පෙරදිගට ගමනක් පෙරදිගට ගමනක් : 2. ඇයි එකක්? ඉල්ලන්නකො දෙකක්!

පෙරදිගට ගමනක් : 2. ඇයි එකක්? ඉල්ලන්නකො දෙකක්!

-

වරුණ චන්ද්‍රකීර්ති

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

මේ ලිපි පෙළේ පළමු ලිපියෙන් කියපු විදිහට ඉන්දියාව කියන්නේ අලුත් රටක්. මේ රට හදන්න පදනම දැම්මේ මීට අවුරුදු 157කට කලින් – ඒ කියන්නේ 1858 දී. ඒ, එංගලන්ත පාර්ලිමේන්තුවේ ‘ගවර්මන්ට් ඔෆ් ඉන්දියා ඇක්ට් – 1858’ කියන පනත සම්මත කිරීමෙන්. ඊට පස්සේ මේ විදිහට එකලස් කරපු ‘ඉන්දියාව’ අවුරුදු 89ක් පවත්වාගෙන ගියේ ‘බි‍්‍රටිෂ් රාජ්’ පාලනය යටතේ. අපි කවුරුත් දන්න විදිහට ‘ඉන්දියාව’ නිදහස දිනාගත්තේ 1947 දී. හැබැයි බි‍්‍රතාන්‍ය පාලකයෝ රට භාරදෙන්න තීරණය කළේ මිර්ෂා අබු සෆාර් සිරාජුද්දීන් මොහොමඩ් බහදූර් ෂා සෆාර් අධිරාජ්‍යයාගෙන් පැවත ආපු කෙනෙක්ට නෙවෙයි. නේරුලාට, ගාන්ධිලාට. ඒත් අලි ජින්නා ඇතුළු මුස්ලිම් නායකයෝ ඒකට එකඟවුනේ නෑ. ඉන්දියාව දෙකඩ කරන්න සිද්ද වුනා.

මේ සිද්දිය අපිට කියලා දීලා තියෙන්නේ වෙන විදිහකට. ඒ කතාවේ හැටියට නම් ‘ඉන්දියාව’ කියලා රටක් මේ මහ පොළොව උඩ අවුරුදු හාර පන්දාහක් තිස්සේ පැවත ආවා. ඉතින් අවුරුදු දාස් ගණනක් එකට තිබුණු ඒ ඉන්දියාව – එහෙම නැතිනම් ‘මහා භාරතය’ දෙකට බෙදන්න තරම් සුද්දෝ කුරිරු වුනා. පකිස්ථානය කියලා අලුත් රටක් හැදුවා. ඒත් හොඳින් කරුණු සළකලා බැලුවොත් තේරෙයි මේ පකිස්ථානය ඉන්දියාව කියන ‘රටට’ වඩා ගොඩක් පරණයි කියලා. මේ කියන්නේ පස්සේ කාලෙක බංග්ලාදේශය බවට පත්වුනු ‘නැඟෙනහිර පකිස්ථානය’ ගැන නෙවෙයි. මේ කියන්නේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ගොඩනැගුණු භූමියේ ඇතිකරපු පකිස්ථානය ගැන. ඒක අලුත් රටක් නෙවෙයි. මේ භූමිය සුල්තාන්ලා දිල්ලියට එන්න කලින් පවා තිබුණේ මුස්ලිම් ආධිපත්‍යය යටතේ. ගස්නියේ මොහොමඩ් අධිරාජ්‍යයා මේ ඉන්දු නිම්න භූමිය පාලනය කළේ මීට අවුරුදු දාහකටත් කලින්. ඉතින් ඒ බිමේ අවුරුදු දාහකටත් වැඩි කාලයක් අඛණ්ඩ මුස්ලිම් පාලන තන්න‍්‍ර තිබිලා තියෙනවා. ගස්නියේ මොහොමඩ්ට පස්සේ දිල්ලි සුල්තාන්ලා, ඊට පස්සේ මූගල් පාලකයෝ ඒ බිම පාලනය කළා.

දැන් කෙනෙක්ට කියන්න පුළුවන් ඉන්දු නිම්න ශිෂ්ටාචාරය කියන්නේ මුස්ලිම් පාලනයක් යටතේ ගොඩනැගුණු එකක් නෙවෙයිනේ කියලා. ඒක ඉතින් කියන්නත් දෙයක් ද? මුස්ලිම් ආගම ඇති වුනෙත් මීට අවුරුදු 1,400කට විතර කලින්. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය කියන්නේ මීට අවුරුදු 4,000කටත් ඔබ්බෙන් තිබුණු එකක්. ඉස්ලාම් භක්තිකයන් පිළිගන්න විදිහට මහම්මද්තුමාට අල්ලාහ් දෙවියන් ගේ පණිවුඩ ලැබෙන්න පටන්ගත්තේ ක‍්‍රිස්තු වර්ෂ 610 දී විතර. ඉතින් ඒ හින්දා ඊට කලින් ඇතිවෙච්ච ශිෂ්ටාචාර එකක්වත් මුස්ලිම් වෙන්න විදිහක් නෑ. ඒ වුනාට, දැන් නයිල් නිම්න ශිෂ්ටාචාරය තිබුණු බිමේ – ඒ කියන්නේ ඊජිප්තුවේ (මිසරයේ), යුප‍්‍රටීස්-ටයිග‍්‍රීස් ගංගාවලින් පෝෂණය වුනු මෙසොපොතේමියාව තිබුණු බිමේ – ඒ කියන්නේ ඉරාකයේ සහ ඉරානයේ ඉන්නේ ඉස්ලාම් ආගම අදහන විවිධ ජනවර්ගවලට අයත් පිරිස්. ඉතිහාසය එහෙම තමයි වෙනස්වෙලා තියෙන්නේ. ඉතින් ඒ දේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයටත් වුනා. ඉතින් පකිස්ථානය ඇති කළේ අවුරුදු දාහක් විතර අඛණ්ඩව මුස්ලිම්වරු උරුමකම් කියපු බිමක. ඒ හින්දා ඒක අලුත් රටක් කියලා කියන්න බෑ. නම නම් අලුත්.

ඒ වගේ ම තව එකක් අමතක කරන්න හොඳ නෑ. ඒ කාරණය තමයි, ඉන්දු නිම්න ශිෂ්ටාචාරය කියන්නේ ඉන්දු ගංගා නිම්නයට විතරක් සීමාවෙච්ච එකක් බව. ඉන්දියානු උප මහාද්වීපය පුරා ඒක පැතිරිලා තිබුණේ නෑ. ඒ ශිෂ්ටාචාරයෙයි අද මේ ඉන්දියාව කියන රටේ ඉන්න මිනිස්සු සහ ඒ මිනිස්සුන් ගේ විවිධ වූ සංස්කෘතීන් අතර සම්බන්ධයකුත් නෑ. මේ ගැන විස්තර පස්සේ කතාකරන්න පුළුවන්. පස්සෙ කාලෙක බංග්ලාදේශය බවට පත්වෙච්ච ‘නැඟෙනහිර පකිස්ථානය’ නම් ඉපැරැණි වංග දේශයේ කොටසක්. ඒ හින්දා අපි තේරුම්ගන්න  ඕන ඉන්දියානු උප මහාද්වීපයේ ඇතිකරපු අලුත් රට පකිස්ථානයවත්, බංග්ලාදේශයවත් නෙවෙයි – ඉන්දියාව කියන එක.

මේ ඉන්දියාව කියන ‘රට’ නිෂ්පාදනය කළ නිසා බොහෝ ජාතීන්ට තමන් ගේ රාජ්‍යයන් අහිමි වුනා. බෙංගාල ජාතිකයන්ට ඔවුන් ගේ වංග දේශය අහිමි වුනා. බංග්ලාදේශය විදිහට මායිම් ලකුණු කරලා දීලා තියෙන්නේ වංග දේශයෙන් කොටසක් විතරයි. අනිත් කොටස බටහිර බෙංගාලය කියලා ප‍්‍රාන්තයක් විදිහට මේ ඉන්දියාව කියන රටට අමුණලා. ඉතින් බෙංගාල ජාතිකයෝ දෙපැත්තට වෙලා බෙංගාල කතා කර කර ඉන්නවා. ෂික් හසීනා කියන බෙංගාල ජාතික කාන්තාව බංග්ලාදේශය පාලනය කරනවා. මමතා බැනර්ජි කියන බෙංගාල ජාතික කාන්තාව බටහිර බෙංගාලය පාලනය කරනවා. බෙංගාලයට කරපු දේ ම තමයි පංජාබයටත් කරලා තියෙන්නේ. රංජිත් සිං වගේ නායකයෝ යටතේ හිස ඔසවපු සික් අධිරාජ්‍යය ඔහු ගේ මරණයෙන් පස්සේ – ඒ කියන්නේ, ක‍්‍රිස්තු වර්ෂ 1839 ට පස්සේ; දුර්වල වෙන්න පටන්ගත්තා. ඉතින් ඒ අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගන්න පෙරදිග ඉන්දියානු වෙළෙඳ සමාගම කටයුතු කළා. 1845-46 කාලේ දී, මේ කොම්පැනියේ පුද්ගලික හමුදා සික් ජාතික හමුදාවලට එරෙහිව යුද්ධ කරන්න පටන්ගත්තා. අන්තිමේ දී, 1849 වෙනකොට සික් අධිරාජ්‍යය බිඳවැටුණා. ඊට අවුරුදු 98 කට පස්සේ – ඒ කියන්නේ, 1947 දී; පංජාබයෙන් භාගයක් පකිස්ථානයටත් අනිත් භාගය මේ ඉන්දියාව කියන රටටත් බෙදලා දීලා බි‍්‍රතාන්‍ය පාලකයෝ ආපහු යන්න ගියා. දැන් ‘එක පංජාබයක්’ – ඒ කියන්නේ පංජාබ භාගයක්; පකිස්ථානයේ පළාතක්. ‘අනිත් පංජාබය’ – ඒ කියන්නේ ඉතිරි පංජාබ භාගය; ‘ඉන්දියාව’ කියන රටේ ප‍්‍රාන්තයක්. ඉතින් දැන් ඒ අයත් දෙපැත්තට වෙලා පංජාබ් භාෂාව කතා කර කර ඉන්නවා.

මේ විදිහට ‘ඉන්දියාව’ කියන ‘රට’ නිෂ්පාදනය කිරීම නිසා රටවල් අහිමිවුනේ බෙංගාල ජාතිකයන්ට, පංජාබ් ජාතිකයන්ට විතරක් නෙවෙයි. තවත් ගොඩාක් ජාතිකයන්ට තමන් ගේ රටවල් අහිමි වුනා. අපි කවුරුත් දන්න දෙයක් තමයි දෙමළ ජාතිකයන්ට සිද්ද වෙච්ච අලාභය. ඈත අතීතයේ ඉඳලා ම දෙමළ ජනයා පදිංචි වී සිටි රාජ්‍යයන් දෙකක් ඉන්දියානු උප මහාද්වීපයේ දකුණට ම වෙන්න තිබුණා. එකක් තමයි ගංගාකොණ්ඩෙයි චෝල මණ්ඩලය, තන්ජාවුර් වගේ තැන් අගනුවර කරගත්ත සොලී රට. අනිත් එක තමයි මධුරාපුරය අගනුවර කරගත්ත පාණ්ඩ්‍ය දේශය. මේ රාජ්‍යයන් විජයනගර් අධිරාජ්‍යයේ නැග ඒමත් එක්ක අවුරුදු 200ක විතර කාලයකට බිඳ වැටු එක ඇත්ත. ඒත් පසු කාලයක මධුරෙයි නායක්වරුන් ගේ සහ තන්ජාවුර් නායක්වරුන් ගේ රාජ්‍යයන් බිහිවුනේ ඉපැරැණි පාණ්ඩ්‍ය, චෝල උරුමය මුල්කරගෙන. ඒත් පෙරදිග ඉන්දියානු වෙළෙඳ සමාගමේ සහ ප‍්‍රංශ හමුදාවල මැදිහත්වීම් හින්දා ඒ රාජ්‍යයන් හරියාකාර ව නැවත ගොඩනඟාගන්න බැරිවුනා. දෙමළ ජනයාට තමන් ගේ රාජ්‍යයන් අහිමිවුනා.

මේ වෙනකොට ඉපැරැණි චෝල, පාණ්ඩ්‍ය රාජ්‍යයන් ගේ බිම් මුල් කරගෙන තමිළ්නාඩුව කියලා හදලා තියෙන ප‍්‍රාන්තයේ දෙමළ ජනයා මිලියන 70ක් ජීවත්වෙනවා. ඒත් ඒ අයට පුළුවන්කමක් නෑ මේ ‘ඉන්දියාව’ කියලා හදලා තියෙන රටට කියලා තමන් ගේ රටවල් දෙක ආපහු ඉල්ලගන්න. ඒ වගේ දැවැන්ත ‘රටක්’ එක්ක හැප්පෙන්නේ කොහොම ද? මුලු ලංකාවේ ම ඉන්නේ දෙමළ ජනයා මිලියන තුනයි. ඒකෙනුත් සියයට පනහක් – ඒ කියන්නේ, ලක්ෂ 15ක්; විතර තමයි ලංකාවේ උතුරු නැඟෙනහිර පළාත්වල ජීවත්වෙන්නේ. දැන් මේ ලක්ෂ 15 වෙනුවෙන් රටක් ඉල්ලනවා. ඒත් අර ලක්ෂ 700ට අයිති රටවල් දෙක ඉල්ලන්නේ නෑ. අපිට තේරෙන විදිහට නම් ලක්ෂ 15ට වැඩිය ලක්ෂ 700 ලොකුයි. අපි මේ දෙමළ ජනයා ගේ ප‍්‍රශ්නය දිහා සානුකම්පිකව බලන්න ඕන. අද ලෝක දෙමළ ජනතාවට රටක් නෑ. ඉතින් ඔවුන් ඒ වෙනුවෙන් ඉදිරියට ආ යුතුයි. එක රටක් නෙවෙයි, තමන්ට අයිති රටවල් දෙක ම ඉල්ලන්න ඔවුන් ක‍්‍රියා කළ යුතුයි.

මගේ යාළුවෝ මගෙන් අහනවා, ‘ඇයි මචං චීනය ටිබෙට් අල්ලගෙන ඉන්නේ’ කියලා. මේක මගේ යාළුවන්ට විතරක් සීමාවෙච්ච ප‍්‍රශ්නයක් නෙවෙයි. ඒත් කවුරුවත් සීකිම්වලට නිදහස ඉල්ලන්නේ නෑ. සීකිම් කියන්නෙත් ටිබෙට්වලට ම අයිති ප‍්‍රදේශයක්. අපි එස් මහින්ද හාමුදුරුවන්ට ටිබෙට් ජාතික එස් මහින්ද හාමුදුරුවෝ කියලා කියන්නෙත් ඒ හින්දානේ. ඉතින් ‘ඔක්‍යුපයිඞ් ටිබෙට්’ ගැන කතා කරන අය ඔක්‍යුපයිඞ් සීකිම්, ඔක්‍යුපයිඞ් චෝල, ඔක්‍යුපයිඞ් පාණ්ඩ්‍ය, ඔක්‍යුපයිඞ් පංජාබ් වගේ දේවල් ගැන වචනයක්වත් කතාකරන්නේ නෑ.

මම වතාවක් ඉන්දියාව කියන රටේ හර්යානා ප‍්‍රාන්තයේ තියෙන කල්කා නගරයේ ඉඳලා ශිම්ලා නගරයට පුංචි කොච්චියෙන් ගියා. මේ ගමනේ දී කෝච්චියේ මම ගිය ආසනයට ඉදිරි ආසනයේ වාඩිවෙලා ගිය අවුරුදු 10ක විතර පුංචි ‘ඉන්දියානු’ ළමයෙක් මාත් එක්ක කතා කළා. මම ලංකාවේ ඉඳලා ආපු කෙනෙක් කියලා දැනගත්තම මේ හාදයා කියනවා, ලංකාව කියන්නේ ඉස්සර ඉන්දියාවට අයිති ‘පළාතක්’ කියලා. ඊට පස්සේ කියනවා, ‘ලංකාව විතරක් නෙවෙයි, මියන්මාරයත් ඉන්දියාවට අයිතියි. ඒත් ඉංග‍්‍රීසි ජාතිකයෝ යනකොට ඒවා ආපහු දුන්නේ නෑ’ කියලා. මම ඇහුවා කොහොම ද මේ විස්තර දන්නේ කියලා. අපිට ඉස්කෝලේ උගන්වනවා කියලා උත්තරයක් ලැබුණා.

ඒ කියන්නේ මේ ‘ඉන්දියානු බොරුව’ – මානව ඉතිහාසයේ ප‍්‍රබන්ධ කරපු ලොකු ම බොරුව; ඉතා ම විධිමත් විදිහට තවමත් පතුරවමින් ඉන්නවා. මේ බොරුව ප‍්‍රබන්ධ කරන්න විශාල පිරිසක් – දේශපාලනඥයෝ, ඉතිහාසඥයෝ, කලාකාරයෝ, ආගමික නායකයෝ දායක වෙලා තියෙනවා. උදාහරණ විදිහට ගත්තොත් නේරු ලියපු ‘පැසේජ් ඔෆ් ඉන්දියා’ වගේ පොත් විතරක් නෙවෙයි, අපේ අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් මේ රටේ සල්ලි වියදම් කරලා පළකරපු බෂාම් ගේ ‘අසිරිමත් ඉන්දියාව’ වගේ පොත්, රොමිලා තාපර් වගේ අය ගේ ඉතිහාස පොත් මේ කතාව පතුරුවන්න දායකවුනා. ඊට අමතරව අපේ ම කට්ටියත් මේ වෙනුවෙන් දුක්ගන්නවා.

මෑතක ඉඳලා මහා ‘භාරතය’ වගේ මිථ්‍යා කතාවලට අමතරව ‘ඉන්දියානු සංදර්භයක්’ ඇතුළේ, බ‍්‍රාහ්මණ සංදර්භයක් ඇතුළේ නිෂ්පාදනය කළ සිද්ධාර්ථ කුමාරයා ගේ කතාව, අශෝක අධිරාජ්‍යයා ගේ කතාව පවා සිංහල හඬ කවලා, උප සිරැසි යොදලා අපේ රූපවාහිනී නාලිකාවලින් පෙන්නනවා. මේ හැම කෙනෙක් ම ඉන්දියාව කියන්නේ අලුත් රටක් කියන එක අමතක කරනවා. සිද්ධාර්ථ කුමාරයා ඉපැදුණු ශාක්‍ය දේශයේ බමුණු බලය නො තිබුණු බව අමතක කරනවා. අශෝක අධිරාජ්‍යයා ඉපැදුනු මගධ දේශය තියෙන්නේ ඉන්දියානු උප මහාද්වීපයේ ඊසාන දිගට බර ව කියන එක අමතක කරනවා. ඉන්දියානු උප මහාද්වීපයේ ඊසාන ප‍්‍රදේශයේ සංස්කෘතිය වයඹ ප‍්‍රදේශයේ සංස්කෘතියට වඩා හාත්පසින් ම වෙනස් බව අමතක කරනවා. බැමිණිය කියන්නේ බමුණා ගේ බිරිඳ කියන අර්ථයෙන් වුනාට පරිභ‍්‍රාජිකාවක් කියන්නේ පර්භ‍්‍රාජිකයෙක් ගේ බිරිඳ කියන අර්ථයෙන් නොවන බව අමතක කරනවා. මේ දේවල් විස්තරාත්මක ඉදිරි ලිපියකින් කතාකරන්න පුළුවන්.

මේ මහා බොරුවේ මූලික දේශපාලනික ස්වරූපය හඳුනාගත්ත අපිට දැන් තව ටිකක් ඉදිරියට යන්න පුළුවන්. අපි ඊ ළඟ ලිපියෙන් ‘ඉන්දියාවේ සංස්කෘතිය’ ගැන කතාකරමු.

__________________________________________________________________________________
2016.03.01 දින www.lankaweb.com වෙබ් අඩවියේ පළ වූ මෙම ලිපිය
2019.12.19 දින www.history.lk වෙබ් අඩවියේ පළ විය.
__________________________________________________________________________________

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Latest news

වත්හිමි කතා පුවත ඔස්සේ ලක් ඉතිහාසය දෙස නැවත හැරී බැලීමක්

සමීර ප‍්‍රසංග වත්හිමි කතාව, කළුන්දෑ පුවත, වත්හිමි බණ්ඩාර කතාව යනුවෙන් කුරුණෑගල අවට ජනයා අතර ප‍්‍රචලිත ජනශ‍්‍රැතිගත කතා පුවතක් පිළිබඳ ව...

ජාතික ගීය, වෙල්ලාලයන් හා ඉතිහාසය

නලින් ද සිල්වා සුමන්තිරන් ජාතික ගීය කියන්නෙ නැත්නම් ඒකෙ ප්‍රශ්නයක් නැහැ. ජාතික ගීය සම්පූර්ණයෙන් ම දන්න සිංහලයන්ගෙ ප්‍රතිශතය කීයද කියල...

මහාවංසය බොරු එළාර දෙමළ නොවෙයි 

නලින් ද සිල්වා විග්නේෂ්වරන් ඇත්තක් කියලා. ඔහු කියල මහාවංසය බොරු කියල. මහාවංසයෙ බොරුත් තියෙනව තමයි. ඒත් ඒකෙ වෙනත් කරුණු සමග...

ඇස් මහින්ද හිමි හා ජාතික ව්‍යාපාරය

නලින් ද සිල්වා අප ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියන් නමින් හඳුන්වන්නේ සීකීමයේ උපත ලද මහින්ද හිමියන් ය. උන්වහන්සේ ඉපදෙන කාලයෙහි...

සිංහල බෞද්ධ සංස්කෘතිය

නලින් ද සිල්වා සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට ගොඩනැගීම ඇරඹුණේ අද වැනි පොසොන් පොහෝ දිනක ය. එහෙත් එය යම්කිසි ආකාරයක පරිපූර්ණත්වයකට...

සීගිරිය කුරුටු ගෑම

නලින් ද සිල්වා සීගිරි කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් කුරුටු ගෑ මඩකලපුවේ තරුණියක් ජනාධිපති සමාව යටතේ සිරගත කරන ලද කාලය කෙටිකර...

Must read

වත්හිමි කතා පුවත ඔස්සේ ලක් ඉතිහාසය දෙස නැවත හැරී බැලීමක්

සමීර ප‍්‍රසංග වත්හිමි කතාව, කළුන්දෑ පුවත, වත්හිමි බණ්ඩාර කතාව යනුවෙන්...

ජාතික ගීය, වෙල්ලාලයන් හා ඉතිහාසය

නලින් ද සිල්වා සුමන්තිරන් ජාතික ගීය කියන්නෙ නැත්නම් ඒකෙ ප්‍රශ්නයක්...

You might also likeRELATED
Recommended to you