පෙරදිගට ගමනක් පෙරදිගට ගමනක් : 13. බමුණන් ගැනත් හිතන්න

පෙරදිගට ගමනක් : 13. බමුණන් ගැනත් හිතන්න

-

වරුණ චන්ද්‍රකීර්ති

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

පෙරදිගට ගමනක් යෑමේ තීරණයට අදාළ ව මේ දක්වා ලියූ දේ සම්බන්ධයෙන් යම් යම් ආකාරයේ ප්‍රතිචාර පාඨකයන්ගෙන් ලැබිලා තියෙනවා. ඉදිරි ගමනේ පහසුව වෙනුවෙන් ඒ අදහස් ගැන යමක් කීම ප්‍රයෝජනවත් කියලා හිතෙනවා. කොහොම වුනත් ඒ අදහස් පළකරපු අයත් එක්ක වාදයකට පැටලෙන්න ඕනකමක් මේ ලේඛකයාට නෑ. මේ රටේ කොච්චරක් නම් වාද විවාද සිද්ධවෙනවා ද? කරුණු කාරණා උඩ වාද විවාද කරන එකේ වැරැද්දක් නෑ. ඒත් වාද විවාදවලට කාලය වැයකරනවාට වඩා මේ ගමනේ දී ලබාගත් අත්දැකීම් පාඨකයන් එක්ක බෙදා හදාගැනීම වැදගත් කියලා හිතෙනවා. ඒ හින්දා මේ දක්වා ඉස්මතු වෙලා තියෙන කරුණක් දෙකක් ගැන විතරක් යමක් කියන්නම්.

ඉන්දියාව කියන රට ගැන, ඒ අලුත් රටෙන් අපේ නෑදෑයෝ – ඒ කියන්නේ අපේ සංස්කෘතික නෑදෑයෝ, හොයාගන්න පුළුවන්කමක් නෑ කියලා කියපු කාරණේ ගැන විවේචනයක් එල්ලවෙලා නෑ. අපේ බහුතරයක් අතර කොහොමත් මේ ඉන්දියාව කියන රට ගැන වැඩි පැහැදීමක් නෑ. එක්තරා ආකාරයක ‘ඉන්දියානු විරෝධයක්’ අපේ මස් – නහර – ඇට – ඇටමිදුළු තුළට පවා කා වැදිලා තියෙනවා. අවුරුදු දාහක් විතර කාලයක් තිස්සේ ගස්නියේ මොහොමඩ්, දිල්ලි සුල්තාන් සහ මූගල් පාලන කාලවල දී නොකඩවා ඉන්දියානු උපමහාද්වීපයට ලැබුණු සංස්කෘතික දායාද අපට උරුමකරලා දෙන්න කොහොමත් අමාරුයි. මොකද මේ ලිපිපෙළින් පැහැදිළි කරපු විදිහට අපේ සංස්කෘතියේ හැඩ රුව ඊට වඩා හුඟක් වෙනස්.

මේ ලේඛකයා හිතන්නේ අපේ සංස්කෘතිය බෞද්ධ සමාජවල ඇවතුම් පැවතුම් එක්ක සසඳා බැලිය යුතුයි කියලා. ඒ වැඩේට අදාළ මූලික නිරීක්‍ෂණයක් මේ ලිපි පෙළෙන් ඉදිරිපත්කළා. මේ සිංහල අපි හැරුණම පාරම්පරික ව බෞද්ධ වෙලා තියෙන්නේ කහ මිනිස්සු කියන එක තමයි ඒ කාරණය. මේක හිතලුවක් නෙවෙයි. අපි හැමෝ ම වගේ දන්නවා පාරම්පරික ව බෞද්ධයන් වෙච්ච අය ජීවත්වෙන රටවල්. අපේ රට හැරුණ ම භූතානය, මියන්මාරය, තායිලන්තය, කාම්බෝජය, ලාඕසය, වියට්නාමය, කොරියාව, ජපානය, චීනය හා මොංගෝලියාව කියන රටවල තමයි පාරම්පරික ව බෞද්ධ වෙච්ච අය ජීවත්වෙන්නේ. මේ, ඕනෑ ම කෙනකුට හොයලා බලන්න පුළුවන් ඉතාමත් සරල කාරණයක්. ඒත් මේ නිරීක්‍ෂණය හිතළුවක් කියලා කියපු පාඨකයකු ගැනත් දැනගන්න ලැබුණා. මෙහෙම කියන්නේ ඇයි කියලා හිතාගන්න අමාරුයි. කොහොම වුනත් මේ වගේ මූලික කාරණයක් ගැන නැවත නැවතත් විස්තරකරන්න උවමනා නෑ. මේ පෙරදිගට යන ගමනේ දී කහ මිනිස්සු ජීවත්වෙන සමාජවල තියෙන බුද්ධාගම ගැන විස්තරකරන්න වෙනවානේ. ඒ හින්දා ඒ ගැන වැඩි විස්තර පස්සේ කතාකරමු.

බුද්ධෝත්පාදය සිදුවුනේ මේ අපේ රටේ කියලා විශ්වාසකරන සමහර අයත් මේ ලිපිපෙළේ ඇතැම් නිරීක්‍ෂණ පිළිගන්න අදිමදිකරලා තියෙනවා. ඇත්තෙන් ම බුද්ධෝත්පාදය ගැන මෑතක දී ඉස්මතුවෙලා තියෙන මේ අදහස පිළිගන්නේ කොහොම ද?

ඇතැම් අය මේ අදහස ඉදිරිපත්කරන්නේ කාලය, ද්වීපය, දේශය, කුලය, මව කියන කාරණා පහේ ද්වීපය කියන එකත් ජම්බුද්වීපය කියන නමේ අන්තර්ගත ද්වීපය කියන එකත් සළකලා. ද්වීපය කියන වචනයෙන් දූපත කියන අර්ථය ප්‍රකාශ කෙරෙන බව ඇත්ත. හැබැයි ඒ අදහස වලංගුවෙන්නේ කුඩා ද්වීපවලට. මොකද මහාද්වීප කියලා හඳුන්වන භූමි පවා තියෙනවානේ. ඒ හින්දා ද්වීපය කියලා කියන්නේ දූපතක් කියන එක විතරක් කියලා ගත්තොත් ඒක වැරැදියි. ද්වීප කියන වචනයෙන් මහාද්වීප, අර්ධ මහාද්වීප, දූපත්, අර්ධද්වීප වගේ භූමි ප්‍රදේශ සෑහෙන ප්‍රමාණයක් ප්‍රකාශ කෙරෙනවා. ඉතින් කාලය, ද්වීපය, දේශය, කුලය, මව කියන කාරණා පහේ ද්වීපය කියන්නේ, ඒ වගේ ම ජම්බුද්වීපය කියන එකේ ද්වීපය කියන්නේ දූපතක් කියලා සැළකිය යුතු නෑ.

මේ විදිහට ද්වීපය කියලා කියන්නේ අපේ ලංකාව නම් – ඇත්තෙන් ම ලංකා කියන වචනයේ තේරුම නම් දූපත කියන එක; අපේ ලංකාවේ බුදුන් උපන් දේශය තිබුණේ කොහෙද? මොකද පස් මහ බැලුම් ගැන කියන තැන ද්වීපයක තියෙන දේශයක් (රටක්) ගැනත් කියනවානේ. ද්වීපය විදිහට ජම්බුද්වීපය සැළකුවොත් දේශය වෙන්නේ මගධ, කෝසල රාජ්‍යයන්ට උතුරින් පිහිටි කිඹුල්වත්නුවර මුල්කරගත්ත ශාක්‍යදේශය. අපේ පුංචි රට ඇතුලේ දේශ ගොඩක් තිබුණා කියලා හිතන්න අමාරුයි.

අනිත් කාරණය තමයි ජම්බුද්වීප කියන නමේ ජම්බු කියලා කියන්නේ අද අපි මේ ජම්බු කියලා කියන පළතුරට නෙවෙයි. දඹ කියන පළතුරට. ඒ කියන්නේ අපි මාදං කියලා කියන පළතුරට. මාදං ගස් හැදෙන්නේ අපේ රටේ විතරක් නෙවෙයි. මේ ගස ඉන්දියානු උපමහාද්වීපයේ බොහෝ ප්‍රදේශවල – උතුරෙන් ම පිහිටි නේපාලයේ පවා දකින්න තියෙනවා. ඒ විතරක් නෙවෙයි, මැලේසියාව, ඉන්දුනීසියාව, පිලිපීනය වගේ රටවලත් හැදෙනවා. ඒත් තවත් සමහරු ලංකාවට පමණක් ආවේනික, දැනට වඳවීමේ තර්ජනයට ලක් වී ඇති, ස්වභාවික සම්පත් සංරක්ෂණය පිලිබඳ ජාත්‍යන්තර සංගමය විසින් රතු දත්ත ලැයිස්තුවට පවා ඇතුළත් කර ඇති දඹ කුලයට අයත් ශාකයක් ගැන කියනවා. ඒ, අපේ රටේ පැතිරිලා තියෙන, අපි කවුරුත් දන්න මදං ශාකය නෙවෙයි. ඒ ශාකය හඳුනාගෙන තියෙන්නේ මෑතක දී කරපු ශාක පිළිබඳ අධ්‍යයනයක දී. ඒ ගහත් ඉතින් ඉස්සර ඉඳලා තියෙන්න ඕන බව ඇත්ත. හදිසියේ අහසින් කඩා වැටුණා නෙවෙයිනේ. ඒත් ඒ දුර්ලභ ශාකය තමයි මේ කතාවට අදාළ මාදං කියලා කියන්න සෑහෙන්න කෙස් පැළෙන තර්ක ඉදිරිපත්කරන්න වෙයි. ඒ, ඒ දඹ ගස හැර වෙනත් දඹ ගස් තියෙන හින්දා.

වැදගත් ම කාරණේ තමයි බුද්ධෝත්පාද භූමිය හඳුනාගන්න ඕන ත්‍රිපිටකයේ හරි අනෙකුත් බෞද්ධ ග්‍රන්ථවල හරි දඹ ගස් ගැන ලියලා තියෙනවා ද කියලා හොයන එකෙන් නෙවෙයි කියන එක. ඒ හා සම්බන්ධ සමාජ, සංස්කෘතික කාරණා ගැන හොයලා බලන එක තමයි වඩාත් ම සුදුසු. බුදුදහම තුළ බොහෝ අදහස් පළ කෙරිලා තියෙන්නේ බ්‍රාහ්මණ සංකල්ප, අදහස්, පිළිගැනීම් එක්ක ගැටෙන විදිහට. ඒ බමුණු අදහස්වලට එරෙහිව. මේ විවේචනයට පදනම්වුනු සමාජ පරිසරය සැකසිය යුත්තේ බ්‍රාහ්මණ බලය තහවුරුවුනු, එහෙම නැතිනම් බ්‍රාහ්මණ බලය ඉස ඔසවමින් තිබුණු භූමියකයි. බොහෝ සූත්‍ර පවා බමුණන් හා ඔවුන් ගේ චර්යාවන් අරමුණු කරගෙන දේශනා කෙරිලා තියෙනවා. ධම්මපදයේ බ්‍රාහ්මණ වර්ගයක් පවා තිබෙනවා. බුද්ධ කාලයේ බලවත් ව සිටි භාරද්වාජ වගේ බමුණු ගෝත්‍ර පසු කාලවල දී පවා සමාජයේ බලවත් ව හිටියා. පසු කාලයක මෞර්ය බලය අවසන්කරලා සුංගා අධිරාජ්‍යය පිහිටුවපු පුෂ්‍යමිත්‍ර සුංගා පිය පාර්ශ්වයෙන් අයිතිවෙන්නේ මේ කියපු භාරද්වාජ ගෝත්‍රයට. ඉතින් බුද්ධෝත්පාද භූමිය ගැන තීරණයකරද්දී අපිට බමුණන් ගැනත් හිතන්න වෙනවා.

අතරින් පතර බමුණෙක් දෙන්නෙක් ගැන වංශකතාවල සඳහන් වුනාට අපේ රටේ මේ විදිහේ බමුණු බලයක්, ඒ බලයට මුල් තැනැක් දුන් සමාජ ක්‍රමයක් තිබුණු බවක් කියන්න බෑ. ඒ විදිහේ සමාජ වටපිටාවක් නැතිව බුදුදහමට බමුණු මත විවේචනයක් අන්තර්ගතවුනු ආකාරය තේරුම්කරන්නේ කොහොම ද?

පණ්ඩුකාභය මහ රජතුමා අනුරාධපුරයේ බලයට ආවේ බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 106ක් විතර සුළු කාලයක් ගතවුනාට පස්සේ. බුද්ධොත්පත්තිය අපේ රටේ සිදුවුනා නම් ඒ මහා සිදුවීම මේ වගේ මහා රජවරු නොදන්නා දෙයක් වුනා කියලා හිතන්න අමාරුයි. බුද්ධ පරිනිර්වාණය වගේ මහා සිදුවීමක් එක්ක සළකන විට අවුරුදු 100 කියන්නේ එච්චර දීර්ඝ කාලයක් නෙවෙයි. මේ රටේ තිබුණු බුදුදහම මගධයට ගෙන ගොස් අශෝක ප්‍රමුඛ අයට උවමනා විදිහට අර්ථදක්වා ආපහු එව්වා නම්, ඒ දේවල් ඒ විදිහට වෙන කල් අපේ අය කළේ මොකක්ද? අපි නිකම් උඩ බලාගෙන හිටියා ද? අපි ඒ තරම් ම දුර්වල ජාතියක් ද? සිංහල අපි අපේ මහා නරේශ්වරයාණන් විදිහට සළකන ගැමුණු මහරජතුමා බලයට එන කොට බුද්ධ පරිනිර්වාණය සිදුවෙලා අවුරුදු 375ක් ගතවුනා විතරයි. ඒ වෙනකොට තුන්වැනි ධර්ම සංඝායනාව පවත්වලා අවුරුදු 90 කට වැඩි නෑ. ඒ අවුරුදු 90න් අවුරුදු 44ක් විතර රට අල්ලගෙන හිටියේ එළාර. ඉතිරි අවුරුදු 46ක කාලයෙනුත් අවුරුදු 22ක් විතර සේන-ගුත්තික දෙන්නා රට පාලනය කළා. ඉතින් ඒ වගේ කරදර තිබුණු සීමිත කාලයක දී ‘අශෝක විසින් ගොතපු බොරුව’ අපේ මිනිස්සුන් ගේ ඔළුවලට මුළුමනින් ම කාවැද්දුවා කියලා හිතන්න පුළුවන් ද? ඒ විදිහට ඉතා ම කෙටි කාලයක් තුළ අපේ මතකය මුළුමනින් ම මකලා දැම්මා නම් විතරයි මේ රටේ තිබුණා කියලා කියන බුද්ධෝත්පාදය සිදුවුනු තැන, බුදු වුනු තැන, පරිනිර්වාණය වුනු තැන වගේ ඉතා වැදගත් ස්ථානවල කිසියම් ආකාරයක පූජනීය ස්මාරක ඉදිකරන්න දුටුගැමුණු මහ රජතුමාට බැරිවෙන්නේ. අනෙක් කාරණය තමයි බුදුන්වහන්සේ වැඩසිටි ජේතවනාරාමය, පූර්වාරාමය ආදී වෙහෙර විහාරවලට මොකද වුනේ කියන එක. පණ්ඩුකාභය, දේවානම්පියතිස්ස, ගැමුණු වගේ රජවරුන්ට දැකගන්න ඒවායේ නටබුන්වත් ඉතිරිවෙලා තිබුණේ නැති ද?

ඒ විතරක් නෙවෙයි. බුද්ධෝත්පාදය ගැන පළ කෙරිලා තියෙන මේ අලුත් අදහස තහවුරු කරගන්න පුළුවන් කිසි ම සමාජ සංස්කෘතික සටහනක්  කිසි ම ආගමික, සාහිත්‍ය, ඓතිහාසික ග්‍රන්ථයකින් අපිට හොයාගන්න අමාරුයි. බුදුදහම පැතිරිලා තියෙන වෙනත් රටකින්වත් එහෙම දෙයක් හොයාගන්න බෑ. එහෙම දේවල් ඉස්සර තියෙන්න ඇති, ඉංග්‍රීසි යටත්විජිත පාලකයෝ ඒ දේවල් විනාශ කරන්න ඇති කියලාත් මේ මතය වෙනුවෙන් පෙනී ඉන්න අය කියනවා. ඒත් අපි දන්නවා තායිලන්තය කියන්නේ එක දවසක්වත් යටත්විජිතයක් විදිහට නොතිබිච්ච රටක් බව. ඒ රටෙන්වත් මේ මතය සනාථකරන්න පුළුවන් සාක්‍ෂියක් ලැබිලා නෑ. ඉතින් නෂ්ටාවශේෂයකින්, අභිලේඛනයකින්, ධර්ම ග්‍රන්ථයකින්, අටුවාවකින්, ටීකාවකින්, ටිප්පණියකින්, වංශකතාවකින්, වෙනත් ලේඛනයකින් සනාථකරන්න බැරි දෙයක් පිළිගන්නේ කොහොම ද?

පිළිගත් මතයේ හැටියට බුදුදහම පතුරුවාහරින්න අශෝක මුල් වී තිබුණත් තමන් අවට හැදී වැඩී තිබුණු දෙයක් බෙදාහරිනවා හැරෙන්න වෙනත් දෙයක් කරන්න තරම් කාලයක් ඔහුට තිබුණා කියලා හිතන්න අමාරුයි. ඔහු ගේ සම්පූර්ණ පාලන කාලය ම අවුරුදු 40කට සීමාවෙනවා. බලයට ඇවිල්ලා අවුරුදු 8ක් විතර ගතවුනාට පස්සේ තමයි ඔහු කාලිංග යුද්ධය කළේ. ඔහු යුද්ධය ගැන කලකිරිලා බෞද්ධයකු වුනේ ඊට පස්සේ. එයිනුත් අවුරුදු 10ක් විතර ගතවුනා ම තමයි තුන්වැනි ධර්ම සංඝායනාව පැවැත්වුනේ. ඒ තරම් කෙටි කාලයක් තුළ අශෝකට තමන් ගේ ම කියලා බුද්ධාගමක් හදන්න පුළුවන්වුනා කියලා හිතන්නේ කොහොම ද? ඔහු ඒ තරම් හපනෙක් කියලා පිළිගන්න අමාරුයි. ඇත්තෙන් ම ප්‍රචණ්ඩත්වය අත ඇරලා ධර්මය පිළිගැනීම තුළ තමයි අශෝක ගේ ශ්‍රේෂ්ඨ බව තියෙන්නේ. එහෙම නැතිව, අල්ල ගත්ත භූමිය, ඒ බිම පාලනය කරපු කාලය වගේ දේවල් සළකන කොට ඒ තරම් ශ්‍රේෂඨ බවක් ඔහු තුළ දකින්න අමාරුයි. ඊට වඩා හපන්කම්” කරපු රජවරු තව ඕන තරම් මේ ලෝකයේ ඉඳලා තියෙනවා. ඒ හින්දා, නැති වැදගත්කමක් අශෝකට දෙන මේ වගේ කතා කියන්නේ ඇයි?

තවත් එක ප්‍රශ්නයක් අහන්න තියෙනවා. මේ ‘ජන් + බුද් + ද්වීප’ මතය ඉදිරිපත් කරන අයට පුළුවන් ද කහ මිනිස්සු අතර බුදුදහම පැළපදියම් වූ ආකාරය විස්තරකරන්න? ඇත්තෙන් ම මේ ලිපිපෙළෙන් විස්තරකරන කතාවට ඒ පිළිතුර ප්‍රමාණවත්. ජන්බුද්වීපය වගේ හල් න-යන්නට පර ව බ-යන්න යෙදෙන වචනයක් සිංහල භාෂාවේ නැති වුනත් මේ පිළිතුර ලබාගැනීම වැදගත්. මොකද මේ යන්නේ අපේ සංස්කෘතික නෑදෑයන් හොයමින් යන ගමනක්. ඒ නෑදෑයන් ශාක්‍යයන් ගේ නෑදෑයන් විය හැකි බවයි මේ ලේඛකයා ගේ අදහස. ඉතින් ඒ අදහස තහවුරු කරගන්න උපකාරී වෙන මතවාද පිළිගන්න මේ ලේඛකයා අදිමදිකරන්නේ නෑ. මේ ගැන තව තවත් ඉගෙනගන්න කැමැතියි.

__________________________________________________________________________________
2016.05.09 දින www.lankaweb.com වෙබ් අඩවියේ පළ වූ මෙම ලිපිය
2019.12.19 දින www.history.lk වෙබ් අඩවියේ පළ විය.
__________________________________________________________________________________

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Latest news

වත්හිමි කතා පුවත ඔස්සේ ලක් ඉතිහාසය දෙස නැවත හැරී බැලීමක්

සමීර ප‍්‍රසංග වත්හිමි කතාව, කළුන්දෑ පුවත, වත්හිමි බණ්ඩාර කතාව යනුවෙන් කුරුණෑගල අවට ජනයා අතර ප‍්‍රචලිත ජනශ‍්‍රැතිගත කතා පුවතක් පිළිබඳ ව...

ජාතික ගීය, වෙල්ලාලයන් හා ඉතිහාසය

නලින් ද සිල්වා සුමන්තිරන් ජාතික ගීය කියන්නෙ නැත්නම් ඒකෙ ප්‍රශ්නයක් නැහැ. ජාතික ගීය සම්පූර්ණයෙන් ම දන්න සිංහලයන්ගෙ ප්‍රතිශතය කීයද කියල...

මහාවංසය බොරු එළාර දෙමළ නොවෙයි 

නලින් ද සිල්වා විග්නේෂ්වරන් ඇත්තක් කියලා. ඔහු කියල මහාවංසය බොරු කියල. මහාවංසයෙ බොරුත් තියෙනව තමයි. ඒත් ඒකෙ වෙනත් කරුණු සමග...

ඇස් මහින්ද හිමි හා ජාතික ව්‍යාපාරය

නලින් ද සිල්වා අප ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියන් නමින් හඳුන්වන්නේ සීකීමයේ උපත ලද මහින්ද හිමියන් ය. උන්වහන්සේ ඉපදෙන කාලයෙහි...

සිංහල බෞද්ධ සංස්කෘතිය

නලින් ද සිල්වා සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට ගොඩනැගීම ඇරඹුණේ අද වැනි පොසොන් පොහෝ දිනක ය. එහෙත් එය යම්කිසි ආකාරයක පරිපූර්ණත්වයකට...

සීගිරිය කුරුටු ගෑම

නලින් ද සිල්වා සීගිරි කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් කුරුටු ගෑ මඩකලපුවේ තරුණියක් ජනාධිපති සමාව යටතේ සිරගත කරන ලද කාලය කෙටිකර...

Must read

වත්හිමි කතා පුවත ඔස්සේ ලක් ඉතිහාසය දෙස නැවත හැරී බැලීමක්

සමීර ප‍්‍රසංග වත්හිමි කතාව, කළුන්දෑ පුවත, වත්හිමි බණ්ඩාර කතාව යනුවෙන්...

ජාතික ගීය, වෙල්ලාලයන් හා ඉතිහාසය

නලින් ද සිල්වා සුමන්තිරන් ජාතික ගීය කියන්නෙ නැත්නම් ඒකෙ ප්‍රශ්නයක්...

You might also likeRELATED
Recommended to you