ඉතිහාස ප්‍රවාදකුසුමාසනදේවි, ඉතිහාස ව්‍යාපෘති හා සෝමදේව

කුසුමාසනදේවි, ඉතිහාස ව්‍යාපෘති හා සෝමදේව

-

නලින් ද සිල්වා

මහාචාර්ය නලින් ද සිල්වා

රාත්‍රී අටේ සිට සවස හයට තල්ලු කර දැමූ කුසුමාසනදේවි ටෙලිනාට්‍යය ඉවර වෙලා ටිකක් කල් ගියා. ඒ ගැන ලියන්න හිතුණත් ඒකට ඉඩක් ලැබුණෙ නැහැ. රාජ් සෝමදේව කොළඹ විශ්වවිද්‍යාලයෙ කරපු කතාවක් ඇහුවට පස්සෙ කුසුමාසනදේවි ගැන ඉක්මණින් ලියන්න හිතුණා. කුසුමාසනදේවිත් ඉතිහාස කතාවක්. එයත් අයිති ඉතිහාසයට. ටෙලිනාට්‍යයේ කුසුමාසනදේවි මා දන්නා දෝන කතිරිනා නො වෙයි. ඉතිහාසයට අර්ථ විවරණ (hermenutics) සපයනවා කියන එක මා පිළිගන්නෙ නැහැ. පශ්චාත්නූතනවාදය (postmodernism) කියන්නෙ නූතනවාදී අදහස් ප්‍රංශ විප්ලවයෙ අදහස් හරියන්නෙ නැති බව දැණුනු බටහිර බුද්ධිමතුන් ඉන් ගැලවෙන්න ගොතපු අව්‍යක්ත නිසරු අසාර්ථක කතන්දර ටිකක්. ඉතිහාසයට අර්ථ විවරණ සපයනව කිව්ව ම ඒකෙන් කියැවෙන්නේ ඉතිහාසය කියල වාස්තවික යමක් තියෙනවා, අප ඒකට විවිධ අර්ථ විවරණ සපයනවා කියන එකයි. මේ ඊනියා යථාර්ථය රැක ගැනීමට බටහිර දාර්ශනිකයන් දරන තවත් වෑයමක් පමණයි. ඉතිහාසය කියල එකක් නැහැ. තියෙන්නෙ ඉතිහාස නැත්නම් ඉතිහාස කතන්දර.

ඉතිහාස කතන්දර ඒ ගොතන අයට සාපේක්‍ෂයි. සෑම කතන්දරයක් ම ගෙතීමක්. මට ඒකට වියමනක් කියන්න ඕන නැහැ. ඒ බටහිරයන්ගෙ ටෙක්ස්ට් (text) බලාගෙන හදාගත්තු කෘත්‍රීම වචනයක්. ඒ කාලෙ අපේ ආච්චිල බටහිරින් ගත්ත බීරළු ගෙතුවා. කතන්දර ගෙතුව. ඒ ඒ ගෙතීම ගොතපු තැනැත්තට තැනැත්තියට සාපේක්‍ෂයි. ජනප්‍රවාදත් කතන්දර. ඊනියා උගතුන්ගේ ප්‍රවාදත් කතන්දර. අයින්ස්ටයින් කෙරුවෙත් කතන්දර ගොතන එක. කතන්දර ගොතන්න ලොකු බුද්ධි ඵලයක් (IQ) ඕන නැහැ. භෞතික විද්‍යාවට කතන්දර කිහිපයක් ගොතල නොබෙල් තෑග්ග දිනූ රිචඩ් ෆයින්මාන්ගේ බුද්ධි ඵලය 125යි. මිනිසුන් කරන්නෙ ගෙතිල්ලත් හඳුනාගැනීමත්. අප විවිධ රටා ගොතනවා. විවිධ රටා හඳුනාගන්නවා. ඒ නිර්මාණ. මා බටහිර අර්ථ විවරණ (hermenutics) කාරයකු නො වෙයි.

කුසුමාසනදේවිලා කිහිප දෙනකු ඉන්නවා. කේ.බී. හේරත්ගෙ කුසුමාසනදේවි දෙරණ රූපවාහිනියෙ පෙන්නුව. අප එක් එක් අය  තිරයේ එක එක කුසුමාසනදේවිලා දැක්කා. නැත්නම් එක් එක් කුසුමාසනදේවිලා ගොතාගත්ත, හඳුනාගත්තා. ඒ සියල්ල නිර්මාණ. මේ මා ගොතාගත්ත කුසුමාසනදේවි. එය කේ.බී. හේරත්ගෙ කුසුමාසනදේවි නොවෙන්න තියෙන ඉඩකඩ ඉතා අධිකයි. මගේ කුසුමාසනදේවි මට සාපේක්‍ෂයි. හැම ඉතිහාසඥයකුට පමණක් නොවෙයි හැම මිනිහකුට ම ගොතන්න හඳුන ගන්න පසුබිමක් තියෙනවා. ඒ ගැන මා මගේ ලෝකය පොත් පිංචෙහි කියල තියනවා. ඒ පොත් පිංචෙ කියා ඇති දැනුම කියන්නෙ නිර්මාණයක් බවත් ඒ නිර්මාණ මිනිසුන්ගේ ඉන්ද්‍රිය පද්ධතියට, සංස්කෘතියට හා මනසට සාපේක්‍ෂ බවත්. මේකෙන් කියන්නෙ නැති මනසක් ගැන බව අවධාරණය කරන්න ඕන. මනස ඇතුළු සියලු සංකල්ප මනසේ ම නිර්මාණ. එය චක්‍රීය චින්තනයෙ කතාවක් මිසක් කාන්ට්ගෙ රේඛීය චින්තනයෙ දෙවියන් වහන්සෙගෙ කතාවක් නො වෙයි. ඒ සියල්ල දැන ගන්න මගේ ලෝකය කියවන්න. අද පඬි කතා කියන අර්ථ නිරූපණ කතා කියන ඊනියා පුරා විද්‍යාඥයන්ටත් පසුබිමක් ව්‍යාපෘතියක් තියෙනවා. ව්‍යාපෘති නැත්තෙ කාට ද? ඊනියා මධ්‍යස්ථ අපක්‍ෂපාත අය පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේත් නැහැ. මහානාම හිමියන්ට වගේ ම රාජ් සෝමදේවටත් ව්‍යාපෘතියක් තියෙනවා. ඔහුට ඔහුගේ පසුබිමක් තියෙනවා.

මා ගොතා ගෙන හිටියෙ දෝන කතිරිනා. හේරත් දෝන කතිරිනා වෙනුවට කුසුමාසනදේවි කතාවක් ගොතනවා. කුසුමාසනදේවි දෝන කතිරිනා කෙළෙ පෘතුගීසීන් හා ඔවුන්ගෙ කතෝලික පූජකවරුන්. එයත් ව්‍යාපෘතියක්. පෘතුගීසීන්ට අවශ්‍ය වුණෙ මෙරට කතෝලික කිරීමටත් ඔවුන්ගෙ සංස්කෘතික දේශපාලනික ආධිපත්‍යයට අප යටත් කර ගැනීමට. මට ද සිල්වා කියන නම ලැබුණෙත් ඒ ආධිපත්‍යයෙන්. කුසුමාසනදේවි ද සිල්වා කියල කපිතාන්වරයකුට විවාහ කර දෙන්න උත්සාහයක් තිබුණ. එය සාර්ථක වුණෙ නැහැ. අපරාදෙ. ද සිල්වාලාට රාජ්‍ය උරුමය නැති වුණා ද? කමක් නැහැ නිමල් සිරිපාල ද සිල්වා ඉන්නවා. එතකොට කුලය? අර ද සිල්වා පෘතුගීසි කපිතාන්ගෙ කුලය මොකක් ද? ද සිල්වාලා පෘතුගාලයේ නම් වංශක්කාරයන් කියල තමයි කියන්නෙ.

කතෝලික පූජකවරුන් මෙරටට ආවෙ පෘතුගීසීන් පැමිණි නැව්වල. ගෝව ඔවුන්ගෙ මධ්‍යස්ථානය වුණා. මහානාම හාමුදුරුවො නම් වැඩ විසුවෙ විජය ඇවිල්ල සියවස් දහයකටත් වඩා පස්සෙ. මිහිඳු හාමුදුරුවො වැඩියෙත් විජය රජුට සියවස් දෙකකට තුනකට පස්සෙ.  බුදුහාමුදුරුවො නම් විජයට ඉස්සෙල්ල මෙරටට තෙවරක් වැඩම කරල තියෙනවා. අප ඒ බව දන්නෙ මහානාම හාමුදුරුවන් කියන නිසා ම ද? අප මහානාම හාමුදුරුවන් ගැන දැන ගන්නෙ කොහොම ද? මහාවංසෙන් ද වංසත්ථප්පකාසිනි  මහාවංස ටීකාවෙන් ද?

මා හිතන්නෙ දෝන කතිරිනා බෞද්ධයන්ගෙ නිර්මාණයක්. ඔවුන්ගෙ ගෙතීමක්. කුසුමාසනදේවි කතෝලිකයන්ගෙ ගෙතීමක්. ඒ නම් දෙකත් අපූරුයි. බෞද්ධයන් පෘතුගීසි සංස්කෘතිය වැළඳ ගත් රටට ද්‍රෝහි වූ දෝන කතිරිනා පෘතුගිසි නමින් ම ගෙතුවා. කේ.බී. හේරත් කතෝලිකයන්ගෙ බෞද්ධයන්ට විරුද්ධ නොවූ කුසුමාසනදේවි කෙනකු බෞද්ධ නමින් ම ගොතනවා. මේ සියල්ල මගේ නිර්මාණ, මා ගොතන කතන්දර. ඒත් මට කිසිවකු නිර්මාණකරුවකු කියල කියන්නෙ නැහැ. ඕන නම් මිථ්‍යා විශ්වාස කරන අන්තවාදියකු කියල කියයි. මෙරටත් බටහිරත් නිර්මාණකරුවන් ඉන්නෙ කලාවෙ. කේ.බී. හේරත් නිර්මාණකරුවෙක්.

කුසුමාසනදේවි හමුවට එන කතෝලික පූජකවරුන් ගුණ යහපත් කරුණාවන්ත අය හැටියට තමයි පෙනෙන්නෙ. ඔවුන් කුසුමාසනදේවිට උපකාර කරන්නෙ ඇය වැටිල ඉන්න ප්‍රශ්නයෙන් ගොඩ ගන්න. ඔවුන් හරි කරුණාවන්තයි. පෘතුගීසීන්ට පාලනය අත්කර දීමක් ගැන කතෝලික පූජකවරුන් කතා කරන්නෙ නැහැ. මොන තරම් හොඳ ද? ඒකට දෙවනගල හාමුදුරුවො. උන්වහන්සෙ කතා කරන්නෙ  කන්ද උඩරට සිංහල බෞද්ධ රාජ්‍යයක් ඇති කරන්න. කුසුමාසන දේවිගෙ පෞද්ගලික ප්‍රශ්න උන්වහන්සේට වැඩක් නැහැ. මේ මහානාම හාමුදුරුවන්ගෙ ව්‍යාපෘතිය ද? එතකොට පාප් වහන්සෙගෙ ව්‍යාපෘතිය මොකක් ද? පාප් වහන්සේ ලෝකය පෘතුගීසීන්ට හා ස්පාඤ්ඤයන්ට බෙදා වෙන් කරල දුන්නෙ කුසුමාසනදේවිගෙ පෞද්ගලික ප්‍රශ්න විසඳන්න ද?

කොහොමටත් ඇයගෙ පෞද්ගලික ප්‍රශ්නවලට මූලික හේතුව පෘතුගීසීන්. කරලියැද්දෙට රාජ්‍ය ලෝභය තිබුණ. ඒක නැත්තෙ කාට ද? රනිල්ට ද? කරලියැද්දෙ සීතාවකට විරුද්ධ ව පෘතුගීසීන්ගෙ සහාය පැතුව. පෘතුගීසීන් සහාය දුන්නෙ කතෝලිකයන්ට මිස බෞද්ධයන්ට නො වෙයි. ඔවුන් බෞද්ධයන් පළමුව කතෝලිකයන් කළා. ථකුර සෙනෙවිගෙන් පැවත ආවත් අපේ පරම්පරාවෙ මොරටුවෙ ඉන්න අය කතෝලිකයන්. අපේ මුත්ත කෙනෙක් මොකක් දෝ හේතුවකට පාණදුරේට ගිහිල්ල. දොන් ජුවන් ධර්මපාල චරිතය නම් ඉතා හොඳින් ටෙලිනාට්‍යයෙ නිරූපනය වෙනවා. රනිල්ට කොණ්ඩයක් දැම්මොත් දොන් ජුවන් වගේ හිටීවි. නැහැ රනිල් කතෝලික නොවෙයි. ඔහු ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියෙ.

අදත් විවිධ පූජකවරුන් මිනිසුන්ගෙ පෞද්ගලික ප්‍රශ්න අල්ලගෙන බෞද්ධයන් අබෞද්ධ කරනවා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙ එහෙම වෙන බවට ආරංචියක් තියෙනවා. ඇතැම් කථිකාචාර්යවරයෙක් අබෞද්ධ වෙලා කියල තමයි කියන්නෙ.  හොයල බලන්න ඕන. මා ඒ කථිකාචාර්යවරයාට මුකුත් කියන්නෙ නැහැ. ඒක දේව කැමැත්ත වෙන්න ඇති. හාමුදුරුවරුන් පෞද්ගලික ප්‍රශ්නවලට ඒ විධියට මැදිහත් වෙන්නෙ නැත් ද? දෙවනගල හාමුදුරුවන්ට සිංහල බෞද්ධ රාජ්‍ය අභිලාෂය ලබා දුන්නෙ මහානාම හාමුදුරුවො ද? මා ඊයේ කිව්වා දේශීයත්වය පිළිබඳ ව මා ඉන්නෙ මහානාම හාමදුරුවන්ටත් එහා කියල. මා මෙරට යක්‍ෂ ජනතාවක් හිටි බව පිළිගන්නවා. ඒ විතරක් නොවෙයි වැදි ජනතාව අපේ කියාත් කියනවා.

අද ඇතැමුන් විවිධ ඊනියා පර්යේෂණ කරන්නෙ සිිංහලයන්ට මෙරට තම උරුමය අහිමි කරන්න. බැලූබැල්මට ඒ බව පෙනෙන්නෙ නැහැ. ජාතිකවාදීන් ද සමහර විට ඒ පර්යේෂකයන්ට රැවටෙනවා. මා අන්තවාදියකු නිසා සිවල් සමාජයේ ගෞරවයට පාත්‍රවන එවැනි පුද්ගලයන්ට රැවටෙන්නෙ නැහැ. සිංහලයන් මෙරට ආදීවාසීන් වෙන්නෙ අප ආදීවාසීන්ගෙන් ද පැවත එන නිසා. වැදි ජනතාව පමණක් මෙරට ආදීවාසීන් බවට පත් කරන්නෙ බටහිර ව්‍යාපෘතියට අනුව ඉතිහාස ගොතන්නන්. මා කැලණිය විශ්වවිද්‍යාලයෙ ඉන්න දවස්වල එහි පුරාවිද්‍යා අධ්‍යයනාංශය වැදි ජනතාව ආදිවාසීන් ලෙස හැඳින්නුවා. සනාතන සභාවෙ දි මා එයට විරුද්ධ වුණා. ඔවුන් මා කී දේ පිළිගත්තා. ඉඩ ලැබෙන පරිදි ඉතිහාස ව්‍යාපෘති ගැන තවත් කතා කියන්නම්.

__________________________________________________________________________________
2019.03.22 දින www1.kalaya.org වෙබ් අඩවියේ පළ වූ මෙම ලිපිය
2019.12.19 දින www.history.lk වෙබ් අඩවියේ පළ විය.
__________________________________________________________________________________

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Latest news

වත්හිමි කතා පුවත ඔස්සේ ලක් ඉතිහාසය දෙස නැවත හැරී බැලීමක්

සමීර ප‍්‍රසංග වත්හිමි කතාව, කළුන්දෑ පුවත, වත්හිමි බණ්ඩාර කතාව යනුවෙන් කුරුණෑගල අවට ජනයා අතර ප‍්‍රචලිත ජනශ‍්‍රැතිගත කතා පුවතක් පිළිබඳ ව...

ජාතික ගීය, වෙල්ලාලයන් හා ඉතිහාසය

නලින් ද සිල්වා සුමන්තිරන් ජාතික ගීය කියන්නෙ නැත්නම් ඒකෙ ප්‍රශ්නයක් නැහැ. ජාතික ගීය සම්පූර්ණයෙන් ම දන්න සිංහලයන්ගෙ ප්‍රතිශතය කීයද කියල...

මහාවංසය බොරු එළාර දෙමළ නොවෙයි 

නලින් ද සිල්වා විග්නේෂ්වරන් ඇත්තක් කියලා. ඔහු කියල මහාවංසය බොරු කියල. මහාවංසයෙ බොරුත් තියෙනව තමයි. ඒත් ඒකෙ වෙනත් කරුණු සමග...

ඇස් මහින්ද හිමි හා ජාතික ව්‍යාපාරය

නලින් ද සිල්වා අප ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියන් නමින් හඳුන්වන්නේ සීකීමයේ උපත ලද මහින්ද හිමියන් ය. උන්වහන්සේ ඉපදෙන කාලයෙහි...

සිංහල බෞද්ධ සංස්කෘතිය

නලින් ද සිල්වා සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට ගොඩනැගීම ඇරඹුණේ අද වැනි පොසොන් පොහෝ දිනක ය. එහෙත් එය යම්කිසි ආකාරයක පරිපූර්ණත්වයකට...

සීගිරිය කුරුටු ගෑම

නලින් ද සිල්වා සීගිරි කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් කුරුටු ගෑ මඩකලපුවේ තරුණියක් ජනාධිපති සමාව යටතේ සිරගත කරන ලද කාලය කෙටිකර...

Must read

වත්හිමි කතා පුවත ඔස්සේ ලක් ඉතිහාසය දෙස නැවත හැරී බැලීමක්

සමීර ප‍්‍රසංග වත්හිමි කතාව, කළුන්දෑ පුවත, වත්හිමි බණ්ඩාර කතාව යනුවෙන්...

ජාතික ගීය, වෙල්ලාලයන් හා ඉතිහාසය

නලින් ද සිල්වා සුමන්තිරන් ජාතික ගීය කියන්නෙ නැත්නම් ඒකෙ ප්‍රශ්නයක්...

You might also likeRELATED
Recommended to you