• මුල් පිටුව
  • අප ගැන
ඉතිහාස ප්‍රවාද පාණදුරා වාදය

පාණදුරා වාදය

-

නලින් ද සිල්වා

මහාචාර්ය නලින් ද සිල්වා

මට දිනය මතක නැත. කුඩා පාසල් සිසුවකු වූ මම එදින පියාත් ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකුත් සමග පාණදුරේ ගාලු පාර අසල මොහොට්ටිවත්තේ ගුණානන්ද ප්‍රතිමාව විවෘත කරනු බැලීමට ගියෙමි. මා ගියා නොව පියා මා කැටුව ගියේ ය. එදින සවස පියාගේ වැඩිමහල් සොහොයුරාගේ නිවසේ දී ඔහුත් පියාත් ඔවුන්ගේ මිතුරන් කිහිප දෙනකුත් සහභාගි වූ සාකච්ඡාවක් විය. මම එයට ද සවන් දුන්නෙමි. මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමි, සුමංගල හිමි, පාණදුරා වාදය වැනි වදන් රැසක් කුඩා මගේ මනසට පිවිසියේ ය. මට ජාතිකත්වයේ අත්පොත් තැබුණේ එදා යැයි සිතමි. පසුව හයවැනි (පනස්හයේ දී) හෝ හත්වැනි (පනස්හතේ දී) හෝ පන්තියේ සිටින විට පාසල් පුස්තකාලයෙන් පංච මහා වාද කියවීමි. ඒ සියල්ල මට තේරුණා නො වේ. එහෙත් මට යමක් වැටහිණි.

අවාසනාවකට ඒ වැටහීම වර්ධනය නො විණි. මගේ ප්‍රියතම විෂය වූයේ ගණිතය හා ඉතිහාසය ය. නවවැනි පංතියේ දී ශුද්ධ ගණිතය හා භෞතික විද්‍යාව ඉගෙනීමත් සමග ඉතිහාසයට වැඩි දුරක් යා හැකි නො වීය. දහවැනි පන්තියේ දී ව්‍යවහාරික ගණිතය හා උසස් ගණිතය ඉගෙනීමට යොමු වීමත් සමග ජාතිකත්වය දුරස් විය. මම ප්‍රවාදාත්මක (Theoretical) භෞතික විද්‍යාව දිගට ම හැදෑරීමට තීරණය කෙළෙමි. ඒ අතර බටහිර දර්ශනය හා මාක්ස්වාදය ද කියවීමි.  මට පසු කලෙක තේරුම් ගිය ආකාරයට මම මානසික ව පාණදුරෙන් කොළඹ ආවෙමි. එහෙත් පාණදුරා වාදය මගේ මනසෙහි රැඳී තිබිණි.

එයට එක් හේතුවක් වූයේ හත්වැනි පංතියේ අපට සිංහල හා ගණිතය ඉගැන්වූ ගුරුවරයා ය. ටයි පටියක් පැළඳ කබායක් හැඳ පංතියට පෑමිණි ඔහු මා අද කියන ආකාරයට නම් යුදෙවූ ක්‍රිස්තියානි සංස්කෘතිය ප්‍රචලිත කරන්නෙක් විය. ඇතැම් සිංහල ගුරුවරයකු ගමයා නමින් හඳුන්වනු ලැබුව ද මේ සිංහල ගුරුවරයාට සිසුහු එවැනි නමක් පටබැඳීමට නො සිතූහ. ඔහුගේ ගණිතය මගේ සිත් ගත්තේ ය. එහෙත් ඔහු සිංහල ලෙස ඉගැන්වූයේ බෞද්ධ විරෝධී අදහස් ය. කුමාර රචනයේ ජාතක කතාවක් සම්බන්ධ එක් පාඩමක් කියා දෙන අතර ඔහු ගිරවුන්ට කතාකළ හැකි දැයි “විචාරශීලී ව” ඇසී ය. එක්තරා බෞද්ධ යැයි හැඳින්වෙන පාසලක සිසුන්ට හරියට ඉංගිරිසි උච්චාරණය කළ නොහැකි බව ඔහු උපහාසාත්මක ව අපට කීවේ ය. අයිරිෂ් ජාතිකයකු වූ බර්නාඩ් ෂෝ ඉංගිරිසින්ට ඉංගිරිසි කතාව බැරි යැයි කියා ඇති බව මම ඒ දිනවල දැන නොසිටියෙමි. ලන්ඩනයේ කතාකරන ඉංගිරිසි හා යෝක්ෂයර් ප්‍රාන්තයේ කතාකරන ඉංගිරිසි වෙනස් බව මා දැනගත්තේ එයටත් පසුව ය. එංගලන්තයේ දී මට බටහිර භෞතික විද්‍යාවේ නව ප්‍රවාද ගෙතීමට නොහැකි බව තේරුම් ගියේ ය. මම ශාරීරික ව පමණක් නොව මානසික ව ද ආපසු හැරුණෙමි. මේ සියල්ල තේරුම් ගැනීමට මට අවශ්‍ය විය. මම කලක් ගත වී ව්‍යවහාරික ගණිතය හා ප්‍රවාදාත්මක භෞතික විද්‍යාව අත්හැර නැවතත් ඉතිහාසයට ගියෙමි. එහෙත් ඒ ශ්‍රී වික්‍රම රාජසිංහ භීෂණය වැපුරුවකු ලෙස කියා දෙන ඉංගිරිසින්ගේ ඉතිහාසයට නො වේ. අද ඉංගිරිසින් ගෙන යන ප්‍රචාර තව කලෙකින් අපේ ඉතිහාසය වුවහොත් මෛත්‍රීපාල හා රනිල් වීරයන් වී මහින්ද හොරකු දූෂිතයකු හා භීෂකයකු වනු ඇත. ඊනියා රාජපක්‍ෂ රෙජිමය මෙන් ම රාජසිංහ රෙජිමය ද පෙරළා දැමීමට ඉංගිරිිසිහු මෙරටින් ම පිරිස් සොයාගත්හ. 1815 දී අඩුම තරමෙන් ගිවිසුමක් අත්සන් කිරීමට ඉංගිරිසින්ට සිදු විය. 2015 දී එවැනි ගිවිසුමක්වත් නො වී ය. ඉංගිරිසින්ගේ දැනුමෙන් නිදහස් වන තෙක් අපට නිදහසක් නැත.

පාණදුරා වාදය පිටුපස වූයේ සංස්කෘතික හා දේශපාලනික අරගලයකි. දහනව වැනි සියවසේ අග භාගයේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය මෙරට ප්‍රභූන්ගේ සංස්කෘතිය වී තිබිණි. 1831න් පසුව සිංහල බෞද්ධ සංස්කෘතියේ සුවිශේෂත්වය නොසැලකූ ව්‍යවස්ථාදායක සභාවක් තිබුණු අතර රාජකාරි ක්‍රමය අහෝසි කර වෙළෙඳ ආර්ථිකයක් ගොඩනැගෙමින් පැවතිණි. මේ වෙළෙඳ ආර්ථිකය මගින් ධනවත් වූ ප්‍රභූහු පාණදුරේ වාසය කළහ. වෙනත් ප්‍රභූන් මෙන් නොව ඔවුහු බොහෝමයක් ආගම වෙනස් නො කළහ. එහෙත් ඔවුන්ට ඇංග්ලිකන් සංස්කෘතියෙන් නිදහස් වීමට ද නොහැකි විය. ඔවුන් විසින් ඇති කෙරුණු පාණදුරේ රංකොත් විහාරය මෙයට කදිම නිදසුනකි. එය අනෙක් පන්සල්වලින් වෙනස් විය. එහි බණ මඩුවේ (ධර්ම ශාලාවේ) උපාසක උපාසිකාවන්ට වාඩි වීම සඳහා පල්ලිවල මෙන් බංකු තනා ඇත.

කෙසේ වෙතත් මේ උපාසක ප්‍රභූන්ට හා වෙනත් සිංහල බෞද්ධයන්ට ක්‍රිස්තියානි පූජකයන් හා වෙනත් අය බුදුදහමට කළ නින්දා අපහාස ඉවසුම් නොදෙන සුළු විය. ඔවුහු ඒ අපහාසවලට විරුද්ධව නැගී සිටියහ. ඔවුහු හා දිවයිනේ බද්දේගම වැනි පෙදෙස්වල ජීවත් වූ බෞද්ධ ප්‍රභූහු ක්‍රිස්තියානි ආගමට අභියෝග කළහ. එහි ප්‍රතිඵලය වූයේ පාණදුරා වාදය ප්‍රමුඛ පංච මහා වාද ය. මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියෝ වාදවල ප්‍රධාන කථික භික්‍ෂූන් වහන්සේ වූහ. උන්වහන්සේට එකළ වැඩ සිටි පාණ්ඩිත්‍යයෙන් හෙබි භික්‍ෂූන් වහන්සේලාගේ උපදෙස් ලැබිණි.

පාණදුරා වාදය හා අනෙක් වාදවල ආගමික ස්වරුපයක් තිබිණි ද ඒ සංස්කෘතික හා දේශපාලනික අරගලයක් විය. පෘතුගිසින් ලංකාවට පැමිණි දීන සිට මේ දේශපාලනික හා සංස්කෘතික අරගල පැවතිණි. කතෝලික පෘතුගිසීහු වෙහෙර විහාර හා දේවාල කඩා දමා ඒ ඇතැම් භූමිවල පල්ලි තැනූහ. ලන්දේසිහු දෙමළ ජාතිවාදය බිහි කර අධ්‍යාපනය මගින් මුහුදුබඩ පෙදෙස්වල රෙපරමාදු සංස්කෘතිය ප්‍රචලිත කර කුරුඳු ආර්ථිකය මගින් සිංහල ආර්ථිකයට පහර දුන්හ. ඔවුන් යාපනයේ දුම්කොළ වගාවට අද දකුණු ඉන්දියාව යන ප්‍රදේශයෙන් කුලී කම්කරුවන් (වෙල්ලාලයන්)  ගෙනා පරිදි කුරුඳු වගාවට ද කම්කරුවන් ගෙනැවිත් ඇත. එහෙත් එසේ ගෙන ආ පිරිස් සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය කෙරී ඇත. ඉංගිරිසිහු සිංහල බෞද්ධයන්ට විරුද්ධව 1831 දී දෙමළ ජාතිවාදය දේශපාලනයේ බෞතීස්ම කර, කොළඹ හින්දු කෝවිල් තනා, ඇංග්ලිකන් සංස්කෘතිය ප්‍රචලිත කිරීමට පාසල් බිහිකර, බෞද්ධ දරුවන් එමගින් ඇංග්ලිකන් ආගමට හරවාගෙන, ඇංග්ලිකන් පූජකයන් හා වෙනත් අය මගින් බුදුදහමට නින්දා අපහාස කරවා, ඇංග්ලිකන් පූජකවරුන්ට උසස් තැන් ලබා දී, වෙළෙඳ ආර්ථිකයක් හඳුන්වා දී, සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි සුවිශේෂත්වය නොසලකා රට ම උඩු යටිකුරු කිරීමට පියවර හත්හ. එක්දහස් අටසිය හැට ගණන් වන විට භික්‍ෂූන් වහන්සේට හා සිංහල බෞද්ධයන්ට අඩුම තරමෙන් ආගමික වශයෙන් මේ දේශපාලනික, සංස්කෘතික හා ආර්ථික යටත්විජ්තවාදය දරාගත නොහැකි විණි. ඔවුන්ගේ නායකයන්ට ඔවුන් ඒ සම්බන්ධයෙන් පියවර ගැනීමට බලකර ඇති බව පැහැදිලි ය.

එහෙත් මේ නායකයෝ සිංහලයන්ගේ සාම්ප්‍රදායික නායකයෝ නො වූහ. 1817 -18 නිදහස් සටනෙන් පසු ඉංගිරිසි ම්ලේච්ඡයෝ සිංහල ජනතාව ඌව වෙල්ලස්සේ දි ඝාතනය කර සිංහල නායකයන් එක්කෝ නැතිකර තිබුණහ, නැත්නම් තම ගැත්තන් බවට පත්කර තිබුණහ. 1848 දී පූරං අප්පුලා මෙන් ම හැටගණන්වල ආගමික නායකයන් බිහිවූයේ ද එවැනි පරිසරයක ය. හැට ගණන්වල ඇරඹි ආගමික වාද 1873 පාණදුරා වාදයෙන් කෙළවර විණි. බෞද්ධයෝ වාදයෙන් ජයගත්හ. එහෙත් සිංහල බෞද්ධ සංස්කෘතිය පරාජය විය. ඒ එසේ වූයේ ඇයි?

__________________________________________________________________________________
2016.04.23 දින www1.kalaya.org වෙබ් අඩවියේ පළ වූ මෙම ලිපිය
2019.12.19 දින www.history.lk වෙබ් අඩවියේ පළ විය.
__________________________________________________________________________________

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Latest news

වත්හිමි කතා පුවත ඔස්සේ ලක් ඉතිහාසය දෙස නැවත හැරී බැලීමක්

සමීර ප‍්‍රසංග වත්හිමි කතාව, කළුන්දෑ පුවත, වත්හිමි බණ්ඩාර කතාව යනුවෙන් කුරුණෑගල අවට ජනයා අතර ප‍්‍රචලිත ජනශ‍්‍රැතිගත කතා පුවතක් පිළිබඳ ව...

ජාතික ගීය, වෙල්ලාලයන් හා ඉතිහාසය

නලින් ද සිල්වා සුමන්තිරන් ජාතික ගීය කියන්නෙ නැත්නම් ඒකෙ ප්‍රශ්නයක් නැහැ. ජාතික ගීය සම්පූර්ණයෙන් ම දන්න සිංහලයන්ගෙ ප්‍රතිශතය කීයද කියල...

මහාවංසය බොරු එළාර දෙමළ නොවෙයි 

නලින් ද සිල්වා විග්නේෂ්වරන් ඇත්තක් කියලා. ඔහු කියල මහාවංසය බොරු කියල. මහාවංසයෙ බොරුත් තියෙනව තමයි. ඒත් ඒකෙ වෙනත් කරුණු සමග...

ඇස් මහින්ද හිමි හා ජාතික ව්‍යාපාරය

නලින් ද සිල්වා අප ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියන් නමින් හඳුන්වන්නේ සීකීමයේ උපත ලද මහින්ද හිමියන් ය. උන්වහන්සේ ඉපදෙන කාලයෙහි...

සිංහල බෞද්ධ සංස්කෘතිය

නලින් ද සිල්වා සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට ගොඩනැගීම ඇරඹුණේ අද වැනි පොසොන් පොහෝ දිනක ය. එහෙත් එය යම්කිසි ආකාරයක පරිපූර්ණත්වයකට...

සීගිරිය කුරුටු ගෑම

නලින් ද සිල්වා සීගිරි කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් කුරුටු ගෑ මඩකලපුවේ තරුණියක් ජනාධිපති සමාව යටතේ සිරගත කරන ලද කාලය කෙටිකර...

Must read

වත්හිමි කතා පුවත ඔස්සේ ලක් ඉතිහාසය දෙස නැවත හැරී බැලීමක්

සමීර ප‍්‍රසංග වත්හිමි කතාව, කළුන්දෑ පුවත, වත්හිමි බණ්ඩාර කතාව යනුවෙන්...

ජාතික ගීය, වෙල්ලාලයන් හා ඉතිහාසය

නලින් ද සිල්වා සුමන්තිරන් ජාතික ගීය කියන්නෙ නැත්නම් ඒකෙ ප්‍රශ්නයක්...

You might also likeRELATED
Recommended to you