නලීන් ද සිල්වා
ශාස්ත්‍රීය වශයෙන් බටහිර විද්‍යා හා අනෙක් විෂය අතර ඇත්තේ ඉතා සුළු, එහෙත් වැදගත් වෙනසක් පමණයි. බටහිර විද්‍යාවල බොහෝ විට කෙරෙන්නේ පරිමිත නිරීක්‍ෂණ සාධාරණීකරණයට (සාධාරණීකරණයක් නිසා එය ද වියුක්ත වෙනවා) ලක්කර ඉන්පසු ඒ තේරුම් ගැනීමට යැයි කියමින් අනපෝහනය (ඇබ්ඩක්ෂන්) මගින් වියුක්ත පැහැදිලි කිරීම් (ප්‍රවාද) ගොඩනැඟීමයි (ගෙතීමයි). බටහිර භෞතික විද්‍යාව එහි දී විශේෂයි. ඊනියා මනෝ විෂ්ලේෂණයේ දී මෙය දියවෙන තත්වයකට පත්වෙනවා. ඉංජිනේරු විද්‍යාව හා වෛද්‍ය විද්‍යාව ශාස්ත්‍ර ගණයට නොව ශිල්ප ගණයට අයත්වෙනවා. තමන් පාසලේ දී හෝ පොත්පත් කියවීමෙන් හෝ ඊනියා විද්‍යාත්මක ක්‍රමය ගැන ලබාගත් දැනුම ප්‍රතිචාර ලෙස ලියා දක්වන්න එපා. මා කොහොමටත් ඒවා කියවන්නේ නැහැ. මා මෙතන ඉගැන්වීමක් කරන්නේත් නැහැ. මා ලියන්නේ ඔබ කරන කියන වැරදි නිවැරදි කිරීමට නො වෙයි. හැකිනම් මෙරට අනාගතය ගොඩනැඟීමට පමණයි.
බටහිර ගණිතය දහනව වැනි සියවසෙන් පස්සෙ වෙනස් මඟක් ගත්තා. එහි දැන් නිරීක්‍ෂණ සාධරණීකරණයක් සිදුවෙන්නේ නැහැ. බටහිර ගණිතඥයන් දැන් වියුක්ත ස්වසිද්ධි (ඇක්සියම්ස්) තමන් ම නිර්මාණය කරනවා. මෙරට බොහෝ දෙනාට ස්වසිද්ධි ගැන වැටහීමක් නැහැ. ඒ ඒ අය ස්වසිද්ධි ලෙස හඳුනාගෙන ඉන්නෙ ස්වසිද්ධි නොවෙයි. ඒවා ප්‍රමේය. යුක්ලිඩ්ගෙ කාලෙ ස්වසිද්ධි, නිරීක්‍ෂණවල සාධාරනීකරණයෙන් ලබාගත් දේ. ඒවාට සිංහලෙන් ප්‍රත්‍යක්‍ෂ කියලත් කියනවා. ඒක වැරදියි. සාධාරණීකරණයට ලක් වූ නිරීක්‍ෂණ ප්‍රත්‍යක්‍ෂයෙන් දැනගන්න බැහැ. රාමනුජන්ට ස්වසිද්ධි තිබුණෙ නැහැ. ඔහු දෙවියන්ගෙන්, එනම් ආධ්‍යාත්මික ව, දැනුම ලබාගත් කෙනෙක්. ආධ්‍යාත්මික ව දැනුම ලබාගැනීමේ ක්‍රම තුනක් මා මේ පිටුවේ දක්වල තියෙනවා. මට ඒ සබැඳි සොයා ගැනීමට බැහැ. ඉඩක් තිබුණොත් මේවා ගැන තවදුරටත් පස්සෙ කතාකරන්නම්.
අනෙක් ශාස්ත්‍රීය විෂයවලත් අනපෝහනයක් ක්‍රියාත්මක වෙනවා. ඒත් ඒ වියුක්තව නොවෙයි. ඒවා සංයුක්ත අනපහෝන. ඉතිහාසයේ වියුක්තකරණයක් තමයි මාක්ස්වාදයේ කියැවෙන ඊනියා ඓතිහාසික භෞතිකවාදය (හිස්ටොරිකල් මැටීරියලිසම්). එය සම්පූර්ණයෙන් ම අසාර්ථකයි. ඇට්ටකුණා වෙච්ච මාක්ස්වාදීන් කිහිප දෙනකු හැරෙන්න අනෙක් අය කම්කරු පංති ආඥාදායකත්වය එනකම් මග බලන් ඉන්නෙ නැහැ. කාල් පොපර් මාක්ස්වාදය හා මනෝ විෂ්ලේෂණය බටහිර විද්‍යාවන් නොවේ යැයි කීම ගැන මා පුදුම වෙන්නෙ නැහැ. ඒත් එකෙන් කියන්නෙ මා ඔහුගෙ අසත්‍යකරණ ප්‍රවාදය පිළිගන්නවා කියන එක නො වෙයි.
ඉතිහාසයෙ අපට දැනගන්න ඕන වෙනවා ලංකාවෙ මුස්ලිම් මිනිසුන්ගෙ සම්භවය ගැන. මෙරට අනාගතය සඳහා ඒ අවශ්‍යයයි. වියුක්තව සියළු ලක්වැසියන්ගෙ සම්භවයට එක් ප්‍රවාදයක් අනපෝහනය කරන්න බැහැ. බටහිර පූරාවිද්‍යාව බොහෝ විට අසාර්ථක වන්නෙ සියළු මිනිසුන්ගේ විකාශය එකම ආකාරයට සිදු වූ බවට ප්‍රවාද ගොඩනගල තියෙන නිසා. ශිලා යුගය, නව ශිලා යුගය ආදිය හැම තැනකට ම ගැලපෙන්නෙ නැහැ. ලංකාවෙත් ගැලපෙන්නෙ නැහැ. බටහිර විද්‍යාව නොවන තැන්වල හැම දෙයක් ම එකම අච්චුවෙ තේරුම් ගන්න බැහැ. ඒ වුනාට ලංකාවෙ සාහීිත්‍ය කාරයො එකම අච්චුවෙ (අච්චුවල) නවකතා ලියන්න හදනවා. ඒක හරියට එකම අච්චුවෙ කැවුම් පුච්චනවා වගේ. මේ රටේ මාර්ටින් වික්‍රමසිංහගෙ ඉඳන් බොහෝ දෙනකු නවකතා ලියලා තියෙන්නෙ බටහිර අච්චුවලට අනුගත වෙන විධියට. ගම්පෙරළිය, කලියුගය, යුගාන්තය ඇතුළු එ නවකතා පට්ටපල් බොරු. තමන්ගෙ ජීවිතවලටවත් ජීර්ණය කරගන්න බැරිවුණු බටහිර අච්චුවල නවකතා ලියන්නෙ කොහොම ද? මා දැන් මේ බොරු නවකතා කියවන්නෙ නැහැ. මා කියවල තියෙන හොඳම නවකතා දෙක සුජාත පුත්‍රයන්ගෙ වස්තුව හා මහරජ ගැමුණු.
මා ඉතිහාසඥයකු තබා විද්‍යාඥයකුවත් ගණිතඥයකුවත් නො වෙයි. මා පාසලේ ඉතිහාසය ඉගෙන ගෙන ඇත්තෙ නව වැනි ශ්‍රෙණියට පමණයි. ඒත් ගණිතයට හා භෞතික විද්‍යාවට වගේ ම ඉතිහාසයටත් මට තරමක ඉවක් තියෙනවා. මුස්ලිම් ජනයාගේ සම්භවය ගැන ලියන්නෙ මා ඉතිහාසඥයකු නිසා නො වෙයි. (මෙරට හරිහමන් ඉතිහාසඥයකු ඇතැයි කියා මා හිතන්නේ නැහැ). මට මෙරට ඉතිහාසය ගැනත් දේශපාලනය ගැනත් උනන්දුවක් තියෙනවා. ඒ නිසා මා ලියනවා. (https://www.facebook.com/permalink.php?story_fbid=314424048936994&id=188511888194878) ලෝනා දේවරාජා මහත්මිය මෙරට මුස්ලිම්වරුන්ගේ සම්භවය ගැන ලියා තිබෙන ඉතිහාසය පිළිගන්න බැහැ. මෙරට මුස්ලිම්වරුන් අරාබි හෝ සිංහල හෝ නැතිව දෙමළ කතාකරන්නේ කොහොමද කියන එක තේරුම් කරන්න ඇගේ අනපෝහනවලින් බැහැ. මෙරට මුස්ලිම් සම්භවය ගැන කියන ඕනෑම අයකු පළමුව තේරුම් කර දිය යුතු කරුණ මුස්ලිමුන් දෙමළ කතාකරන්නේ ඇයි ද කියන එකයි. ඒ ප්‍රධාන ප්‍රශ්නයට සංගත ව පිළිතුරු නොදෙන කිසිම අනපෝහනයක් (සංයුක්ත) පිළිගන්න මා සූදානම් නැහැ.
මෙරටට මුස්ලිම්වරුන් පැමිණ ඇත්තේ වත්මන් තමිල්නාඩුවේ කේරළ ප්‍රාන්ත සීමාවේ පිහිටි ප්‍රදේශයකින්. ඔවුන්ගේ දෙමළ භාෂාව යාපනයේ, මඩකලපුවේ, වතුකරයේ දෙමළවලින් වෙනස්වන්නේ මලයාලම් වචන නිසයි. මලබාරයෙන් මුස්ලිමුන් දහහතරවැනි සියවසේ ලංකාවට පැමිණි බව ඉන්දියානු ඉතිහාසයෙන් කියැවෙනවා. මේ ගැන උනන්දුවක් දක්වන අයකු වේ නම් හා ඔහු බටහිර වාග් විද්‍යාව ගැන යම් දැනීමක් ඇත්නම්, මලබාරයේ මේ ප්‍රදේශය තවත් කුඩාකර හඳුනාගැනීමට හෝඩුවාවක් දිය හැකියි. (මතු සම්බන්ධයි)
__________________________________________________________________________________ 2016.10.19 දින www1.kalaya.org වෙබ් අඩවියේ පළ වූ මෙම ලිපිය 2019.12.19 දින www.history.lk වෙබ් අඩවියේ පළ විය. __________________________________________________________________________________