පෙරදිගට ගමනක්පෙරදිගට ගමනක් : 17. මහා සයිරස්, පණ්ඩුකාභය සහ ඇලෙක්සැන්ඩර්

පෙරදිගට ගමනක් : 17. මහා සයිරස්, පණ්ඩුකාභය සහ ඇලෙක්සැන්ඩර්

-

වරුණ චන්ද්‍රකීර්ති

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

ක්‍රිස්තු පූර්ව 585 ඉඳලා අවුරුදු 35ක් මීදියානු පර්සියන් අධිරාජ්‍යය තිබුණේ අස්ථ්‍යාගස් යටතේ. එක දවසක් ඔහු මහ පුදුමාකාර හීනයක් දැක්කා. ඒ හීනෙන් ඔහු දැක්කේ තමන් ගේ කුඩා දියණිය ගේ – ඒ කියන්නේ මන්දානා කුමරිය ගේ මුත්‍රාවලින් මුළු ආසියාව ම යටවෙනවා. ඒ මහා ගංවතුර ගැන ඔහු නිමිතිකරුවන් ගේ කරුණු විමසුවා. ඒ අය කිව්වේ මන්දානා කුමරියට උපදින දරුවා විසින් ඔහු ගේ අධිරාජ්‍යය අල්ලාගනියි කියලා. ඉතින් අස්ථ්‍යාගස් අධිරාජ්‍යයා ඒක මග අරින්න පුළුවන් උපායක් ගැන හිතුවා. විසඳුමකුත් හොයාගත්තා. ඔහු කළේ යටත් ප්‍රාන්ත රාජ්‍යයක පාලකයෙක්ට – ඒ කියන්නේ පළමුවැනි කම්බුජියා රජතුමාට තම දියණිය විවාහ කරලා දෙන එක. පවුලට බොහො ම ලැදි, ඉතාමත් තැන්පත් පුද්ගලයෙක් විදිහට තමයි පළමුවැනි කම්බුජියා රජතුමා ව පිළිගැනුණේ. ඒ හින්දා තමන්ට අවනත මුණුපුරෙක් හදාගන්න පුළුවන් වෙයි කියලා අස්ථ්‍යාගස් හිතුවා.

ඒ විවාහයෙන් ටික කාලයකට පස්සේ – හරියට ම කියනවා නම් ක්‍රිස්තු පූර්ව 577 අවුරුද්දේ දී විතර අස්ථ්‍යාගස් අධිරාජ්‍යයා තවත් පුදුමාකාර හීනයක් දැක්කා. ඒ වෙනකොට මන්දානා කුමරිය ගැබිනියක්. ඒ හීනෙන් අස්ථ්‍යාගස් දැක්කේ තමන් ගේ දියණිය ගේ කුසයෙන් පැන නැගිච්ච මිදි වැලක් මුළු ලෝකය ම වෙලාගෙන පැතිරෙන බවක්. අස්ථ්‍යාගස් ආයෙත් වතාවක් නිමිතිකරුවන්ගෙන් කරුණු ඇහුවා. කලින් දැනගත්ත අනාවැකිය ම ආයෙත් කියැවුනා. ඒ විතරක් නෙවෙයි. මේ වතාවේ නිමිතිකරුවෝ කිව්වා ඒ විදිහට උපදින කුමාරයා මහා අධිරාජ්‍යයක් ගොඩනගයි කියලා. අස්ථ්‍යාගස් බයෙන් තැතිගත්තා. ක්‍රිස්තු පූර්ව 576 අවුරුද්දේ ඒ දරුවා මේ ලොකේ එළිය දැක්කා. රාජ සභාවේ හිටිය තමන්ට බොහො ම අවනත සෙනෙවියාට – ඒ කියන්නේ අර්බාකු සෙනෙවියාට අස්ථ්‍යාගස් කිව්වා ඒ දරුවා ව මරලා දාන්න කියලා. ඒත් ඒ විදිහට කිරි සප්පයකු ගේ ලේ හලන්න අර්බාකු කැමැතිවුනේ නෑ. ඔහු ඒ දරුවා ව පැහැරගෙන ගිහිල්ලා මිත්‍රදේතස් කියන ගොපල්ලා ගේ ගෙදර හැංගුවා. ඒ දරුවා ගොපල්ලන් අතර හැදී වැඩුනා.

ඒ දරුවා ගේ නම තමයි සයිරස්. ඒ නමේ තේරුම සූර්යයා වගේ කියන එක. මේ හිරු සදිසි කුමාරයා තරුණ වියට එළැඹෙද්දි බොහොම සටන්කාමී, එඩිතර අයකු බවට පත්වුනා. අස්ථ්‍යාගස් අධිරාජ්‍යයා තමන් ගේ මුණුබුරා ගේ හමුදාවට මුහුණුදුන්නේ පාසාර්ගාද්වල දී. අර්බාකු සෙනෙවියා පවා සයිරස්ට එකතුවුනා. ඉතින් අස්ථ්‍යාගස්ට බලය අහිමිවුනා. එතකොට සයිරස් ගේ වයස අවුරුදු 26යි. ඔහු එතැනින් නැවතුනේ නෑ. ඔහු ගේ බලය තව තවත් දේශ දේශාන්තරවලට පැතිරිලා ගියා. නිරිතදිග ආසියාවට, මධ්‍යම ආසියාවට විතරක් නෙවෙයි ඉන්දු නිම්නය දක්වා ම ඔහු ගේ බලය පැතිරුනා. ඉතින් ඔහුව දැනටත් හඳුන්වන්නේ මහා සයිරස් අධිරාජ්‍යයා කියලා. ඔහු ගොඩනගපු ආකයිමනිද් අධිරාජ්‍යය තමයි ඒ වෙද්දි ලෝකයේ වැඩි ම බිමක් පාලනය කරපු තනි පාලනය. තමන් ගේ සීයා ගේ මීදියාවට අමතර ව ලිදියාව, බැබිලෝනියාව පවා සයිරස් ගේ අධිරාජ්‍යයේ කේන්ද්‍රීය ප්‍රදේශ බවට පත්වුනා. යුදෙව්වෝ පවා ඔහුට ගරු කළා. බයිබලයටත් ඔහු ගේ නම ඇතුල්කළා. තමන් ගේ ගැලවුම්කාරයෙක් විදිහට යුදෙව්වෝ හඳුනාගත්ත එක ම යුදෙව් නොවන පුද්ගලයා තමයි සයිරස්.

සයිරස් ගේ බලයේ ආනුභාවයෙන් පර්සියානු බලය පැතිරෙමින් තිබුණු බව පැහැදිළියි. ඉතින් ක්‍රිස්තු පූර්ව 543 අවුරද්දේ විජයාගමනය වෙද්දී අපේ රටට යම් ආකාරයක පර්සියානු සංක්‍රමණයක් වෙලා තිබීම පුදුමයට කාරණයක් නෙවෙයි. මොකද ක්‍රිස්තු පූර්ව 559 දී වැවෙන්න පටන්ගත්ත සයිරස් ගේ මිදිවැල ඒ වෙද්දී තව තව රාජ්‍යයන් වෙලාගනිමින් පැතිරෙමින් තිබුණේ. පර්සියානුවෝ කියන්නේ මුහුදේ පවා හපන්කම් පෙන්නපු ජාතියක්. ඉතින් සයිරස් අධිරාජ්‍යා ගේ කාලය වෙනකොට පර්සියානු සංක්‍රමණිකයෝ අරාබි මුහුද හරහා අපේ රටට ආවා කියන එක කිසිම පදනමක් නැති අනුමානයක් කියලා කියන්න බෑ. කලින් ලිපියෙන් කියපු විදිහට ඒ අය අපේ රටට ඇතුල්වෙන්න ඇත්තේ බටහිර පැත්තෙන්. මොකද අරාබි මුහුද තියෙන්නේ ඒ පැත්තෙනේ. ඉතින් දැදුරු ඔයට උතුරින්, මල්වතු ඔයට දකුණින් පදිංචිවෙන්න ඒ අය උත්සාහකිරීම තේරුම්ගන්න පුළුවන්.

නාගයන් සහ ශාක්‍යයන් අපේ රටට ආවේ ඉන්දියානු උපමහාද්වීපයේ ඊසානදිග පැත්තෙන්. ඒත් පර්සියාව තියෙන්නේ ඉන්දියානු උපමහාද්වීපයේ වයඹදිගටත් ඔබ්බෙන්. ඒ කියන්නේ පර්සියානුවෝ හැදුනු වැඩුණු සංස්කෘතික ලෝකයට හාත්පසින් ම වෙනස් සංස්කෘතික ලෝකයක තමයි නාගයෝ සහ ශාක්‍යයෝ හැදිලා වැඩිලා තියෙන්නේ. ඉතින් එකිනෙකට වෙනස් සංස්කෘතික ලෝක දෙකකින් ආපු පිරිස් අතර නොගැලපීම් ඇතිවෙන එක පුදුමයක් නෙවෙයි. මේ නොගැලපීම් මුල්කරගෙන ඇතිවුනා කියලා හිතන්න පුළුවන් සංස්කෘතික ගැටුම් යුද්ධ බවටත් පෙරලෙන්න ඇති. නාග-ශාක්‍ය එකතුවට විජයාගමනය නිසා යුද නායකත්වයක් ලැබුණා. ඒ ගැටුමේ මුල් වටයෙන් විජය ගේ නායකත්වය වටා පෙළගැසුණු පිරිස් ජයගත්තා. පර්සියානුවෝ පසු බැස්සා.

රාජ්‍යත්වය තමන් ගේ ම කෙනෙක්ට උරුමකරලා දෙන්න විජයට බැරිවුනා. පඬුවස්දෙව් ඇතුළු පිරිස එන්නේ ඒ අඩුව මකන්න. ඒත් ඔහුගෙන් පස්සේ ආයෙත් අස්ථාවර කාලයක් ආවා. රජගෙදර ඇතුළේ පවා ගැටුම් ඇතිවෙන්න පටන්ගත්තා. පණ්ඩුකාභය කියන්නේ දීඝගාමිණී කියන ශාක්‍යයා ගේ පුතා. පණ්ඩුකාභය කුමාරයා ගේ කතාව සයිරස් ගේ කතාවට බොහෝ දුරට සමානයි. උන්මාද චිත්‍රාවට උපදින දරුවා තමන් ගේ මාමාලා මරලා රජවෙන බවට අනාවැකි පළවුනා. ඒත් ඔහුට රජකම දෙන්න ඒ මාමාලා කැමැතිවුනේ නෑ. ඉතින් ඉපැදුනු ගමන් ව ඔහු ව මාළිගයෙන් පිටමං කෙරුණා. ඔහු හැදී වැඩුණේ යක්‍ෂයන් අතර. යක්‍ෂයන් ගේ – ඒ කියන්නේ මුල් වටයේ ගැටුමෙන් පහුබැහැලා හිටිය පර්සියානු සංක්‍රමණිකයන් ගේ උදව් ලබාගත්ත ඔහු විජය ගේ උරුමක්කාරයන්ට එරෙහි ව සටන්වැදුණා. ඒ සටනින් ඔහු ජයගත්තා.

ග්‍රීක සහ ඊජිප්තු කැරැලි හා යුද්ධ හින්දා ආකයිමනිද් අධිරාජ්‍යය යම් තරමකින් හෙම්බත්වෙලා හිටියත් පණ්ඩුකාභය බලයට එන කාලය වෙද්දි පවා බටහිර ආසියාවේ ආධිපත්‍යයට හිමිකම් කිව්වේ පර්සියානුවෝ. ඒ විතරක් නෙවෙයි. නැගෙනහිර පැත්තෙන් – ඒ කියන්නේ ඉන්දු නිම්නය පැත්තෙන් ඔවුන් ගේ අධිරාජ්‍යයට අභියෝගයක් එල්ලවුනු බවක් වාර්තාවෙන්නෙත් නෑ. ඇත්තෙන් ම ක්‍රිස්තු පූර්ව 475 ඉඳලා 375 දක්වා ගතවුනු අවුරුදු 100 සළකන්නේ පර්සියානු ආකයිමනිද් අධිරාජ්‍යය තව තවත් ව්‍යාප්තවුනු, සංස්කෘතික වශයෙන් බලවත් ව හිටිය යුගයක් විදිහට. පණ්ඩුකාභය කුමාරයා ඉපැදිලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 474 දී විතර. රජවුනේ ක්‍රිස්තු පූර්ව 437 දී. ඒ හින්දා පණ්ඩුකාභයට පර්සියානු සංක්‍රමණිකයන් ගේ සහයෝගය හිමිවීම තේරුම්ගන්න පුළුවන්.

බලයට ආවට පස්සේ පණ්ඩුකාභය තමන්ට උදව්කරපු පර්සියානු සංක්‍රමණිකයන්ට – ඒ කියන්නේ යක්කුන්ට සැළකුවා. චිත්‍රරාජ කියන යක්‍ෂයාත් එක්ක සම අසුනක ඉඳගෙන නැකැත් කෙළි දවසේ නැටුම් බලන්නත් ඔහු කටයුතු කළා. කාලවේල යක්‍ෂයා වෙනුවෙන් දෙවොලකුත් (මාළිගාවක්?) ඉදිකළා. චිත්‍රරාජයාට අභයවැව යටපැත්තේ වාසස්ථානයක් හදලාදුන්නා. තමන්ට උදව්කළ ‘යක්‍ෂ යෝනියෙහි උපන්’ දාසියට අනුරාධපුරයේ දකුණු දොර අසළ වාසස්ථානයක් දුන්නා. වළාවාමුඛ යකින්නියට රජ උයන ඇතුළේ ම නවාතැන්දුන්නා. එයට අමතර ව කාළවේළත්, චිත්‍රරාජත් එක්ක පණ්ඩුකාභය රජතුමා සම්පත් අනුභව කළ බවත් කියනවා. ඉතින් මේ සම්බන්ධය නිසා පර්සියානු සංක්‍රමණිකයන් ගේ බලය නැවත වතාවක් ඉස ඔසවපු බවක් හිතන්න පුළුවන්.

තාපසයන්, නිඝණ්ඨයන්, පාෂාණ්ඩයන්, ශ්‍රමණයන්, බමුණන්, මිථ්‍යා දෘෂ්ටිකයන්, පරිබ්‍රාජකයන්, ආජිවකයන් වෙනුවෙන් අසපු, ආරාම, දෙවොල්, ගෙවල්, ශාලා හදලා දෙන්නත් පණ්ඩුකාභය රජතුමා කටයුතුකරලා තියෙනවා. උපතින් ශාක්‍ය සම්බන්ධයක් තිබුණත් එතුමා බුදුදහම වෙනුවෙන් යමක් කළ බවක් අපේ වංශකතාවල කොතැනකවත් සඳහන් වෙලා නෑ. ඒ විතරක් නෙවෙයි. නාගයන් එක්ක සම්බන්ධකම් පවත්වපු බවක් කියන්නෙත් නෑ. පණ්ඩුකාභයාභිෂේක කතාව හැරෙන්නට එතුමා කළ වෙනත් කිසිම දෙයක් ගැන කිසිම සඳහනක් කරන්නෙත් නෑ. ඒත් එතුමා අවුරුදු 70ක් ම අපේ රට පාලනය කරපු බව කියනවා. ඇත්තෙන් ම අපේ ඉතිහාසයේ අපැහැදිළි කාලවකවානුවක් විදිහට සළකන්න පුළුවන් පණ්ඩුකාභය රාජාභිෂේකයේ ඉඳලා ඔහු ගේ පුතා විදිහට වංශකතා කියන මුටසීව රජු ගේ මරණය දක්වා ගතවුනු අවුරුදු 130. මහමෙව්නා උයන ඉදිකිරීම ගැන හැරෙන්න මුටසීව රජු කළා කියන වෙනත් කිසි ම දෙයක් අපේ වංශකතාවල සඳහන්කරලා නෑ. ඒත් ඔහු අවුරුදු 60ක් රට පාලනය කළ බවක් කියනවා.

මෙහෙම වුනේ ඇයි? පණ්ඩුකාභයගේත් මුටසීවගේත් මිථ්‍යාදෘෂ්ටික ආශ්‍රය මේ කාරණයට හේතුවුන බවට සැකයක් නෑ. බුදුදහම ගැන හාංකවිසියක්වත් නොදැන හිටිය පර්සියානුවන් එක්ක විතරක් නෙවෙයි බුදුදහමට එරෙහි වුනු බමුණන්, නිඝණ්ඨයන්, පාෂාණ්ඩයන් එක්ක පවා පණ්ඩුකාභය රජතුමා හොඳයිකම් පවත්වලා තියෙනවා. මුටසීව රජතුමාටත් ඒ ආභාෂය ලැබෙන්න ඇති. ඉතින් ඒ රජවරු දෙන්නා කරපු කියපු දේවල් ගැන වාර්තාකරන්න ඕනකමක් අපේ වංශකතාකරුවෝ ළඟ තියෙන්න නැතුව ඇති. මහින්දාගමනය සම්බන්ධ කතාවේ දී පවා අපේ වංශකතා කියන්නේ මුටසීව රජ මහළු” හින්දා ඔහු ගේ පුත්‍රයා – ඒ කියන්නේ දේවානම්පියතිස්ස රජ වන තරු ඒ ගමන කල් දැම්මා කියලා. ඒත් මේ රටේ තිබුණු මිථ්‍යාදෘෂ්ටික බලය බිඳවැටෙන කල් ඒ ගමන කල්දැම්මා කියලා හිතන්න පුළුවන්.

පණ්ඩුකාභය, මුටසීව කාලයේ දී තිබුණු මිථ්‍යාදෘෂ්ටික බලය දේවානම්පියතිස්ස කාලය වෙද්දී බිඳවැටුණා කියලා කියන්නේ කොහොම ද? ක්‍රිස්තු වර්ෂ 375න් අවුරුදු 40ක් 45ක් ඇතුළත පර්සියානු ආකයිමනිද් අධිරාජ්‍යය පිරිහිලා, බිඳවැටුණා. මහා ඇලෙක්සැන්ඩර් පර්සියාව ආක්‍රමණය කළේ ක්‍රිස්තු පූර්ව 334 දී.  අපි දන්නවා එයින් අවුරුදු 8ක් ගතවෙද්දී ඇලෙක්සැන්ඩර් ඉන්දු නිම්නයටත් පහරදුන්න බව. වයස අවුරුදු 32 දී – ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 323 දී ඇලෙක්සැන්ඩර් මියගියත් පර්සියාවේත් ඉන්දියානු උපමහාද්වීපයේ උතුරු ප්‍රදේශවල යවන (ග්‍රීක) බලය තවත් කාලයක් ඒ විදිහට ම රැකුනා. ආයෙත් වතාවක් පර්සියානුවන්ට ඔළුව උස්සන්න පුළුවන් වුනේ ක්‍රිස්තු පූර්ව 247 දී පාර්තියානු අධිරාජ්‍යය පිහිටුවාගත්තාට පස්සේ. පර්තියානු අධිරාජ්‍ය පාලනයේ නිල භාෂාව විදිහට පවා සැළකුණේ ග්‍රීක. මහා ඇලෙක්සැන්ඩර් විසින් ඇති කරපු බලපෑමේ තරම ඒ කාරණයෙන් පවා පැහැදිළි කරගන්න පුළුවන්.

කොහොම වුනත් ඒ වෙද්දී අශෝක මගධය කේන්ද්‍ර කරගෙන තමන් ගේ අධිරාජ්‍යය ගොඩනගලා අවසන්. මුළුමහත් බටහිර ආසියාව ම ග්‍රීක බලයට යටත් වූ නිසා පර්සියානුවොත් එක්ක අපේ තිබුණු සබඳතා අත හැරෙන්න ඇති. ඊට අමතර ව අශෝක ගේ සංග්‍රාමවලින් පීඩාවට ලක්වුනු කාලිංග ජනයා පවා මේ රටට පළා එන්න ඇති. මේ තත්ත්වය පර්සියානු සංක්‍රමණිකයන් ගේ අධිකාර බලය පිරිහීමට හේතුවක්. දේවානම්පියතිස්ස රජතුමා අශෝක අධිරාජ්‍යයා සමඟ මිත්‍රත්වයක් ගොඩනගාගෙන හිටිය බව අපේ වංශකතා කියනවා. තවත් වැදගත් කාරණයක් අමතකකරන්න හොඳ නෑ. ඒ තමයි සංස්කෘතික වෙනස්කම්. යක්‍ෂයන් අතර හැදිලා වැඩිලා ඒ සංස්කෘතිය උරුම කරගත්තේ පණ්ඩුකාභය රජතුමා. ඒත් ඒ උරුමය එක පරම්පරාවකට දෙකකට වඩා ඉස්සරහට ගෙනියන්න පුළුවන්කමක් නෑ. ඒ නිසා සංස්කෘතික සමානකම් උඩ විජය ගේ උරුමක්කාරයෝ එක්ක ශාක්‍ය – නාග එකතුවක් ආයෙත් ඇතිවෙන එක පුදුමයට කාරණයක් නෙවෙයි. ඒ වගේ හවුලක් ඇති වෙද්දි, පර්සියාවෙනුත් උදව්වක් ලබාගන්න බැරි ව හිටිය යක්‍ෂ ජනතාව පැත්තකට තල්ලුවුනා කියලා හිතන්න පුළුවන්.

ඒ අය ආයෙත් ඔළුව ඉස්සුවේ පාර්තියානු අධිරාජ්‍යය පර්සියාවේ ඇතිවුනාට පස්සේ. ඒ අධිරාජ්‍යය බිහිවුනේ ක්‍රිස්තු පූර්ව 247 දී. ඊට අවුරුදු 10කට පස්සේ අශ්ව වෙළෙඳාමේ මේ රටට ආපු සේන සහ ගුත්තික දෙන්නා සූරතිස්ස රජතුමා ව ඝාතනය කරලා අනුරාධපුරයේ බලය අල්ලාගත්තා. රට ඇතුළෙන් උදව්වක් නැති ව ඒ වගේ දෙයක් කරන්න බෑ. අවුරුදු 22ක් ම තමන් ගේ බලය රැකගන්න ඒ දෙන්නාට පුළුවන් වෙන්න ඇත්තෙත් ඒ හින්දා. අසේල රජතුමා ඒ පාලනය අවසන් කළත් ඔහුට රට පාලනය කරන්න පුළුවන් වුනේ අවුරුදු 10ක් විතරයි. ඊ ළඟට ආවේ එළාර. ඔහු ගේ පර්සියානු සම්බන්ධය මෙයට පෙර ලිපියෙන් විස්තර කළා. ගැමුණු මහ රජතුමා අපේ රටේ මහා වීරයා විදිහට සළකන්නේ මේ පර්සියානු ආක්‍රමණ මුළුමනින් ම අවසන් කළ තැනැත්තා වීම නිසා බව පැහැදිළියි. ඒ මහා යුද්ධය නිසා රට ඇතුළේ තිබුණු පර්සියානු බලයත් තීරණාත්මක විදිහට අඩුවෙන්න ඇති.

සේන හා ගුත්තිකත් එළාරත් දෙමළ විදිහට හඳුන්වන්න අපේ වංශකතා කටයුතු කරන්නේ පසුකාලීන අවශ්‍යතාවක් හින්දා. දෙවැනි රාජසිංහ රජතුමා සෙංකඩගල පටං පේරාදෙනිය ද ගන්නොරුව දක්වා සිටිය ප්‍රතිකාල් සේනාව වනසා දැමූවාහා. එදා කොට හෙළු දෙමළුන්ගෙ ලේ මාවැලි ග‍ඟෙ ආ හෙයින් ලේවැල්ල යයි නම් තැවූහ” කියා රාජාවලිය කියන්නේත් ඒ සම්ප්‍රදායට අනුගමනය කරමින්.

__________________________________________________________________________________
2016.06.06 දින www.lankaweb.com වෙබ් අඩවියේ පළ වූ මෙම ලිපිය
2019.12.19 දින www.history.lk වෙබ් අඩවියේ පළ විය.
__________________________________________________________________________________

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Latest news

වත්හිමි කතා පුවත ඔස්සේ ලක් ඉතිහාසය දෙස නැවත හැරී බැලීමක්

සමීර ප‍්‍රසංග වත්හිමි කතාව, කළුන්දෑ පුවත, වත්හිමි බණ්ඩාර කතාව යනුවෙන් කුරුණෑගල අවට ජනයා අතර ප‍්‍රචලිත ජනශ‍්‍රැතිගත කතා පුවතක් පිළිබඳ ව...

ජාතික ගීය, වෙල්ලාලයන් හා ඉතිහාසය

නලින් ද සිල්වා සුමන්තිරන් ජාතික ගීය කියන්නෙ නැත්නම් ඒකෙ ප්‍රශ්නයක් නැහැ. ජාතික ගීය සම්පූර්ණයෙන් ම දන්න සිංහලයන්ගෙ ප්‍රතිශතය කීයද කියල...

මහාවංසය බොරු එළාර දෙමළ නොවෙයි 

නලින් ද සිල්වා විග්නේෂ්වරන් ඇත්තක් කියලා. ඔහු කියල මහාවංසය බොරු කියල. මහාවංසයෙ බොරුත් තියෙනව තමයි. ඒත් ඒකෙ වෙනත් කරුණු සමග...

ඇස් මහින්ද හිමි හා ජාතික ව්‍යාපාරය

නලින් ද සිල්වා අප ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියන් නමින් හඳුන්වන්නේ සීකීමයේ උපත ලද මහින්ද හිමියන් ය. උන්වහන්සේ ඉපදෙන කාලයෙහි...

සිංහල බෞද්ධ සංස්කෘතිය

නලින් ද සිල්වා සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට ගොඩනැගීම ඇරඹුණේ අද වැනි පොසොන් පොහෝ දිනක ය. එහෙත් එය යම්කිසි ආකාරයක පරිපූර්ණත්වයකට...

සීගිරිය කුරුටු ගෑම

නලින් ද සිල්වා සීගිරි කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් කුරුටු ගෑ මඩකලපුවේ තරුණියක් ජනාධිපති සමාව යටතේ සිරගත කරන ලද කාලය කෙටිකර...

Must read

වත්හිමි කතා පුවත ඔස්සේ ලක් ඉතිහාසය දෙස නැවත හැරී බැලීමක්

සමීර ප‍්‍රසංග වත්හිමි කතාව, කළුන්දෑ පුවත, වත්හිමි බණ්ඩාර කතාව යනුවෙන්...

ජාතික ගීය, වෙල්ලාලයන් හා ඉතිහාසය

නලින් ද සිල්වා සුමන්තිරන් ජාතික ගීය කියන්නෙ නැත්නම් ඒකෙ ප්‍රශ්නයක්...

You might also likeRELATED
Recommended to you