නාගසේන වස්තුවේ කියැවෙන මිළිඳු රජ්ජුරුවෝ ඒ ප‍්‍රදේශයේ සිටි කෙනෙක්. බුදුදහමේ ව්‍යාප්තිය ඉපැරැණි බාහික (බ‍්‍රැක්ටියා) දේශයෙන් ඔබ්බෙන් බටහිරට වන්නට තිබුණු රාජ්‍යයන්ට පැතිරුණු බවට කිසිම සාක්ෂියක් නෑ. කොහොම වුනත්, මේ ගැන වාද කරන එක මේ ලිපි පෙළේ අරමුණට අදාළ නෑ.

බුද්ධෝත්පත්තිය ඉන්දියානු උප මහාද්වීපයේ ඊසාන දිගට බරව සිදුවුනත්, බුද්ධ චර්යාව ඒ ප‍්‍රදේශයේ මගධ, කෝසල රාජ්‍යයන් දෙකට බොහෝ දුරට සීමා වුනත් බුදුදහම යම් පමණකින් හෝ බටහිරට වූ බිම්වලට පතුරුවා හරින්න යවන පාලනය උදව්වුනු බව පැහැදිළියි. බමුණු ආධිපත්‍යයක් තුළ බුදුදහමට තැනක් ලැබුණේ නෑ. බුදුදහමත් බමුණු ආධිපත්‍යය පිළිගත්තේ නෑ. යවන පාලනය යටතේත් බමුණන් හිටිය බව නාගසේන වස්තුවෙන් පැහැදිළි වෙනවා. නාගසේන කුමාරයා ගේ උපතට අදාළ ප‍්‍රවෘත්තිය ඒ ගැන තොරතුරක් සපයනවා. “රොහණ මහ තෙරුන් වහන්සේ ද ඒ මහාසෙන දෙව් පුතුන් මවු කුස පිළිසඳ ගත් දවස පටන් පුරා හත් හවුරුදු දස මසක් ඒ ගෙට සිඟා වැඩ බත් සැන්දක් වේවා යි හුළුකැන් සරළුවක් වේව යි නො ලත් සේක. ඔබ්බේ තුබූ බත් තබා මුබ්බේ තුබු වැඳිම් පිඳිම් පමණකුත් ලබන්නට නැත.” බමුණෝ සංඝයාවහන්සේට සැළැකුවේ ඒ විදිහටයි. ඒත් යවන පාලනය යටතේ බමුණු ආගමට මුල් තැනැක් ලැබුණු බවට සාක්ෂි නෑ. ඒ පාලකයෝ බුදුදහම වැළඳ ගත්තා.

යවන පාලනයෙන් පස්සේ ඉන්දියානු උප මහාද්වීපයේ වයඹදිග ප‍්‍රදේශයේ කුෂාන් අධිරාජ්‍යය ස්ථාපිත වුනා. මේ අධිරාජ්‍යය පිහිටවනු ලැබුවේ චීනයේ යුඑ-චි (යුවේ-චි) ප‍්‍රදේශයෙන් ආපු පිරිසක්. යුඑ-චි කියන්නේ චීනයේ ශිං-චියාං පළාතට අයිති ප‍්‍රදේශයක්. අපි දන්නවා මේ පාලනයේ නායකත්වයට පැමිණි කනිෂ්ක අධිරාජ්‍යයා බුදුදහමට ලබා දීපු අනුග‍්‍රහය. මේ සමාජ දේශපාලනික පදනම බුදුදහම ඉන්දියානු උප මහාද්වීපයේ වයඹදිග ඔස්සේ චීනයට පැතිරෙන්න පාලමක් වුනා. අවසානයේ බුදුදහම මොංගොලොයිඩ් මිනිසුන් ගේ අනුග‍්‍රහයෙන් තව තවත් ව්‍යාප්ත වුනා.

අපවත් වී වදාළ බද්දේගම විමලවංශ නා හිමියන් නිරන්තරයෙන් කියපු කතාවක් තමයි ශාක්‍යයන් කියන්නේ මොංගොලොයිඩ් මිනිස් වර්ගයට අයත් පිරිසක් කියන එක. මේ අදහස වෙනත් පර්යේෂකයෝ පවා පෙන්නලා දීලා තියෙනවා. නේපාලයේ අද පවා මොංගොලොයිඩ් වර්ගයට අයිති මිනිස්සු විශාල ප‍්‍රමාණයක් ජීවත්වෙනවා. බුද්ධෝත්පාදය වෙනුවෙන් තෝරාගත් කුලය – ඒ කියන්නේ, ශාක්‍ය කුලය; මොකක්ද කියන එක තේරුම්ගන්න ඕන මේ කරුණු සළකලා. ඒත් අපි කවුද? සිංහල අපි කොහොමටවත් මොංගොලොයිඩ් නෙවෙයිනේ. එහෙම නම් ඇයි අපි බුදුදහම ආරක්ෂා කර ව්‍යාප්ත කරන වගකීම භාර ගත්තේ? මේ ගැන අපි ඉදිරි ලිපියෙන් කතා කරමු.

__________________________________________________________________________________
2016.03.14 දින www.lankaweb.com වෙබ් අඩවියේ පළ වූ මෙම ලිපිය
2019.12.19 දින www.history.lk වෙබ් අඩවියේ පළ විය.
__________________________________________________________________________________

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Latest news

වත්හිමි කතා පුවත ඔස්සේ ලක් ඉතිහාසය දෙස නැවත හැරී බැලීමක්

සමීර ප‍්‍රසංග වත්හිමි කතාව, කළුන්දෑ පුවත, වත්හිමි බණ්ඩාර කතාව යනුවෙන් කුරුණෑගල අවට ජනයා අතර ප‍්‍රචලිත ජනශ‍්‍රැතිගත කතා පුවතක් පිළිබඳ ව...

ජාතික ගීය, වෙල්ලාලයන් හා ඉතිහාසය

නලින් ද සිල්වා සුමන්තිරන් ජාතික ගීය කියන්නෙ නැත්නම් ඒකෙ ප්‍රශ්නයක් නැහැ. ජාතික ගීය සම්පූර්ණයෙන් ම දන්න සිංහලයන්ගෙ ප්‍රතිශතය කීයද කියල...

මහාවංසය බොරු එළාර දෙමළ නොවෙයි 

නලින් ද සිල්වා විග්නේෂ්වරන් ඇත්තක් කියලා. ඔහු කියල මහාවංසය බොරු කියල. මහාවංසයෙ බොරුත් තියෙනව තමයි. ඒත් ඒකෙ වෙනත් කරුණු සමග...

ඇස් මහින්ද හිමි හා ජාතික ව්‍යාපාරය

නලින් ද සිල්වා අප ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියන් නමින් හඳුන්වන්නේ සීකීමයේ උපත ලද මහින්ද හිමියන් ය. උන්වහන්සේ ඉපදෙන කාලයෙහි...

සිංහල බෞද්ධ සංස්කෘතිය

නලින් ද සිල්වා සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට ගොඩනැගීම ඇරඹුණේ අද වැනි පොසොන් පොහෝ දිනක ය. එහෙත් එය යම්කිසි ආකාරයක පරිපූර්ණත්වයකට...

සීගිරිය කුරුටු ගෑම

නලින් ද සිල්වා සීගිරි කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් කුරුටු ගෑ මඩකලපුවේ තරුණියක් ජනාධිපති සමාව යටතේ සිරගත කරන ලද කාලය කෙටිකර...

Must read

වත්හිමි කතා පුවත ඔස්සේ ලක් ඉතිහාසය දෙස නැවත හැරී බැලීමක්

සමීර ප‍්‍රසංග වත්හිමි කතාව, කළුන්දෑ පුවත, වත්හිමි බණ්ඩාර කතාව යනුවෙන්...

ජාතික ගීය, වෙල්ලාලයන් හා ඉතිහාසය

නලින් ද සිල්වා සුමන්තිරන් ජාතික ගීය කියන්නෙ නැත්නම් ඒකෙ ප්‍රශ්නයක්...

You might also likeRELATED
Recommended to you