• මුල් පිටුව
  • අප ගැන
කුරුණෑගල යුගය වත්හිමි කතා පුවත ඔස්සේ ලක් ඉතිහාසය දෙස නැවත හැරී...

වත්හිමි කතා පුවත ඔස්සේ ලක් ඉතිහාසය දෙස නැවත හැරී බැලීමක්

-

සමීර ප‍්‍රසංග

සමීර ප‍්‍රසංග

වත්හිමි කතාව, කළුන්දෑ පුවත, වත්හිමි බණ්ඩාර කතාව යනුවෙන් කුරුණෑගල අවට ජනයා අතර ප‍්‍රචලිත ජනශ‍්‍රැතිගත කතා පුවතක් පිළිබඳ ව ඇතැම් විට ඔබ අසා ඇතුවා විය හැකි ය. මෙම ජනප‍්‍රවාදය පදනම් කර ගනිමින් වසර කිහිපයකට පෙර චිත‍්‍රපටි අධ්‍යක්‍ෂ සෝමරත්න දිසානායක ‘සිරි පැරකුම්’ නමින් සිනමා සිත්තමක් නිර්මාණය කළේ ය. සෝරමරත්න දිසානායකයන්ගේ නිර්මාණයෙහි දඹදෙණියේ දෙ වන පරාක‍්‍රමබාහු රජුගේ ජීවන චරිතයට වත්හිමි කතා පුවත ආරෝපණය කිරීමට උත්සාහ ගෙන තිබෙයි. එහෙත් ජනශ‍්‍රැතිගත කතා පුවත කවර කාල පරිච්ජේදයක සිදු වූවක් ද යන්න නිශ්චිත ලෙස ම කිව නොහැකි ය. නිරූපිත චරිත හා කතා සාරය අනුව දඹදෙණි අවධියේ සිට කුරුණෑගල අවධිය දක්වා වූ කාල වකවානුව පිළිබඳ අදහසක් කතා පුවතින් ජනිත වන බව පෙනී යයි. මෙම කතා පුවත් මගින් නිරූපිත සිදුවීම් ඉතිහාසයේ සිදු වූයේ ද යන්නට වඩා එහි ඇති රූපමය නිරූපණ පිළිබඳ අවධානය යොමු කිරීම වඩාත් වැදගත් වෙයි. ඒ අනුව අප මෙම ලිපියෙන් බලාපොරොත්තු වනුයේ වත්හිමි කතා පුවතින් නිරූපිත රූපමය නිරූපණ පිළිබඳ ව සොයා බැලීමයි. මේ සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප‍්‍රධාන පුස්තකාලය සතු වන පුස්කොළ පොත් එකතුවෙහි වර්ගීකරණ අංක 277594 හා 277708 දරන පුස්කොළ පොත් පිටපත්හි අන්තර්ගත වත්හිමි කතා පුවත් සාරය ද යොදා ගැනීමට කටයුතු යෙදූ බව සඳහන් කිරීමට කැමැත්තෙමි.

ප‍්‍රකට වත්හිමි බණ්ඩාර කථා පුවත

කුරුණෑගල දෙවන බුවනෙකබාහු රජුගේ පාලන සමයෙහි වූ සිදුවීමක් ඇසුරු කර ගනිමින් ගොඩනැඟුණු ජනශ‍්‍රැතියක් ලෙස වත්හිමි කථා පුවත සැලකිය හැකි ය (ධර්මදාස, තුන්දෙනිය 1994:230, මැණිකේ 1997:74-92).1 දෙ වන බුවනෙකබාහු රජුට දාව අගමෙහෙසියගේ කුසින් පුත් කුමාරයෙකු උපන්නේය. ඔහු නමින් පරාක‍්‍රමබාහු විය. කුමරු ඉපැදී කෙටි කලකින් මව් දේවිය මිය ගියා ය. අගමෙහෙසියගේ මරණයෙන් පසු බුවනෙකබාහු රජු අස්සැද්දුම නමැති ගමෙහි සිටි යෝනක කාන්තාවක සමඟ සමීප ඇසුරක් පවත්වා ගත්තා පමණක් නොව ඇය මෙහෙසි තනතුරට ද පත් කළා ය (මැණිකේ 1997:75).2 කෙටි කලකින් බුවනෙකබාහු රජුට දාව යෝනක බිසව කුසින් පුත් කුමාරයෙකු ලැබුවා ය. ඔහු නමින් වත්හිමිය. යෝනක ඥාතිවරුන්ගේ ඇසුරෙහි හැඳී වැඩුණු වත්හිමි කුමරු මීළඟ සිහසුන් උරුමකරුවා ලෙස පත් කර ගැනීමේ දැඩි ආශාවක් යෝනක බිසව සතු වූවාය. සිය ඥාතිවරුන්ගේ පෙළඹවීම මත කි‍්‍රයාත්මක වූ යෝනක බිසව වස්තු සම්පත් ලබා දී මැති ඇමතිවරු තම වසඟයට ගැනීමට උත්සාහ කළාය. වත්හිමි යන නාමය කුමරුන්ට ආරෝපණය වීම කෙරෙහි ඇමති ගණයා ඇතුළු ප‍්‍රභූ පිරිස් වෙත ලබා දුන් වස්තු සම්පත් ඉවහල් වූයේ යැයි කුරුණෑගල විස්තරයේ සඳහන් වේ (කුරුණෑගල විස්තරය 2015:272). මෙම අවස්ථාවේ දී අග මෙහෙසියගේ පුත් පරාක‍්‍රමබාහු කුමරු සිංහල අමාත්‍යවරුන්ගේ මග පෙන්වීමෙන් පන්නල ආසන්නයේ පිහිටි කළුන්දෑව නම් ගමක අප්පුවා යන නමින් අප‍්‍රකටව හැඳී වැඩුනේ ය.3 බුවනෙකබාහු රජුගේ මරණයත් සමඟ කි‍්‍රයාත්මක වූ යෝනක බිසව ඇතුළු ඇයගේ ඥාතිවරු වත්හිමි කුමරු සිහසුනට පත් කිරීමට සැලසුම් කළෝ ය. මෙය සැලවීමත් සමඟ සිංහල අමාත්‍යවරුන් අභිෂේකෝත්සවයට පෙර දින රාත‍්‍රියෙහි වත්හිමි කුමරු ඝාතනයට කුමන්ත‍්‍රණයක් සැලසුම් කරනු ලැබීය.4 ඇතුගල මුදුනෙහි පිරිත් මණ්ඩපයක් තනවා ඉන් පහළට හෙළා කුමරු ඝාතනය කිරීම අමාත්‍යවරුන්ගේ අරමුණ විය. සැලසුම පරිදි අභිෂේකයට පෙර දින රාති‍්‍රයෙහි පර්වත මස්තකයෙහි තනවා තිබූ පිරිත් මණ්ඩපයට කැඳ වූ වත්හිමි කුමරු ඉන් පහළ හෙළා ඝාතනය කරනු ලැබීය. වේදනාවෙන් මිය ගිය වත්හිමි බණ්ඩාර හටගත් වෛරයෙන් යුතුව යක්ෂයෙකු බවට පත් වී පිරිත් මණ්ඩපය වනසා එතැන සිටි භික්ෂූන් වහන්සේලා ද ඝාතනය කළ බව සඳහන් ය. අනතුරුව වත්හිමි බණ්ඩාර යක්ෂ භවයෙන් මිදී දේවත්වයට පත් වූ බවත් ඇතුගල මුදුනෙහි අශ්වයෙකු පිට නැඟ වරින්වර ගමන් කරනා බවත් කුරුණෑගල අවට ජනයා විශ්වාස කරති. වත්හිමි බණ්ඩාර දෙවියන් සිංහල හා මුස්ලිම් යන ජන වර්ග දෙක විසින් ම දේවත්වයෙහි ලා සලකනු ලැබේ. සිංහල කපු මහතෙකු විසින් මෙයෙවනු ලබන දේවාලයක් සහ ඉස්ලාම් පූජකයෙකු විසින් මෙහෙය වන දේවාලයක් යන වත්හිමි බණ්ඩාර දේවාල දෙකක් කුරුණෑගල නගරයෙහි පිහිටියේ ය (ධර්මදාස, තුන්දෙනිය 1994:230, මැණිකේ 1997:74-92).

වත්හිමි බණ්ඩාර කථා සාරය ඇතුළත් පුස්කොළ පිටපත් දෙකක්

පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ප‍්‍රධාන පුස්තකාලයේ වර්ගීකරණ අංක 277594 සහ 277708 දරන පුස්කොළ පොත් යුගලයෙහි එකිනෙකට වෙනස් නම්වලින් යුතු ව වත්හිමි බණ්ඩාර කථා පුවත අඩංගු වී තිබේ. 277594 දරන පුස්කොළ පොතට අනුව කථා පුවත හා සම්බන්ධ අවධියෙහි කුරුණෑගල පාලනය කළ රජු වී ඇත්තේ පස් වන විජයබාහුයි. පස් වන විජයබාහු රජුගේ අගමෙහෙසියගේ පුත‍්‍රයා පැරකුම් කුමරු ලෙස එහි සඳහන් වෙයි. සුප‍්‍රකට වත්හිමි බණ්ඩාර කථා පුවත අනුව රජුගේ අගමෙහෙසිය පුත් කුමරු ඉපැදීමෙන් අනතුරුව මිය යන බව දැක් වුව ද මෙහි එවැන්නක් සඳහන් නොවෙයි. එහෙත් අගමෙහෙසිය අභාවයට පත් වූ බව එහි සඳහන් තෙවන කවියෙන් ඇගවීමට රචකයා උත්සාහ දරයි. සිය මවගේ මරණයත් සමඟ පින් සාර පැරකුම් කුමරු කළුන්දෑව නම් ගම්මානයේ අප‍්‍රසිද්ධියේ ඉතා දුක සේ කල් ගතකළ බව එහි සඳහන් වෙයි. මෙම සිදුවීම් 277594 දරන පුස්කොළ පොත් රචකයා ඉතා සංක්ෂිප්තව පමණක් ගෙනහැර දක්වයි. ඇතැම් සිදුවීම් කථා පුවත දන්නෙකුට පමණක් අවබෝධ වන තරමේ කෙටි බවක් පෙන්නුම් කරයි. එක් කවියක් ගායනා කොට එහි විස්තර අඛ්‍යානයකින් ප‍්‍රකාශ කරනු ලබන වර්තමාන කවි බණ ක‍්‍රමවේදය මෙහි ද ගැබ් වන බවක් හැගෙයි. අසා රසවිදීමේ හුදී ජන පහන් සංවේගකර සම්ප‍්‍රදාය මෙන් ම අයෙකු සැමට ඇසෙන පරිදි කියවා පැහැදිලි කිරීමෙන් ලබා දෙන ජන කථා සම්ප‍්‍රදාය ද මෙහි මනාව ගැබ් වෙයි. එබැවින් මෙම කථා පුවත් මෙරට ජන කථා සම්ප‍්‍රදායේ ලේඛන ස්වරූපයක් නියෝජනය කරනු ලබන ලියැවිලි සමූහයක් ලෙස ද සැලකිය හැකි ය. 277594 දරන පුස්කොළ පිටපතෙහි වත්හිමි කථා පුවත ගෙනහැර දක්වනුයේ කාව්‍ය එකොළහකිනි. එහි නව වන කවියෙහි වත්හිමි බණ්ඩාර දෙවියන්හට ඇතුගල් බණ්ඩාර යන නාමය භාවිත කරන බවත් යෝනක පූජකවරයෙකු විසින් මෙහෙයවනු ලබන දේවාලයක් ඇතුගල් නුවර ඇති බවත් සඳහන් කරයි. අවසන් කවිය කථා පුවත හා කිසිදු සම්බන්ධයක් නොමැති පුර වර්ණනයකින් නිමාවට පත් වෙයි.

ජන විඥානයීය කතා කලාව හා මහා සම්ප‍්‍රදායීය සාහිත්‍ය

අධ්‍යයනය සඳහා බඳුන් කරනු ලැබූ පුස්කොළ පොත් යුගලය රචනා ශෛලිය මත දහ නව වන සියවසින් ඔබ්බට යාමට ඉඩක් නොමැති බව පෙනෙයි. මෙරට ආරක්ෂා වී තිබෙන පුස්කොළ පොත්වලින් වැඩි කොටසක් දහනව වන සියවසේ මධ්‍ය හෝ අවසාන භාගයෙහි රචනා වූ එ්වා වීමට ඇති ඉඩකඩ වැඩි ය. එලෙස රචනා වූ පමණින් ඉන් ගෙනහැර දැක්වෙන පුවත් අසත්‍ය ලෙස සලකා බැහැර කරලීම නොවටියි. කළයුතු වන්නේ මෙරට ඉතිහාස ගමන් මගෙහි ඒවා ස්ථාන ගත කිරීමේ කාර්ය සිදු කිරීමයි. සාකච්ඡාවට බඳුන් කළ පුස්කොළ පොත් යුගලයෙහි කතා සාරය කිතු වසින් දාහතර වෙනි සියවස තරම් කාලයකට අයත්වෙයි. මෙය ඉතිහාසයෙහි සිදු වූවක් ද, නැද්ද යන ප‍්‍රශ්නය යමෙකුට ඇසිය හැකිය. මන්ද ජන ප‍්‍රවාද මට්ටමින් පවතින මෙවැනි කථා පුවත් ජනපි‍්‍රය හා ප‍්‍රධාන සාහිත්‍ය සම්ප‍්‍රදායෙහි දැකගත නොහැකි බැවිනි. මෙහි ජනපි‍්‍රය හා ප‍්‍රධාන සාහිත්‍ය සම්ප‍්‍රදාය ලෙස සඳහන් කරනුයේ වංස කථා ඇතුළු ලේඛන සම්ප‍්‍රදායයි. එහි දී වංස කථා සම්ප‍්‍රදායට මෙවැනි කථා පුවත් නොලැබුණේ මන්ද යන ගැටලුව ද ඇසිය යුතු වෙයි. කරුණු නොලැබීමට වඩා මෙහි දී සිදු වී ඇති බව පෙනෙනුයේ හිතාමතාම මෙම සිද්ධීන් මගහැර යාමයි. වංස කථා සම්ප‍්‍රදාය ඇතුළු මෙරට සාහිත්‍ය කෘති ගණනාවක් රචනා කළ ලේඛකයෝ බෞද්ධ භික්ෂූහු ය. බුදුදහම වෙත එල්ල වූ බොහෝ අභියෝග මර්දනය කළ ආකාරය සාහිත්‍යානු සාරයෙන් ගෙනහැර දැක්වීමට රුචි වූ ඔවුහු මෙවැනි කථා පුවතක් මගහැර යාම පුදුම සහගතය. එහෙත් මගහැර යාම අත්‍යාවශ්‍ය වූවා විය හැකිය. අපට හමු නොවූ එලෙස මගගහැර ගිය කථා පුවත් අපමණ විය හැකිය. එවැනි කථා පුවත් ප‍්‍රධාන සම්ප‍්‍රදායයෙන් ඉවත් වුව ද ජන විඥානයෙන් ඉවත් වූ බවක් නම් නොපෙනෙයි.

වත්හිමි බණ්ඩාර කථා පුවතේ දැකිය හැකි ඓතිහාසික නිරූපණ

වත්හිමි බණ්ඩාර කථා පුවත මගින් නිරූපිත ප‍්‍රධාන සංකල්ප කිහිපයකි. ඉන් පළමු වැන්න නම් මෙම කථා පුවත ජීවමාන වූ කිතු වසින් දාහතර වන සියවසේ දීත් සිංහල බෞද්ධ පදනම පිළිබඳව මෙරට ජනයා හා භික්ෂූන් අතර පැවති සංකල්පය අනාවරණය කරයි. රජකම බෞද්ධයෙකුට විනා අන්‍යාගමිකයෙකුහට හිමි නොවිය යුතුයි5 යන ස්ථාවරය මෙකල ද ඒ ආකාරයෙන් ම පැවැති බවට මෙවැනි කථා පුවත් සාක්ෂ්‍ය සපයයි (EZ Vol. I: 237). දෙ වැන්න වන්නේ මෙරට සිහසුන අභියෝගාත්මක අවධියකට මේ වන විට පත්වෙමින් පැවති බවයි. මුළු ආසියාකරයම වසා ගනිමින් පැතිරුණු ඉස්ලාමයෙහි හස්තය මෙරටට ද දිගුවෙමින් පැවති බව වත්හිමි බණ්ඩාර කථා පුවතින් සිහිගන්වයි. ඉස්ලාමය මෙකල ආකාර කිහිපයකින් ආසියාවෙහි සිය ආධිපත්‍ය මෙහෙය වූයේ ය. ඉන්දියාවේ දී ආක‍්‍රමණශීලී ලිලාවෙන් බෞද්ධ හා හින්දු බලය බිඳලද්දී ශී‍්‍ර විජය, ජාවා, මලයාසියාව ආදී අග්නිදිග ආසියානු ප‍්‍රදේශවල වෙළෙඳ හා වාණිජ රටාවේ ආධිපත්‍යයෙන් බෞද්ධ හා හින්දු සංස්කෘතිය ඔවුන් විසින් බිඳලනු ලැබීය (විජේතුංග 2007:5-27, 35-43, 207-210, හෝල් 1974:218-234). මෙම සන්සිද්ධිය ම අසල්වැසි මුහුදු කොදෙව්වක් වූ මාදිවයිනට ද සිදු විය (Bell 1920, 1921:12, 14 මුදියන්සේ 1997:15-20).6 ඉස්ලාමයේ හස්තය මුව දොර අබියස තිබිය දී තීරණාත්මක තීන්දුවක් මෙරට භික්ෂූන්ට හා පාලනය මෙහෙයවන පැළැන්තියට ගැනීමට සිදු විය. එ් සියවස් ගණනාවක් තිස්සේ පවත්වා ගෙන ආ සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය තවදුරටත් පවත්වා ගන්නේ ද නැතිනම් ආසියාවම ගිල ගනිමින් එන ඉස්ලාමයේ හස්තයට යටත් වන්නේ ද යන අභියෝගයට මුහුණ දීමයි. ආසියාකරය ඉස්ලාමය වෙත ඇදී යද්දී මෙරට භික්ෂූන් සහ ජනයා ශී‍්‍ර ලාංකේය ශිෂ්ටාචාරයෙහි ඉදිරි ගමන්මඟ ද බුදුදහම මතින් යා යුතු බව තීරණය කළෝ ය. එලෙස ගත් තීරණයේ එක් පියවරක කථා සාරයේ නියෝජනයකි වත්හිමි බණ්ඩාර පුවත. දාහතර වන සියවසෙහි ලක්දිවට පැමිණි ඉබ්න් බතූතා ඉස්ලාමිකයින්ගේ විසරනය පිළිබඳ කදිම නිදර්ශක කිහිපයක් අප වෙත සපයයි. මේ වන විටත් ඉස්ලාමය වැළඳ ගෙන සිටි ජනයා තම වෙළෙඳ පරමාර්ථ මුදුන් පමුණුවා ගැනීමේ අරමුණින් රටේ අභ්‍යන්තර ප‍්‍රදේශ වෙත ද සේන්දු වී සිටි බව හෙතෙම සඳහන් කරයි (Ibn Battuta Travelas in Asia and Africa 1997:256).7 එලෙස සේන්දු වූ ඉස්ලාමිකයින් රටේ පාලන බලය වෙත අත පෙවීම කාලින දේශපාලන ආර්ථික තත්ත්වයන්හි ම කොටසක් වූ බව පෙනෙයි. ආසියාව පුරා කළ ව්‍යාප්තවාදී ප‍්‍රතිපත්ති මෙරට ආධිපත්‍ය ව්‍යාප්ත කිරීමේ දී ඉස්ලාමිකයින්හට ද මහත් පිටිබලයක් වූයේ ය. මේ සියල්ලෙන් සන්නද්ධ වෙමින් පැමිණි ඉස්ලාම් අභියෝගය තීරණාත්මක අයුරින් බිඳ දැමීමට හැකි වූයේ මෙරට භික්ෂූන් වහන්සේලා සහ පාලක පැළැන්තිය ගත් නිර්භීත තීන්දුව හේතුවෙනි. ඒ අන් කවරක් නොව ඉස්ලාමයෙහි බලය දේශපාලනය වෙත යොමු කළ ඉස්ලාම් හිතවාදී නව පාලකයා ඝාතනය කිරීම සඳහා සැලසුම් සකස් කොට කි‍්‍රයාත්මක කිරීමෙනි. එනම් වත්හිමි බණ්ඩාර ඝාතනය කිරීමෙනි.

වත්හිමි බණ්ඩාර කථා පුවත රැක ගත්තවුන්

මෙවැනි කථා පුවත් ජන ප‍්‍රවාද මගින් හෝ ආරක්ෂා කර ගනිමින් පවත්වා ගෙන යාමට රුචි වූවෝ කවරහු ද? එලෙස පවත්වා ගෙන යාමෙන් ඔවුන් බලාපොරොත්තු වූයේ කවරක් ද යන ගැටලුව මීළඟට පැන නගියි. මේ සඳහා දිය හැකි කෙටි පිළිතුරක් තිබේ. මෙම කතා පුවත් රැක ගැනීමේ භාරධූර කටයුත්ත ඉටු කෙරූවෝ අන්කවරෙකුවත් නොව සියවස් ගණනාවක් තිස්සේ සමූහ වශයෙන් මෙරටට සංක‍්‍රමණය වූ ඉන්දියානු ජනයා ය. බොහෝ දෙනෙකු අසා ඇත්තේ වරින්වර ලක්දිවට සංක‍්‍රමණය වූ මුල් ඉන්දියානු ජන කණ්ඩායම් පිළිබඳව පමණක් විය හැකිය. ඉන් විජය, පණ්ඩුවාසුදේව, භද්දකච්චායනා ආදී ඉන්දියානුවන්ගේ සංක‍්‍රමණ අතිශය ජනපි‍්‍රයය (ඌන පූරණ සහිතො මහාවංසො (ඌපූම.) 1959:පරි. 6 ගා. 47, පරි. 7 ගා. 1-10, පරි. 10 ගා. 18-28). එහෙත් ශී‍්‍ර ලාංකේය සංස්කෘතිය දිගු කාලීන වෙනසකට ලක් කළ වර්තමානය දක්වා ම අප භුක්ති විදිනු ලබන සංස්කෘතිය සැකසීමේ ගෞරවය අනුරාධපුර හා පොළොන්නරු අවධිවල සංක‍්‍රමණය වූ ඉන්දියානුවන්ට ම පමණක් හිමි නොවේ. එහි වැඩි කොටස පොළොන්නරු අවධියෙන් පසු ලක්දිවට සංක‍්‍රමණය වු ඉන්දියානුවන් සතුය. එලෙස පැමිණි ඉන්දියානුවන් පිළිබඳව ප‍්‍රධාන ප‍්‍රවාහයේ සාහිත්‍ය මූලාශ‍්‍රය මගින් ලැබෙන පිටිවහල අල්ප ය. කලාතුරකින් කෙරෙන සඳහනක් හැරුණු විට මෙම සංක‍්‍රමණ පිළිබඳ වංස කථා ආදී ප‍්‍රධාන සාහිත්‍ය සම්ප‍්‍රදායේ කෘති නිහඬ ය (ඌපූම 1959:පරි. 88 ගා. 81-82). එහෙත් මේ වන විට අප‍්‍රකටව අප‍්‍රකාශිතව පවතින ලියැවිලි සමුදායක් මෙම ජන සංක‍්‍රමණ පිළිබඳ ඉතිහාසය සඟවා ගෙන සිටියි. එසේම ජනශ‍්‍රැති ගණනාවක් මගින් ද මෙම සංක‍්‍රමණ හා සංක‍්‍රමණය වූවන්ගේ කථාන්දර ආරක්ෂා කර තිබෙයි.8

ලක් ඉතිහාසයෙන් වසන් වූ ඉන්දියානු සංක‍්‍රමණිකයෝ

පොළොන්නරු අවධියෙන් පසු ලක්දිවට සංක‍්‍රමණය වූ ඉන්දියානුවෝ හේතු ගණනාවක් පදනම් කර ගනිමින් පැමිණියෝ ය (දේවරාජ 1997:68).9 ඒ අතුරින් වැඩි පිරිසක් ආගමික අසහනශීලීත්වය දරාගත නොහැකිව සංක‍්‍රමණය වූවන් ය. මේ වන විට ඉන්දියාවේ ව්‍යාප්ත වී පැවති දිල්ලි සුල්තාන් අධිරාජ්‍යයෙන් එල්ල වූ අභියෝග මොවුන් ලක්දිව කරා පැමිණවීමට මුල් වූයේ ය. මෙලෙස සංක‍්‍රමණය වූ ඉන්දියානුවන් තම පරම්පරාවලට එල්ල වූ විපත්තිය පිළිබඳව මෙරට රජු දැනුවත් කළා පමණක් නොව භික්ෂූහු ද දැනුවත් කළෝ ය. අසල්වැසියා හමුවේ පවතින අභියෝගය නොබෝ දිනකින් තම අභියසට ද පැමිණෙන වග ඉන්දියානු සංක‍්‍රමණිකයින් මගින් මෙරට පාලකයෝ මනා අවබෝධයක් ලබා ගත්තෝ ය. එසේම සමස්ත ආසියානු කලාපයට ම එල්ලවෙමින් පැවති ඉස්ලාමීය අභියෝගයේ දරුණු ප‍්‍රතිවිපාක මෙරට භික්ෂූන් වහන්සේලා ද අවබෝධ කරගන්නට ඇත. ශී‍්‍ර විජය, ජාවා සහ මලයාසියාව වැනි අග්නිදිග ආසියානු කලාපීය රාජ්‍යයන්හි වැඩවාසය කළ ශී‍්‍ර ලාංකේය භික්ෂූන් වහන්සේලා ද මේ පිළිබඳ ව මෙරටට ලබා දුන් බව නිසැකය. එහෙත් උපායශීලීව මෙරට ඉස්ලාමය වෙත නැඹුරු කිරීමේ හැකියාව ඉහළ අගයක පැවතින. එවැනි ව්‍යයසනයක් ඇති වුවහොත් ඉන්දියාව අත්හැර ලක්දිවට සේන්දු වූ සංක‍්‍රමණිකයින් වෙත සිදුවනුයේ තවත් විපත්ති දායක තත්ත්වයකි. එවැනි ව්‍යයසනයකට ලක්දිව මුහුණ දීමට ආසන්න මොහොතෙහි එම ව්‍යයසනයෙන් ලක්දිව නිදහස් කර ගැනීමේ දැඩි වුවමනාව පැවතියේ භික්ෂූන් වහවන්සේලාට මෙන් ම පාලනයට සහය වූ අමාත්‍ය මණ්ඩලයට පමණක් නොව සංක‍්‍රමණිකයින් ලෙස පැමිණි ඉන්දියානුවන්ටය. මේ සඳහා ඔවුන් මෙරට මුල් වැසියන් වෙත උපකාර කළා පමණක් නොව මෙරට වැසියාගේ ගෞරවය හා ප‍්‍රසාදය දිනා ගැනීමේ මාදිලියක් ලෙස ද එය යොදා ගත්තේ ය. විජාතිකත්වය පිළිබඳව තමන්ට එල්ල වන චෝදනා මෙවැනි කි‍්‍රයා පිළිවෙත් මගින් බිඳ දැමීම ඉන්දියානු සංක‍්‍රමණිකයන්ගේ ද අපේක්ෂාව වන්නට ඇත. තමා හා එක් ව මෙම අභියෝග බිඳ දමා ඒවා සාර්ථකව ජය ගත් ආකාරය පිළිබඳව මොවුන් තුළ වූ අභිමානය එළිදක්වනු ලැබූ එක් අවස්ථාවක් ලෙස ද වත්හිමි කථා පුවත සැලකිය හැකි ය. ඔවුන්ගෙන් ශේෂ වූවෝ මෙම කථා පුවත් ප‍්‍රධාන සාහිත්‍ය සම්ප‍්‍රදායට අතුළු නොකොට පවත්වා ගෙන ආවෝය. එහෙත් ඔවුහු මෙම කථා පුවත් තම පෙළපත් ජන සමාජයෙහි ඔසවා තැබීමට භාවිත කළෝ ය.

සමාලෝචනය

ලක්දිව ජනශ‍්‍රැති පිළිබඳව අධ්‍යයන කරනු ලැබූ ඇතැම් වියත්හු ඒවා කිතු වසින් දහතුන් වන සියවසට පෙර අවධියට අයත් නොවෙතැයි විශ්වාස කරති. එම අදහසෙහි යම් සත්‍යතාවක් වෙතැයි සිතීම සාධරණය. වර්තමාන ව්‍යවහාරයේ පවතින ජනශ‍්‍රැති බොහෝමයක් ගොඩනැඟීම කෙරෙහි දායක වූවෝ දහතුන් වන සියවසින් පසු ලක්දිව කරා සේන්දු වූ ඉන්දියානුවෝය. ඔවුහු පැරණි සිංහලයන්ගේ ජනශ‍්‍රැති නවීකරණය කළ අතර ම නව ජනශ‍්‍රැති සම්පාදනය කිරීමට ද දායක වූහ. එවැනි ජනශ‍්‍රැති අතුරින් ඇතැමක් සබෑ සිදුවීම් පදනම් කර ගත් ඒවාය. තවත් සමහරක් ඉන්දියානුවන් විසින් ගෙතූ ප‍්‍රවාදයන්ය. ඉන්දියානුවන් විසින් ගොතනු ලැබූ ප‍්‍රවාද බොහෝමයක් තම ස්ථාවර භාවය මෙරට තහවුරු කර ගන්නා අන්දමේ ස්වරූපයක් උසුලනු ලැබීය. එහි දී ඔවුහු ලක්දිව සතු වූ දිගු කාලීන හිමිකම කියාපෑමට හැම විටම උත්සාහ කළෝය. එපමණක් නොව ඇතැම් ගම්බිම්හි පැරණි නාම පවා වෙනස් කළ ඉන්දියානු සංක‍්‍රමණිකයෝ ඒ සඳහා ද නව ප‍්‍රවාද ගෙතූහ. එලෙස ගෙතූ ප‍්‍රවාදවලින් වැඩි කොටසක් වර්තමානයේ දී පවා ග‍්‍රාම නාම නිෂ්පත්ති පිළිබඳව දක්වන ජනශ‍්‍රැති අතර පවතියි. මොවුන්ගේ සංක‍්‍රමණ මෙරට පැරණි බෙදීම් පවා වෙනස් කිරීමට සමත් වූයේ ය. වෙනස් වූ කඩයිම් දක්වමින් පසු ව ඔවුහු සිය අයිතිය තහවුරු වන සේ කෘති සම්පාදනය කළෝය. එලෙස සම්පාදනය කළ කෘති අතර කඩඉම් පොත් ඉතා වැදගත්ය. කඩඉම් පොත්වලින් ඇතැමක් මහනුවර අවධියෙහි නැවත සැකසුනු ඒවා වුවත් ආරම්භය කුරුණෑගල අවධිය දක්වා රැුගෙන යාමට හැකිය. මීට අමතරව විත්ති පොත්වලින් බොහොමයක් ද ඉන්දියානු සංක‍්‍රමණිකයින් විසින් සම්පාදනය කළ ඒවා ය. ඉන්දියානු සංක‍්‍රමණිකයින් නව ජනශ‍්‍රැති පද්ධතියක් බිහි කළා පමණක් නොව තම අන්‍යනතාව තහවුරු වන අන්දමේ කෘති සමුදායක් ද නිර්මාණය කළෝය. මීට අමතරව ප‍්‍රධාන ප‍්‍රවාහයෙන් ඉවත් කළ ඇතැම් කථා පුවත් සමුදායක් ද මතකයෙන් රැගෙන ආවෝය. ඒ කථා පුවත් අතුරින් ඇතැමක් සංක‍්‍රමණික ඉන්දියානුවන් හා සිංහලයන් අතර වූ මිත‍්‍රත්වය හුවා දක්වන අන්දමේ ඒවා ය. පොදු සතුරන් අභියස දී දැක් වූ සහයෝගය හා මිත‍්‍රත්වය මෙම කථා සාරයන්හි ගැබ්ව ඇත. මේ සඳහා ඇති කදිම කථා පුවතකි වත්හිමි බණ්ඩාර. ඉස්ලාමයේ ව්‍යාප්තිය පිළිබඳව මනා අවබෝධයකින් පසු වූ ඉන්දියානු සංක‍්‍රමණිකයෝ තම රටෙහි ඔවුන් විසින් කළ සාහසිකකම් පිළිබඳ ලක් වැසියන් දැනුවත් කළේ ය. දැනුවත් කිරීමෙන් නොනැවතුණු ඔවුහු අවස්ථානුකූලව තම සහයෝගය ලබා දුන්නා පමණක් නොව මෙවැනි අරගල පිළිබඳව මතකයේ රදවා ගත්තේ ය. පසුව මෙම මතකය තම පරම්පරා විස්තර අතර සටහන් කරන්නට උනන්දු වූයේ ය. එලෙස සටහන් කළ කථා පුවත් ජන සමාජය අතර කොතරම් ජනපි‍්‍රය වූයේ ද යත් එක ම කථා සාරය කුඩා වෙනස්කම් සහිතව ජන සමාජයෙහි ප‍්‍රචලිතව ගියේ ය. සාකච්ඡාවට බඳුන් වූ පුස්කොළ යුගලයෙන් මතු කරනු ලබන වත්හිමි බණ්ඩාර කථා පුවත දහනව වැනි සියවසේ පවා ජනපි‍්‍රය වූ බවට කතුවරයා සඳහන් නොවන කළුන්දා හටනය නොහොත් කළුන්දාවේ බුදුන්ය කියා ලොව රවටා ඇවිදින ඔහුගේ ප‍්‍රවෘත්ති කතාව නම් වූ කෘතියෙන් වැටහෙයි. පහත දැක්වෙනුයේ එම කෘතියෙහි අඩංගු කාව්‍ය දහ නවයයි (කුරුණෑගල විස්තරය 2015:355-357). විසි වන සියවසේ පස් වන හෝ හය වන දශකයන්හි ලියැවෙන්නට ඇතැයි විශ්වාස කළ හැකි කාලිඞග සිරිමල්එතනා නම් කුඩා පොත් පිංචෙන් ද ජේ. රත්නායක නමැති කතුවරයා සිදු කර ඇත්තේ මෙම ප‍්‍රවෘත්තිය කාව්‍ය එකසිය හතළිස් පහකින් විස්තර කිරීමයි.

අන්ත සටහන්

1. ඇතැම් ජනශ‍්‍රැතියක මෙම කථා පුවත තෙවන විජයබාහු රාජ්‍ය සමයේ සිදු වූවක් ලෙස ගෙනහැර දක්වයි. එහි සඳහන් පරාක‍්‍රමබාහු කුමරු තෙවන විජයබාහුගේ පුත් දෙවන පරාක‍්‍රමබාහු හෙවත් පළමු වන පණ්ඩිත පරාක‍්‍රමබාහු කුමරු බව කියැවේ. සෝමරත්න දිසානායක විසින් නිර්මාණය කළ සිරි පැරකුම් චිත‍්‍රපටය සඳහා ද පාදක වී ඇත්තේ මෙම කථා සාරයයි.

2. මෙම යොනක කාන්තාවගේ පරපුර බේරුවල ප‍්‍රදේශයට සම්බන්ධ පවුල් කිහිපයකින් පැවත එන බව සඳහන් වේ. මානා, මානම්මා, උම්මා ආදී නම්වලින් ඇය හඳුන්වනු ලැබේ. කෝට්ටේ අවධිය වන විටත් බේරුවල ප‍්‍රදේශයේ යෝනක ජනයා පදිංචි වී සිටි බව ගිරා සංදේශය ද සක්ෂි දරයි. ගිරා සන්දේශ විවරණය, සංස්. කුමරතුඟු මුනිදසුන්, අනුල මුද්‍රණාලය, මරදාන, (2497), 1953, 104 කවිය. මීට අමතරව බේරුවල වාසය කළ බර්බර් නමැති ජන කණ්ඩායමක් පිළිබඳව ගිරා සන්දේශයේ හා පරවි සන්දේශයේ සටහන් ව ඇත. ගිරා සන්දේශයේ බබුරන් ලෙසත් පරවි සනදේශයේ බබුරු ලෙසත් මොවුන් හඳුන්වයි. ගිරා සන්දේශ විවරණය, 105 කවිය, පරවි සන්දේශ විවරණය, සංස්. කුමරතුඟු මුනිදසුන්, අනුල මුද්‍රණාලය, මරදාන, (2502), 1958, 71 කවිය. මොවුන් වාසය කළා යැයි විශ්වාස කරනු ලබන දූපත අද ද බර්බරින් ලෙස හඳුන්වනු ලැබේ. අජිත් අමරසිංහ, ලක් ඉතිහාසයෙන් වසන් වූ චීන මෙහෙයුම, (යුරෝපීයයන්ගේ ආගමනයට පෙර ලංකාව, චීනය සහ ඉන්දියාව), කර්තෘ ප‍්‍රකාශන, 2014, 28පි. මොවුන් මුහුදු මංකොල්ල කරුවන් පිරිසකි. මෙරටට මෙන් ම මාලදිවයිනට ද මොවුන් ගොඩබැසි බව සඳහන් ය. පසුව බර්බරයින් ඉස්ලාමය වැළද ගත් බව කියැ වේ. සේනානායක මුදියන්සේ, මාලදිවයින්, විසිදුනු ප‍්‍රකාශන, බොරලැස්ගමුව, 1996, 17 පි.

3. ඇතැම් ජන කථාවල පරාක‍්‍රමබාහු කුමරු කාලිංග යන නමින් ද හඳුන්වා තිබේ. කුමරු රාජ මාළිගයේ සේවය කළ රජක කුලයේ කාන්තාවක විසින් සිය නිවසෙහි පළමුව හදා වඩා ගත් බවත් පසුව පන්නල නමැති ගමෙහි ගමරාලගේ නිවසට භාර කළ බවත් වත්හිමි බණ්ඩාර ඔහු මැරවීමට චරපුරුෂයින් යෙද වූ හෙයින් ආරක්ෂාව පිණිස කළුන්දෑවේ ගමරාලගේ නිවසට භාර කළ බවත් එමගින් කියැ වේ.

4. ජනයා අතර මෙම සිදුවීම ආකාර කිහිපයකින් සටහන්ව ඇත. එක් ජන කථාවකට අනුව වත්හිමි බණ්ඩාර ඝාතනය කරනුයේ රජවීමෙන් පසුවය. කුරුණෑගල වැවේ පාවූ රන් සෙම්බු ගැනීමට රජු උත්සාහ ගත් අවස්ථාවක කි‍්‍රයාත්මක වූ සිංහල අමාත්‍යවරුන් ඉන්දජෝති නම් භික්ෂුවක් සිවුරු හරවා රජු මැරවීමට යෙද වූ බව සඳහන් වේ. රන් සෙම්බු ගැනීමට දින තිහක් ගත වනතුරු ඇතුගල මුදුනෙහි මණ්ඩප කරවා පිරිත් සජ්ඣායනා කළ යුතු බව පැවසූ සිවුරු හළ තැනැත්තා සිංහල අමාත්‍යවරුන්ගේ සහායෙන් තැන වූ විශේෂ මණ්ඩපයක වත්හිමි කුමරු රැඳ විය. සැලසුම් කළ ආකාරයට ම මෙම මණ්ඩපය රඳවා තැබූ ටැම් ගලවා ඇතුගල පහළට හෙළා රජු ඝාතනය කළේ ය.

5. ‘‘… නොබෝසත්හු නොරජ්වන්හයි සැහැකුල කොත් සවනිය මහරජ්හු (වියාරණ්) ලද්…’’ බෝසත්හු යනු බුදුවීම සඳහා පෙරුම් පුරනා උත්තමයෝය. රජෙකු බෝධි සත්වයෙකු විය යුතුය යන අදහසින් පෙනෙනුයේ රජු බෞද්ධයෙකු වීම පමණක් නොව බෝධි සත්වයෙකු සතු ගුණාංග ද ඔහු සතු විය යුතු බවයි.

6. මාලදිවයින් රාජ්‍යය බෞද්ධ රාජ්‍යයක් ලෙස සියවස් ගණනාවක සිට පැවති බවට පුරාවිද්‍යාත්මක සාක්ෂ්‍ය ද හමු වේ. දාගැබ් හා බුද්ධ ප‍්‍රතිමා ගණනාවක් පිළිබඳ නෂ්ටාවශේෂ මාලදිවයින් ඳූපත් පුරා විසිරී ඇත. මාලදිවයින් ජන ප‍්‍රවාදවලට අනුව එහි රජු ඉස්ලාමය වැළඳ ගෙන ඇත්තේ කි‍්‍රස්තු වර්ෂ 1153 දී හෝ ඒ ආසන්න කාලයකදී ය. දිවයින් වැසියන් ඉස්ලාමයට යොමු කළ තැනැත්තා ලෙස අබ්දුල් රිකාබ් යුසුබ් අල් තබ්රයිසි නමැත්තෙකු පිළිබඳව අසන්නට ලැබේ. ඔහු රාජකීයයන් ඉස්ලාමය වෙත නැඹුරු කළේ ය. සුහදශීලී ලීලාවෙන් සේම ආක‍්‍රමණශීලී ස්වරූපයකින් ද ඉස්ලාමය මාලදිවයින්හි ව්‍යාප්ත වූ බවට ජන කථා සාක්ෂ්‍ය සපයයි.

7. මෙහි සඳහන් වනුයේ සිරි පා වන්දනාවේ ගිය ඉබ්න් බතූතාහට කුනකර් නගරය පසු කොට ගමන් කිරීමේ දී හමු වූ අතක් හා පයක් කපා දැමූ මුස්ලිම් භක්තිකයෙකු පිළිබඳව ය. ඔහු විසින් සිදු කළ ගව ඝාතනය නිසාවෙන් රජු දුන් දඬුවමක් ලෙස අත හා කකුල මෙලෙස ඉවත් කළේ යැයි බතූතා දක්වයි. මෙම කථා පුවත් මගින් පෙනී යනුයේ මේ වන විටත් ඉස්ලාම් භක්තිකයින් රටේ අභ්‍යන්තර ප‍්‍රදේශ දක්වා සංක‍්‍රමණය වී සිටි බවයි. බතූතා ඉස්ලාම් දේවස්ථානයක් පිළිබඳ ව ද මෙහි දී සඳහන් කරයි.

8. බමුණන් පිළිබඳව දැක්වෙන ජන කථා මෙවැන්නකට කදිම නිදසුනකි. මීට අමතරව දකුණු කලාපයෙහි ජනපි‍්‍රය තොවිල් ශාන්ති කර්ම හා ඒ ආශි‍්‍රත නර්තන මෙන් ම යහන් කවි යාදිනි ආදිය මගින් ද මෙම සංක‍්‍රමණ පිළිබඳව අනාවරණය කර ගත හැකි ය. සොකරි වැනි නාට්‍යමය ජන සංස්කෘතියෙහි ද මෙම සංක‍්‍රමණ පිළිබඳ තොරතුරු ප‍්‍රකට කරයි.

9. මෙලෙස පැමිණි පිරිස් අතර විවිධ සමාජ තත්ත්වයන් දැරූවන් සිටියේ ය. එලමල්පේ සන්නස නමින් හැඳන්වෙන මෙහි උත‍්‍රබද්ද දේසයෙන් පැමිණි එලසමුනු බ‍්‍රාහ්මණයා ඇතුළු පිරිස පැමිණ ඇත්තේ මෙරට පැවති පූජ්‍යස්ථාන වැඳ පුදා ගැනීමේ අරමුණින් බව “… දේවස්ථාන වැඳපුදා පඬුරු දෙංට බාරව තිබුනු හෙයිං….” යන පාඨයෙන් පැහැදිලි වේ.

ආශිත ග‍්‍රන්ථ නාමාවලිය

  • අමරසිංහ, අජිත් (2014), ලක් ඉතිහාසයෙන් වසන් වූ චීන මෙහෙයුම, (යුරෝපීයයන්ගේ ආගමනයට පෙර ලංකාව, චීනය සහ ඉන්දියාව), කර්තෘ ප‍්‍රකාශන.
  • ඌන පූරණ සහිතො මහාවංසො (1959), සංස්. පොල්වත්තේ බුද්ධදත්ත හිමි, කොළඹ: ඇම්.ඩී. ගුණසේන සහ සමාගම.
  • ඤාණවිමල හිමි, කිරිඇල්ලේ (2001), සපරගමුවේ පැරණි ලියවිලි, නුගේගොඩ: මානව හිතවාදී ලේඛක පර්ෂදය.
  • ගිරා සන්දේශ විවරණය (2497), 1953. සංස්. කුමරතුඟු මුනිදසුන්, මරදාන: අනුල මුද්‍රණාලය.
  • දේවරාජ, ලෝනා ශී‍්‍රමතී (1997), උඩරට රාජධානිය, පාදුක්ක: රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව.
  • පරවි සන්දේශ විවරණය (2502), 1958. සංස්. කුමරතුඟු මුනිදසුන්, මරදාන: අනුල මුද්‍රණාලය.
  • මුදියන්සේ, සේනානායක (1996), මාලදිවයින්, බොරලැස්ගමුව: විසිදුනු ප‍්‍රකාශන.
  • රත්නායක, ජේ. (වර්ෂය සඳහන්ව නොමැත). කාලිඞග සිරිමල්එතනා, මාදම්පේ: පී.ජේ. කරුණාධාර, මාදම්පා යන්ත‍්‍රාලය.
  • විජේතුංග, ඩබ්.එම්.කේ. (2007), දිල්ලි සුල්තාන් රාජ්‍යය, නුගේගොඩ: සරසවි ප‍්‍රකාශකයෝ.
  • හෝල්, ඩී.ජී.ඊ. (1974), අග්නිදිග ආසියාවේ ඉතිහාසය, කොළඹ: අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව.
  • Bell, H. C. P. (1921), “The Maldive Islands,” (Report on a visit to Male), Ceylon Sessional Papers, January 20 to February 21, 1920.
  • Epigraphia Zeylanica, Vol. I, 1912. Ed. Don Martino De Zilva Wicramasinghe, London: Oxford University Press.
  • Ibn Battuta Travelas in Asia and Africa, (1325-1354) 1997. Trans. H.A.R. Gibb, New Delhi: Asian Educational Services.
__________________________________________________________________________________
මෙම ලිපිය 2020.01.14 දින www.history.lk වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් විය
_________________________________________________________________________________

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Latest news

වත්හිමි කතා පුවත ඔස්සේ ලක් ඉතිහාසය දෙස නැවත හැරී බැලීමක්

සමීර ප‍්‍රසංග වත්හිමි කතාව, කළුන්දෑ පුවත, වත්හිමි බණ්ඩාර කතාව යනුවෙන් කුරුණෑගල අවට ජනයා අතර ප‍්‍රචලිත ජනශ‍්‍රැතිගත කතා පුවතක් පිළිබඳ ව...

ජාතික ගීය, වෙල්ලාලයන් හා ඉතිහාසය

නලින් ද සිල්වා සුමන්තිරන් ජාතික ගීය කියන්නෙ නැත්නම් ඒකෙ ප්‍රශ්නයක් නැහැ. ජාතික ගීය සම්පූර්ණයෙන් ම දන්න සිංහලයන්ගෙ ප්‍රතිශතය කීයද කියල...

මහාවංසය බොරු එළාර දෙමළ නොවෙයි 

නලින් ද සිල්වා විග්නේෂ්වරන් ඇත්තක් කියලා. ඔහු කියල මහාවංසය බොරු කියල. මහාවංසයෙ බොරුත් තියෙනව තමයි. ඒත් ඒකෙ වෙනත් කරුණු සමග...

ඇස් මහින්ද හිමි හා ජාතික ව්‍යාපාරය

නලින් ද සිල්වා අප ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියන් නමින් හඳුන්වන්නේ සීකීමයේ උපත ලද මහින්ද හිමියන් ය. උන්වහන්සේ ඉපදෙන කාලයෙහි...

සිංහල බෞද්ධ සංස්කෘතිය

නලින් ද සිල්වා සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට ගොඩනැගීම ඇරඹුණේ අද වැනි පොසොන් පොහෝ දිනක ය. එහෙත් එය යම්කිසි ආකාරයක පරිපූර්ණත්වයකට...

සීගිරිය කුරුටු ගෑම

නලින් ද සිල්වා සීගිරි කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් කුරුටු ගෑ මඩකලපුවේ තරුණියක් ජනාධිපති සමාව යටතේ සිරගත කරන ලද කාලය කෙටිකර...

Must read

වත්හිමි කතා පුවත ඔස්සේ ලක් ඉතිහාසය දෙස නැවත හැරී බැලීමක්

සමීර ප‍්‍රසංග වත්හිමි කතාව, කළුන්දෑ පුවත, වත්හිමි බණ්ඩාර කතාව යනුවෙන්...

ජාතික ගීය, වෙල්ලාලයන් හා ඉතිහාසය

නලින් ද සිල්වා සුමන්තිරන් ජාතික ගීය කියන්නෙ නැත්නම් ඒකෙ ප්‍රශ්නයක්...

You might also likeRELATED
Recommended to you