• මුල් පිටුව
  • ඉතිහාසකරණය
  • අප ගැන
ඉතිහාසකරණය ඉතිහාසය, ඉතිහාසඥයා හා ඔහුගේ ඉතිහාසය

ඉතිහාසය, ඉතිහාසඥයා හා ඔහුගේ ඉතිහාසය

-

චන්දිම බණ්ඩාර අඹන්වල

චන්දිම බණ්ඩාර අඹන්වල

සංක්‍ෂිප්තය

වසර ලක්‍ෂ ගණනාවක් ඈතට දිවයන අතීතයක් මිනිසා සතුවන බව පසුගිය කාලපරිච්ඡේදය තුළ සිදුකරන ලද හැදෑරීම් මඟින් තහවුරු වී ඇත. ඒ දිගු කාලය තුළත් එයින් අවසන් වසර දෙ දහස තිස්සේත් මිනිසා විසින් එක්රැස් කරගන්නා ලද නැතහොත් ලබාගන්නා ලද අද්දැකීම් අනුව ඔහුගේ වර්තමානය නීර්ණය වෙමින් පවතී. මේ ලොව උපන් සෑම මිනිසෙකු තුළම තමන්ගේ අතීතය දැනගැනීමේ ආශයක් පවතී. තම දෙමව්පියන් කවුද? තමා මේ ස්ථානයට පැමිණියේ කෙසේද? තම කුළ ගෝත‍්‍රවල අතීතය කුමක්ද? ඒවා ප‍්‍රභවය ලබා ඇත්තේ කිනම් කාලයක කුමන ආකාරයකට ද? ආදී ප‍්‍රශ්න සඳහා ඔහු පිළිතුරු සොයන අතර මෙම ප‍්‍රශ්නයන්ගේ අවසන් ඉලක්කය මම කවුද යන්න දැනගැනීමයි. දාර්ශනික ආස්ථානයක රැුදෙමින් ගැඹුරින් සාකච්ඡා කිරීමේ දී මෙය ඇත්ත වශයෙන්ම අනන්‍යතාව පිළිබඳ ප‍්‍රශ්නයට පිළිතුරු සෙවීමකි. වත්මන් සමාජ, ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික සන්දර්භය තුළ තමන්ගේ අනන්‍යතාව ස්ථාපිත කරගැනීම මෙම ක‍්‍රියාන්විතයේ අරමුණයි. මෙම අරමුණ ජයගැනීම සඳහා පුද්ගලයා විසින් නිර්ණය කරගත් ප‍්‍රබලම ඓහලෞකික ආයුධය ඉතිහාසයයි. දෙගංමැදි, මිසර ආදී පැරණි ශිෂ්ටාචාර සමයේ සිට දෛනික සිදුවීම් හා විස්තර ලේඛනගත කිරීම ඔස්සේ වර්තමානය ස්ථාපිත කරගැනීමට නැතහොත් තේරුම් ගැනිමට ගත් උත්සාහයේ සිට ඉතිහාස කථනය පිළිබඳ නැඹුරුවක් දැකගත හැකිය. විවිධ සුසමාදර්ශ ඔස්සේ වර්තමානය දක්වා විකාශය වූ තත් විෂය 20වන සියවසේ දී යුරෝ කේන්ද්‍රීය සමාජ-සංස්කෘතික පසුබිමක විධිමත් පදනමක් උද්පාදනය කොටගනිමින් වර්ධනය වී ඇත. යටගිය සිදුවීම් රචනා කිරීමේ හුදු ස්ථාවරයෙන් මිදී, අතීත දැනුම වර්තමාන සමාජ-ආර්ථික පසුතලය මත ප‍්‍රතිනිර්මාණය කරන විෂයක් බවට ඉතිහාසය පත් ව ඇත. පුද්ගලානුබද්ධ අද්දැකීම් ඔස්සේ ප‍්‍රකාශවන ‘ඉතිහාස කථනය වනුයේ මළ අතීතයකි’ යන්න විමර්ශනයට හසුකිරීම මෙම ලේඛනයේ අරමුණයි.

හැඳින්වීම

ගල්, තඹ, ලෝකඩ හා යකඩ යුග හරහා ඩිජිටල් යන වර්ධිත තාක්‍ෂණික යුගයට පිවිස සිටින මිනිසා සෑම විටම තම වර්ගයාගේ අතීතය පිළිබඳ දැනුවත් වීමේ සහජ ආශයකින් පෙළෙන බව හඳුනාගත හැකි ය. ඉතිහාසය තහවුරු කරගැනීමට අපහසු හෝ එය නොඅදාළ බව සිතා ‘ඉතිහාසය තුළ හදාරණු ලබන්නේ මළ අතීතයකි’ යන්න ප‍්‍රකාශ කරමින් ඉතිහාසය වෙතින් බැහැර යන පිරිසක් ද හඳුනාගත හැකි ය. ඒ නමුත් වර්තමාන සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික වපසරිය තුළ ඉතිහාසය යනු මානව වර්ගයා සතු අත්‍යවශ්‍යය විණයක් බව පොදුවේ පිළිගැනී අවසානය.

අරමුණ

ඉතිහාස විෂයධාරාව තුළ දී හදාරණු ලබන්නේ සිදු වී අවසාන සිද්ධීන් හා අවස්ථා පිළිබඳව ය. එබැවින් ඉතිහාසය එක් අතකින් පසුගිය හෙවත් මළ අතීතයට අයත් වේ. අතීතය පිළිබඳ අද්දැකීම් ඔස්සේ නිරීක්‍ෂණය කරන විට පැහැදිළි වන්නේ එම අතීත සිදුවීම් වර්තමාන හා අනාගත සිදුවීම් සමඟ ඍජු හෝ වක‍්‍ර ආකාරයෙන් සම්බන්ධ වන බවයි. ඒ අනුව, ඉතිහාසයේ හදාරණු ලබන අතීතය සම්පූර්ණ මළ අතීතයක් නොව යම් ආකාරයක ඓන්ද්‍රීය අතීතයකි. එබැවින් මෙම ලිපියේ අරමුණ වන්නේ ඉතිහාසඥයා විසින් හදාරණු ලබන අතීතය මළ අතීතයක් ද නොඑසේ නම් වර්තමානය දක්වා සජීවී වු ඉන්ද්‍රියානුබද්ධ වූවක් ද යන්න විමර්ශනය කිරීමයි. මෙම කරුණ අරඹයා ලොව විවිධ මට්ටමේ ඉතිහාසඥයන් හා විද්වතුන් විසින් ගෙනහැර දක්වා ඇති අදහස් හා මතිමතාන්තර අරමුණට අනුයාත හා ප‍්‍රමාණගත අයුරින් සලකා බැලීමට අපේක්‍ෂිත අතරම මේ පිළිබඳ අපගේ නිරීක්‍ෂණයන් ද ඒ අතරතුර ඉදිරිපත් කරනු ලැබේ.

ඉතිහාසය යනු කුමක් ද?

උක්ත ප‍්‍රශ්නය අරඹයා මානව ශිෂ්ටාචාරය ආරම්භක යුගයේ සිට විවිධ විද්වතුන් විවිධ ආකාරයේ පිළිතුරු සැපයීමට උත්සාහ ගෙන ඇත. මෙම නිබන්ධයේ දී අභිපේ‍්‍රරිත අරමුණු සාධනය කරගැනීම සඳහා මෙම ගැටලුවට ලබාගත හැකි ඉහළම යථාවාදී විග‍්‍රහය ලබාගැනීම වැදගත් වනු ඇත. History යන්න ග‍්‍රික බසට අයත් histo (= මෙය දන්නවා) යන වචනයෙන් නිපන්නකි. ඒ අනුව, historeo යන්න විමර්ශනය මඟින් දැන ගැනීම1 යන අර්ථය සූචනය කරයි. කෝෂගත අර්ථය විමර්ශනය කිරීමේ දී, ඉතිහාස වදන සඳහා අර්ථ වශයෙන්, ‘ මෙසේ වූවේ ය’ යන කථා; අතීත ප‍්‍රවෘත්ති2 යන අර්ථය හමු වෙයි. එම අර්ථය අනුව අතීතයේ සිදු වූ සිද්ධි පිළිබඳ විස්තරය ඉතිහාසය යනුවෙන් පැහැදිළි කර දී ඇත. ඉති+හ+ආස යන ශබ්ධ සංයෝගයෙන් නිපන් ‘ඉතිහාස’ ශබ්ධයෙන් ‘මෙසේ (සැබවින්) සිදු විය’ යන අර්ථය ගෙන එයි.3 එමෙන්ම ධර්මාර්ථ කාමෝක්‍ෂ යන චතුර්විධ සම්පත්ති ලාභයට හේතුවන උපදේශයන්ගෙන් සමන්විත පූර්ව වෘත්තාන්ත හෙවත් අතීතයේ දී සිදු වූ සිද්ධින් ඇතුළත් කථා ප‍්‍රවෘත්ති ඉතිහාස4 යනුවෙන් හඳුන්වයි. මෙම පැහැදිළි කිරීමේ ගම්‍යාර්ථය අප කථිකාව සඳහා මේ අවස්ථාවේ දී නො අදාළ බව පෙනේ.

ඉතිහාස යන වදන සඳහා පර්යාය ඉංග‍්‍රීසි වචනය වන History යන්න සඳහා යොදන කෝෂාර්ථ පිළිබඳ දැනුම මෙම කථිකාව තවදුර ඉදිරියට ගෙනයාම සඳහා ඉවහල් වනු ඇත. ඒ අනුව, History යන්නට අර්ථ 5ක් පමණ එක් ශබ්ධ කෝෂයක දක්වා ඇත.5 1. අතීතයේ සිදු වූ සියලුම සිදුවීම්, 2. විශේෂ ස්ථානයක, විෂයක ආදියේ සංවර්ධනයේ දී සලකා බලන අතීත සිදුවීම, 3. පාසල් හෝ විශ්වවිද්‍යාලවල දී අතීත සිදුවීම් පිළිබඳ අධ්‍යයනය කරන විෂය, 4. අතීත සිදුවීම් පිළිබඳ ලිඛිත හෝ වාචික ප‍්‍රකාශය, 5. පුද්ගලයෙක්, පවුලක් හෝ ස්ථානයක අතීත පැවැත්මේ පිළිවෙල විස්තර කිරීම ආදී අර්ථ කීපයක් ම ගෙනහැර දක්වයි. මෙම අර්ථ සියල්ල සඳහාම පොදු සාධකයක් වශයෙන් අතීත සිදුවීම හෝ අතීතයේ සිදු වූ සිද්ධිය යන්න හඳුනාගත හැකිය. ඒ අනුව, සරළාර්ථයෙන් ‘අතීත කාලයට අයත් සිදුවීමක් පිළිබඳ ප‍්‍රකාශය හෙවත් වාර්තාකරණය’ ඉතිහාසය යනුවෙන් හඳුනාගත හැකි වෙයි. නමුත් වර්තමාන ශික්‍ෂණය තුළ අතීතයට අයත් සියලුම සිදුවීම් ඉතිහාසය යනුවෙන් අර්ථදැක්විය හැකිද යන ගැටලුව අයෙකුගේ සිත තුළ ජනිත වේ.

ඉතිහාසය යන වචනය අතීත සිද්ධීන් හෝ එම සිදුවීම් අන්තර්ගත වාර්තාව හෝ හැඳින්වීමට යොදාගත හැකි ය. ඒ අනුව ‘ඉතිහාසය යනු අතීත පරම්පරාවන්ගෙන් ශේෂ ව ඇති කරුණු කෙරෙහි ඥානය හා පරිකල්පනය යොදා ගොඩනඟා ඇති අතීතයේ ප‍්‍රතිබිම්බයයි.’6 නූතන ඉතිහාස ශික්‍ෂණය අනුව ‘අතීතයේ මානව අද්දැකීම් සම්භාරය පිළිබඳ ඥානය වර්තමානයේ හා අනාගතයේ මානවයාට ගෙන දීම ඉතිහාස ශික්‍ෂණය හා සම්බන්ධ වෙයි.’7 වර්තමානය වන විට ඉක්ම ගිය කාල-අවකාශයකට අදාළ දැනුම් පද්ධතිය නූතනය තුළ සජීවිකරණයක් ඉතිහාස විෂය තුළ සිදුවන බව හෝ සිදුකිරීමට උත්සාහ දරන බව පැහැදිළි වේ. ඓතිහාසික වශයෙන් ඉතිහාසය ලිවීම ආරම්භ වූයේ පසුගිය සිද්ධින් දැනහැදින ගැනීමට මිනිසා තුළ ඇති කුහුල8 ආශ‍්‍රයෙන් වුවත් අධ්‍යයනයක් වශයෙන් ඉතිහාසය යනු මනුෂ්‍ය සමාජයේ වෙනස්වීම් පිළිබඳ ව හැදෑරීමයි.9

ඉතිහාසඥයා යනු කවරෙක් ද?

ඉතිහාසඥයා යනු කවරෙක් ද? යන්න නීර්ණය කරගත යුතු වන්නේ ඊ.එච්. කා දක්වන්නාක් මෙන් කරුණු හැදෑරීමට පෙර ඉතිහාසඥයා හදාරන්න10 යන්න අවධාරණය කොට ඇති නිසා පමණක් නොව, එය අප අරමුණ කරා ලඟා වීම සඳහා සාකල්‍යයෙන්ම වැදගත් වන බැවිනි. අනෙක් අතට ශික්‍ෂණයක විග‍්‍රහය විෂයානුබද්ධ ස්වරූපයකින් මෙන්ම ඒ හා අත්‍යයන්තයෙන් බැඳි සංරචක විග‍්‍රහය මඟින් ද සපුරාගත හැකි බැවිනි.

ඉතිහාසඥයා හෙවත් Historian යනු ‘ඉතිහාසය පිළිබඳ ලියන හෝ අධ්‍යයනය කරන ඉතිහාසය පිළිබඳ විශේෂඥතාවක් ලබාගත් පුද්ගලයෙකි’11 යන්න මේ පිළිබඳව ඇති සරළම විවරණයයි. ඉතිහාස විෂය ක්‍ෂේත‍්‍රය යටතට අන්තර්ග‍්‍රහණය වන්නා වූ විෂය පරාසය පිළිබඳ අධ්‍යයන සිදුකරමින් ඒ පිළිබඳ පරිචයක් අත්කොටගත් එමෙන්ම ඒ පිළිබඳ දැනුම නූතන සමාජය වෙත බෙදාහරින තැනැත්තා ඉතිහාසඥයා වශයෙන් නම්කළ හැකි වේ. දැනට දන්නා පරිදි ඉතා ඈත අවධියේ සිට ඉතිහාසඥයන් වශයෙන් විවිධ පුද්ගලයන් හඳුනාගත හැකි වන අතර ඒ අතුරින් තුසිඩිඩීස් හා හෙරඩෝටස් පුරෝගාමි ඉතිහාසඥයින් ලෙස අවධානයට පාත‍්‍ර වී ඇත.

ඉතිහාසඥයාගෙන් සමාජය බලාපොරොත්තු වන නැතහොත් ඔහුට පැවරී ඇති කාර්යය ද්විවිධ වෙයි. එනම් විශ්ලේෂණය හා සංස්ලේෂණයයි.12 ඉතිහාසඥයාගේ මූලික කාර්ය වනුයේ මූලාශ‍්‍රය උපකාරී කරගනිමින් අතීත කරුණු සංස්ලේෂණය කිරීම හෙවත් රැස්කිරීමයි. මෙම අතීත කරුණු ඉතිහාසඥයා නම් ශිල්පියාගේ නිර්මාණය සඳහා අත්‍යවශ්‍යය අමුද්‍රව්‍ය හා මෙවළම් වැනි වේ. මෙම එක් එක් කරුණු හා මෙවළම් අවශ්‍ය ස්ථානයේ දී අවශ්‍යය අනුපාතයට පරිහරණය කිරීමට සිදු වේ. එයින් අදහස් වන්නේ ඉතිහාසඥයාගේ කරුණු හා මෙවළම්වලට එක හා සමාන වටිනාකමක් නොමැති බවයි. අතීතය හා ආබද්ධ කරුණු සමුදායකින් තමාට අත්‍යවශ්‍ය, තම අරමුණ හා අනුයාත කරුණු හා මෙවළම් වෙන්කරගැනීමේ අතිශය සංකීර්ණ හා අවධානාත්මක කාර්යය පැවැරෙන්නේ ඉතිහාසඥයාට ය. මෙම කාර්යය සඳහා ඔහුට පුරාවිද්‍යාව, අභිලේඛන විද්‍යාව, නානක විද්‍යාව, කාලානුක‍්‍රම විද්‍යාව, කලාව ආදී ඉතිහාස ශික්‍ෂණයේ සහායක විෂයන්ගේ සහාය හා උපකාරය ලබාගැනීමට සිදු වේ.13 ඉතිහාසඥයා විසින් මෙම කරුණු වරදවා ගැනීමකින් තොරව මනා කොට ග‍්‍රහණය කරගැනිම අවශ්‍යය වේ. සී.ජී. ස්කොට් පත‍්‍රකලාවේදියා උපුටා දක්වමින් ඊ.එච්. කා දක්වන්නාක් මෙන් ‘කරුණු පූජනීය වන අතර අදහස් ස්වාධීන වේ.’14 යම්කිසි ආකාරයකින් ඉතිහාසඥයා විසින් මෙම පූජනීය කරුණු කෙළසීමේ ප‍්‍රතිඵලය වන්නේ අදහස් පක්‍ෂග‍්‍රාහි වීමයි. එහි ප‍්‍රතිඵලය ජීවිත ගණනාවක වන්දියක් වියහැකි වේ. ලෝක ඉතිහාසය තුළ මේ සම්බන්ධ උදාහරණයන්ගේ ඌනතාවක් නොමැත. පූජනීය කරුණු හසුරුවන ඉතිහාසඥයා අගතිගාමී නොවූ මධ්‍යස්ත පුද්ගලයෙකු විය යුතු වේ. මෙලෙස ඉතිහාසඥයාගෙන් අපක්‍ෂපාතීත්වය අපේක්‍ෂා කරනු ලැබුවත් නිසැක වශයෙන්ම 100%ක අපක්‍ෂපාතීත්වයක් පුද්ගලයෙකුට අත්කරගත නොහැකි බැවින් ඉතිහාසඥයා හැකිතරම් දුරකට හෝ අපක්‍ෂපාති හෙවත් මධ්‍යස්ත පුද්ගලයෙක් විය යුතු බව අපේක්‍ෂා කරයි. ඒ උක්ත දැක් වූ ස්වාධිනත්වය ලබාගැනීම උදෙසා වේ. ඉතිහාසඥයා පවතින සමාජයේම නියෝජනයක් බැවින් සමාජ – සංස්කෘතික – ආර්ථික – දේශපාලනික – මානසික හා චර්යාත්මක ආදි සංරචකයන්ගෙන් ව්‍යුක්ත පුද්ගලයෙක් ලෙස ක‍්‍රියාත්මක වීමට ඔහුට කිසිසේත්ම හැකියාවක් ලැබෙන්නේ නැත.15 එබැවින් ඉතිහාසඥයා සපයාගන්නා කරුණු අනුව වඩාත් සංගත අදහස් ජනනය කිරීමට උත්සුක විය යුතු වේ.

අතීත සිදුවීම් හා අනුබද්ධ, සම්බන්ධ කරුණු පැවතියත් එම කරුණු අර්ථ සූචනය කරන්නේ ඉතිහාස ශික්‍ෂණයක ආබද්ධතාව පිළිසිඳගත් ඉතිහාසඥයා එම කරුණු වලට ඇමතූ විට පමණි.16 කවර කරුණුවලට, කවරාකාර පිළිවෙලකට කවර අදාළත්වයකට අනුකූලව කතා කරන්නේ ද? යන්න තීරණය කිරීමේ අයිතිය පැවරී ඇත්තේ ඉතිහාසඥයාට ය. එබැවින් ‘ඉතිහාස කරුණු වලට ඇමතිය හැකි පුද්ගලයා ඉතිහාසඥයා’ වශයෙන් අර්ථ දැක්වීමේ හැකියාවක් ද ඇත. එබැවින්ය, ඉතිහාසඥයා අපක්‍ෂපාත අයෙකු වියයුතු බව ප‍්‍රකාශ කරන්නේ. නැතහොත් මිනිසුන් කොටසකගේ හෝ එක් අයෙකුගේ පටු අපේක්‍ෂාවක් හෝ අපේක්‍ෂාවන් මුදුන් පමුණුවා ගැනීම සඳහා පූජනීය කරුණු කෙලසීමේ පාපයෙන් මිදීමට ඉතිහාසඥයාට නොහැකි වනු ඇත.

ඓතිහාසික සාධක විග‍්‍රහ කොට එමඟින් අතීතය නැවැත නිර්මාණය කිරීම ඉතිහාසඥයාගෙන් අපේක්‍ෂා කෙරේ. එමඟින් ඉතිහාසඥයාගේ මූලික කාර්යය වශයෙන් දැක් වූ මූලාශ‍්‍රයන්ගෙන් අතීත කරුණු රැස්කර හෙවත් සංස්ලේෂණය කොට ඒවා ඉතිහාස ශික්‍ෂණයට අනුකූල ආකාරයෙන් විශ්ලේෂණය කිරීම මඟින් ඉතිහාස නිර්මාණය නැතිනම් රචනය සිදු වෙයි. අතීතය යන්න තත් වූ පරිද්දෙන්ම ප‍්‍රතිනිර්මාණය කිරීම කිසිසේත්ම සිදුකළ නොහැක්කකි.17 අතීතයේ සිදුවීම හා සම්බන්ධ සියලු සාධක ශේෂගත නොවීම හා තත් වූ පරිදි අදාළ කාල-අවකාශය මත කිසිවෙකුටත් නැවත ගමන්කිරීමට හැකියාවක් නොමැති වීම මේ සඳහා බලපෑම් සිදුකරන හේතු අතර වේ.

ඉහත සාකච්ඡා කළ කරුණු අනුව ‘ඉතිහාසයට අදාළ කරුණු සමඟ සංවාදයක නිරතවන්නා’ ඉතිහාසඥයා වශයෙන් හඳුනාගත හැකි වන අතරම තවත් ආකාරයකට ‘යටගිය කරුණු සමඟ සංවාද කරමින් එම කරුණු නූතනය වෙත ගෙන එන්නා’ ඉතිහාසඥයා වශයෙන් ද දැක්විය හැකි වේ. මේ විග‍්‍රහයට අනුව ඉතිහාසය යනු ‘ඉතිහාසඥයා හා ඔහුගේ කරුණු අතර නැතහොත් වර්තමානය (ඉතිහාසඥයා) හා අතීතය (අතීත කරුණු) අතර ඇතිවන්නා වූ අවිච්ජින්න සංවාදයක්’18 වශයෙන් අර්ථකථනය කළ හැකි වේ.

ඉතිහාසයේ විෂයපථය හා ක‍්‍රමවේදය

ඉතිහාසය හා ඉතිහාසඥයා යනු කවරෙක්ද? යන්න හඳුනාගැනීමෙන් අනතුරුව අපගේ මුඛ්‍ය අරමුණ සපුරා ගැනීම සඳහා අවශේෂ කරුණු කීපයක් ද නිරාකරණය කරගත යුතුව ඇත. ඉතිහාසයේ විෂයපථය හා ක‍්‍රමවේදය කුමක්ද යන්න නීර්ණය කරගැනීම වැදගත් වේ. ඉතිහාසයේ විෂයපථය තුළ මානවයා හා බැදි අතීතයේ අංශුමාත‍්‍රයක් පමණක් නිරූපණය වේ නම් එය අනන්‍යසාධාරණ ප‍්‍රපංචයක් වශයෙන් සාකච්ඡාවට බඳුන් කිරීමට ඇති අවස්ථාව සීමිත ය. අතිශය පුළුල් විෂය පරාසයක් කිසිසේත් ප‍්‍රායෝගික ක‍්‍රියාන්විතයක් දක්වා ව්‍යාප්ත කිරීම ද සුදුසු නොවේ. අවිශේෂයෙන් විෂයක ක‍්‍රමවේදය එම විෂයේ ආත්මීය ලක්‍ෂණ අතික‍්‍රමණය කරමින් වාස්තවික තත්ත්වයක් වෙත සම්පේ‍්‍රරණයේ ලක්‍ෂණ විදහා දක්වයි. එය විෂයක එළඹෙන්නා වූ ඵලාගමයන් අත්කරගත් ආකාරය විනිවිද පෙන්වන නිර්ණායකයක් ද වනු ඇත.

ඉතිහාසයේ විෂය පරාසය

අතීත ශිෂ්ටාචාර අවධියේ සිට විවිධ අරමුණු මුල් කොටගෙන ඉතිහාස විෂය හා ඉතිහාසකරණ සංකල්පය ක‍්‍රියාත්මක වුව ද අද වන විට ‘ඉතිහාසය වනාහි ඉතිහාසඥයා හා ඔහුගේ කරුණු අතර අන්‍යෝන්‍ය අඛණ්ඩ ක‍්‍රියාවලියකි. වර්තමානය හා අතීතය අතර නිමක් නැති සංවාදයකි’19 යන අදහස තහවුරු වී ඇත. එම අර්ථ දැක්වීම අනුව වර්තමාන සමාජය තුළ පුනර්නිෂ්පාදනය වන්නා වූ ක‍්‍රියාදාමයන් හෝ ඒවායේ ඡායා සටහන් අතීතය තුළින් හඳුනාගත හැකිනම් ඒ සියලු ප‍්‍රපංච ඉතිහාස විෂයේ විෂය පථය තුළට අන්තර්ග‍්‍රහණය කොටගෙන ඇත. ඉතිහාසඥයාගේ රුචිකත්වය හෝ සීමිත බව හේතු කොටගෙන ඈත කාලීන ඉතිහාසය හා නූතන ඉතිහාසය යනුවෙන් කාල රාමුවක් තුළට සීමාකරමින් හෝ ඇමරිකානු ඉතිහාසය, යුරෝපා ඉතිහාසය, ඉන්දීය ඉතිහාසය ආදී වශයෙන් විස්තෘත ප‍්‍රදේශීය රාමුවක් තුළට ඒවා ගොනුකර අරමුණට හා කළමනාකරණය කළ හැකි දත්තයන්ගේ සීමාසහිතතාව අනුව ඉතිහාසයේ සීමාව පටු තලයතට ගෙනඑනු දැකිය හැකි ය. එය අධ්‍යයනයේ පහසුව සඳහා කරන්නක් වශයෙන් ද විවරණය කළ හැකි වේ. උක්ත දැක් වූ පරිදි රුචිකත්වය, සීමිතකම හා පහසුව ආදී විවිධාකාර කරුණු ඔස්සේ මෙම සීමාකරණය සාධාරණීකරණය කිරීමට හැකියාව ඇත.

ප‍්‍රාග් නූතන අවධියේ දී යටගිය සිද්ධින් හා ප‍්‍රසිද්ධ පුද්ගලයන් පිළිබඳ විස්තර හා තොරතුරු ලියාදැක්වීම ඉතිහාසය ලෙස, සමහර පුද්ගලයන් අර්ථදක්වා ඇත. ඒ අනුව, යුද්ධ හා යුද්ධ ජයග‍්‍රහණ, ස්වාභාවික ආපදා, රාජවංශ විස්තර, ජයග‍්‍රාහක අධිරාජ්‍යයන්, ආගමික කර්තෘන් හා ආගමික සිදුවීම් ආදිය ලියාදැක්වීම ඉතිහාසය ලෙස හඳුනාගැනීමට උත්සාහ දරා ඇත. ඉතිහාස ශික්‍ෂණයේ නූතන ප‍්‍රවනතාව තුළ මේ සියල්ල අතික‍්‍රමණය කරමින් යම් සිදුවීමක සිදුවීම නොව සිදු වූ ආකාරය හා එම සිදුවීම, සිදුවීම සඳහා බලපාන ලද හේතු සාධකයන් මෙන්ම එම සිදුවීමේ නූතන අදාළත්වයත් ඉතිහාසය විෂය තුළ අධ්‍යයනයට ලක් වේ.

ඉතිහාසයේ විෂය පරාසය පිළිබඳව කථිකාව තුළ දී හුදු වචන හරඹයකට වඩා ජීවමාන පද්ධතියක් හෙවත් සමාජයක් තුළ ඉතිහාසකරණ ව්‍යාපෘතියේ දියත් වීමේ ස්වාභාවය අධ්‍යයනය කිරීම තුළින් එම විෂයේ පරාසය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාගත හැකි වනු ඇත. ඒ පිළිබඳ හොඳම සම්පත් මූලයක් වශයෙන් ශ‍්‍රී ලංකාවේ නූතන ඉතිහාසකරන ව්‍යාපෘති පිළිබඳ අවධානය යොමුකළ හැකි ය.20 ලංකාවේ නූතන ඉතිහාස රචනා තුළ,

    1. විෂය තේමා පිළිබඳ පර්යේෂණ පදනම් කොටගෙන රචිත ඒකවිෂයික ග‍්‍රන්ථ
    2. සඟරාවල හෝ ග‍්‍රන්ථවල පල වූ පර්යේෂණ ලිපි
    3. පර්යේෂණාත්මක ලිපි ආශ‍්‍රයෙන් දේශයක දීර්ඝ කාලීන ඉතිහාසය ඉදිරිපත් කරන සාමාන්‍ය ඉතිහාස ග‍්‍රන්ථ යනුවෙන් ප‍්‍රධාන ප‍්‍රභේද කීපයක් හඳුනාගෙන ඇත.21

ඉතිහාසය සම්බන්ධ විවිධ ප‍්‍රභේදවලට අයත් රචනා තුළින් ශ‍්‍රී ලංකාවේ සමාජ, ආර්ථික, දේශපාලනික, ආගමික හා සංස්කෘතික ආදී සෑම ක්‍ෂේත‍්‍රයක් පිළිබඳවම විවිධ තේමානුගත පරාසයන් ආවරණය කිරීමට විද්වතුන් ඉතිහාස ශික්‍ෂණය තුළ උත්සාහ දරා ඇත. එපමණක් නොව, අදාළ සම කාලීන සමාජය සඳහා දක්‍ෂිණ හා උත්තර භාරතීය ආදී දේශීයත්වයෙන් පරිබාහිර ප‍්‍රමුඛ සාධකයන්ගේ නැඹුරුතාව වෙත ද ඔවුන් අවධානය යොමු කර ඇත. ඉතිහාස ශික්‍ෂණය තුළ ඉතිහාසඥයාගේ අවධානය බෙහෙවින් පුළුල් පරාසයක ව්‍යාප්ත වන අතරම ඒ තුළ ඔහුගේ ශික්‍ෂණ මාර්ගයේ සංයත ආකාරයකින් ගමන් කිරීමට උත්සුක වන බවත් පැහැදිළි වී ඇත.22 ඕනෑම විෂයක මූලය ‘දාර්ශනික ඉතිහාසයක්’ වෙත යොමු වී තිබීම මේ ආකාරයෙන් ඕනෑම විෂයක මූලය වෙත ඉතිහාසඥයාට ගමන් කිරීමට ඇති අයිතිය හා හැකියාව ස්ථාපනය කොට ඇත. ඉතිහාසඥයා විසින් අතීතය පිළිබඳ මතකය අතීතය තුළම සිරකර නොතබා වර්තමාන සමාජ, ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික පසුබිමක් තුළ විවරණය කිරීමට උත්සාහ දැරීම එම විෂයේ විෂය පරාසයේ ඇති පුළුල් බව පෙන්වා දීමට සමත් කදිම සාධකයකි. අනන්‍යසාධාරණත්වය හා සාධාරණිකරණය අතර සම්බන්ධයක් ඇති කිරීම ඇත්ත වශයෙන්ම ඉතිහාසයෙන් කෙරෙන නිසා මානවයාගේ වර්තමානය හා සම්බන්ධ සිදුවීම් හා ප‍්‍රපංචයන් පිළිබඳ කතාව අතීත සාධකයක් සමඟ අනුබද්ධ කළහැක්කේ නම් ඒ තාක් විෂය පරාසයක් ඉතිහාස ශික්‍ෂණය යටතට නතු කළ හැකි ය.

ඉතිහාසයේ ක‍්‍රමවේදය

අතීතය සමඟ නිරන්තර සංවාදයක් ඇතිකර ගැනීම එක් එක් පුද්ගලයාට අනන්‍ය ක‍්‍රමවේද ඔස්සේ සිදුකිරීම එතරම් හිතකර වන්නක් නොවේ. පුද්ගලානුබද්ධය බොහෝ අවස්ථාවන්හි දී අදහස්වල ස්වාධින බව කෙළසීමට ඉවහල් වන බැවිනි. එබැවින් විධිමත් හා පාරදෘෂ්‍ය ක‍්‍රමවේදයකට අනුව ඉතිහාස රචනයේ ක‍්‍රමවේදය සකස් වීම සෑම අතින් ම වැදගත් වෙයි. අතීතය පිළිබඳ සොයනබලන ඒ පිළිබඳ නැවැත සොයන ඉතිහාසඥයා අරමුණක්, ක‍්‍රමවේදයක් හා විණයක් තුළින් එය විස්තර කිරීමට පිවිසිය යුතු වේ.23

ඉතිහාසඥයා තමාගේ තේමාවට අනුකූල කරුණු ඉතිහාස කරුණු සංචිතය තුළින් පළමුව තෝරා වෙන්කරගත යුතු වෙයි. එහි දී අපක්‍ෂපාතී විම හා නිරවද්‍යවීම යන කරුණු කෙරෙහි සංවේදී බවක් දැක්විය යුතු වේ. එමෙන්ම මෙම ඓතිහාසික කරුණු දෙස ඤාණාන්විතව බැලීම ඔස්සේ ඒවා ඤාණාන්විත චින්තනයකට ගොනුකර පරික්‍ෂාකර බලා ඉතිහාස නිර්මාණකරණය සිදුකරයි. මෙම නිර්මාණකරණය ‘ඉතිහාසය නැතහොත් අතීතය’ ලෙස දැක්විය හැකි වේ. මෙම අතීතය තුළ සිද්ධින්, දත්ත, අවශේෂ මෙන්ම කාලය හා අවකාශය යන සංකල්ප ආදී සියල්ල රාශි වී තිබේ.24 තවත් ආකාරයකට ඉහත සාධක ඓතිහාසික සාධක වන අතර එම සාධක සියල්ල ඇතුළත් ඓතිහාසික සාධක ඉතිහාසඥයා වෙතට ලඟා වීමෙන් ඉතිහාසය නිර්මාණය වෙයි.

ඉතිහාසඥයාගේ අතීතය

ඉතිහාස වචනයේ නිරුක්තිය ‘එය මෙසේ සිදුවිය’ යන්න බැවින් ඉතිහාස යන්නෙන් දැනට සිදු වී අවසාන සිදුවීමක් ගම්‍ය වෙයි. එය කාල වශයෙන් දැනටමත් අප පසුකර පැමිණි නැතහොත් මළගිය කාලයකට අයත් වන්නක් බව පැහැදිළිය. මතුපිට සිට සිදුකරන විග‍්‍රහයක දී ඉතිහාස විෂය ක්‍ෂේත‍්‍රය තුළ ඉතිහාසඥයාගේ සැලකිල්ලට නැතහොත් අවධානයට බඳුන්වන ක්‍ෂේත‍්‍රය මළ අතීතයක් නැතහොත් දැනටමත් සිදු වී අවසාන සිදුවීමක් පිළිබඳ විවරණයක් හෙවත් ස්මරණයක් බව පැහැදිළි වේ. ඉතිහාසයේ දී හදාරණු ලබන්නේ ඒ ආකාර වූ යටගියාව පිළිබඳ මතකයක් පමණක් ද? එය වර්තමාන හෝ අනාගත උපයෝගිතාවකින් ශූන්‍ යද? යන්න තියුණු ලෙස විමර්ශනයට හසුකරන ලද්දකි. උක්ත අදහස අනුව කරුණු සංක්‍ෂේපයෙන් විමසා බැලීමට මෙයින් ඉදිරියේ දී අවධානය යොදවනු ලැබේ. එමඟින් ඉතිහාසඥයා හදාරණු ලබන්නේ මළ අතීතයක් නොව නූතනය දක්වා සජීවි වූ ඉන්ද්‍රියානුබද්ධ අතීතයක් බව සැලකිය යුතු මට්ටමකින් සාධනය කර දැක්වීමට හැකිවනු ඇත.

ඉතිහාසය යනු නිරුපනයක්25 බැවින් සෑම විටම එය යටගිය කාලයේ ස්ථාපිත හෝ සිදුවීම් දාමයට වඩා සෑම විටම යථා තත්ත්වයෙන් ඈත් වේ. ඓතිහාසික සාධක විග‍්‍රහ කොට එමඟින් අතීතය ප‍්‍රතිනිර්මාණය කිරීම ඉතිහාසයෙන් අපේක්‍ෂා කරනු ලැබුවත් අතීතය ඒ වූ පරිද්දෙන්ම නිර්මාණය කිරීම කිසිසේත්ම සිදුකළ නොහැක්කකි.26 ඒ එක් අතකින් උක්ත දැක් වූ ගුණාංගය නිසා ය. තවත් අතකින් අතීතය හා සම්බන්ධ සාධකයන්ගෙන් ශේෂගත වී ඇත්තේ නොහොත් අනාවරණය කරගත හැක්කේ සාධක ස්වල්පයක් පමණක් බැවිනි.27 අතීතය නිර්මාණය කිරීමේ දී ලැබී ඇති සාධක සියල්ල භාවිතයට ගැනීම ද අපහසු වේ.28 මේ ආදි සාධක නිසා ඉතිහාසය සෑම විටම මුල් සිදුවීමට වඩා ද්වීතිය වූවකි. ඉතිහාසඥයා විසින් හදාරණු ලබන ක්‍ෂේත‍්‍රය අතීතයට අයත් වන්නක් බව විවාද රහිතව පිළිගැනෙන්නකි. එසේ නම් ගැටළුව ඇත්තේ ඉතිහාසඥයාගේ අතීතය මළ අතීතයක් ද නොඑසේ නම් වර්තමානය දක්වා සජීවිත්වයකින් යුතු ඉන්ද්‍රියබද්ධ වූවක් ද යන්න සම්බන්ධයෙනි. මෙම කාරණය විග‍්‍රහ කිරීමේ දී පැති කීපයක් ඔස්සේ එය විමර්ශනයට හසු කිරීමට පුළුවන.

ඉතිහාසයේ කේන්ද්‍රීය චරිතයක් වූ ඉතිහාසඥයාට සාපේක්‍ෂව මෙම කරුණ විමසා බැලීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ හැකි ය. ඉතිහාස විග‍්‍රහය නැතහොත් අතීතය පිළිබඳ මතකය ඓතිහාසික මූලාශ‍්‍රය හෙවත් කරුණු අනුව ප‍්‍රතිනිර්මාණය කිරීම සිදුවන්නේ ඉතිහාසඥයාගේ මනස තුළය. ඉතිහාසඥයා විසින් විවිධ මාර්ග ඔස්සේ තමන්ගේ පංචේන්ද්‍රියන් උපකාරයෙන් ග‍්‍රහනය කරගනු ලබන කරුණු තම මනස උපකාරයෙන් විශ්ලේෂණයට බඳුන්කර ඉතිහාසය රචනා කරනු ලැබේ. එබැවින් ඉතිහාස රචනය අනිවාර්ය වශයෙන්ම පංචේන්ද්‍රියනට හසුවන නැතහොත් ඉන්ද්‍රිය ගෝචර ප‍්‍රපංචයක් බවට පත්වීම නොවැලැක්විය හැක්කකි. එමෙන්ම මිනිසා වනාහි බාහිර සාධකයන්ගෙන් ස්වායක්ත නැතහොත් ව්‍යුක්ත ප‍්‍රපංචයක් නොවන බව පිළිගනු ලැබුවා වූ සත්‍යයකි. ඥානවිභාගාත්මක කාරණා අනුව විග‍්‍රහ කර බැලීමේ දී මිනිසාගේ චින්තනය සිතුම්පැතුම් හා අදහස් ඔහු ජීවත් වන සමාජ, ආර්ථික, දේශපාලනික, සංස්කෘතික, ආගමික හා මානසික ආදී ඔහු වටා වූ සෑම ප‍්‍රපංචයකටම සාපේක්‍ෂව නිර්ණය වන්නකි. සංයුක්ත නිකායේ දී බුදුහිමියන් විසින් දේශනා කරන ලද ‘ඇවැත්නි, මේ බඹයක් පමණ වූ, සඤ්ඤාව හා මනස ද සහිත වූ ශරීරය තුළම මම ලෝකයත්, ලෝකය හටගැනීමට හේතුවත්, ලෝක නිරෝධයත්, ලෝක නිරෝධයට හේතුවන ප‍්‍රතිපදාවත් පනවමි’29 යන්න ඇසුරින් මෙය වඩාත් පැහැදිළි කරගත හැකි වේ. බෞද්ධ ඥාන විභාගයට අනුව ද යමෙකුගේ මනස ඇතුළු ඉන්ද්‍රිය පද්ධතිය තුළ දැනුම බිහිවීම සිදුවන්නේ ඔහු වටා සංකේන්ද්‍රනය වූ විවිධ ප‍්‍රපංචයනට සාපේක්‍ෂව බව පැහැදිළිය.

ඉතිහාසඥයා විසින් අතීත සිදුවීම හා අනුබද්ධව ග‍්‍රහණය කරගනු ලබන කරුණු මෙන්ම ඔහුගේ මනස තුළ සිදුකරනු ලබන විශ්ලේෂණය හා ඔහුගේ ප‍්‍රතිදානය හෙවත් ඉතිහාස රචනය ද එම පුද්ගලයා හා අනුබද්ධ සංයුක්තයකි. ඉතිහාසය ලෙස සැබෑ ලෙසම ප‍්‍රතිනිර්මාණය වන්නේ මළගිය සිදුවීම ම නොව එම සිදුවීම පාදක කොටගනිමින් වර්තමානයේ ජීවත් වන, වර්තමානයේ නිර්මාණයක් වන ඉතිහාසඥයා විසින් තම මනස තුළ ප‍්‍රතිනිර්මාණය කරන ලද නව දැනුමකි. එය කිසිදු ආකාරයකින් මළ අතීතයට අයත් වන්නක් නොව වර්තමානයට සාපේක්‍ෂව වර්තමාන ඉන්ද්‍රීය පද්ධතියට ගෝචර වූ දැනුම් පද්ධතියකි. මේ තුළ දී අතීත සිදුවීම හා සම්බන්ධ නිරපේක්‍ෂ ‘සත්‍යය’ යන්නක් ප‍්‍රතිනිර්මාණය කිරීම කිසිවිටෙකත් සිදු නොවන අතර එය කිසිදු විටෙක සිදුකළ හැක්කක් ද නොවේ. එසේ නම් මේ අවස්ථාවේ බිහිවන දැනුමේ අදාළත්වය කුමක්ද? කෙසේද?. සැබවින්ම සිදුවන්නේ අතීත සිදුවීම හා සම්බන්ධ කරුණු හා වඩාත් ගැලපෙන නැතහොත් සංගත අදහස් ඉදිරිපත් වීමකි.

කොලින්වුඩ්ගේ අදහසක් උපුටමින් “ඓතිහාසික දර්ශනයට විෂය වන්නේ ‘අතීතය තනිවම’ හෝ ඒ ගැන ඉතිහාසඥයාගේ චින්තනය තනිවම නොව අන්‍යෝන්‍ය සබැදියාවෙන් යුත් ඒ දෙකම ය”30 යන්න උපුටා දක්වමින් ඊ.එච්. කා තහවුරු කරන්නේ මෙම දැක්මයි. කොලින්වුඩ්ගේ අදහස විමර්ශනය කිරීමේ දී පෙනී යන්නේ දැනටමත් සිදු වී අවසාන සිදුවීමක් සම්බන්ධයෙන් වර්තමාන ප‍්‍රපංචයන්ගේ නිර්මිතයක් වන ඉතිහාසඥයාගේ මනස තුළ ඇතිවන අදහස් සමුදාය ඉතිහාස දර්ශනයට විෂය වන බවයි. නැවත වරක් යටගිය සිදුවීමක් අනුසාරයෙන් වර්තමානය තුළ ඓන්ද්‍රිය වශයෙන් නිර්මානය වන නව දැනුම් පද්ධතිය ඉතිහාසය වන බවයි. අප විසින් සලකා බලනු ලබන ප‍්‍රස්තුත කාරණය ඇතුළත පැනෙන ඉතිහාසය තුළින් හදාරණු ලබන්නේ මළ අතීතයක් නොව ඉන්ද්‍රියබද්ධිත වූවකි යන්න තදබල ලෙස තහවුරු වේ. එක් අතකින් ඉතිහාස රචනය නමින් සිදුවන්නේ අතීත ස්වරූපයක් ගනිමින් එහෙත් අතීත සිදුවීමක් හෝ සිදුවීම් මාලාවක් පදනම් කර ගත් වර්තමානය ප‍්‍රතිනිර්මානය වීමක් වැනි මායාකාරී ක‍්‍රියාවකි. ඉදිරියේ දී සාකච්ඡා කරන ලබන ආකාරයට මෙම මායාව වර්තමාන නැතහොත් අනාගත වුවමනාවන් හා අවශ්‍යතාවන් සපුරාගැනීම පිළිබඳ නොවරදින ඉලක්කයට එල්ලකළ හැකි හී පහරකි. මෙම ‘සංගත මායාව’ සෑම ශිෂ්ට සමාජයකම ගාමක බලවේගයක් බවට පත්කරගත හැකිවනු ඇත. ඉතිහාසඥයා සතු මෙම ශක්‍යතාව නිසාමය ඔහු හැකි උපරීම ආකාරයෙන් මධ්‍යස්ත ලෙස සිටිමින් සංගත ඉතිහාසයක් නිර්මාණය කරන්නක් වියයුතු වන්නේ. කොලින්වුඩ් කියන පරිදි ‘තම නළු පිරිසේ සිත්වල සිදු වූ දේ ඉතිහාසඥයාගේ සිතේ යළි නැටවිය යුතු නම් පාඨකයා ද ඉතිහාසඥයාගේ සිතේ සිදුවන දේ තම සිතේ යළි නැටවිය යුතුය.’ 31 මේ ප‍්‍රකාශය මඟින් නැවත තහවුරු කරන්නේ ඉතිහාසය වනාහි ඉතිහාසඥයාට සාපේක්‍ෂ වන්නක් බවයි. මෙය සිදුවිය යුතු පරිදිම අවබෝධ කරගත් බැවිනි ඊ.එච්. කා ‘කරුණු හදාරන්නට පෙර ඉතිහාසඥයා හදාරන්න’ යන්න අවධාරණය කරනු ලබන්නේ.32

වර්තමානය යනු අතීතයේ නිෂ්පාදනයකි; ව්‍යුත්පන්නයකි. අතීතයේ සිදු වූ සිදුවීම් ජාලයක ප‍්‍රථිපලයක් ලෙස වර්තමානය ජනනය වී ඇත. වර්තමානය සකස් වීමේ මූලික පදනම වන්නේ අතීතයයි. එබැවින් වර්තමාන ක‍්‍රියාන්විතය තුළ අතීතයේ බීජ අන්තර්ගත වීම නොවැලැක්විය හැක්කකි. ඉතිහාසඥයා අයත් වන්නේ අතීතයට නොව වර්තමානයට ය. ‘ඉතිහාසඥයා අතීතයට පෙම්කළ මනාය’ යනුවෙන් ටෙ‍්‍රවොර් රෝපර් ප‍්‍රකාශ කර ඇති ආකාරයටම33 ඉතිහාසඥයා විසින් අතීතය යනුවෙන් හදාරණු ලබන්නේ වර්තමානයේ පදනමයි. ඉතිහාසඥයා විසින් හදාරණු ලබන ඉතිහාසය වර්තමානය දක්වා සජිවී වු ඉන්ද්‍රියබද්ධිත වූවක් බව පෙනේ. සැබැවින්ම ඉතිහාසය වනාහි ඉතිහාසඥයා නිර්මාණය කරන දෙයයි.34 අනෙක් අතට ඉතිහාසඥයාගේ කාර්යය වන්නේ ‘ඉතිහාසයට පෙම් කිරීමවත් තමා අතීතයෙන් මිදීමවත් නොව වර්තමානය තේරුම් ගැනීමේ යතුර වශයෙන් අතීතය ජයගෙන තේරුම් ගැනීමයි.’35 අතීතය ජයගැනීම යනු අතීත සිදුවීම් ජාලය විනිවිද දැකීමයි. නැතහොත් වර්තමාන සිදුවීම් සමඟ එහි සිදුකරන සමවාය සම්බන්ධතාවයි. ප‍්‍රතිඝටනාත්මක වශයෙන් ඉතිහාසය යනු වර්තමාන සමාජය හැදෑරීමකි. එබැවින් ඉතිහාසය යනු සජීවි ඉන්ද්‍රියානුබද්ධිත වර්තමානය හැදෑරිමක් බවට පත් වේ.

වර්තමාන ‘ලෝකයේ පවත්නා අනෙක් ශික්‍ෂණයන් කිසිවකට වඩා ඉතිහාස අධ්‍යයනය ලෝකයේ දේශපාලන සිද්ධීන් හා බලවේග අවබෝධ කරගැනීම සඳහා උපකාරී වෙයි. අතීතය අපට දැනගත හැක්කේ වර්තමානය ආශ‍්‍රයෙනි.’36 එසේනම් අනාගතය දැනගත හැක්කේ වර්තමානය හා ඒ සඳහා තුඩුදුන් අතීතය තුළිනි. එබැවින් ඉතිහාස විෂය වර්තමාන සමාජයේ වඩා වැදගත් ස්ථානයක් හිමිකරගන්නා අතරම අනාගතයට තුඩුදිය හැකි සිදුවීම් පැහැදිළි කරන බැවින් අතීතය වනාහි කිසිසේත්ම මළගිය දෙයක් ලෙස සැලකිය හැකි නොවේ. ‘වර්තමාන යුගය මනාකොට සකස්කරගත හැකි වන්නේ අතීතය ඇසුරිනි.’37 ඊ.එච්. කා වරක් ප‍්‍රකාශ කර ඇත්තේ ‘ඉතිහාසඥයා හදාරණ අතීතය මළගිය අතීතයක් නොව යම් අන්දමකින් තවමත් වර්තමානය තුළ ජීවමාන අතීතයකි යන්නයි.’38 මෙහි ගැඹුරු දාර්ශනික අර්ථ පසෙක තිබිය දී මෙයින් පේ‍්‍රරණය කරගත හැකි සරළ මතුපිට අරුතකින් පමණක් වුව මෙම ප‍්‍රකාශයේ යථාවාදී බව පැහැදිළි කර ගැනීමට හැකි වෙයි. එනම්, ඉතිහාසඥයා විසින් ඉතිහාස කථනය කරනු ලබන්නේ තම මනස තුළ ඇතිවන හිතළු මත පදනම් වෙමින් නොව ඉතිහාස මූලාශ‍්‍රය පදනම් කොට ගනිමිනි. ‘මූලාශ‍්‍රය යනු අතීතය විසින් ඉතිරි කරන ලද දේත් අතීතයේ සිට පරම්පරාගතව ස්මෘති මාර්ගයෙන් ගෙනෙන ලද දේත් වේ.’39 ඉතිහාසඥයාගේ මූලික කාර්යය වනුයේ මූලාශ‍්‍රයන්ගෙන් අතීත කරුණු රැස්කරගෙන ඒවායින් අවැසි දේ තෝරාබේරාගෙන අනවශ්‍ය දේ ඉවත්කර, විෂම තැන් සමකර ඉතිහාස කථනය සිදුකිරීමයි. මෙහි දී ඉතිහාසඥයා විසින් භාවිත කරන මූලාශ‍්‍රයන්ගේ විශ්වාසනීයතාව කෙරෙහි ප‍්‍රමාණවත් සැලකිල්ලක් දැක්විය යුතු වේ. අතීතය යනු මූලාශ‍්‍රයන්ගෙන් පැනෙන්නක් නම්, මූලාශ‍්‍රය යනු තවමත් වර්තමාන සමාජයේ ජීවමාන ඉන්ද්‍රියබද්ධ කරුණු සමුදායක් නම්, ඉතිහාසඥයා විසින් හදාරණු ලබන අතීතය මළ අතීතයක් බවට පත් වීමට කිසිදු ඉඩක් නොමැත. එබැවින් මේ කරුණු අනුව ද අපගේ ප‍්‍රස්තුතය සනාථ වේ.

සාකච්ඡාව

ශිෂ්ටාචාරයට පිවිසි සෑම මානවයෙකුම අතීතය පිළිබඳව ඇති කුතුහලය හා අනාගතය පිළිබඳව දක්වන අවිනිශ්චිතතාව නිසාම වර්තමානය ස්ථාපනය කරගැනීමේ අරමුණින් තම අතීතය හැදෑරීම සඳහා පෙළඹෙන්නේ මානවයාට පොදු සහජ ලක්‍ෂණයක් නිරූපණය කරමිනි. මෙම නිබන්ධයේ දී සාකච්ඡා කළ පරිදි ඉතිහාසය වනාහි දැනට සිදු වී අවසාන කාල අවකාශයක ස්ථානගත වන්නකි. එය හදාරණු ලබන, නිර්මාණය කරනු ලබන නිර්මාණ ශිල්පියා වන ඉතිහාසඥයා යනු වර්තමානය නියෝජනය කරන වර්තමානය තුළින් නිර්මාණය වූ සංඝටකයකි. එබැවින් අතීත සිදුවීම් පදනම් කොටගනිමින් වර්තමාන සංරචක තුළින් නිර්මාණය වන ඉතිහාසය අනාගත පුනර්ජීවනය සඳහා අවශ්‍ය පදනම සපයයි.

පාදක සටහන්

  1. Kingfisher History Encyclopedia, London, Kingfisher, 1995, p.1
  2. ශ‍්‍රී සුමංගල ශබ්ධකෝෂය (ප‍්‍රථම භාගය), සංස්කරණය, වැලිවිටියේ පණ්ඩිත සෝරත ස්වාමීන්ද්‍රයන් වහන්සේ, කොළඹ, ඇස්. ගොඩගේ සහෝදරයෝ, 1998, පී.156
  3. සිංහල විශ්වකෝෂය (තුන්වැනි කාණ්ඩය), ප‍්‍රධාන කර්තෘ, ඩී.ඊ. හෙට්ටිආරච්චි, කොළඹ, සංස්කෘතික දෙපාර්තමේන්තුව, 1967, පි. 513
  4. සිංහල විශ්වකෝෂය (තුන්වැනි කාණ්ඩය), එම
  5. Oxford Advanced Learners Dictionary, India, Oxford University Press, p. 737
  6. සිංහල විශ්වකෝෂය (තුන්වැනි කාණ්ඩය), එම
  7. ආර්.එල්. ගුණවර්ධන, ඉතිහාසයේ අතීතය: ඉතිහාසකරණය පිළිබඳ අධ්‍යයන ව්‍යාපෘතිය, ඉතිහාසයේ අතීතය: ශික්‍ෂණයක වර්ධනය පිළිබඳ විමර්ශනයක්, සංස්. ආර්.එල්. ගුණවර්ධන, කොළඹ, එස්. ගොඩගේ සහ සහෝදරයෝ, 2005, පි. 1
  8. සිංහල විශ්වකෝෂය (තුන්වැනි කාණ්ඩය), එම, පි. 514
  9. සිංහල විශ්වකෝෂය (තුන්වැනි කාණ්ඩය), එම, පි. 513
  10. ඊ. එච්. කා, ඉතිහාසය යනු කුමක් ද?, පරි. සී. විජේරත්න, කොළඹ, ජාත්‍යන්තර ප‍්‍රකාශකයෝ, 1973, පි. 17
  11. Oxford Advanced Learners Dictionary, op.cit, p. 737
  12. සිංහල විශ්වකෝෂය (තුන්වැනි කාණ්ඩය), එම, පි. 515
  13. ඊ.එච්. කා, එම, පි. 4-5
  14. ඊ.එච්. කා, එම, පි. 4
  15. සිංහල විශ්වකෝෂය (තුන්වැනි කාණ්ඩය), එම, පි. 515, ඊ.එච්. කා, එම, පි. 29
  16. ඊ.එච්. කා, එම, පි. 5
  17. සිංහල විශ්වකෝෂය (තුන්වැනි කාණ්ඩය), එම.
  18. සිංහල විශ්වකෝෂය (තුන්වැනි කාණ්ඩය), එම.
  19. ඊ.එච්. කා, එම, පි. 24
  20. ආර්.එල්. ගුනවර්ධන, ශ‍්‍රී ලංකාවේ නූතන ඉතිහාසකරණය, ඉතිහාසයේ අතීතය: ශික්‍ෂණයක වර්ධනය පිළිබඳ විමර්ශනයක්, සංස්. ආර්.එල්. ගුණවර්ධන, කොළඹ, එස්. ගොඩගේ සහ සහොදරයෝ, 2005, පි. 327-371
  21. ආර්.එල්. ගුනවර්ධන, එම, පි. 327
  22. ආර්.එල්. ගුනවර්ධන, එම.
  23. මහාචාර්ය හඟුරන්කෙත ධිරානන්ද හිමි, ඉතිහාසය යනු කුමක් ද? 2010.10.16. දින ඉතිහාස පශ්චාත් උපාධි අපේක්‍ෂකයින් වෙනුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී පවත්වන ලද දේශනය.
  24. මහාචාර්ය හඟුරන්කෙත ධිරානන්ද හිමි, 2010.10.09. දින ඉතිහාස පශ්චාත් උපාධි අපේක්‍ෂකයින් වෙනුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී පවත්වන ලද දේශනය.
  25. ඊ.එච්. කා, එම, පි. 17
  26. සිංහල විශ්වකෝෂය (තුන්වැනි කාණ්ඩය), එම, පි. 515
  27. සිංහල විශ්වකෝෂය (තුන්වැනි කාණ්ඩය), එම.
  28. සිංහල විශ්වකෝෂය (තුන්වැනි කාණ්ඩය), එම.
  29. සංයුක්ත නිකාය
  30. ඊ.එච්. කා, එම, පි. 15
  31. ඊ.එච්. කා, එම, පි. 17
  32. ඊ.එච්. කා, එම.
  33. ඊ.එච්. කා, එම, පි. 19
  34. ඊ.එච්. කා, එම, පි. 20
  35. ඊ.එච්. කා, එම, පි. 20
  36. සිංහල විශ්වකෝෂය (තුන්වැනි කාණ්ඩය), එම, පි. 516
  37. සිංහල විශ්වකෝෂය (තුන්වැනි කාණ්ඩය), එම.
  38. ඊ.එච්. කා, එම, පි. 16
  39. සිංහල විශ්වකෝෂය (තුන්වැනි කාණ්ඩය), එම, පි. 515

[මෙම මාතෘකාව වෙත අප මනස යොමු කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ මහාචාර්ය, පූජ්‍ය හඟුරන්කෙත ධීරානන්ද හාමුදුරුවන් වහන්සේටත්, මෙම ලිපිය පිළිබඳ අදහස් දක්වමින් අනුග‍්‍රහය දැක් වූ ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මානශාස්ත‍්‍ර අධ්‍යයන අංශයේ ඉතිහාසය පිළිබඳ කථිකාචාර්ය ඉන්දික ඉහළගෙදර මහතාටත් ස්තූතිය පුදකළ යුතු වේ.]

[මෙම ලිපිය සමඟ දක්වා ඇති ඡායාරූපය https://study.com වෙබ් අඩවියෙන් උපුටාගත් බව කාරුණිකව සලකන්න.]

__________________________________________________________________________________
මෙම ලිපිය 2019.12.19 දින www.history.lk වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් විය
_________________________________________________________________________________

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Latest news

වත්හිමි කතා පුවත ඔස්සේ ලක් ඉතිහාසය දෙස නැවත හැරී බැලීමක්

සමීර ප‍්‍රසංග වත්හිමි කතාව, කළුන්දෑ පුවත, වත්හිමි බණ්ඩාර කතාව යනුවෙන් කුරුණෑගල අවට ජනයා අතර ප‍්‍රචලිත ජනශ‍්‍රැතිගත කතා පුවතක් පිළිබඳ ව...

ජාතික ගීය, වෙල්ලාලයන් හා ඉතිහාසය

නලින් ද සිල්වා සුමන්තිරන් ජාතික ගීය කියන්නෙ නැත්නම් ඒකෙ ප්‍රශ්නයක් නැහැ. ජාතික ගීය සම්පූර්ණයෙන් ම දන්න සිංහලයන්ගෙ ප්‍රතිශතය කීයද කියල...

මහාවංසය බොරු එළාර දෙමළ නොවෙයි 

නලින් ද සිල්වා විග්නේෂ්වරන් ඇත්තක් කියලා. ඔහු කියල මහාවංසය බොරු කියල. මහාවංසයෙ බොරුත් තියෙනව තමයි. ඒත් ඒකෙ වෙනත් කරුණු සමග...

ඇස් මහින්ද හිමි හා ජාතික ව්‍යාපාරය

නලින් ද සිල්වා අප ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියන් නමින් හඳුන්වන්නේ සීකීමයේ උපත ලද මහින්ද හිමියන් ය. උන්වහන්සේ ඉපදෙන කාලයෙහි...

සිංහල බෞද්ධ සංස්කෘතිය

නලින් ද සිල්වා සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට ගොඩනැගීම ඇරඹුණේ අද වැනි පොසොන් පොහෝ දිනක ය. එහෙත් එය යම්කිසි ආකාරයක පරිපූර්ණත්වයකට...

සීගිරිය කුරුටු ගෑම

නලින් ද සිල්වා සීගිරි කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් කුරුටු ගෑ මඩකලපුවේ තරුණියක් ජනාධිපති සමාව යටතේ සිරගත කරන ලද කාලය කෙටිකර...

Must read

වත්හිමි කතා පුවත ඔස්සේ ලක් ඉතිහාසය දෙස නැවත හැරී බැලීමක්

සමීර ප‍්‍රසංග වත්හිමි කතාව, කළුන්දෑ පුවත, වත්හිමි බණ්ඩාර කතාව යනුවෙන්...

ජාතික ගීය, වෙල්ලාලයන් හා ඉතිහාසය

නලින් ද සිල්වා සුමන්තිරන් ජාතික ගීය කියන්නෙ නැත්නම් ඒකෙ ප්‍රශ්නයක්...

You might also likeRELATED
Recommended to you